අප නිර්මාණකරුවන් බවට පත් වුණේ රුසියානු සහ චීන සාහිත්‍යය නිසා | සිළුමිණ

අප නිර්මාණකරුවන් බවට පත් වුණේ රුසියානු සහ චීන සාහිත්‍යය නිසා

දීර්ඝ කාලයක සිට සාහිත්‍යකරණයේ නියැළෙන කමල් පෙරේරා නමැති සාහිත්‍ය ‍ෙව්දියා, නවකතාකරුවෙකි, කවියෙකි, කෙටිකතාකරුවෙකි, යොවුන් සාහිත්‍ය රචකයෙකි. මේ සා විසල් සාහිත්‍යය ඉම් ස්පර්ශ කළ ඔහු පසුගිය දා මේ වසරේ සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් කෘති ත්‍රිත්වයක් එළිදැක්වූයේ ය.

ඔහුගේ එ් සාහිත්‍යය කෘති ත්‍රිත්ව ද මාන තුනක් ස්පර්ශ කරයි. එනම්, චීන ලේඛක ලූශූන්ගේ ජීවිත කතාව ‘ලූ ශූන් - චින විප්ලවයේ පන්හිඳ’’සහ ඔහුගේ නවතම කෙටිකතා සංග්‍රහය වන ‘කැරකෙන හංසරාජයා’’ සහ ඔහු විසින් රචිත, ආර්. එච්. ස්ටිවන් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද කෙටිකතා සංග්‍රහය වන Taking to Flight ’ නමැති කෘතිය යි'.

මතු දැක්වෙන්නේ ඔහුගේ සාහිත්‍ය කර්තව්‍ය අලළා කමල් පෙරේරා සමඟ කළ සාකච්ඡාවකි.

ඔබ ලු ශූන් නමැති සාහිත්‍යකරුවා හඳුනා ගන්නේ කෙසේ ද?

රුසියානු සහ චීන සාහිත්‍යයට මම වගේම මගේ පරපුරේ බොහෝ දෙනා ඇලුම් කළ බව රහසක් නොවේ. ගොගෝල්ගෙ හිම කබායෙන් රුසියානු කෙටිකතාකරුවන් එළියට පැමිණියා’යන කියමන අපිට අදාළ ව වෙනස් කරගත්තොත් කියන්න පුළුවන් වෙන්නේ අපි රුසියානු සහ චීන සාහිත්‍යය ඔස්සේ නිර්මාණකරුවන් බවට පත් වූ පිරිසක් බවයි.

මීට දශකයකට දෙකකට කලින් සෝවියට් ලිට්රිච සහ චයිනිස් ලිට්රිච කියා සාහිත්‍යය සඟරා දෙකක් ඉංග්‍රීසියෙන් මුද්‍රිත ව රුසියාවේ සහ චීනයේ සිට ලෝකය පුරා වෙසෙන සාහිත්‍යකාමීන්ට තැපැල් මගින් ගෙන්වාගැනීමට හැකියාව තිබණා. මමත් එකල ඒ සඟරා දෙකේ ම දායකයෙක් වී සිටියා.

අන්න ඒ සඟරාවලින් තමා මම ප්‍රථම වරට ලු ශූන් වගේම බා ජින් නමැති චීන ලේඛකයන් දෙපළ හඳුනා ගන්නේ.

ලු ශුන්ගේ "පිස්සකුගේ දිනපොත” නමැති කෙටිකතාව විචාරකයන්ගේ දැඩි අවධානයට යොමු වූ නිර්මාණයක්. එය එදා චීන සමාජයේ පැවති යථා තත්ත්වය මනා ලෙස පිළිබිඹු කරන කෙටිකතාවක් වශයෙන් හැඳින්විය හැකියි. මේ පසුබිමේ මම ලු ශුන් දකින්නේ අද අපේ සමාජයටත් ගැළපෙන ආකාරයේ කතා ලියූ ලේඛකයෙක් ලෙස යි. ඒ වගේම ලේඛකයාගේ කාර්යභාරය භාවිතයෙන් ම පෙන්වා දීපු සටන්කාමි මානව ප්‍රේමියෙක් විදියටත් ඔහු හඳුන්වන්න පුළුවන්.

 

චීන සහ සෝවියට් සාහිත්‍යය අතර පවත්නා වෙනස ඔබ දකින්නේ කෙසේ ද?

සෝවියට් සාහිත්‍යය යනුවෙන් හඳුන්වන්නේ රුසියන් විප්ලවය පසුබිමේ ලියවුණු සාහිත්‍යය යි. විශේෂයෙන් ම විප්ලවයේ ආස්වාදය යටතේ ලියවුණු මේ සාහිත්‍ය කෘති ප්‍රචාරකවාදී ලක්ෂණවලින් සමන්විත බව රහසක් නෙවෙයි.

ලු ශුන් ආභාසය ලබන්නෙත් පුරෝගාමි රුසියන් ලේඛකයන්ගෙන්. ලු ශුන් කිහිප තැනකම සඳහන් කර තිබෙනවා ජනප්‍රියම ලේඛකයා ගොගෝල් බව. මම විශ්වාස කරනවා ලු ශුන් සහ බා ජින් යන චීන ලේඛකයන්ගේ නිර්මාණ වඩාත් සමීප වෙන්නෙ රුසියානු සාහිත්‍යයට බව.

මේ දෙරටේ සාහිත්‍ය ධාරා ද්විත්වය අපිට කියා දෙන පාඩම් මොනවාද?

රුසියානු සහ චීන සාහිත්‍ය නිර්මාණ හැදෑරීම මගින් කිසියම් සමාජයක ඉදිරි ගමන පිණිස ලේඛන කලාවට කළ හැකි මෙහෙවර වටහාගත හැකියි.

විශේෂයෙන් ම ලෙනින්, ටොල්ස්ටෝයිගේ සාහිත්‍ය කෘති හැඳින්වූයේ විප්ලවයේ කැඩපත විදියට. පසුගාමි රුසියානු සමාජයේ ප්‍රතිවිරෝධ මනාලෙස ඒ කෘති මගින් ප්‍රකාශ වන බව ලෙනින් පවසා තිබෙනවා. ලු ශුන්ගෙ සාහිත්‍ය මෙහෙවර මා ඕ සේතුන්ගේ මහත් ඇගයුමට ලක් වී තිබීමත් සුවිශේෂයි. සියලු ම චින ලේඛකයන් ලු ශුන්ගෙන් ඉගෙනගත යුතු බව මා ඕ පවසා තිබෙනවා.

ලෙනින් සහ මාඕ යන නායකයන් දෙදෙනාම පෙන්වා දී තිබෙන ආකාරයට ලේඛකයන්ට සහ කලාකරුවන්ට තමන් ජීවත් වන සමාජ යථාර්ථයෙන් පලා යෑමට නොහැකි යි. යුග ධර්මතාවලට පිටු පා ජීවත්වීමට ලේඛකයාට නොහැකි බවමෙයින් පැහැදිලි වනවා. අපට ඒ දෙරටේ සාහිත්‍යයෙන් උගත හැකි පාඩම් මේවා බව මම විශ්වාස කරනවා.

දිගුකලක සිට කෙටිකතාකලාවේ නියැළෙන්නකු ලෙස ඔබ කෙටිකතා කලාවේ නව ප්‍රවණතා පිළිබඳ දරන අදහස කුමක්ද ?

කෙටිකතාවේ වේවා වෙනත් සාහිත්‍යාංගයක හෝ වේවා නව ප්‍රවණතා පහළවීම නිරන්තරයෙන්ම සිදුවෙනවා කියා මම විශ්වාස කරන්නෙ නැහැ.

ලෝක කෙටිකතා කලාව සලකා බැලුවත් අද වන විටත් අපට හඳුනා ගැනීමට ලැබෙන්නේ අතක ඇඟිලි ගණනටත් අඩු ප්‍රවණතා කීපයක්.

කෙටිකතා කලාවේ පියා ලෙස සැලකිය හැකි නැතෑනියල් හෝතොංගේ සිට එඩ්ගා ඇලන් පෝ, ඕ හෙන්රි, ගී ද මෝපසාං, චෙකෝෆ්, කෆ්කා සහ වර්තමානයේ නමක් දිනාගෙන සිටින දෙස් විදෙස් කෙටිකතාකරුවන් දක්වා ප්‍රවණතාත්මක කතාකරුවන්ගෙ කතා ගැන සැලකිලිමත් වුවහොත් අපට දකින්න ලැබෙන්නේ කතා කලාවේ අඛණ්ඩ විකාශනයක් මිස ඛණ්ඩනය වූ කතා කලාවක් නොවේ.

ඒ අනුව අද අපි අධිතාත්වික විකාරරූපී එසේත් නැතිනම් ඉන්ද්‍රජාලික ආදි විවිධ නම්වලින් හඳුන්වන සාහිත්‍ය ධාරා ශිල්පෝපක්‍රමවල විකාශනයක් මිස ප්‍රවණතා ලෙස හැඳින්වීම කෙතරම් දුරට සුදුසු ද කියන ප්‍රශ්නය මට තිබෙනවා.

මෙරට සම්මාන නිර්දේශ කමිටු නව ප්‍රවණතා නියෝජනය කරන තරුණ කෙටිකතා කරුවන් කෙරෙහි නිසි අවධානයක් යොමු නොකරන බවට චෝදනා නැඟෙනවා නේද?

ලංකාවේ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවවල ගැටලුව වෙන්නේ නිසි ඇගයිම් ක්‍රමවේදයක් සහ විනිවිදභාවයක් නොමැතිකමයි. සාහිත්‍යය කලාව පිළිබඳ ගැඔුරු දැනුමක් අවබෝධයක් සහිත විචාරකයන්ගේ අඩුවත් බරපතළ ප්‍රශ්නයක්.

සම්මාන ප්‍රදානය කරන ආයතනවල තනි ප්‍රශ්නයක් වශයෙන් නොව පොදුවේ වර්තමාන ලාංකික සාහිත්‍යකරුවන් මුහුණ දෙන අභියෝගයක් විදියට අප මෙය සැලකිය යුතුයි.

ලේඛකයන් ප්‍රකාශකයන් සහ සංස්කෘතික දෙපාර්තමේන්තුව යන සියලු කණ්ඩායම් එක් වී මීට සාමුහික විසඳුමක් නොසෙව්වොත් ඉදිරි කාලය තුළ මේ ප්‍රශ්නය තවත් බරපතළ වීම අනිවාර්යයි.

කවර හේතූන් නිසා හෝ මේ වසරේ ඇගයීමට ලක් නොවූ හෝ කැපී ගිය තරුණ මෙන්ම ජ්‍යෙෂ්ඨ ලේඛකයන්ගේ ගුණාත්මක ලක්ෂණ සහිත කෙටිකතා පොත් කිහිපයක් ම දකින්න තිබෙනවා. මගේ අදහස නම් මෙය ක්‍රමවේදයේ ප්‍රශ්නයක් මිස තරුණ ලේඛකයා විෂයෙහි පමණක් බලපාන නොසලකා හැරීමක් නොවේ.

වර්තමානයේ යොවුන් සාහිත්‍යය ක්ෂේත්‍රයේ දක්නට පවතින තත්ත්වය කෙබඳු ද? ඔබ ඒ පිළිබඳව තෘප්තිමත් ද?

නවකතාව, කෙටිකතාව සහ කවිය සහ සෙසු සාහිත්‍යාංගවලට සාපේක්ෂව යොවුන් ප්‍රබන්ධ කියන සාහිත්‍යාංගය කිසියම් පසුබෑමක පවතිනවා. මේකට බලපාන හේතු කීපයක් තිබෙනවා.

පළමු කරුණ ප්‍රමුඛ පෙළේ ලේඛකයන් යොවුන් සාහිත්‍යාංගය කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වීම. තවත් සමහරු හිතන්නෙ යොවුන් කෘතියක් ලිවීම තමන්ට මදිපුංචිකමක් බවයි. ඒ අය හිතනවා ළමා සහ යොවුන් සාහිත්‍ය නිර්මාණ රචනා කිරීම ජ්‍යෙෂ්ඨ ලේඛකයන්ට වටින්නෙ නැහැ, එය නවකයන්ට අයිති වැඩක් කියලා. ඒ අදහස සපුරා ම වැරැදියි. ලෝකයේ විශිෂ්ට ම ලේඛකයන් 10දෙනා අතරට ගැනෙන ටොල්ස්ටෝයි පවා ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් ලියූ බව මෙතනදි අපි අමතක කරන්නවා. එමෙන්ම, මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, කේ. ජයතිලක යනාදි පතාක යෝධයන් පවා මේ සාහිත්‍යාංගය ඔසවා තැබීමට විශාල ප්‍රයත්නයක් දරා තිබෙනවා. අපි ඒවා අමතක නොකළ යුතුයි.

සිංහල දෙමළ ද්විභාෂාවේ සාහිත්‍යය නිර්මාණ එකිනෙකා අතර හුවමාරු නොවුණ බවක් දක්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩි වධානයක් යොමු කරන නිර්මාණකරුවෙකු විදියට ඔබ මේ පිළිබඳව දරන අදහස කුමක් ද?

2009 වසරේ යුද්ධය නිමවූ අලුත ම මම තවත් සිංහල, දෙමළ, සහ මුස්ලිම් ලේඛක ලේඛිකාවන් කණ්ඩායමක් සමඟ එක් වී සිංහල දෙමළ ලේඛක එකමුතුව නමින් සංවිධානයක් ගොඩනැඟුවා. මෙහිදී අපට රජයෙන් හෝ වෙනත් කිසිම රාජ්‍ය නොවන සංවිධානයකින් උදව් නොලැබුණත් සිරිසුමන ගොඩගේ මහතා ලොකු සහයෝගයක් ලබා දුන්නා.

අපි එ් එකමුතුව මගින් වාර්ගික සුහදත්වය වෙනුවෙන් දායක වූ ලේඛකයන්ට උපහාර පිදීමේ වැඩ සටහනක් ඇරඹුවා. ඒ වගේම පොත් පරිවර්තන ව්‍යෘපෘතියක් ඇරඹුවා‍. ගොඩගේ ආයතනය අදටත් මේ වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා.

එහෙත් මෙවැනි කුඩා පරිමාණයේ සාහිත්‍ය ව්‍යාපෘති මගින් වාර්ගික සංහිඳියාව වෙනුවෙන් කළ හැකි වැඩ කොටස අල්පයි. උදේ හවස වාර්ගික සුහදත්වය ගැන දේශනා කරන දේශපාලන නායකයන් මේ ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි.

සාහිත්‍යය ප්‍රමුඛ සමස්ත කලාව හරහාම මිනිස් මනසට ඇමතිය හැකි යි යන්න සමස්ත ලොවම පිළිගන්න මතයක්. මේ කරුණ සම්බන්ධයෙන් ජාතියක් විදියට අප සිටින්නේ කුමන ඉසව්වකද?

පහත් රුචිකත්වය හෝ මුළාව ජනතාවට කිසිදු සෙතක් සලසන්නේ නැහැ. ජනතාවගේ අපේක්ෂා තේරුම් අරන් සිටින ලේඛකයන්, බහුතරයක් ජනතාව කියැවීමට පොලඹවන සහ ජනතාවට පහසුවෙන් වටහාගත හැකි සාහිත්‍ය කෘති නිර්මාණය කිරීමට හැකි තරම් උත්සාහ කරන්න ඕන. යල් පිනූ වැදගැම්මකට නැති දේ මැඩලිය හැක්කේ එවිටයි.

Comments