එදා පරි­ව­ර්ත­නය වුණේ විශ්ව සාහි­ත්‍යයේ හොඳ ම ‍පොත් විතරයි | සිළුමිණ

එදා පරි­ව­ර්ත­නය වුණේ විශ්ව සාහි­ත්‍යයේ හොඳ ම ‍පොත් විතරයි

 

කිසියම් ලේඛනයකට හෝ කථනයකට හෝ වස්තු වූ එක් භාෂාවකින් තවත් භාෂාවකට පෙරළීම පරිවර්තනය බව මහාචාර්ය හේමපාල විජයවර්ධනයෝ ‘පරිවර්තන කලාව’ නම් මීට වසර පණහකට පමණ පෙර ලියූ ලිපියක සඳහන්ව තිබිණ. ඔහු පරිවර්තන කලාව ගැන මෙසේ ද කියයි.

“එහෙයින් පරිවර්තනය යනු යමක් පවසන මාධ්‍යය වෙනස් කිරීම වේ. භාෂාව, මිනිසුන් අතර අදහස් හුවමාරු කර ගැන්මේ යම් යම් ලකුණු හා සංකේත අනුසාරයෙනි. භාෂාව පිළිබඳ යථාර්ථය පරීක්ෂා කොට බැලුවහොත් පෙනී යන කරුණක් නම් භාෂාව යනුවෙන් අප හඳුන්වන්නේ අදහස් හුවමාරු වන්නේ යම් යම් ලකුණු හා සංකේත අනුසාරයෙනි. භාෂාව පිළිබඳ යථාර්ථය පරීක්ෂා කොට බැලුවහොත් පෙනී යන කරුණක් නම් භාෂාව යනුවෙන් අප හඳුන්වන්නේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා යම් යම් ලකුණු හා සංකේත භාවිත කිරීම බවයි. ශබ්ද හා වචන වූ කලි අදහස් ප්‍රකාශ කිරීමේ සංකේතයි. එබැවින් පරිවර්තනය නම් මෙම ලකුණු හා සංකේත වෙනස් කිරීමකි. මාරු කිරීමකි‍. හැකිතාක් දුරට අර්ථය විකෘති නොකොට සංකේතය පමණක් වෙනස් කිරීම පරිවර්තන කාර්යයේ පරමාර්ථය විය යුතු ය.”‍

මහාචාර්ය විජයවර්ධන 1955 වසරේදී ඌරාපොල හේමාලෝක හිමියන් සමඟ එක්ව පර්ල් ඇස්. බක්ගේ ‘ගුඩ් අර්ත්’ නමැති ශ්‍රේෂ්ඨ නවකතාව සිංහලට නැඟූහ. ‘සාරභූමි’ නමින් මේ කෘතිය සමන් ප්‍රකාශකයන් මගින් ප්‍රකාශයට පත් දෙවැනි කෘතිය ලෙස ද මුල් ම පරිවර්තන කෘතිය ද වෙයි.

එකම බසක වුව ද එකම වචනය කිහිප දෙනෙකුට, කිහිප අයුරකින් තේරුම් දී යන්තමින් හෝ අර්ථය ද වෙනස්වීම නොහැකි බව කියන මහාචාර්ය විජයවර්ධන කිසියම් ලේඛනයක - විශේෂයෙන් සාහිත්‍ය කෘතියක අර්ථය හෝ වස්තුව එය ප්‍රකාශ කරන බාහිර ආකෘතියෙන් - භාෂා විලාෂයෙන් - වෙන් කොට ගැන්ම සූකර නොවන බව කියා ඇත. අර්ථවත් භාෂා විලාසයක් අන්‍යොන්‍ය සම්බන්ධතාවයකින් දැඩිව බැඳී ඇති බව ද, සාහිත්‍ය කෘතියක භාෂා ස්වරූපය සකස් වන්නේ ද එම කෘතියේ පරමාර්ථය උඩ බව ද ඔහු කියා ඇත.

“එක් එක් අසන්නා තුළ එකම වචනය ඇසුරින් උපදින ව්‍යංග්‍යාර්ථ පවා බෙහෙවින් විය හැකියි.” අම්මා යන පදය පොඩි දරුවෙකු තුළ ප්‍රසන්න හැඟීම් රාශියක් ජනිත කරවයි. එහෙත් ම‍ෑතක දී තම මව මිය පරලොව ගිය තැ‍නැත්තෙකු තුළ එම වචනය ඇසුරින් වේදනා දායක ජනිතවන්ට පිළිවන. එකම භාෂාවක් තුළ වුව ද, වචනයකින් වැටහෙන අදහස් මෙතරම් වෙනස් විය හැකි නම්, දෙශ කලාදියෙන් බෙහෙවින් වෙනස් වූ භාෂාවන් දෙකක, සංකේත හා ඒවායේ වටිනාකම් අතර කොතරම් වෙනස්කම් තිබිය හැකි ද?

බත් ‘කනවා’, කාලය ‘කනවා’, එයා වැඩේ ‘කනවා’, රට ‘කාපු’ කෙනෙක්. ‘කාල’ ඉන්න බැරි පාඩුවක්, ‘කෑවත්’ හිතට මදි යනාදී තැන්වල ‘කනවා’ යන ක්‍රියාර්ථය පිරික්සා බැලූ විට පරිසරය අනුව වචනයක අරුත වෙනස් වන සැටි සලකා ගන්නට පිළිවන. වෙනත් වචනවලින් කියතොත් එකම සංකේතයකින්, එකිනෙකට හාත් පසින් වෙනස් වන අදහස් සමුදාවක් ලැබෙන සැටි සලකා ගත හැක. එමෙන් ම කිසියම් වචනයකින් පැහැදිලි අර්ථයක් ලැබීමට නම් එය තවත් වචන හා බැඳී තිබිය යුතුයි. ‘කනවා’ යන පදය තනිව සිටි කල පැහැදිලි, සම්පූර්ණ අර්ථයක් ඉන් ජනිත නොවේ. වචනයක අර්ථය අප සිත්හි ඇ‍ඳෙන්නේ එය හා සමඟ යෙදෙන අනිකුත් වචනවල අර්ථයන් ද සහාය කොට ගෙනයි. සංයෝගයේ බලපෑම හේතු කොට ගෙන ‘කනවා’ යන වචනයෙන් එහි මුඛ්‍යාර්ථයට බෙහෙවින් වෙනස් වන අර්ථ රාශියක් ලැබෙන සැටි ඉහත සඳහන් නිදසුන් කීපයෙන් පැහැදිලි වෙන්නට ඇත. මේ අයුරින්, එකම බසක් තුළ වුව ද වචනාර්ථය හරි හැටි, නියම වශයෙන් ම වටහා ගැන්ම අමාරු කාරියකි.”

හොඳ පරිවර්තනයක් කිරීම පිණිස, පරිවර්තකයා ස්වතන්ත්‍ර නිර්මාණ කෞශල්‍යයෙන් පරිපූර්ණ විය යුතු ම බව පවසන මහාචාර්ය විජයවර්ධනයෝ සාහිත්‍ය කෘතියක නියම පරිවර්තනයක් බිහිවනුයේ නිර්මාණාත්මක ව්‍යාපාරයක ප්‍රතිඵලයක් වශයෙන් පමණක් බව ද අවධාරණය කරති.

මුල් පොතෙහි එන නම් ගම් සිංහල දිවට හුරු පුරුදු විය හැකි පරිද්දෙන් වෙනස් කිරීමට මුල් යුගයේ විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට කෘති සිංහලයට නැඟූ ලේඛකයන් කිහිප දෙනෙක් උත්සාහ ගෙන ඇති බව පෙනේ. 1953 වසරේ ප්‍රකාශයට පත් වික්ටර් හියුගෝගේ ‘ද ලේ මිසරාබ්ල’ නම් ප්‍රංස ලේඛකයාගේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය කළ අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල ගේ ‘මනුතාපය’ එයට හොඳම නිදසුනය. 1957 – 1960 වර්ෂවල දී ඉංගිරිසි, සිංහල පොදු සාක්ෂ්‍ය පත්‍ර විභාගයට නියමිත වූ මේ කෘතිය ගැන ලේඛක ඊරියගොල්ලයන් මෙසේ සඳහන් කොට තිබුණි.

“මනුතාපයේ එන ඇතැම් පුද්ගල නම් පිළිබඳව සිංහල දිවට හුරු පුරුදු විය හැකි පරිද්දෙන් වෙනසක් කෙළේ බොහෝ විට ඒ ඒ චරිතයේ ගති පැවතුම් අනුව ය. මේ කථාවේ වීරයා වශයෙන් සැලැකෙන්නාගේ නම ප්‍රංසයේ දී නම් කියැවෙන්නේ ‘ෂාවාල්ෂා’ යනුවෙනි. Jean valjeen යන අකුරින් එන මේ නම ඉංග්‍රිරිසි අනුවාද කියවන බොහෝ දෙන උච්චාරණය කරන්නේ ‘ජීන් වැල්ජින්’ කියා ය. මේ පුද්ගලයා මුල දී ජනයා විසින් වර්ජනය කරන ලද්දෙකි. එහෙයින් ඉංගිරිසි නමෙහි උච්චාරණය ද ආශ්‍රිත ‘ජනවර්ජන’ යන නම ‘මනුතාපයෙහි’ ඔහු‍ට යෙදේ. සෙසු බොහෝ ‍නම් පිළිබඳව ද කිව යුත්තේ ඒම ය.”

‘මනුතාපය’ කෘතියේ එන ‘ගැලිය’ යනු පුරාණ හෝ නවීන හෝ කිසි ම සිංහල සාහිත්‍ය ග්‍රන්ථයෙක නො දක්නා අලුත් වචනයක් බව ද පරිවර්තකයා පවසා ඇත.

1960 වසරේ ප්‍රකාශයට පත් වූ පියොදෝර් දෙසතෙවොස්කි නම් රුසියානු ලේඛකයා ගේ ‘ක්‍රයිම් ඇන්ඩ් පනිෂ්මන්ට්’ නවකතාව ‘අපරාධය හා දඬුවම’ නමින් සිංහලයට පරිවර්තනය කළ මුනිදාස සෙනරත් යාපා පවසා ඇත්තේ මුල් නවකතාවේ එන සංඥා නාම ඒ හැටියට ම සිංහල අනුවාදයෙහි ද යෙදීමෙන් පාඨකයා විඩාවට පත්වන්නට ඉඩ ඇතැයි තම මිතුරන් කිහිප දෙනෙකු ම පෙන්වා දුන් නමුත් මුල් පොතේ හැටියට ම එහි සංඥා නාම යොදා ඇත්තේ විශ්ව සාහිත්‍ය කෘතියක් පරිවර්තනය කිරීමේ දී සංඥා නාම වෙනස් කිරීම සැහැසිකමක් යයි තමාගේ විශ්වාසය බව ය.

‘රුසියානු නම් - ගම් හරි හැටි උසුරු කරන්නට මා නො දන්නා බැවින් මෙහි එන චරිත නාම මෙන් ම ස්ථාන නාමත් වැරදි ලෙස උසුරු කැරෙන සේ ලියවී තිබෙන්නට බැරි නැත. යම් හෙයකින් එසේ වැරදි ලෙස උසුරු වන සේ නමක් දෙකක් යෙදී ඇතත් එයින් අර්ථාවබෝධයට බාධාවක් නොවන බව මගේ විශ්වාසයයි.

සිංහල ජීවිතය ඇසුරෙන් ලියන ලද ඉංග්‍රීසි නවකථා අතුරෙන් ශ්‍රේෂ්ඨතම කෘතිය ලෙස සැලකෙන ලෙනාඩ් වුල්ෆ් විසින් 1913 දී ලියූ ‘ද විලේජ් ඉන් ද ජන්ගල්’ නවකතාව 1949 වසරේදී ඒ.පී. ගුණරත්න පරිවර්තනය කළ ‘බැද්දේගම’ ප්‍රකාශයට පත්වී ඇත. ‘බැද්දේගම’ පරිවර්තනය ඇතැම් විට ඉංග්‍රීසි මුල් කෘතියට වඩා නිර්මාණාත්මක බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. මේ පරිවර්තනය ගැන 1949 වසරේ ප්‍රස්තාවනාව ලියූ ඊ.ආර්. සරච්චන්ද්‍ර (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර) දක්වා ඇත්තේ මෙසේ ය.

“ඒ.පී. ගුණරත්න මහතා විසින් ව්‍යවහාර කරන ලද මට සිලුටු වාග් මාලාව වනාහි මේ නවකතාවෙහි ස්වභාවිකත්වයට අතිශයින් තුඩු දෙන්නකි. ඔහු විසින් උපයෝගි කොටගෙන තිබෙන සරල, ඍජු, අලංකාර රහිත රචනා විලාසය වනාහි මුල් කථාවෙහි තාත්වික රස සමූහය උද්වහනය කිරීමෙහිලා අතිශයින් යෝග්‍ය වූ මාර්ගයක් බව මේ පරිවර්තනය මුල් පොත හා සසඳන්නකුට පෙනී යනු නිසැකයි.”

බැද්දේගම පරිවර්තනයේ එන ‘වනය’ ගැන කියවෙන මේ උද්දෘතයෙන් පරිවර්තකගේ නිර්මාණ ශක්තිය මොනවට පැහැදිලිවේ.

“හැම වනයක් ම භයානකය. එහෙත් බැද්දේගම අවට තිබූ වනය තරම් භයානක වනයක් තවත් නොවී ය. වන ගැබින් නැගී සිටි මුඩු කන්දක මුදුනට නැගුණ විට හැම පැත්තකින් ම සැතපුම් ගණනක් දිගට පැතිර පෙනෙන්නේ මේ වනය ම ය. එය දුඹුරු නිල්වන් කොළ කැටිය මතුයෙහි වැටුණු අඳුරු පැල්ලම් සේ තැනින් තැන නැගුණ මුඩු කඳු ගැටවලින් පමණක් මඳක් බිඳී අනවරතයෙන් හමන කුරිරු සුළඟ නමැති දළ රළ පෙළින් යුතු මහා සමුද්‍රයක් සේ පෙනේ. මේ පෙදෙස අවුරුද්දෙන් මාස දහයක් ම දැඩි හිරු රැසින් දැවෙයි. ගස්වල අතු පතර අඹරවා ගෙන කොළ රිකිලි උගුළුවා ගෙන හමන තද උණුසුම් සුළඟ ගම දූවිල්ලෙන් නාවාගෙන කැලය දෙනෙදු කරගෙන හමයි. තද ඉඩෝරයත්, සිහින් වැලි පසත් වියළි සුළඟත් නිසා ගස් කොළන් සැපට නො වැඩී කරගැටිව අතු පතු ඇඹරී ගොස් තිබිණි.”

පරිවර්තනය ගැන ඒ.පී. ගුණරත්න පවසා ඇති අදහස් දක්වා තිබු‍ෙණ් 1963 වසරේ ඔහු සිංහල ශබ්දකෝෂයේ සහකාර කර්තෘවරයකු ලෙස කටයුතු කරන අවදියේ ය. වනසරණ, බැද්දේගම, වනරයා, මැකී ගිය දඩමං ඇතුළු පරිවර්තන කෘති කිහිපයක් ලියූ පරිවර්තකයෙකි ඔහු. මේ ඔහුගේ අදහස් ය.

“පරිවර්තනය ද රචනයකි. නිර්මාණාත්මක රචනයක ඇති සාහිත්‍ය ලක්ෂණ පරිවර්තනයෙහි ද ඇති විය යුතු ය. ශබ්ද රසය, අර්ථ රසය, අලංකාරය වැනි ස්වභාව සාහිත්‍ය ලක්ෂණ නිතැතින් ම මෙහි ඇතුළු විය. එසේ වූ පරිවර්තනය අවිවාදයෙන් ම සාහිත්‍ය කෘතියක් වෙයි.

වර්තමාන පරිවර්තන සාහිත්‍ය වශයෙන් ප්‍රධාන වශයෙන් සැලකෙන්නේ ඉංගිරිසි භාෂාවෙන් සිංහලයට පරිවර්තනය වුණ කාව්‍ය නාට්‍ය හෝ නවකතා හෝ පමණක් බවත් ඇතැම් පරිවර්තනයක කෙරෙන කාරණය එතරම් පැහැදිලි නොවන බවත්, එහි යොදා ඇති වචන මාලාවෙහි ද මිහිරි බවක් නැතැයි ගුණරත්නයෝ කියති. එහි පද යෝජනය ද සිංහලයට හුරු නොවන බව ද ඉංගිරිසි පද යෝජනය අනුකරණය කළ බවක් නොපෙනෙන බව ද ඔහු පෙන්වා දෙයි.

“විශ්ව සාහිත්‍යය තිබියදී අපි ළඟම බලමු. අපේ පිටිසර වෑගම් පත්තුවේ මිනිසුන් ගැන හෝ වැද්දන් ගැන හෝ ඔවුන් පිළිබඳ පරිසරය ගැන හෝ නො දන්නා පරිවර්තකයෙක් දන්නා කෙනෙකු ඉංගිරිසියෙන් ලියූ පොතක් පරිවර්තනය කරනනේ ‘වැද්දෝ තලගොයින් මරා කන්නෝය’ යනු වෙනුවට ‘වැද්දෝ කටුස්සන් මරා කන්නෝය’ යි ලියයි. හෝඹිණ රනී හා කැටුව රාත්‍රිය ගත කිරීමට පිරිසෙන් ඉවත්ව ගියෝ ය”. යනු වෙනුවට ගොම්ඹිරා රනි හා හනිමුන් ගියේ ය’ ලියයි. පුදුමවීමට කාරණයක් නැත.

සත්‍යය නම් පරිවර්තනය ස්වාධීන රචනයකට වඩා දුෂ්කර බව ය. පරිවර්තකයා තමා භාවිත කරන භාෂා දෙකෙහි මෙන්ම ඊට අදාළ අනෙක් දේ කෙරෙහි ද පැතුරුණ දැනුම ඇත්තකු විය යුතු වෙයි. එසේ නොවූ පරිවර්තකයා හුදෙක් කුතුහලය නිසා කරන්නේ අර්ථයක් නොව අනර්ථයකි.”

ගුණරත්නයෝ විචාරවත් ප්‍රකාශකයන්ගේ අවධානය යොමු කරමින්, එතරම් ප්‍රයෝජනයක් නැති නිකම් ඉංගිරිසි කතා පොත් පරිවර්තන වශයෙන් මෙන්ම අනුවාද වශයෙන් ද සිංහල පොත් බහුලවීමේ හේතුව ද හොඳ පොත් තෝරා ප්‍රසිද්ධ කරවීමේ ශක්තියක් නැති එසේත් නැත්නම් ඒ ගැන වුවමනාවක් නැති කොයිකත් ප්‍රසිද්ධ කරවන ප්‍රකාශකයන් නිසා බවත්, වර්තමාන පරිවර්තන සාහිත්‍යයට ප්‍රයෝජනවත් පොතපත එකත් වන්නේ නම් එයින් සාහිත්‍යය බැබළෙන බවත් පවසති.

එමා බෝවාරි (Madame Bovary), මළ මිනිස්සු (Dead Souls), නත්තල් ගීතය (A Christmas Carol), කර්මසෝ සහෝදරයෝ (Brothers Karamazo), යුද්ධය හා සාමය (War and Peace) ඇතුළු විශ්ව සම්භාව්‍ය සාහිත්‍ය කෘති සිංහල පාඨකයන්ට හඳුන්වා දුන් කළුබෝවිල සිරිල් සී. පෙරේරා ලේඛන කාර්යයට පිවිසියේ පුවත්පත්වලට කෙටිකතා ලිවීමෙනි. වරක් ඔහු ‘නවයුගය’ පුවත්පතේ (1976) සංවාදයකට එක් වෙමින් අපට මෙසේ කීවේ ය.

“මම පොත් සිංහලට පරිවර්තනය කරන්නේ මුල් කෘති කියවා ලැබූ ආස්වාදය හෙළි කිරීම පිණිසයි. ගින්නෙන් රත්වන බත් හැළිය පෙණ දමමින් උතුරා යන්නාක් මෙන් පොතක් කියවන විට සිතේ හටගන්නා ආස්වාදය පිම්බී එනවා. මේ ආස්වාදය උතුරා යාමට ඉඩ නොදෙන්නේ නම් එය සිතට මහත් වධයක්. කතා ඇසීමෙන් හා කියවීමෙන් ලබන ආස්වාදය කතා කිරීමෙන් ද ලැබිය හැකියි. පරිවර්තන කලාවට මා පිවිසුණේ පාසල් යන කාලයේ සිටයි. පාසල් පොතපත පාඩම් කිරීමෙන් පසු මට ලැබෙන විවේක කාලයේ ගෙදර දී මා ඉංග්‍රීසියෙන් කියවූ රසවත් කතාවක් සිංහලයට පරිවර්තනය කළා. ඒවා පරිවර්තනය කිරීමෙන් පසුව මම අමුතු රසයක්, සතුටක් වින්දා. මගේ පරිවර්තන අන් අය කියවා බලන විට මා තුළ සතුටක් ඇති වුණා.”

පොත් පත් පරිවර්තනය කිරීම මිනිසා අදහස් ග්‍රන්ථාරූඪ කිරීමට පටන් ගත් දා සිටම පැවැත එන්නක්. එය හැම රටකම, සෑම සාහිත්‍යයකටම අයත් පොදු විශේෂ අංගයක් වී තිබෙනවා. මිනිසා ජාති වශයෙන් හා ගෝත්‍ර වශයෙන් බෙදී වෙන් වී වාසය කළත් සිය වර්ගයාගේ විවිධ ඇදහිලි හා විශ්වාස, සිතුම් පැතුම්, සිරිත් විරිත් දැන ගැනීමට ඔහු තුළ මහත් කුහුලක් පවතිනවා. මිනිසාට සිය වර්ගයා ගැන තොරතුරු දැන ගැනීමට ආසාවක් ඇති වෙනවා. “කිසිම මිනිහෙක් දිවයිනක් නොවේ.” යි ජෝන් ඩොන් නැමති ඉංග්‍රීසි කවියා කීවේ මේ ආසාව හැඳින ගෙන වෙන්න ඇති.”

සිරිල් සී. පෙරේරා මුලින් ම දන්නා තරමින් ලියෝ ටෝල්ස්ටෝයි ගේ කෙටිකතා කිහිපයක් සිංහල බසට පරිවර්තනය කළේ ඔහුගේ විවේක කාලයෙන් ආස්වාදයක් ලැබීමට ය. ‘දුප්පත්කම’, මිනිසා ජීවත්වන්නේ කුමකින්ද?” යන ලියෝ ටෝල්ස්ටෝයිගේ කෙටිකතා කිහිපයක් එකතු කොට ඔහු 1950 පළ කොට ඇත. දියුණු සාහිත්‍යයකට උරුම කියන රටවල පවා පොත් පරිවර්තනය ගැන විශාල උනන්දුවක් දක්වන බව කියූ මේ පරිවර්තකයා චාල්ස් ඩිකන්ස් ගේ ඩේවිඩ් කොපර්පීල්ඩ් (David Copperfield) නම් පොත චීන බසින් පළ වූ අවස්ථාවේ චීනයේ උත්සව පැවැත්වූ බව තමා අසා ඇතැයි අපට පැවසීය.

“බටහිර ඇතැම් ලේඛකයන්ගේ අලුත් පොත්වල පරිවර්තන ගැනීමට රුසියන් ජාතිකයෝ පොත් සාප්පු ඉදිරිපිට පෙළ ගැසෙනවා. අරාබි නිසොල්ලාසයේ කතා ඉංග්‍රීසියෙන් පළ වූ අවස්ථාව ඉතා වැදගත් සාහිත්‍ය සිද්ධියක් ලෙස අපට වඩා දියුණු සාහිත්‍යයක් ඇති ඉංග්‍රීසි ජාතිකයෝ සැලකුවා‍. එහෙත් අපේ රටේ පොත් පරිවර්තනය ගැන වැඩි සැළකිල්ලක් (1976) නොදැක්වීම අපේ දියුණුවට බාධාවක් ලෙස සැලකිය හැකියි. විශ්ව සාහිත්‍ය සාගරයක් නම් අප ඉන් බාල්දියක ප්‍රමාණයක්වත් ජලය අරන් නැහැ. අපි බාල්දියක තරම්වත් ගත්තා නම් ඒකත් අරන් තියෙන්නේ හිල්වුණු බාල්දියකින්.”

1956 වර්ෂයේ පළව‍ූ කේ.ජී. කරුණාතිලක විසින් පරිවර්තනය කළ ‘බිම්ගෙයි සිරකරුවා හා වෙනත් ශ්‍රේෂ්ඨ රුසියානු කෙටිකතා’ සංග්‍රහයට පුෂ්කින්, ගොගොල්, ලෙමන්ටෝව්, ටර්ගනිව්, ඩොසතව්ස්කි, තෝල්ස්තෝයි, ගාර්ෂින්, චෙකොෆ්, ඇන්ඩ්රිච්ගේ කෙටිකතා 10 ක් ඇතුළත්ව ඇත. පරිවර්තකයා සංඥාපනයේ සඳහන් කර ඇත්තේ මෙහි එන හැම කථාවක් ම සිංහල පරිවර්තනයන් මඟින් පාඨක ලෝකයා වෙත එන්නේ ප්‍රථම වරට බව ය. ආචාර්ය ඊ.ආර්. ද ඇස්. සරච්චන්ද්‍ර සහ ඒ.පී. ගුණරත්න විසින් රුසියන් කෙටි කථාකරුවන් සතර දෙනෙකුගේ කථා හයක සිංහල පරිවර්තනයන් ‘රුසියානු කෙටිකථා’ නමින් කලකට පෙර ප්‍රසිද්ධ කරනු ලැබූ බව කියන ඔහු මෙසේ ද පරිවර්තන සාහිත්‍ය ගැන තම මතය දක්වා ඇත.

“විශ්ව සාහිත්‍යයෙහි ශ්‍රේෂ්ඨ කෘතීන් මෙකල සිංහලට පරිවර්තනය කරන ඇතැම් ලේඛ‍කයෝ මුල් ග්‍රන්ථවල එන පුද්ගල නාමයන් සිංහල ඌරුවට යයි කියමින් වෙනස් කරති. එසේ පුද්ගල නාමයන් වෙනස් කරන අතර ස්ථානවල නම් වෙනස් කොට ද සමහර පුද්ගල නාමයන් වෙනස් නො‍කොට ද සමහර පුද්ගල නාමයන් ‘සිංහල උ‍ෟරුවට’ වෙනස් කොට ඒ ස්වරූපයෙන් ම ‍තබති. මෙයින් වනුයේ මහා විකාරයකි; දේශීය හා විදේශීය ස්වරූපයන්ගෙන් යුත් මේ ගම්වල පටලැවිල්ලකි. මේ රුසියානු කෙටිකතාවල එන සංඥා නාම මඳ වූව ද වෙනසකට භාජනය නොකොට මුල් ස්වරූපයෙන් ම මම තැබුවෙමි.”

පණහ දසකයේ පරිවර්තන සාහිත්‍යයේ කැපී පෙනුණ ලේඛකයන් දෙදෙනෙකි ඩේවිඩ් කරුණාරත්න හා ආර්.එන්.එච්. පෙරේරා. පුරාතන යු‍රෝපීන් හට ‘බයිබලය’ එකම ග්‍රන්ථ වූවා සේ හෝමර් එකම ‘මහා කවියා’ විය. රණබිම (ඉලියඩ්) හා වීර චාරිකාව (ඔඩිසිය) එක කාව්‍යය විය යයි කියන ඩේවිඩ් කරුණාරත්න එහි අගය මෙසේ වර්ණනා කර ඇත.

ග්‍රීක මහා කවි හෝමර්ගේ (Homer) ‘ඉලියඩ්’ (ILLIAD) හා ‘වීර චාරිකාව’ (ඔඩිසිය) සිංහලයට පරිවර්තනය කළ ඩේවිඩ් කරුණාරත්න කවදත් රසවත් කථා රසවත් බසින් කීමෙහි සමත් විශිෂ්ට ලේඛකයකි; පුවත්පත් කතුවරයෙකි. ඔහු පරිවර්තනය කළ ග්‍රන්ථ අතර ‘එදා හෙළදිව’, ලෝක ඉතිහාස සිහිවටන (GLIMPSES OF WORLD History) කෘති දෙක පමණක් වුවත් ඔහුගේ පරිවර්තන ශූරත්වය මනාව පිළිබිඹු වෙයි. ‘රණබිම’ නම් හෝමර්ග් කෘතිය ගැන මෙසේ පවසා තිබුණි.

“මහා අලිසන්දරි (ඇලෙක්සැන්ඩර්) රජු උදේ සවස බණ පොතක් මෙන් කියවූ පොතක් විය. කියවා එය කොට්ටය යට තබා නිදා ගැනීමට ද ඔහුගේ සිරිත විය. ඒ පොත අනෙකක් නොව හෝමර් මහා කවියාගේ ‘ඉලියඩ්’ වෘතාන්තය යි. ‘රණබිම’ නමින් පාඨකයන් අතට පත්වන්නේ එහි සිංහල අනුවාදය ය.

නැපෝලියන් බොනපාට් තෙමේ දොළොස් හැවිරිදි කල සිය මවට කථා කොට, “හෝමර්ගේ ඉතිහාස පොත වම් අතින් ගෙන ලෝකය මැදින් ලෝක විජයට යන පාර කපන්නට, මගේ දකුණතට කඩුවක් දෙන්නැයි” යි ඉල්ලා සිටියේ ය. කඩුව ලැබුණේ ය. නැපෝලියන් ගියේය. දික්විජයේ ඔබ කෙළවරටම ගියේ ය.

ක්‍රිස්තු වර්ෂයෙන් පෙර නව වැනි සියවසේ සිට ජගත් වීරයන් තැනීමෙහිලා හෝමර්ගේ ‘රණබිම’ ත් වීර චාරිකාව (ඔඩිසිය) ත් ජප මන්ත්‍ර වූ බව පෙනේ.”

වසර 65කට පමණ පෙර සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට උරදුන් පරිවර්තකයන් කිහිපදෙනෙකු ගැන පමණක් ලියූ කෙටි සටහනකි මේ. එහි අවසානය මෙය නොවේ.

 

Comments