අද දරුවන් රැකගැනීමෙන් හෙට සොඳුරු ජාතියක් බිහිකරමු | සිළුමිණ

අද දරුවන් රැකගැනීමෙන් හෙට සොඳුරු ජාතියක් බිහිකරමු

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

අභියෝග හමුවෙහි නොසැළෙන පෞරුෂයකින් යුතු දරුවකු නිර්මාණය කිරීම, ළමුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම,මනෝ විද්‍යාත්මක හා නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් ළමා අපයෝජන වැළැක්වීම, දරුවන් රැක බලා ගැනීමට දෙමාපිය කුසළතා වර්ධනය කිරීමට පියවර ගැනේ

මවකට පියෙකුට ලොව ඇති වටිනාම සම්පත දරුවන් වන්නාසේම ලෝකයටද වටිනාම සම්පත දරුවන්ය. මේ නිසා ලොව දිනන දරුවන් බිහි කිරීම සැම රටකම ප්‍රමුඛ අපේක්ෂාවකි. ඒ උදෙසා විවිධ වැඩපිළිවෙල ක්‍රියාවට නැන්වීමමට ලොව බෙහෝ රටවල් උත්සුක වේ.

ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් නියෝජනය කරන දරුවන් පිළිබදව සෑම රටක්ම දක්වන්නේ විශේෂිත උනන්දුවක් මෙන්ම දැඩි අවධානයකි.ජාත්‍යන්තර නීති ගොඩනැ‍ෙඟන්නට පෙර මුල් වකවානුවේ ළමුන් හඳුන්වනු ලැබුවේ කුඩා වැඩිහිටියන් හෙවත් " Small Adults"යනුවෙනි. දහනවවන සියවස මැදි භාගයේ ප්‍රංශය එරට කම්හල්හි වැඩ කරන ළමුන් වෙනුවෙන් නීති සම්පාදනය කිරීමට පෙළඹීමත් සමඟ ළමුන් සඳහා නෛතික ආරක්ෂාව ලබා දෙන ලදි. 1881 දී ප්‍රංශ නීතිය මගින් දරුවනට ඉගෙනීමට ඇති අයිතිය ළමා අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමත් සමඟ ප්‍රංශය අනුමනය කරමින් බොහෝ යුරොපීය රටවල් ළමා අයිතිවාසිකම් පිළිබඳ නීති සම්පාදනය කිරීමට පෙළඹිණි. ඒ අතුරින් අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය පහසුකම් හා සමාජ ආරක්ෂණය වඩාත් කැපී පෙනේ.

ළමා අයිතිවාසිකම්

ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය 1959 නොවැම්බර්හිදී නිකුත් කිරීම ළමුන් පිළිබඳව සමස්ත ලෝකයේම දැඩි අවධානයට ලක් වු අතර මෙය ළමුන් පිළිබඳ ප්‍රමුඛ ලියවිල්ල ලෙස පිළිගැනේ. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශනයෙහි සමානාත්මතාවය, ආරක්ෂාව,සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස වැනි පහසුකම්හි අයිතිය, විශේෂ අධ්‍යාපන හා අනෙකුත් පහසුකම්හි අයිතිය, මවුපියන්ගෙන් හා සමාජයෙන් ලැබිය යුතු ආදරය, ළමුන් ප්‍රමුඛත්වයේලා සැළකීම, නොසලකා හැරීම්, ප්‍රචණ්ඩත්වයෙන් අපයෝජනයන්ගෙන් මිදී ජීවත්විමට ඇති අයිතිය, ආදි කරුණු පිළිබඳව පැහැදිලිව පෙන්වා දී තිබේ.

ළමුන් වෙනුවෙන්ම වෙන් වූ දිනයක් ලෙස ඔක්තොම්බර් 01 දා ප්‍රකාශයට පත් කර ඇත. මෙයට සමගාමීවම එදින ලෝක වැඩිහිටි දිනය නම් කර තිබිම ළමුන් හා වැඩිහිටියන් අතර සබඳතාව වඩ වඩාත් ශක්තිමත් හා තීව්‍ර කිරීමට පදනම්ව ඇත

ලෝකයේ බොහෝ රටවල් සේම ශ්‍රී ලංකාවද ළමුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති අතර මේ සදහා වන නීති රීති ගණනාවක් සම්මත කර තිබේ.එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ලෙසින් දරුවන් සඳහාම වෙන් වු අධිකාරියක් පිහිටුවනු ලැබ ඇත.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු සමීක්ෂණ වාර්තා අනුව පසුගිය වසර වනවිට මෙරට වයස අවුරුදු 05-17 ත් අතර වයස්හි ළමුන් ප්‍රමාණය හතලිස් හය ලක්ෂයකි. මෙම සමීක්ෂණය අනුව එම වයසේ පාසල් ළමුන් 90.1%කි. ඔවුන් අතුරින් පාසල් නොයන දරුවන් වැඩිම ප්‍රමාණයක් අවුරුදු 15-17 වයස් කාණ්ඩයේ දරුවන්ය. අවුරුදු 18ට අඩු අය ළමුන් හෙවත් බාල වයස්කරුවන් ලෙස පිළිගැනෙන අතර එම ළමුන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතාවයක් ලෙස ගෙන කටයුතු කෙරේ. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙන ආකාරයට මෙරට ජනගහනයෙන් 35% දරුවන්ය.

දරුවන් උදෙසා "දරුවන් සුරකිමු" ලෙසින් ජාතික වැඩසටහනක අවශ්‍යතාව පෙන්වා දෙමින් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් එම වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබ ඇත. අමාත්‍යශ 14ක් එක්ව ක්‍රියාවට නංවන මෙම ජාතික වැඩසටහන තුන් අවුරුදු ඉලක්කගත වැඩපිළිවෙළකි. දරුවන් උදෙසා වන ප්‍රතිපත්ති සම්පාදනය, ආයතන ශක්තිමත් කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙන්ම ළමුන්ගේ ශාරීරික සුවතාවය, දැනුම හා කුසළතා වර්ධනය, සඳහා විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරිම මෙහි ප්‍රමුඛ ක්ෂේත්‍රයන් ලෙස පෙන්වා දේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේදී මෙම ජාතික වැඩපිළිවෙළ ආරම්භ කෙරුණු අතර ඒ සදහා තුන් දහසක පමණ සිසු සිසුවියන් පිරිසක් එක්ව සිටියහ.මෙම වැඩපිළිවෙළේ හදුනාගත් ප්‍රමුඛ ක්ෂේත්‍රයන් ඉලක්ක ගත අයුරින් ක්‍රියාවට නැංවීම ජනාධිපති ලේකම් කාර්යාලයේ අරමුණයි. මෙම වැඩපිළිවෙළෙහි දරුවන් සදහා වන ප්‍රතිපත්ති සම්පාදනය නීති ක්‍රියාත්මක කිරීම යටතේ ළමුන් සම්බන්ධ අණපනත්හි අන්තර්ගත වගන්ති වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට අපේක්ෂා කෙරේ.අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය, ළමා හා තරුණ තැනැත්තන් පිළිබද ආඥා පනත, අයාල ආඥා පනත, අසභ්‍ය ප්‍රකාශන පනත් කෙටුම්පත, අපරාධ වැළැක්වීමේ (සංශෝධිත) පනත් කෙටුම්පත, විෂ අබින් හා අන්තරායකර ඖෂධ ආඥා පනත, බෙදුම් නීතිය, සාක්ෂි ආඥා පනත, සමත මණ්ඩල පනත, මේ සඳහා අතුළත්ය. ළමුන් විසින් අනිසි ලෙස අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය භාවිතා කිරීම සිමා කිරීම සදහා අවශ්‍ය නීති ප්‍රතිපාදන සකස් කිරීමටද මෙම නීති ප්‍රතිසංස්කරණ තුලින් අපේක්ෂා කෙරේ.

පළාත් සභාවන්හි ළමුන් සදහා වන ප්‍රඥප්තීන් අවශ්‍ය පරිදි සංශෝධනය කිරීම මෙන්ම නව ප්‍රඥප්තින් හදුන්වා දීම, වින්දිතයන් බවට පත්වන පාසල් වියේ දරුවන් පාසල්ගත කිරීම සඳහා වන ජාතික සැළැස්මක් සකස් කිරීම, ළමුන් හා සම්බන්ධ මාධ්‍ය භාවිතය පිළිබඳ ආචාරධර්ම පද්ධතියක් සැකසිම, දරුවන් සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර තුළ නීතිය බලගැන්වීම මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ තවත් පියවර කිහිපයකි.

නොවිසඳුණු නඩු

ළමා අපයෝජනය සම්බන්ධ නොවිසඳුණු නඩු 27,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට අධිකරණ තුළ ගොඩගැසි ඇති තත්ත්වයක අපයෝජනයට ලක් වූ එම දරුවන්ට අදාළ නඩුවල තීන්දු ලැබෙනුයේ ඔවුන් වැඩිහිටියන් වී විවාහ වීමට ආසන්න කාලයේදීය. මෙමගින් ඔවුන් තව තවත් අසාධාරණයට ලක්වේ. මෙනිසා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කැර කඩිනම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනිම සදහා අදාළ ආයතනයන්හි භෞතික සම්පත් ප්‍රවර්ධනය "දරුවන් සුරකිමු" වැඩපිළිවෙළ තුළින් අපේක්ෂා කෙරේ.

ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් ළමා මිතුරු අධිකරණ ක්‍රියාවළියක් ඇරඹීම. ළමුනට අදාළ අපරාධ කඩිනමින් විමර්ශනය කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකා පොලීසියේ භෞතික සම්පත් සංවර්ධනය, පළාත් පරිවාස දෙපාර්තමේන්තුවල භෞතික හා මානව සම්පත් සංවර්ධනය, විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍ර සංවර්ධනය කරමින් දරුවන්ගේ ආරක්ෂාව හා විනෝදාස්වාදය සදහා ප්‍රමාණවත් පහසුකම් ඇති කිරීම ළමුන් සඳහා වන ආයතන ශක්තිමත් කරමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රධාන ක්‍රියාමාර්ග ලෙස මෙම ජාතික වැඩසටහන මගින් පෙන්වා දේ.

කුසළතා වර්ධනය

ළමුන්ගේ ශාරීරික සුවතාවය, දැනුම හා කුසළතා වර්ධනය සදහා විශේෂ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම මෙම වැඩසටහනේ පුමුඛ ක්ෂේත්‍රයන්හි තෙවැන්න වන අතර මේ යටතේ වෙනස් වන ලෝකයේ අභියෝග හමුවෙහි නොසැළෙන පෞරුෂයකින් යුතු දරුවකු නිර්මාණය කිරීම, ළමුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැන්වීම, මනෝ විද්‍යාත්මක හා නවීන තාක්ෂණික ක්‍රම වේදයන් භාවිතයෙන් ළමා අපයෝජන වැළැක්වීම, දරුවන් රැක බලා ගැනීමට අදාළ දෙමාපිය කුසළතා වර්ධනය කිරීම, විශේෂ අවස්ථාවන්ට මුහුණ දීම සඳහා ළමුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කර තිබේ.

"දරුවන් සුරකිමු" තුන් අවුරුදු මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 5232.6 ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර එය පළාත් මට්ටමින් මෙරට සෑම පළාතකම ක්‍රියාව නැංවීමට සැළසුම් කර ඇත. මෙවැනි වැඩපිලිවෙලක අවශ්‍යතාවය කලක සිට වඩ වඩාත් දැනුණු බවත් අද එය රට පුරා ක්‍රියාවට නැංවිය හැකි ලෙස සැලසුම් කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නේය.විද්යුත් ම්‍රද්‍රිත මාධ්‍ය වගේම සමාජයෙන් එන තොරතුරු ඔස්සේ මෙවැනි වැඩපිළිවෙළක අවශ්‍යතාවය වඩාත් පැහැදිළි වනු ඇතැයිද එහිදී පැවසූ ජනාධිපතිතුමන් දරුවා මූලික වශයෙන් ජීවත්වන නිවසෙහි දරුවාට සුරක්ෂිතතාවයක් තිබෙනවාද? දරුවන් ජීවත්වන නිවසේද ඔවුනට ප්‍රශ්නයක් තිබෙන බව බොහෝ වාර්තාවලින් පැහැදිලි යැයිද පෙන්වා දෙයි. දරුවන්ගේ අනාරක්ෂිතතාවය පිළිබඳ වැඩියෙන්ම අසන්නට ලැබෙනුයේ මවුපිය භාරකාරිත්වයේ සිටින කාළයේදී බැව් ජනාධිපතිතුමන් මෙහිදී කීය.

එනිසා මෙවැනි ජාතික වැඩපිළිවෙලක් තුළින් දරුවනට ඇති ප්‍රශ්න, ගැටලු සියල්ල නිරකරණය කිරමට මුලපිරිය යුතු යැයිද ඒ සදහා පළාත් මට්ටමින් සෑම පැසල් දරුවකු සේම සෑම දෙමාපියකුම දැනුවත් කළයුතු යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පාතික වැඩපිළිවෙළ අරඹමින් පැවසීය. රටක් තිරසාර සංවර්ධනයකට ගෙන යා හැක්කේ වඩ වඩාත් ගණ ගරුක, නීතිගරුක, කුසලතා හා සාරධර්මවලින් පිරිපුන් ගුණාත්මක පුරවැසියන් බිහි කිරිමෙන් පමණකි.මේ සඳහා ඉතාම වැදගත් වන්නේ පුද්ගල සංවර්ධනයයි.එහිදි පුද්ගල පෞරුෂ සංවර්ධනය අතිශය වැදගත් වනු ඇත. මෙම පෞරුෂ සංවර්ධන ක්‍රියාවළිය මුල් ළමා වියෙන් අරඹා ක්‍රියාවට නැංවීම වඩාත් ප්‍රතිඵල දායක බව විද්‍යත්මක මතයයි."දරුවන් සුරකිමු" ජාතික වැඩපිළිවෙළ ඔස්සේ මෙම පෞරුෂ සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීමට සැළසුම් කර ඇත.

මෙම පෞරුෂ සංවර්ධන ක්‍රියාවලිය ඉලක්කගත අයුරින් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් විශේෂ විද්වත් කමිටුවක්ද පත්කර ඇති අතර එමගින් ළමා පෞරුෂය ගොඩනැංවීම අරමුණයි. එහි විද්වත් කමිටු නියෝජිත මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මනෝ චිකිත්සක හා මනෝ උපදේශක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා අදහස් දක්වන ආකාරයට............

"නූතන සමාජයේ තිබෙන විවිධ අභියෝගයනට ගැලපෙන පෞරුෂයකින් හෙබි දරුවන් සමාජ ගත කිරීමේ අභියෝගය මෙම වැඩසටහන හරහා අපට පැවරී තිබෙනවා. ස්නායු මනෝ විද්‍යාත්මක සංකල්ප පිළිබද සමාජගත කිරීම එහි පුමුඛ අරමුණයි. මෙයට වසර ගණනකට පෙර පරිසරය හැදී තිබුණේ අපේ දරුවන්ගේ පෞරුෂය ගොඩනැංවෙන අයුරින් වුවත් අද එවැනි තත්ත්වයක් නොමැති නිසා මෙවනි වැඩපිලිවෙළකට යොමුව තිබෙනවා. නූතන සමාජයේ තාක්ෂණික, සමාජීය, ආර්ථික වශයෙන් තිබෙන්නා වූ අභියෝග නිසා අද ඒ දරුවාගේ පෞරුෂ‍ය වැඩීමට අවශ්‍ය පරිසරය නැති වි තිබෙනවා. ඒ නිසා අපට අවශ්‍යයි එම පරිසරය විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ලබා දීමට ගුරුවරු, දෙමාපියන්, දරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම සමාජය දැනුවත් කැර ඔවුන්ව බලගන්වා වඩාත් නූතනත්වයට ගැලපෙන අයුරින් සාර්ථක පෞරුෂයකින් හෙබි දරුවකු හදා වඩා ගැනිමට ස්නායු මනෝ විද්‍යාත්මක සංකල්ප මෙමගින් අප සමාජගත කරනවා. විශේෂඥ මනෝ වෛද්‍යවරු, ළමා මානසික රෝග විශේෂඥ වෛද්‍යවරු, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු, නාරිවේද ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු, අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් නීති විශාරදයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගණනාවක විද්වතුන් විසිපස් දෙනෙකුගෙන් පමණ සමන්විත කමිටුවක් මේ සඳහා ක්‍රියාත්මකයි.

අනාගතය දිනන දරුවෝ

"අනාගතය දිනන දරුවෝ" යන්න මෙහි සංකල්පයයි.සමාජමය වශයෙන් පවතින්නා වු ප්‍රධානතම ගැටලුව වන්නේ දරුවන්ගේ පෞරුෂවල පවතින විවිධ දුර්වලතා බවට මේ වන විට හඳුනාගෙන ඇති අතර එයට හේතුව නිසි පරිදි පෞරුෂ නොවැඩීමයි. ලෝකයේ හැම දියුණු රටක්ම එම ගැටලු සකසා ගනිමන් දරුවන් සුරක්ෂිත පරිසරයෙහි හදපු නිසා ඒ රටවල මිනිස්සු හොඳ සාර්ථක පුරවැසියෝ ඇති වුණා. ඒ වගේම අපටත් අවශ්‍ය කරන්නේ රටටත් ලෝකයටත් ගැලපෙන හොද සාර්ථක පුරවැසියන් බිහිකිරීමයි.මේ සඳහා වන දැනුම ස්පාදනය කර ගුරුවරුන්, මවුපියන්, දරුවන් සමඟ වැඩ කරන නොයෙක් අයට මෙය ලබා දිම අපේ අරමුණයි. මෙම ජාතික වැඩපිළිවෙල මේ අනුව මෙම වසර තුන තුළ ක්‍රියාවට නැංවෙන අතර එමගින් වඩාත් සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කෙරේ.මෙරට සෑම දරුවකුම ඉලක්ක කර ක්‍රියාවන නැංවෙන ‘දරුවන් සුරකිමු‘ වැඩපිළිවෙළ පිලිබඳව අදහස් දක්වන එහි සමාරම්භක අවස්ථාවට එක් වු මහනුවර උසස් බාලිකා විදුහලේ නෙත්මිනි අමුණුගම ශිෂ්‍යාව අදහස් දක්වමින්.......

අපේ වයස ළමුන් ඕනෑ තරම් වර්තමාන සමාජය තුළ අපරාධ, අපචාරවලට ලක්වෙනවා මේ නිසා දරුවන් පිළිබඳව එදාට වඩා අද වැඩි සැළකිළිමත්කමක් යොමු විය යුතුයි. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙවනි වැඩපිළි‍වෙලකට යාම ඉතාම කාලීනයි. ඒ වගේම මෙරට ළමා පරපුරට අති මහත් ශක්තියකි. දරුවන් විවිධ අපරාධ අපචාර වලට ලක්විම අවම වී දරුවන්ගේ බුද්ධි මට්ටම වර්ධනය වී රටට ඵලදායි පුද්ගලයන් පිරිසක් බිහි විම අපේ අපේක්ෂාවය. රජයක් රටක් අපෙන් බලාපොරොත්තු වනනේ රටත් ලෝකයත් බබළවයි කියා.

දරුවන් මවුපියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් ඈත්වන විට දරුවන් විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙළඹෙනවා. මේ නිසා දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් මෙවැනි වැඩසටහන් අත්‍යවශ්‍යයි. රජය, මවුපියන්, වැඩිහිටියන් මේ ආකාරයට දරුවන් වෙනුවෙන් වැඩි සැළකිළිමත්කමක් දැක්වුවහොත් අපේ අනාගත දරු පරපුර රටට වැඩදායි පුවැසියන් වේවි. රට පුරාම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළහොත් දරුවන් වැරැදි මාර්ග වලට යොමු වන්නේ නැහැ. වැඩිහිටියන් පෙන්වන මෙම යහපත් මාර්ග හදවතින් පිළිගෙන අපේ අනාගතය අර්ථවත් කරගත යුතුය.

මෙම වැඩසටහන සඳහා විවිධ ප්‍රදේශ, පාසල්, ජන වර්ග, භාෂාවන්. නියෝජනය කරමින් දරු දැරියන් විශාල පිරිසක් එක්ව සිට අතර මෙහිදි ද්‍රවිඩ භාෂාවෙන් වැඩසටහන ඇමතූ මහනුවර සාන්ත සිල්වෙස්තර් විදුහලේ ෂෙහාන් ප්‍රනීත් සිසුවා මෙසේ කීය . අද අපි මාධ්‍යයෙන් වැඩිපුරම දකින්නේ ළමා අපචාර,ළමා අපරාධ පිළිබදවය. එනිසා මෙවැනි වැඩපිළිවෙලක් සංවිධානය කිරීම පාසැල් සිසුන් පැත්තෙන් අපට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මෙවැනි වැඩසටහන් ක්‍රියත්මක කිරීම තුළින් ළමුන්ට තිබෙන ප්‍රශ්ණ හදුනාගත හැකිය. සමහර තාක්ෂණික මෙවලම් භාවිතයෙන් අද ළමුන්ට විශාල ප්‍රශ්ණවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. උදාහරනයක් ලෙස ලොව පුරා මැතකදී ප්‍රචලිත වූ නිල් තල්මසා විඩියෝ ක්‍රීඩාව තුළින් ළමුන් දෙසීයකගේ පමණ ජීවිත උදුරගෙන තිබෙනවා. අනාගතය පිළිබඳ අවබෝධයකින් තොරව ළමුන් මේවාට ඇබ්බැහි වෙනවා. මෙවැනි වැඩපිළිවෙලවල් තුළින් අපට අපට ඒ සඳහා විසඳුම් ලබාගත හැකිය.මෙතෙක් අප මුහුණ නොදුන් ප්‍රශ්ණවලට පවා අපට එමගින් සාර්ථකව මුහුණ දිය හැකිය.

මෙළොව එළිය දකින සෑම සත්වයකුගේම සුන්දර කාළය ළමා කාලයයි. ඒ නිසයි ළමාලෝකය ලෙස එය හඳුන්වන්නේ ජීවිතයේ කුමන වකවානුවක කල් ගෙවුවද සියල්ලෝම බලාපොරොත්තු වන්නේ යළි යළිත් ළමා ලෝකයට පිය නගන්ටය. එහෙත් නිසිවකුට ඒ සුන්දර කාලය යළි එළඹෙන්නේ නැහැ. මේ නිසා ළමා ලෝකය අර්ථවත් කිරීමට මෙවනි ජාතික වැඩපිළිවෙලවල් මහා ශක්තියක් වේවි."හොඳම දේ දරුවන්ටය" යන්න "දරුවන් සුරකිමු" යන මෙම ජාතික වැඩපිළිවෙල තුළින් ක්‍රියාවට නංවමින් "අනාගතය දිනන දරුවෝ" ලෝකයට එක්කරන්නට අප රටක් ලෙස සූදානම් විය යුතුය.

Comments