»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 අගෝස්තු 28 දින
* 2011 අගෝස්තු 21 දින
* 2011 අගෝස්තු 14 දින
* 2011 අගෝස්තු 07 දින
* 2011 ජුලි 31 දින
* 2011 ජුලි 24 දින
* 2011 ජුලි 17 දින
* 2011 ජුලි 10 දින
* 2011 ජුලි 03 දින
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
 
 
   
සිංහල භාෂා විෂයක ජනසම්මතවාදය
 

සිංහල භාෂා විෂයක ජනසම්මතවාදය

 

භාෂා විෂයක විවිධ ගැටලු, මතවාද හා ආකල්ප ඇති වීම ජීව භාෂාවක දක්නට ලැබෙන සංසිද්ධියකි. පසුගිය සියවසක පමණ කාලය තුළ දී සිංහල භාෂා විෂයක ඇති වූ ගැටලු හා මතවාද සඳහා පාදක වූ ආකල්ප මූලික වශයෙන් කොටස් තුනකට බෙදිය හැකිය. එනම් (අ) පරිශුද්ධවාදී ආකල්ප (ආ) පරිණාමවාදී ආකල්ප හා (ඇ) ජනසම්මතවාදී ආකල්ප යනුවෙනි.

භාෂා විෂයක පරිශුද්ධවාදී ආකල්පයක් දැරූ උගත්තු භාෂාවේ සම්භාව්‍ය ස්වරූපය ආරක්ෂා කර ගැනීමට ප්‍රබල උත්සාහයක යෙදුණු අතර පැරණි භාෂා රීති පුනරුත්ථාපනය කොට නැවත ව්‍යවහාරයට එක් කිරීමට කටයුතු කළහ. කුමාරතුංග මුනිදාස (1887 - 1944) ප්‍රමුඛ හෙළ හවුලේ උගතුන් හා ඇතැම් පිරිවෙන් ඇදුරන් මේ ආකල්පයෙහි පිහිටා සිටිමින් භාෂා සාහිත්‍ය ව්‍යාපාරයක යෙදුණු ආකාරය සිංහල භාෂාවේ මෑත ඉතිහාසය පරීක්ෂා කරන විට පැහැදිලි වේ.

ඇතැම් භාෂා ස්වරූප සංරක්ෂණය කිරීමත්, බාහිර සමාජ බලවේග නිසා භාෂාවේ සිදු වන වෙනස්වීම ‘පරිහානියක්’ ලෙස සලකා භාෂා විෂයක නිර්දේශාත්මක රීති පැනවීම හා භාෂා විෂයක ගුරුකුල පිහිටුවීමත් මොවුන්ගේ කටයුතු අතර මුල් තැනක් ගත්තේය. 1944 දී කුමාරතුංගගේ මරණින් පසුව පවා ‘හෙළ හවුල’ කේන්ද්‍ර කර ගත් ‘සුබැසියෝ’ භාෂා විෂයක පරිශුද්ධවාදී (Puristic) ආකල්පයක පිහිටා සිටිමින් භාෂා සංරක්ෂණවාදී කටයුතුවල නිමග්න වූහ. ඔවුන්ගේ විවේචනවලට ප්‍රධාන වශයෙන් ම ලක්වූ කණ්ඩායමක් ලෙස විශ්වවිද්‍යාලවල වාග්විද්‍යාව ඉගැන්වූ සිංහල ආචාර්යවරුන් දැක්විය හැකිය.

භාෂාව සම්බන්ධයෙන් පරිණාමවාදී ආකල්ප දැරූ කොටසට අයත් වන්නේ ප්‍රධාන වශයෙන් ම නිර්මාණාත්මක ලේඛකයන්, පුවත්පත් කලාවේදීන් හා නූතන වාග්විද්‍යාව පිළිබඳ ව පුහුණුවක් ලැබු සරසවි ඇදුරන්ය. පුවත්පත් කලාව, නවකථා හා කෙටිකතා නිර්මාණය, කාව්‍යකරණය ආදි කටයුතුවල නිරත ව සිටි සිංහල ලේඛකයන්ගෙන් බහුතර පිරිසක් භාෂාවේ කාලීන පරිණාමය කෙරෙහි සැලකිල්ලක් දක්වමින් ඊට අනුකූල ව තම භාෂා ව්‍යවහාරය සකස් කර ගත්හ. පැරණි ව්‍යාකරණ රීතිවලට අනුව බස් වහර වෙනස් කරන්නට උත්සාහ දැරූවන්ගේ අදහස්වලට විරෝධය දැක්වූ මොවුහු, භාෂාව ‘පරිශුද්ධ’ වස්තුවක් ලෙස සලකා සංරක්ෂණය කිරීමට එරෙහි ව තම අදහස් ගෙන හැර දැක්වූහ.

සිංහල වාග්වේදීන් කීප දෙනකුගේ සහාය ද මේ ව්‍යාපාරයට ලැබිණ. එමෙන්ම භාෂා විෂයක පරිණාමවාදී ආකල්ප දැරූවන්ගේ අදහස් බහුතර පිරිසකගේ පිළිගැනීමට ලක්වූ බව මාර්ටින් වික්‍රමසිංහ වැනි සමකාලීන ලේඛකයන්ගේ පතපොත විමසන විට පෙනී යයි. සම්මත ව්‍යාකරණ රීති හා අක්ෂර වින්‍යාසය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූ මේ පිරිස ‘සමකාලීන’ ව්‍යවහාරය ගැන විශේෂ අවධානයක් යොමු කළහ.

භාෂාවේ වෙනස්වීම අරබයා පරිශුද්ධවාදී හා පරිණාමවාදී ආකල්පවලට වඩා වෙනස් මතයක් දැරූ පිරිසක් ද සිටියහ. භාෂාව වියතුන්ගේ යෙදුම් (= ඡේක ප්‍රයෝග) අනුව සකස් කිරීමට එරෙහි වූ මේ පිරිස පොදු ජනයාගේ ජීවමාන මාධ්‍යයක් වශයෙන් භාෂාව සතු ශක්‍යතාව හා ගුණය රැක ගත යුතු ය යන ස්ථාවරයෙහි පිහිටා සිටිමින්, භාෂාවේ සම්මත වියරණ රීති ආදිය වුවමනාවෙන් වෙනස් කිරීමට උත්සාහ දැරූහ. පසුගිය සියවසක පමණ කාලය මුළුල්ලේ සිංහල භාෂා විෂයයෙහි වරින්වර ඉස්මතු වූ ‘ප්‍රගතිශීලි සිංහලය’, ‘පොදුජන බස’, ‘ජනසම්මත සිංහලය’, ‘අදට ඔබින බස’ වැනි අදහස්වලින් භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් සම්මත ව පැවති භාෂා රීති හා මතවාද බිඳ හෙළීමට උත්සාහ ගනු ලැබිණ.

මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස පෙන්නා දී ඇති පරිදි පොදු ජනතාවගේ භාෂා ව්‍යවහාරය පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු වන්නට වූයේ 1940 ගණන්වල දී දේශපාලන නිදහස පිළිබඳ බලාපොරොත්තුවත් සමඟ ඇති වූ ජනසම්මතවාදී අදහස් නිසාය. භාෂාව සම්බන්ධයෙන් පොදුජන හිතවාදී ආකල්පයක් පෙන්නුම් කළ යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ වනකතා (1947) පොත් දෙක, ඊට එක් නිදසුනක් ලෙස ධර්මදාස මහතා දක්වයි. විසි වන සියවසේ මුල් දශක කීපය තුළ දී සිංහල ලේඛන ව්‍යවහාරයේ සිදු වූ සංස්කෘතකරණ ප්‍රවණතාවට එරෙහි ව, යක්කඩුවේ හිමියන් විසින් සිංහල භාෂා විෂයයෙහි පළ කරන ලද අදහස් පොදුජන හිතවාදී ස්වරූපයක් ගනු ලැබිණ. එසේ වුවත්, සිංහල භාෂාවේ නූතන ඉතිහාසය පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ භාෂාව සම්බන්ධයෙන් ජන සම්මතවාදී අදහස්, 40 දශකයට පෙර සිට ම ඉදිරිපත් වී ඇති ආකාරයයි.

විශේෂයෙන් ම, විසිවන සියවසේ දී “මුද්‍රිත සිංහලය”(Print Sinhala) ව්‍යාප්ත වීමත් සමඟ භාෂාව පොදු ජනයා අතරට පත් වීම නිසා වැඩි දෙනෙකුට තේරුම් ගත හැකි බසක් සකස් කර ගැනීමේ අවශ්‍යතාව ඉස්මතු විය. එමෙන්ම නවකථාව නමැති සාහිත්‍යාංගය සිංහල පාඨකයාට හඳුන්වාදීමත් සමඟ, මුල් කාලීන ප්‍රබන්ධ කථා රචකයන් ද කථා ව්‍යවහාරය පිළිබඳ ව අවධානය යොමු කළ හ. 1914 දී “ලීලා” නමැති නවකථාවේ ගම්බද පළාත්වාසීන් කථා කරන භාෂාව වෙනස් නොකොට ඒ අන්දමට ලියන ලද” බව මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

1920 ගණන්වල දී පවා ‘ජනසම්මත සිංහලයක’ අවශ්‍යතාව ගැන මාර්ටින් වික්‍රමසිංහ කරුණු දක්වා ඇත. සිංහල පුවත්පත් කලාවේ සිදු වූ වර්ධනයත් සමඟ සාමාන්‍ය ජනයාට තේරුම්ගත හැකි “පොදු ජන බසක්” සකස් කර ගැනීම වෙනුවෙන් වික්‍රමසිංහ වැනි පත්‍ර කර්තෘවරු පෙනී සිටියහ. සිංහලය “පණ්ඩිතයන්ගේ බසක්” නොව “පොදු ජනයාගේ බසක්” යන ආකල්ප ව්‍යාප්ත කිරීමට වික්‍රමසිංහ විශේෂයෙන් උත්සාහ ගත්තේ ය.

සිංහල භාෂා විෂයයෙහි පරිශුද්ධවාදී ආකල්ප ආධිපත්‍යය දැරූ 1940 - 50 දශකවල දී වික්‍රමසිංහ භාෂාව සම්බන්ධයෙන් පළ කළ අදහස් හෙළ හවුලේ දැඩි විවේචනයට ලක් විය. ලිඛිත සිංහලය අනුව කථිත සිංහලයන් “ව්‍යාකරණානුකූල” කළ යුතු ය යන මතයෙහි පිහිටි හෙළ හවුල ව්‍යවහාර භාෂාව “ග්‍රාම්‍ය” “අශිෂ්ට” භාෂාවක් ලෙස සැලකීය. ව්‍යවහාර භාෂාවෙන් පාසල් පොත් ලිවීමට 30 දශකයේ දී ඇතැමුන් විසින් දරන ලද ප්‍රයත්නය කුමාරතුංගගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

ගැමි බස “අශිෂ්ට” යැයි පැවසුවන්ට විරුද්ධ වූ වික්‍රමසිංහ, “බුද්ධි විෂයක උසස් කියුම් හා වචන ගැමි බසෙහි හිඟ වුවද එය ශිෂ්ට භාෂාවක්” බව අවධාරණය කෙළේය. ලේඛන කලාවට වඩ වඩාත් පොදු ජනයා යොමු වෙමින් පැවති සමයක, භාෂාව හා ව්‍යාකරණය සම්බන්ධයෙන් වික්‍රමසිංහ දැරූ ආකල්පය මෙබඳු විය. පොදු ජනකාය කතා කරන බසෙහි වියරණය සොයා බලා, සිත් කා වදින සේ අපේ සිතුම් වඩාත් පැහැදිලිව කීමට උපයෝගී වන නීති රීති හා වන එහි තිබේ නම් ඒ සියල්ල ඇතුළු කිරීමෙන් අපේ පණ්ඩිත පි‍්‍රය ව්‍යාකරණය සකස් කළ යුතුය. කීමටත් ලිවීමටත් බාධා කරන හෝ නිෂ්ඵල හෝ නීති රීති පණ්ඩිත පි‍්‍රය ව්‍යාකරණයෙහි ඇත්නම් ඒ සියල්ල බැහැර කළ යුතු ය. ලේඛන කලාවෙහි නිපුණයන් සුලභ වන කල මේ පෙරළිය ඉක්මනින් සිදු වෙයි. (1950:43)

ඉහත සාකච්ඡාවෙන් පැහැදිලි වන්නේ භාෂාව සම්බන්ධයෙන් පොදුජන හිතවාදී ප්‍රවේගයක් අනුගමනය කිරීමට මාර්ටින් වික්‍රමසිංහ වැනි ලේඛකයන් දැරූ වෑයමයි. වික්‍රමසිංහ ඉදිරිපත් කළ “පොදුජන සිංහලයක්” පිළිබඳ අදහස සමකාලීනව පුළුල් සංවාදයකට ලක් නොවුවත්, සිංහල ලේඛන ව්‍යවහාරය හැකි පමණ කථා ව්‍යවහාරයට සමීප කරවීම අවශ්‍ය ය යන මතය ප්‍රචලිත විය. 1944 ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රාජ්‍ය භාෂා යෝජනාවත් සමඟ “ලිහිල් සිංහලයක්” පිළිබඳව නොයෙක් මතවාද ඉස්මතු වී තිබිණ.

(බලන්න 1944 ජූනි - සිළුමිණ) කථා ව්‍යවහාරය අනුව ලේඛන ව්‍යාකරණය සකස් කිරීමේ අවශ්‍යතාව, න - ණ - ල - ළ භේදය නොසලකා හැරීම වැනි යෝජනා ඒ අතර වැදගත් විය. සිංහල යතුරු ලියනයක් සකස් කිරීම පිළිබඳව, 50 දශකයේ පමණ සිට ඇති වූ සාකච්ඡාවලදීත් ඉස්මතු වූ වැදගත් යෝජනාවක් වූයේ සිංහල හෝඩිය සරල කිරීමයි. සිංහල අක්ෂර මාලාවේ ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමෙන් ලේඛන ව්‍යවහාරය සරල කළ යුතු ය යන අදහස ඇතැමෙක් ඉදිරිපත් කළහ.

ලේඛකයන් හා ව්‍යාකරණඥයන් ලේඛන රීතියේ දැඩි ව එල්බගෙන සිටි සමයෙක භාෂණ රීතිය සාහිත්‍යකරණයට පිවිස වීමට පුරෝගාමී කාර්යයක් ඉටු කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි. එසේ වුවත්, සාහිත්‍ය නිර්මාණකරණයට භාෂණ රිතිය උපයෝගී කොට ගත හැකි ය යන මතය වඩාත් ප්‍රබල ආකාරයකින් පැතිර යන්නට වූයේ 1960 දී සිරි ගුනසිංහ මහතා රචනා කළ හෙවනැල්ල නවකථාවත් සමඟ ය. විඥානධාරා රීතිය පදනම් කර ගනිමින් රචනා වූ මේ කෲතිය නවකථා භාෂාව සම්බන්ධයෙන් නව අත්හදා බැලීමක් විය.

ගුනසිංහට පෙර, යක්කඩුවේ ප්‍රඥාරාම හිමි, මාර්ටින් වික්‍රමසිංහ ආදින් කථා ව්‍යවහාරය අනුව ලිඛිත ව්‍යවහාරයේ පණ්ඩිත පි‍්‍රය ලක්ෂණ වෙනස් කිරීමේ වැදගත්කම පෙන්වා දී තිබුණ ද, ඔවුහු භාෂණ ලේඛනයට ගැනීමට උත්සාහ නොගත්හ; ලේඛන ව්‍යාකරණයට අයත් න - ණ - ල - ළ භේදය අත් නොහළහ. යක්කඩුවේ හිමියන්ගේ භාෂා ප්‍රතිපත්තිය වූයේ “සිංහල රටේ සිංහල මිනිසුන්ට, සිංහල පොතක් කියවන්නට පුළුවන් කාට වුවත්, කරුණ කොයි තරමකට ගැඹුරු වුව ද, කරදරයක් නැතුව පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් වන පරිද්දෙන් ලිවීම යි (1947:VI).”

යක්කඩුවේ හිමියන්ගේ අදහස්වලට වික්‍රමසිංහ වැනි නිර්මාණකරුවන්ගෙන් අනුබලයක් ලැබුණ ද, භාෂා විෂයක පොදු ජන හිතවාදී ආකල්පයක් වෙනුවෙන් පෙනී සිටීමට පිරිවෙන් - විශ්වවිද්‍යාල - හෙළ හවුල යන ගුරුකුල ත්‍රිත්වයට අයත් උගත්හු උනන්දු නොවූහ. පිරිවෙන් ඇදුරන් පාලි - සංස්කෘත - භාෂා පිළිබඳ ව දැක්වූ නැඹුරුවත්, හෙළ හවුලේ උගතුන් සම්භාව්‍ය සිංහලයට දැක්වූ නැඹුරුවත් නිසා භාෂාවේ ඡේක ප්‍රයෝග කෙරෙහි වැඩි අවධානයක් යොමු විය.

1950 - 60 දශකවල දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කොට ගෙන සාහිත්‍ය කලා ව්‍යාපාරයක් ඇති වූයේ එදිරිවීර සරච්චන්ද්‍ර, සිරි ගුනසිංහ හා ගුණදාස අමරසේකර යන විද්වතුන්ගේ නිර්මාණ කලා කටයුතු නිසාය. එසේ වුවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආරම්භක ශාස්ත්‍රාලයීය පදනම භාෂා අධ්‍යයනයට සම්බන්ධ වූවකි. මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි, ආචාර්ය ම. ව. සුගතපාල ද සිල්වා එම භාෂාධ්‍යයන ගුරුකුලයේ පුරෝගාමීහු වෙති.

සිංහලයේ ජන වහර අධ්‍යයනය කිරීමට මහාචාර්ය හෙට්ටිආරච්චි දැරූ වෑයමත්, ව්‍යවහාර සිංහලයේ ව්‍යාකරණය ලේඛනයට ගැනීම සම්බන්ධයෙන් 1960 ගණන්වල දී ආචාර්ය සුගතපාල ද සිල්වා දැක්වූ අදහස් ද ඊට සාක්ෂි සපයයි. නූතන වාග් විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුවක් ලැබු ආචාර්යවරු කීප දෙනෙක් ද 60 දශකය අවසන් වන විට මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙහි සිටියහ.

ව්‍යවහාර භාෂාව අනුව ලේඛන සිංහලය සකස් කළ යුතු ය යන අදහස 60 දශකයේ දී වඩාත් ඉස්මතු වූයේ සිරි ගුනසිංහ මහතාගේ හෙවනැල්ල (1960) නවකථාව ප්‍රකාශයට පත් වීමත් සමඟ ය. භාෂණ රීතිය ලේඛනයට යොදා ගත් ගුනසිංහ, ලේඛන රීතියේ න - ණ - ල - ළ භේදය, ශ - ෂ - ස භේදය, මහප්‍රාණ භාවිතය සම්බන්ධයෙන් පැවති සම්මත රීති පිළිපැදීමට උනන්දු නොවීය. හෙවනැල්ල නවකථාවේ භාෂා රීතිය අනුගමනය කරමින් තවත් නවකථා කීපයක් ද පළ විය.

භාෂාව සම්බන්ධයෙන් ගුනසිංහ මහතා දැක්වූ ආකල්පය වඩාත් පැහැදිලි වූයේ 1961 දී ඔහු ලියූ “සිංහලයේ ලියන බස” නමැති ලිපියෙනි. කතා කරන බසත්, ලියන බසත් අතර තිබිය යුත්තේ කවර ආකාරයක වෙනසක් ද යන්න ගුනසිංහ පැහැදිලි කෙළේය. ලිඛිත සිංහලයේ ව්‍යාකරණය අත්හැර ලිවීමේ වැදගත්කම පෙන්වා දුන් ගුනසිංහ, කතා කරන බසේ වියරණය ලිවීමට ගත හැකි ය යන මතය ව්‍යාප්ත කෙළේය. මේ අදහස අනුමත කළ ආචාර්ය සුගතපාල ද සිල්වා, 1967 දී “ව්‍යවහාර සිංහලය ලිවීමට ගත හැකි ය” යන මතය වාග්විද්‍යාත්මක ව පැහැදිලි කරමින් වැදගත් ලිපියක් ලියුවේ ය. ඔහු එම ලිපිය ලියුවේ යක්කඩුවේ ප්‍රඥාරාම උපහාර අංකයට ය.

සිංහලයේ ලියන බස සම්බන්ධයෙන් ගුනසිංහ මහතා දැරූ අදහස් පසුකාලීන ව විවිධ අවස්ථාවල දී සිංහල භාෂා විෂයයෙහි සාකච්ඡාවට ලක් විය. කථා ව්‍යවහාරය මත පදනම් වූ ලේඛන ව්‍යවහාරයක් භාවිතයට ගත යුතු ය යන මතය ව්‍යාප්ත කිරීම සඳහා 1969 අගෝස්තු මාසයේ දී මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ ආදී උගතුන් කීප දෙනකු විසින් ජන සම්මත සිංහල සමිතිය නමින් සංවිධානයක් ආරම්භ කරන ලදි.

පරණවිතාන මහතාගේ සිංහලයෝ නමැති පොත, මේ සමිතිය මඟින් පළ වූවකි. පොදු ජනයාට වඩාත් සමීප වූ බස් වහරකින් ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කළ හැකි ය යන අදහස සිංහලයෝ පොත කියැවූ විට පැහැදිලි වන්නකි. ඒ මඟ අනුගමනය කරමින් එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා පුරාවිද්‍යා පාලන වාර්තා ද භාෂණ රීතියට අනුව ලියුවේ ය.

60 දශකය ආරම්භයේ දී භාෂා විෂයක වඩාත් පොදුජන හිතවාදී ආකල්ප පැතිර යෑමත් සමඟ ඊට එරෙහි වූ ආකල්ප සමූහයක් ද සිංහල භාෂා ප්‍රජාව අතර පැතිර ගියේ ය. 1967 - 68 කාලයේ දී අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල අමාත්‍යවරයාගේ නියෝගයෙන් ගෙන එනුලැබු සම්මත සිංහල යෝජනාව ඊට එක් නිදසුනකි. හෙළ හවුලේ උගතුන්ගෙන් ඊට නොමඳ සහායක් ලැබුණ ද, එම සම්මත සිංහල කමිටුවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ, එම අවදියේ පැතිර තුබු භාෂා විෂයක ජන සම්මතවාදී අදහස් නිසා ය.

නූතන වාග්විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලබා සිටි සිංහලාංශ ආචාර්යවරුන් මෙන්ම නිර්මාණාත්මක ලේඛකයන්, පත්‍ර කලාවේදීන් විසින් සම්මත සිංහලයට එරෙහිව තම අදහස් ප්‍රචාරය කර හරින ලදි. ජනසම්මත සිංහල සමිතියට අයත් වූවෝ ද මීට එක් වූහ. සම්මත සිංහල වාදය නිමා වීමත් සමඟ 1970 අගෝ. 23 දා සිළුමිණ පුවත්පතට ලිපියක් සපයමින් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා කියා සිටියේ “මහජන රජයේ වැඩට මහජන බස” යොදා ගත යුතු ය යන අදහසයි.

සම්මත සිංහල වාදයෙන් පසුව, භාෂා විෂයක ඇති වූ වාද විවාද කිසියම් ප්‍රමාණයකින් සමථයකට පත් වූ ආකාරයක් දක්නට ලැබුණ ද පාසල් පොත් ලිවීම, රජයේ කටයුතු ආදිය සඳහා යොදා ගත යුතු බස පිළිබඳ සාකච්ඡා ඇති විය. “ග්‍රන්ථ භාෂාව පමණක් නොව පොදු ජන බස ද එක සේ විමසා සරල සිංහල වියරණයක්” සම්පාදනය කිරීමේ අවශ්‍යතාව 1970 දී මාර්ටින් වික්‍රමසිංහ පෙන්නා දුන්නේ ය. එමෙන්ම නූතන වාග්විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලබා සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වූ ජේ. බී. දිසානායක මහතා 70 දශකයේ මැද භාගයේ පමණ සිට සිංහල ජන වහර අධ්‍යයනය කිරීමට ගත් ප්‍රයත්නය ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

කතා කරන බසෙහි වියරණය ලේඛනයට යොදා ගැනීම සම්බන්ධයෙන් සිරි ගුනසිංහ මහතා දැක්වූ අදහස් වඩාත් පුළුල් පාඨක පිරිසක් අතරට ගෙන ගියේ කෙටිකතාකරුවකු ලෙස නමක් දිනා සිටි අජිත් තිලකසේන මහතා ය. 1980 - 90 දශකවල දී තිලකසේන මහතා සිංහල භාෂාවේ නවිකරණය සම්බන්ධයෙන් දැක්වූ අදහස්, ඊට පූර්වයෙන් වෙනත් අය විසින් ද ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණ.

භාෂාව සම්බන්ධයෙන් අදහස් දක්වන මතධාරයකු ලෙස තිලකසේන මහතාගේ විශේෂ අවධානයක් වූයේ කතා කරන බස ලිවීමට යොදා ගැනීම සම්බන්ධයෙනි. භාෂාවේ නවිකරණය අරබයා තිලකසේන විසින් සපයන ලද පුවත්පත් ලිපි හැරුණු විට, 1997 දී පළ කරන ලද “අදට ඔබින බස” කෘතිය සහ ඉන් පසුව පළ කළ “නව ලේඛන රීතිය” (2002) සිංහල භාෂාව වුවමනාවෙන් වෙනස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවල එකතුවකි.

1947 - 1997 යන පනස් වසර තුළ සිංහල භාෂා විෂයයෙහි ඉස්මතු වූ ජනසම්මතවාදී අදහස් ගැබ් වූ ලිපි සංග්‍රහයක් ලෙස සැලකිය හැකි “අදට ඔබින බස” කෘතියට සිරි ගුනසිංහ මහතා සැපයූ “කතා කරන භාෂාවේ ව්‍යාකරණයක් තියනවා ඒ වගේම ශෛලියකුත් තියෙනවා” නමැති ලිපිය භාෂාව සම්බන්ධයෙන් ඔහුගේ මතවාදී ප්‍රවේශය ඉදිරිපත් කරන්නකි. එම ලිපියේ ඔහු මෙසේ සඳහන් කරයි.

කතා ව්‍යවහාරයත් ලේඛන ව්‍යවහාරයත් අතර වෙනස තියෙන්නේ ව්‍යාකරණයේ ය කියන එක තමයි අවධාරණය කරන්න ඕන (ගුනසිංහ, 1997:56)

ලිඛිත භාෂාව “විදග්ධ භාෂාවක්” ලෙස සැලකූ ගුනසිංහ එය කෘත්‍රිම, ජීව ගුණයෙන් තොර බසක් වූයේ යල් පැන ගිය ව්‍යාකරණ රීති නිසා බව පෙන්වා දුන්නේය. එමෙන්ම කථා ව්‍යවහාරයේ අගය ද මෙලෙස පෙන්වා දුන්නේ ය:

කතා කරන බාසාවේ අගය තියෙන්නේ ඒ බාසාව ස්වාභාවිකව ම පරිණාමය වූ නිසයි. ඒ බාෂාව හැඩ ගැහිලා තියෙන්නේ ඒක කතා කරන මිනිසුන්ගේ උවමනාව අනුවයි.

(ගුනසිංහ, 1997:67)

මේ අනුව සලකන විට කතා කරන බසෙහි වියරණය ලිවීමට ගැනීම සම්බන්ධයෙන් 60 දශකයේ දී සිරි ගුනසිංහ ඉදිරිපත් කළ යෝජනාව අනාගතයේ දී පොදුජන සම්මතයකට පත් වීමේ ඉඩකඩක් පවතී. අදින් වසර තිස් පහකට පමණ පෙර මේ අදහස් ප්‍රචලිත කිරීමට උත්සාහ ගත ආචාර්ය ම. ව. සුගතපාල ද සිල්වා පැවසුවේ, “21 වෙනි ශත වර්ෂය අවසන් වීට පෙර ලියන සිංහලයත් කථා කරන සිංහලයත් දෙක අතර ව්‍යාකරණ වෙනස ඉතාම අඩුවෙන” බවයි.

කෙසේ වුවද, සිංහල භාෂා විෂයයෙහි සම්මත ලේඛන ව්‍යවහාරය පවත්වා ගැනීමට උගතුන් දරන වෑයමත්, විධිමත් අධ්‍යාපනයේ සම්මත ව්‍යාකරණ රීති ඉගැන්වීමත් නිසා ඉහත දැක්වූ වෙනස ඉක්මනින් සිදුවන්නේ නැත. සිරි ගුනසිංහ, අජිත් තිලකසේන ආදීන්ගේ නිර්මාණාත්මක කෘති පාසල් අධ්‍යාපන ධාරාවට නිර්දේශ වන්නේ නැත.

එම කෘතීන්හි උපයුක්ත භාෂා රීතිය ඊට ප්‍රධාන හේතුව වෙයි. මේ අනුව පැහැදිලි වන්නේ භාෂා විෂයක ජන සම්මතවාදී ආකල්ප සෑම කාලයකදී ම පැවතියත් භාෂාවේ සම්මතය හා අධිකාරය පවත්වා ගැනීමට උගතුන් දරන වෑයම නිසා සම්මත ලේඛන ව්‍යවහාරය ආරක්ෂා වන ආකාරයයි. සිංහල භාෂා විෂයයෙහි ඉස්මතු වූ මේ අනොන්‍ය ප්‍රතිවිරුද්ධ ප්‍රවණතාද්වය - එනම් ජන සම්මතවාදී ප්‍රවණතාව හා සංරක්ෂණවාදී ප්‍රවණතාව - දීර්ඝ ලිඛිත සාහිත්‍යයකට උරුමකම් කියන සෑම භාෂාවකම දැකිය හැකි සමාජ වාග්විද්‍යාත්මක සංසිද්ධියක් ලෙස හඳුන්වා දිය හැකිය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා