ස්පාඤ්ඤයේ සැමරුම් උත්සව | සිළුමිණ

ස්පාඤ්ඤයේ සැමරුම් උත්සව

ලෝකයේ තිබෙනා විවිධාකාර වූ උත්සව පිළිබඳව විටින් විට මෙම පිටුවෙන් ඔබ වෙත ගෙන එනවා. එක් එක් රටවල් හා ප්‍රදේශ වලට ආවේණික වූ එම උත්සව හා සැමරුම් ගැන තොරතුරු ගෙන එන්නේ ඒවායේ තිබෙන විවිධත්වය නිසායි. එවැනි වූ උත්සව කිහිපයක් ගැන අද ඔබ වෙත ගෙන ඒමට සිතුවේ ‘රසඳුන’ පත්‍රයේ 21 වැනි සංවත්සරය මෙම සතියට යේදී තිබෙන නිසායි. ලෝකයේම ප්‍රසිද්ධ තක්කාලි වලින් ගසාගන්නා උත්සවය (ලා ටොමැටිනා උත්සවය) තිබෙන ස්පාඤ්ඤයේ පවත්වනා තවත් තරමක් වෙනස් වූ උත්සව සැමරීම් කිහිපයක් තමයි මේ.

Baby Jumping Festival හෙවත් කුඩා ළමයින් මතින් පැන යන මෙම උත්සවය පවත්වන්නේ ස්පාඤ්ඤයේ කැස්ට්‍රිලෝ ඩි මර්සියා ග්‍රාමයේ ගම්වාසීන් විසිනි. ක්‍රි.ව. 1620 පමණ ඈත අතීතයේ සිට පවත්වාගෙන එනු ලබන මෙම උත්සවය පුරාණ ග්‍රාමීය විශ්වාස හා කතෝලික දහම බද්ධ වූ උත්සවයකි.

නපුර මතින් යහපත ජයගැනීම සමරන මෙම උත්සවයේදී රතු හා කහ පැහැයෙන් සැරසුණු යක්ෂයන් නියෝජනය කරන මිනිසුන් වීදි පුරා ඇවිදමින් ගම්වාසීන්ට නින්දා අපහාස කරමින් හා කුඩා කසයකින් පහර දෙමින් සිටිනු දැකිය හැකියි. ඉන්පසු බෙර හඬක් සමඟින් යක්ෂයින් පළවාහරින පුද්ගලයන් පැමිණෙන අතර එවිට යක්ෂයන් වීදි මත තබා තිබෙනා කුඩා දරුවන් මතින් පනිමින් දිවයයි.

ඔවුන් විශ්වාස කරන්නේ මෙසේ යක්ෂයන් පළා යන විට පව් හා අසුබ ශක්තීන් රැගෙන පළා යන බවයි. විශේෂයෙන්ම අවුරුද්දකට වඩා වයසින් අඩු කුඩා දරුවන් මතින් පැන යන විට ඔවුන්ගේ පවු යක්ෂයන් විසින් රැගෙන එම දරුවන්ට ලෙඩ රෝග හා අයහපතින් ආරක්ෂා වී සිටීමට හැකියාව ලැබේ යැයි විශ්වාස කරයි. ඉන්පසුව එම කුඩා දරුවන්ව රෝසමල් පෙති වලින් සරසා දෙමව්පියන් වෙත ලබා දේ.

Entroida Festival යන උත්සවය නම් ඉතාමත් වෙනස් උත්සවයක්. පාස්කුවට පෙර පැමිණෙන සිකුරාදා දින තුනකදී ගම්වාසීන් විසින් පිදුරු වලින් සාදනු ලැබූ පන්දම් රැගෙන වීදි පුරා ගමන් කරන අතර අනෙකුත් ගම්වැසියන් ඔවුන්ට මඩ වලින් පහර දෙයි.

අළු බදාදා දිනට දින හතරකට පෙර යෙදෙන දිනයේදී මෙම උත්සවයේ ප්‍රධාන දිනය යෙදෙන අතර එදින වෙස්මුහුණු වලින් සැරසුණු මිනිසුන් පිරිසක් ඝෝෂාකාරී හා කලහකාරී ලෙසින් නගරය පුරා සැරිසරන්නට පටන් ගන්නා අතර ඔවුන් ගම්වාසීන්ගේ අයහපත දුරු කරන නිසා ගම්වාසීහු එම වෙස්මුහුණු කරුවන්ට කිසිවක් නොකරයි.

ඉන්පසු එදින සවස සියල්ලන්ම නගරය මැදට රැස්වී මඩ වලින් ගසා ගැනීම ආරම්භ කරන අතර මෙහිදී සිදුවන විශේෂ සිදුවීමක් වන්නේ ගමේ තරුණයන් විසින් අසළ කන්දක් වෙත ගොස් ගිනි කුහුඹුවන් නම් ඉතාම වියරු කුහුඹුවන් වර්ගයක් රැගෙන විත් මඩ ගසනා විට අනෙක් අයට පහර දීමයි. වේදනාව මගින් ඔවුන්ගේ ආධ්‍යාත්මය පිරිසුදු වන බව ඔවුන් විශ්වාස කරයි. ස්පාඤ්ඤයෙ ගැලීසියා ප්‍රදේශයේ මෙම උත්සවය පැවැත්වෙන අතර නැටුම් ගැයුම් හා ආහාර පාන වලින් මෙම උත්සවය අවසන් වේ.

එළුවන් වීසි කිරීමේ උත්සවයත් ස්පාඤ්ඤයෙ මැන්ගනීසස් ඩි ලා පොල්වොරෝසා නම් ග්‍රාමයේ පැවැත්වෙන තවත් තරමක් අමුතු උත්සවයක්.

එම ග්‍රාමයේ නාම සාන්තුවරයා වන සාන්ත වින්සන්ට් හට ගරු කිරීමක් ලෙසින් මෙසේ එළුවන්ව ඝන්ඨාර කුළුණ මත සිට පහළට දමන අතර පහළ සිටින පුද්ගලයන් බ්ලැන්කටයක් මඟින් එම එළුවන්ව අල්ලාගන්නවා.

බොහෝ කලකට පෙර ගමේ සිටි එළුවකු මෙසේ ඝන්ඨාර කුළුණක සිට බිමට වැටී ජීවිතය බේරාගත් සිදුවීමක් නිසා මෙම චාරිත්‍රය ඇතිවී තිබෙන බව ගම්වාසීන් විශ්වාස කරයි. කෙසේවෙතත් සත්ත්ව ක්‍රියාකාරීන්ගේ කැපවීම නිසා 2014 වසරේ සිට මේ සඳහා පුළුන් පිරවූ එළුවන් භාවිතා කරන්නේ ඉහළ සිට පහළට වැටීමේදී ඔවුනට හානි සිදුවන බැවිනි.

මරණාසන්න අත්දැකීම් සමරන උත්සවයක් සෑම වසරකම ජූලි 29 වැනිදා ලාස් නෙවෙස් නගරයේදී සිදු කරයි. පසුගිය වසර තුළදී මරණාසන්න වී නැවතත් ජීවිතය ලැබූ එසේත් නැතිනම් මරණය පෙනි පෙනී ජීවිතය ගලවාගත් පුද්ගලයන් ඔවුන්ගේ දිවි ගැලවීමට ස්තූතිය පුද කරනා උත්සවයක් ලෙසින් මෙය හැඳින්විය හැකියි.

එසේ දිවි බේරුණ පුද්ගලයා මියගිය පුද්ගලයකු සේ හැඳ පැළඳගෙන මිනී පෙට්ටියක් තුළට වී සිටින අතර ඔවුන්ගේ මිතුරන් හෝ ඥාතීන් විසින් එය ඔසවාගෙන පෙරහරේ ගමන් කරනු ලබයි.

දේවස්ථානය වෙත ගමන් ගන්නා පෙරහර අතරතුර වෙඩි පත්තු කරන අතර දිව්‍ය පූජාවකින් පසුව එම පෙරහර දේවස්ථානයේ සිට සාන්ත මාර්තා තුමියගේ පිළිමයක් රැගෙන සුසාන භූමිය වෙත පැමිණ ඉන්පසුව සුපුරුදු පරිදි විනෝද උත්සවයක් බවට පරිවර්තනය වේ. 

 

Comments