කළු දින 52 කතාව | සිළුමිණ

කළු දින 52 කතාව

මීට තෙවසරකට පෙර මෙරට ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වූයේ ශිෂ්ටසම්පන්න අපේක්ෂා රැසක් පෙරදැරි කරගෙනය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා එජාපයෙන් වෙන්ව ගොස් ශ්‍රීලනිපය බිහි කළ දා සිට එජාපය හා ශ්‍රීලනිපය පසමිතුරෝ වුහ. එය හරියටම කීවොත් එක බඩවැල කඩන් ආ සොයුරන් දෙදෙනෙකු දෙමඟක යන ගමනක් වැනිය.

කෙසේ වෙතත් 2015 ජනවාරි අට ඡන්ද ප්‍රතිපලයත් සමඟ බොහෝ දේ වෙනස් විය. ඒ අනුව ශ්‍රීලනිපය හා එජපය එක්ව සම්මුති ආණ්ඩුවක් බිහි කරනු ලැබීය. එයින් රටට අත්වූ ජයග්‍රහණ රැසකි.

ඒ ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ නොවේ.

එහෙත් තෙවසරක් එක්ව ගිය ගමන ඉකුත් ඔක්තෝම්බර් 26 වෙනි දා රාත්‍රී පැය කිහිපයක් තුළ හමාර විය.

එදින, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, සිය පාර්ශ්වය ආණ්ඩුවෙන් ඉවත් වූ බව කථානායකවරයාට දන්වා යැවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

රාත්‍රී 'බ්‍රේකිං නිවුස්'වලට ඉඩකඩ විවර විය. සන්ධානය ඉවත් වීම අරුමයක් නොවුණත් සියල්ලන්ම තූෂ්නීම්භූත වූයේ මහින්ද රාජපක්ෂ මහතා නැවත 'අග්‍රාමාත්‍ය ලෙස ' දිවුරුම් දුන් පුවත ඇසීමෙනි. මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අගමැති ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

දැන් සියල්ල හරියැයි සමහරුන් සිතූ නමුත් අනපේක්ෂිත සියල්ල ආරම්භ වූයේ එතැන් සිට ය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ තවමත් රටේ අගමැතිවරයා බව එවක කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය.

එසේම මාධ්‍ය හමුවක් පවත්වමින්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව අගමැතිවරයා තීරණය කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව 'ධුරයෙන් නෙරපන ලද අග්‍රාමාත්‍ය' රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

ඔක්තෝබර් 27 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමය අනුව නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නොවැම්බර් 16 වැනිදා නැවත පාර්ලිමේන්තුව ආරම්භ වන බවට දින නියම කෙරිණි. එදින පස්වරු 4ට පෙර, අරලියගහ මන්දිරය භාරදී පිටව යන ලෙස රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇතැයි මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මාධ්‍ය වෙත පැවසීය.

ඒ දක්වා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ඉවත් කර ඒ වෙනුවට සිරිසේන අමරසේකර පත් කෙරිණි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීමේ පූර්ණ බලය හා හැකියාව තමා සතුව පවතින බව රනිල් වික්‍රමසිංහ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

ඔක්තෝබර් 28 නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ මහින්ද රාජපක්ෂ, මහනුවරදී අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන් මුණ ගැසුණු අතර, එහිදී 120කට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය තිබෙන බවට ජනාධිපතිවරයාට විශ්වාසයක් තිබෙන බවත්, "එහෙම නැත්නම් ජනාධිපතිවරයා මේක කරන එකක් නෑනේ" යනුවෙන් පැවසීය.

පාර්ලිමේන්තුව කැඳවීමේ බලය කථානායකට

නව අගමැතිවරයකු පත් කිරීමෙන් පසු පළමු වරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එදින ජාතිය ඇමතූ අතර තමන් කළ ක්‍රියාව ව්‍යවස්ථාවට අනුකූල බව ඔහු එහිදී අවධාරණය කළේය.රනිල් වික්‍රමසිංහ ධුරයෙන් නෙරපීමට හේතු වූ කරුණු දැක්වූ ජනාධිපතිවරයා, "ආසන්නම සහ ප්‍රබලතම හේතුව" ලෙස තමා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පැවැතී යැයි කියන තත්ත්වය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමද පෙන්වා දුන්නේය.

එම කතාවේදී ජනාධිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ක්‍රියාකලාපයද දැඩි ලෙස විවේචනය කළේය.

ඔක්තෝබර් 29 මහින්ද රාජපක්‍ෂ කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කැඳවීමේ බලය කථානායකවරයා සතුව පවතින බව රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 29 වැනිදා විදෙස් මාධ්‍යවේදීන් සමඟ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේය.

මේ අතර රටේ ස්ථාවරභාවය ඇති කිරීමට කටයුතු කරන ලෙස විදේශ රාජ්‍ය සහ අන්තර්ජාතික සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් නිවේදන නිකුත් කළේය. කථානායක කරු ජයසූරිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවමින්, "නොවැම්බර් 16 වැනිදා තෙක් දින 20ක් පාර්ලිමේන්තුව අක්‍රියව පැවැතීමෙන් රටට දැඩි අහිතකර වාතාවරණයක් උද්ගත වීමට ඉඩ නොතබන ලෙස" ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් හා ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා වෙත වෙන වෙනම ලිපි යොමු කරමින්, පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටියහ. ජනාධිපතිවරයා නව කැබිනට් මණ්ඩලයේ පළමු පත් කිරීම් කළේය. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි විජේදාස රාජපක්ෂ සහ වසන්ත සේනානායකද ඒ අතර වූහ.

ඔක්තෝබර් 30, වහාම පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගන්නා මෙන් මන්ත්‍රීවරුන් 126 දෙනකු කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ඔහු පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නට කටයුතු කෙළේය. තමන් පසු දිනම ජනාධිපතිවරයා හමුවී වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් ඉල්ලීමක් කරන බව එහිදී කථානායක කරු ජයසූරිය පක්ෂ නායකයන්ට දැනුම් දුන්නේය.

මේ අතර එජාපෙ කොළඹදී විරෝධතාවක් සංවිධානය කළේය. පවතින දේශපාලන අර්බුදය විසඳාගත හැක්කේ, පාර්ලිමේන්තුව යළි කැඳවීම මඟින් පමණක් බව ‘ධුරයෙන් නෙරපන ලද අගමැති රනිල් වික්‍රමසිංහ‘ එහිදී පැවසීය. ‘ව්‍යවස්ථානුකූලව කටයුතු කරන ලෙස‘ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

නොවැම්බර් 01, නොවැම්බර් 5 වැනි දින පාර්ලිමේන්තුවේ සභාවාරය ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇති බව, පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එදින පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හමුවේ ප්‍රකාශ කළේය. එහෙත් එම දිනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් නිල වශයෙන් තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයට ගොස් රනිල් වික්‍රමසිංහ හමුවූ නමුත් එහි තොරතුරු මාධ්‍යට අනාවරණය නොවීය.

නොවැම්බර් 02, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේදී කථානායකවරයා හමු වී මන්ත්‍රීවරුන් 118 දෙනකුගේ ඒකමතික කැමැත්ත පළ කළ ඒකාබද්ධ යෝජනාවක් කථානායකවරයා වෙත භාර දුන්හ."ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන බව ප්‍රකාශ කරමින් සහ ඉන් පසුව ඊට අදාළව කරන ලද සියලු පත් කිරීම් සහ ක්‍රියාවන් අප පිළි නොගන්නා බවත් මෙයින් ප්‍රකාශ කර සිටිමු" යනුවෙන් එහි සඳහන් විය.

නොවැම්බර් මස 14 වැනිදා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව ම ජනාධිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකින් කියැවිණි. නොවැම්බර් 05, නව පාර්ශ්වයට හිමි බහුතර බලය පෙන්වීමට හැකි වන තුරු පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදු වන බව දක්වමින් කථානායක කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කළේය.

"අතිගරු ජනාධිපතිතුමන් වාචිකව ලබාදුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේ නම් නොවැම්බර් 7 වැනිදා වන විට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කථානායකවරයා වශයෙන් මාගේ යුතුකම වේ. ඒ සඳහා මා හට සහාය වීම ජනාධිපතිතුමාගේද යුතුකමක් බව හඟිමි" යනුවෙන් එම නිවේදනයේ සඳහන් විය. ඊට ප්‍රතිචාර දක්වමින් රටේ අග්‍රාමාත්‍යවරයා කවුරුන්ද යන්න තීරණය කිරීමේ අයිතියක් කථානායකවරයාට නොමැති බවත්, කථානායක නිකුත් කළ නිවේදනය ව්‍යවස්ථාවට පටහැණි සහ නීති විරෝධී බවත් පත් කළ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

කෙසේ වුවද කථානායකවරයාගේ නිවේදනයෙන් සුළු මොහොතකට පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සභානායකවරයා ලෙස පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේදී වැඩ ආරම්භ කළේය.

එදින සවස්වරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල ජනාධිපතිවරයා සහ පත් කළ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජන රැලියක් පැවති අතර "113 ගැන බය වෙන්න එපා, පාර්ලිමේන්තුවේ 113 හදලා ඉවරයි" යනුවෙන් එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කුමන ආකාරයේ තර්ජන පැමිණියද තමන් "ඉදිරියට තැබූ පය ආපස්සට" නොගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. නව රජයේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර "ශ්‍රී ලංකා දේශපාලනය තුළ මතුව ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය සැලකිල්ලට ගෙන" තමන් සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර ජනමාධ්‍යට හෙළි කළ කරුණු පදනම් කරගෙන මන්ත්‍රීවරුන්ට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් සහ වංචා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ක්‍රියාවලිය

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීමේ වැදගත්කම සාකච්ඡා කරනු වස් කථානායක කරු ජයසූරිය හමු වූ බව ශ්‍රී ලංකාවට පත්වූ නව ඇෙමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් නොවැම්බර් 06 ප්‍රකාශ කළාය.

ඒ අතර නොවැම්බර් 14 වැනි දිනට පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන ඇති තීන්දුව පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරියගේ අවධානය යොමුව ඇති බව ඔවුන් නිකුත් කරන ලද නිවේදනයක දැක්විණි.

චමල් රාජපක්ෂ, එස්. බී. දිසානායක අමාත්‍යවරුන් ලෙසද පවිත්‍රා වන්නිආරච්චි රාජ්‍ය අමාත්‍යවරියක ලෙසද නොවැම්බර් 07 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්හ.

14 වැනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමට පෙර සියලු අමාත්‍ය ධුර සඳහා මන්ත්‍රීවරුන් පත් කරන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ එදින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නාවර්ට් ට්විටර් පණිවුඩයක් පළ කරමින්, ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති දේශපාලන අර්බුදය සමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව රැස් කළ යුතු බව පවසා තිබේ.

නොවැම්බර් 08, තවත් කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන් අතර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, එස්. එම්. චන්ද්‍රසේන, සාලින්ද දිසානායක, සී. බී. රත්නායක සහ අනුර ප්‍රියදර්ශන යාපා රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්හ.

තේරීම්කාරක සභාවේ බහුතර බලය

ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය එස්. බී. දිසානායක පත් කළේය.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ සිටින ඔස්ට්‍රේලියානු තානාපති බ්‍රයිස් හචිසන් කියා සිටියේ, "පාර්ලිමේන්තුව යළි කැඳවූ පසු විශ්වසනීයත්වය තහවුරු කරගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳ ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය යොමුව ඇති" බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් දිනට පාර්ලිමේන්තුව කැඳවන්නේ දැයි යන්න පිළිබඳව තමන් සැලකිල්ලෙන් පසුවන බව නොවැම්බර් 09, යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපතිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පැවසූහ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ මීට පෙර රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දුන් සී. බී. රත්නායක කැබිනට් අමාත්‍යවරු ලෙසින් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. ජනාධිපතිවරයා එදිනම රාත්‍රියේ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයකට අස්සන් තැබුවේය. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය 2019 ජනවාරි 5 වැනි දින පැවැත්වීමට නියමිත විය. ජනාධිපතිවරයාගේ ක්‍රියාවලියට, ඇමෙරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව සහ නෝර්වේ ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීය.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහ කිරීමෙන් නොනැවතී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තවදුරටත් උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව තමන් අධිකරණය හමුවට යන බව එක්සත් ජාතික පක්ෂය පැවසූ අතර ජනතා විමුක්ති පෙරමුණද අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නොවැම්බර් 10, ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනවාරි 5 වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන ඇති තීරණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අවධානය යොමු කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කළ නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා නොවැම්බර් 12 ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් පමණ ඉදිරිපත් වූ බව වාර්තා විය.

ඒ අතර ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ද විය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු තවත් පාර්ශ්වද පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් සලකා බැලීම, අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ආරම්භ විය.

නොවැම්බර් 13, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ සලකා බැලීම දෙවැනි දිනටත් පැවැත්විණි.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 33 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බව නීතිපතිවරයා සඳහන් කළේය.

දිනය අවසානයේදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කළේය.

නොවැම්බර් 04 වැනිදා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව, නොවැම්බර් 14, උදෑසන 10.00ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරිණි.

එහිදී පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් අතර ධුරයෙන් නෙරපන ලද අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ විපක්ෂයේ අසුන් ගත්තේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවා 'පත් කළ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්' ඉදිරිපත් කර මන්ත්‍රීවරුන්ගේ 'හඬ අනුව' සම්මත කළ බව කථානායකවරයා ප්‍රකාශ කළ අතර, ඒ බව කථානායකවරයා රාත්‍රියේදීම ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමට කටයුතු කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් කථානායකගේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයාද කථානායකට එම රාත්‍රියේම ලිපියක් යොමු කළේය.

පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට මන්ත්‍රීවරු 122 දෙනකු අස්සන් කළ ලිපියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පියසේන ගමගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි ද අත්සන් තබා තිබිණි.

මීට පෙර රාජපක්ෂ පාර්ශ්වයට සහාය පළ කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් නැවත රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට සහාය දෙන බව ප්‍රකාශ කළේය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන ඔක්තෝබර් 29 වැනි දින පත් කළ අමාත්‍ය වසන්ත සේනානායක එදින පාර්ලිමේන්තු සැසියෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණට සහාය දෙන බව ප්‍රකාශ කළේය.

නොවැම්බර් 16, පාර්ලිමේන්තුව තුළ දැඩි කලබලකාරී වාතාවරණයක් ඇතිවූ අතර, දැඩි පොලිස් ආරක්ෂාව සහිතව පාර්ලිමේන්තුවේ තාවකාලික අසුනක සිට කථානායකවරයා දෙවන විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම කර 'හඬ අනුව' ප්‍රතිඵලය ප්‍රකාශ කර සිටියේය. සභාගැබට පැමිණි පොලිස් නිලධාරීන්ට සහ පසුව මන්ත්‍රීවරුන් පිරිසකටද පත් කළ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ බව වාර්තා විය.

එදින පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් ආකාරය පිළිගත නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එදින සවස දැනුම් දී තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

නොවැම්බර් 19 , පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ, වත්මන් රජය ලෙස ක්‍රියාකරන සිය පාර්ශ්වයට තේරීම් කාරක සභාවේ බහුතරය හිමි විය යුතු බවය.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊට එරෙහිව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති පාර්ශ්වයකට තේරීම් කාරක සභාවේ බහුතර බලය ලබා දීම අයුක්තිසහගත බවය. ඒ අනුව පක්ෂවල මන්ත්‍රී සංයුතිය අනුව තේරීම් කාරක සභාව සකස් විය යුතු බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරනු ලැබ තිබියදී, විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යළි කැඳවීමට කථානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

එක්සත් ජාතික පෙරමුණට සහාය දෙන බව නොවැම්බර් 14 ප්‍රකාශ කළ වසන්ත සේනානායක නොවැම්බර් 21, කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී විය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සංයුතිය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත්, එය සිකුරාදා (23) පාර්ලිමේන්තුව රැස්වීමට පෙර ගනු ඇතැයිද යන්නත් කථානායක මාධ්‍ය අංශය නොවැම්බර් 22 පැවසීය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මන්ත්‍රී සංයුතිය නොවැම්බර් 23 කථානායක කරු ජයසූරිය විසින් සභාවට දැනුම් දෙන ලදී. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය - 05, එක්සත් ජාතික පෙරමුණ - 05, දෙමළ ජාතික සන්ධානය - 01 සහ ජනතා විමුක්ති පෙරමුණ - 01 වශයෙන් මන්ත්‍රීවරු තේරීම් කාරක සභාවට පත් කර තිබිණි.

තම ධුර කාලය තුළ පළමු වරට නොවැම්බර් 25 විදෙස් මාධ්‍ය ආයතන සඳහා සේවය කරන මාධ්‍යවේදීන් හමුවූ ජනාධිපති සිරිසේන, 2015 ජනාධිපතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් වූ දූෂිතයන්ට දඬුවම් නොදීම පිළිබඳව වගකිව යුත්තේ "හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක" බව පැවසීය.

නිසි ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නේ නම් තමන්ට එය පිළිගැනීමට සිදු වන බව පැවසූ ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා හැර වෙනත් කෙනකු අගමැති ධුරය සඳහා යෝජනා කළ යුතු බවද ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති හෙයින් ඔහුගේ පත්වීම බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනකු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමට නොවැම්බර් 26 අභියාචනාධිකරණය තීරණය කළේය.

ඒ අතර අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීම සහ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් විය.

ඒ අනුව මතු වූ දේශපාලන අර්බුදය හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, අතුරු නියෝගයෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි රැස් කිරීම, මහින්ද රාජපක්ෂ දිගටම අගමැති ධුරය දැරීමට එරෙහිව මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීමට එරෙහිව වශයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. නොවැම්බර් 5 වැනිදා මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීමට තැත් කිරීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට අදාළ සවිස්තර වාර්තාවක් අල්ලස් හෝ වංචා, දූෂණ විමර්ශන කොමිසමට භාර දුන් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය නොවැම්බර් 28, පැවසීය.

මහින්දට බහුතරය නැති බව පිළිගනී

ඔක්තෝබර් 26 වැනි දිනට පෙර පැවති 'එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව' යළි පිහිටුවීම සඳහා සහාය පළ කරන බව නොවැම්බර් 29, සිය මන්ත්‍රීවරුන් 14 දෙනකුගේ අත්සන් සහිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කරමින් දෙමළ ජාතික සන්ධානය පැවසීය.

අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවද මෙදින පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 123කින් සම්මත විය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් පරිදි මෙදින සවස කථානායකවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවිය.

මහින්ද රාජපක්ෂට අගමැති ධුරයේ කටයුතු කිරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බැවින් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය පත්කරනු ලැබීම බල රහිත කිරීමේ 'කෝ වොරෝන්ටෝ' ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම නොවැම්බර් 30 අභියාචනාධිකරණයේදී විභාගයට ගැනිණි.

ජනාධිපතිවරයා සවස් වරුවේ දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවිය.

එහිදී "තමන් පත් කළ අගමැති මහින්ද රාජපක්ෂට බහුතර බලයක් නොමැති බව පිළිගන්නා බව" ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ බහුතරය ඇති එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුව ලබාදීමට ජනාධිපතිවරයාගේ කැමැත්ත පළ වුණත් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් නොකරන බව ඔහු ප්‍රකාශ කළ බව සාකච්ඡාවට එක් වූ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෙක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

පත් කරන ලද අගමැති රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 49 දෙනකු එම තනතුරු දැරීම වළක්වාලමින් දෙසැම්බර් 03 අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම අතුරු තහනම් නියෝගයට එරෙහිව අඟහරුවාදා ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බවද මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර රාත්‍රියේ පැවැති සාකච්ඡාව මුළුමනින්ම අසාර්ථක වූ බව වාර්තා විණි. එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහට නැවත අගමැති ධුරය ලබා දීම ජනාධිපතිවරයා එහිදී ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඒ වෙනුවට එක්සත් ජාතික පෙරමුණට වෙනත් නමක් යෝජනා කරන ලෙස ඔහු නැවත වරක් ඉල්ලා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මස 7 වැනි සිකුරාදා දක්වා අත්හිටුවමින් වාරණයක් දෙසැම්බර් 04, නිකුත් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනිණි. මේ අතර රටේ ජනාධිපතිවරයා පමණක් ක්‍රියාත්මක වන තත්ත්වය හමුවේ රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයා සහ අමාත්‍යාංංශ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක් මෙදින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව අමතමින්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කළත් නැවත රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී දෙසැම්බර් 05 දෙවැනි දිනටත් විභාගයට ගැනිණි.

මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව සම්මත වූ විශ්වාසභංග යෝජනාවලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් මෙදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වූ යෝජනාව, ඉදිරිපත් නොකර සිටීමට තමන් තීරණය කළ බව එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු නියෝගය අදාළ විභාගයේ තීන්දුව ලබා දෙන තුරු දීර්ඝ කිරීමට දෙසැම්බර් 06 ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

දෙසැම්බර් 07 පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධ පෙත්සම් විභාගය අවසන් කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීය.

දෙසැම්බර් 09, අධිකරණ තීන්දුව කුමක් වුවත් තමා එය ගෞරවයෙන් භාරගන්නා අතර ම එම තීන්දුව සමඟ ගත යුතු ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බව, ජනාධිපතිවරයා පොලොන්නරුවේදී කියා සිටියේය.

ඔක්තෝබර් 26 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීම සහ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත් කිරීම නීති විරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන ජනවාරි මස 7 වැනි දා සිදු කරන බව දෙසැම්බර් 10 ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවා විශ්වාසභංග අනුමත කිරීමෙමෙන් කතානායක කරු ජයසූරිය අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් තවත් පෙත්සමක් නීතිඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නඩු කටයුත්තක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය.

දෙසැම්බර් 11, රජයේ ආයතන සමග ව්‍යාපාරික කටයුතුවල යෙදීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරිමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ශර්මිලා ගෝනවල අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළාය.

දෙසැම්බර් 12, අගමැති ධුරයට පත් කරන ලද මහින්ද රාජපක්ෂගේ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ගේ පත්වීම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ජනවාරි මස 16 ,17 සහ 18 යන දිනවල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීම සඳහා විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාව බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී යථා පරිදි සම්මත කරන ලද බව කතානායක කරු ජයසුරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිඛිතව දන්වා යැවීය.

නොවැම්බර් 09 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව දෙසැම්බර් 13ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ දෙසැම්බර් 16, පස් වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ඔහු දිවුරුම් දුන් අතර, මෙම දිවුරුම් දීමේ අවස්ථාව වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි නොවූ අතර එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙක් පමණක් සහභාගි වූහ.

මේ අතර ඉකුත් පාර්ලිමේන්තු සභා වාරයේදී සන්ධානයේ මන්ත්‍රීවරු තිදෙනෙක් එක්සත් ජාතික පෙරමුණට එක් වූහ.

එලෙස පැතිමාරු කරන්නන්ට අමාත්‍ය දූර නොදෙන බව ජනාධිපතිවරයා පැවසීය. දෙසැම්බර් 20 එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් මන්ඩලය දිවුරුම් දුන්හ.

පුරා දින 51ක් තිස්සේ මෙරට තිබූ අස්ථාවර තත්ත්වය දැන් කිසියම් ස්ථාවර 'තැනකට පත්ව තිබේ. එහෙත් වඩාත් අභියෝගාත්මක කාල සමයක් ඉදිරියේ වෙයි. එහි යහගුණ තීන්දු වන්නේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය මතය.

මූලාශ්‍ර බී.බී.සී

Comments