අධික විදුලි බිලක් එනවාද? එහෙනම් බලශක්ති විගණනයක් කරගන්න | සිළුමිණ

අධික විදුලි බිලක් එනවාද? එහෙනම් බලශක්ති විගණනයක් කරගන්න

විදුලි පරිභෝජනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරන නිවෙස් සඳහා බලශක්ති විගණනයක් කිරීම යෝග්‍ය බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තාක්ෂණ නිලධාරී ඩබ්ලිව්. පී. එස්. සංජීව මහතා පවසයි. ඒ අදහස පාඨක ඔබට වඩාත් පැහැදිලි කර ‍දීමේ අරමුණින් යුක්තව සිදු කෙරුණු සංවාදයකි ‍මේ. 

ප්‍රශ්නය: නිවසේ විදුලිබල වියදම අඩුකර ගැනීම හරිම වැදගත්. දැල්වෙන විදුලි බුබුළු ප්‍රමාණය අඩු කළත් විදුලි බිල අඩුවෙන්නේ නැති අවස්ථා තියෙනවා?

පිළිතුර: ඔව්, එහෙම අවස්ථා තියෙනවා.

ප්‍රශ්නය: එවැනි තත්ත්වයක් මඟහැර ගන්නේ කොහොමද?

පිළිතුර: විදුලිබල වියදම අඩු කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි; කාර්යක්ෂම විදුලි උපකරණ සහ විදුලි බුබුළු භාවිතය. තමන්ට හැකි පමණ එවැනි උපකරණ භාවිත කර බලන්න පුළුවන්. එමඟිනුත් විදුලි බිල සැලකිය යුතු තරමකින් අඩු කරගන්න බැරි නම් ඒ ගැන විශේෂයෙන්ම සොයලා බලන්න වෙනවා.

ප්‍රශ්නය: කාර්යක්ෂම විදුලි බුබුළු සහ විදුලි උපකරණ භාවිතයට ගනිද්දීත් විදුලි බිල අඩු නොවෙනවා නම් මොකක්ද කරන්න ඕනෑ. ?

පිළිතුර: විදුලිය කාන්දුවීම් ආදිය නිසා එවැනි තත්ත්ව මතුවෙනවා. අපේ නිවෙස්වල පරණ විදුලි උපකරණ භාවිතයට ගැනෙන අවස්ථාත් සමහරවිට තිබෙන්න පුළුවන්. පරණ මාදිලිවල ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර වගේම නාන කාමරවලට සම්බන්ධ වතුර රත් කරන ගීසර ඒ අතර ප්‍රධානයි. සෝලාර් ගීසරයකින් එකවර වැඩිපුර උණු වතුර ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගනිද්දී වතුර රත්වීමට වැඩි කාලයක් ගතවෙනවා. එවැනි අවස්ථාවකදී මීටරය හරහා එන විදුලියෙන් වතුර රත් වෙනවා. සෝලාර් හීටරයක් සවිකර තිබුණත් එවැනි අවස්ථාවකදී විදුලි බිල වැඩිවීම වළක්වන්න බැහැ.

ප්‍රශ්නය: එවැනි අවස්ථාවලදී නිවසේ විදුලි බිල අඩු කරගන්න කරන්න පුළුවන් කුමක්ද?

පිළිතුර: හොඳම දෙය බලශක්ති විගණනයක් කිරීම.

ප්‍රශ්නය: අපි සාමාන්‍යයෙන් බලශක්ති විගණනයක් ගැන කතා කරන්නේ ආයතන සම්බන්ධයෙන්. නිවෙසක් සම්බන්ධයෙන් වුවත් එවැනි විගණනයක් කරන්න පුළුවන්ද?

පිළිතුර: පුළුවන්. අවශ්‍ය වන්නේ විගණනයෙන් පසු අනාවරණය වන කාරණා අනුව පිළියම් යෙදීම. නිවෙසක විදුලිබල භාවිතය අඩු කරන්න ඒ විධියට පිළියම් යොදන්නේ කලාතුරකින්. එය වැරදි ක්‍රමයක්. විදුලි බිල අඩුකර ගන්න නම් විගණනයේදී කෙරෙන නිර්දේශ අනුව නිවසේ වෙනස්කම් සිදු කළයුතුමයි.

ප්‍රශ්නය: එවැනි වෙනස්කමක් කරන්න ලොකු වියදමක් වැය වන අවස්ථා තිබෙන්න පුළුවන්. ඔබ එය පැහැදිලි කරන්නේ කොහොමද?

පිළිතුර: ඔව්, සමහර නිවෙස්වල වායු සමීකරණ යන්ත්‍ර මාරු කරන්න කියලා නිර්දේශ කරෙන අවස්ථා තියෙනවා. නවීන තාක්ෂණය සහිත වායු සමීකරණ යන්ත්‍රයක් සවිකර ගන්න විශාල වියදමක් යනවා. ඒක ඇත්ත. නමුත් එවැන්නක් සවි කිරීමෙන් දීර්ඝ කාලයක් පුරා විදුලි බිල අඩු මට්ටමක තබා ගත හැකි වෙනවා. එය දිගු කාලීනව ලැබිය හැකි වාසියක්.

ප්‍රශ්නය: ඒ වුණත් සෑම නිවෙසක් සඳහාම බලශක්ති විගණනයක් ගැළපෙන්නේ නැහැ නේද?

පිළිතුර: ඔව්, රුපියල් දාහක නැත්නම් දෙදාහක වගේ මුදලක් මාසික විදුලි බිල සඳහා වැය වන නිවසකට මෙවැනි විගණනයක් අවශ්‍ය වන්නේ නැහැ. එවැනි නිවසක විදුලිය බිල අඩු කරගන්න පුළුවන් වන්නේ කාර්යක්ෂම විදුලි උපකරණ සහ විදුලි බුබුළු ආදිය භාවිතයෙන්. නමුත් රුපියල් විසි දහසකට එහා මුදලක් මාසික විදුලි බිලට වැය කෙරෙන නිවෙස් සඳහා බලශක්ති විගණනයක් ගැළපෙනවා.

ප්‍රශ්නය: තමන්ගේ නිවෙස සඳහා බලශක්ති විගණනයක් කරගන්න අවශ්‍ය කෙනෙකුට එම සේවය ලබාගත හැකි වන්නේ කවර ආයතන හරහාද?

පිළිතුර: සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් එවැනි සේවාවන් සැපයෙනවා. අප ආයතනයේ ලිපිනය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ 7. අපට අමතනවා නම් 0112 67 74 45 යන දුරකථන අංකය භාවිත කර ඉංජිනේරු විජිත ඒකනායක මහතා හෝ තාක්ෂණ නිලධාරී ඩබ්ලිව්.පී.එස්. සංජීව හෝ යන අයගෙන් තොරතුරු ලබා ගන්න හැකිය. 

Comments