»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 අගෝස්තු 28 දින
* 2011 අගෝස්තු 21 දින
* 2011 අගෝස්තු 14 දින
* 2011 අගෝස්තු 07 දින
* 2011 ජුලි 31 දින
* 2011 ජුලි 24 දින
* 2011 ජුලි 17 දින
* 2011 ජුලි 10 දින
* 2011 ජුලි 03 දින
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
 
 
   
භාෂාවේ පවත්නා ලක්ෂණ ඇසුරෙන් පැරැණි සමාජ ලක්ෂණ සොයාගත හැකියි
 

භාෂාවේ පවත්නා ලක්ෂණ ඇසුරෙන් පැරැණි සමාජ ලක්ෂණ සොයාගත හැකියි

 

 මහාචාර්ය පී. බී. මීගස්කුඹුර

1958 වර්ෂයේ දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙමින් සිංහල විශේෂවේදී (B. A) උපාධිය හදාරා අනතුරුව 1962 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහය කථිකාචාර්යවරයකු ලෙස සිංහල අධ්‍යයන අංශයේ කටයුතු කළ පුංචි බණ්ඩා මීගස්කුඹුරයන් 1976 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයට ද 1980 වර්ෂයේ මහාචාර්ය ධුරයට ද 1991 දී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරයට ද පත් වූ මෙරට සිටින අග්‍රගණ්‍ය භාෂා පඬිවරයෙකි. වාග් විද්‍යාඥයෙකි. මානව විද්‍යාඥයෙකි. පරිවර්තකයෙකි. ජනශ්‍රැති පර්යේෂකයෙකි. විචාරකයෙකි. මේ ප්‍රාමාණික වියතාණන් ඇසුරේ ශාස්ත්‍ර ඥානය ලැබූ දෙස් විදෙස් විද්‍යාර්ථින් ගණන මෙපමණ යැයි දැක්වීමට නොහැකි තරම් ය.මෙරට පහළ වූ විශිෂ්ටතම පඬිවරුන් යටතේ ශාස්ත්‍ර ප්‍රගුණ කළ මහැදුරු මීගස්කුඹුරයන්ට විදෙස් ශාස්ත්‍රවන්තයන්ගෙන් ලැබුණු පන්නරය ද සුවිසෙස් ය.

ඓතිහාසික වාග් විද්‍යාවේ ප්‍රවීණයකු වූ අමිරුත් මාධව ඝාටිදේ, යුරෝපියන් භාෂා ප්‍රවීණයකු වන නිල් මාධව සෙන්, නූතන වාග් විද්‍යාඥ ප්‍රවීණ කේල්කර්, එම්. එස්. කාත්‍රේ වැනි ප්‍රාමාණිකයන්ගේ ඇසුර ලද මීගස්කුඹුරයන් වත්මනෙහි ද විවිධ ශාස්ත්‍රීය පර්යේෂණයන්හි නිරත වෙමින් සක්‍රිය ව සාහිත්‍ය ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් කරන නිහඬ පඬිරුවනකි. ජනමාධ්‍ය අභිමුවට පැමිණීමට නොකැමැත්තක් දක්වන හේ, සිය සේවාව නිහඬ ව ඉටුකළ යුතු ය යන ආස්ථානයේ රැඳෙන්නකි. වියත් සභා මැද කරන ලද දේශන කිහිපයක පිටපත් වරින්වර පුවත්පත්හි පළ වී ඇතත්, මේ වියතාණන්ගේ වසර හැත්තෑ හතරක දිවිමඟේ පළමු පුවත්පත් සංලාපය මෙය බැව් අප සඳහන් කරන්නේ ඒ පිළිබඳ උපන් සියුම් ආඩම්බරයක් ද සමඟිනි. මේ සුවිසෙස් පඬිරුවන ඇසුරේ හෝරා තුනක පමණ කාලයක් ශාස්ත්‍රීය සංලාපයේ යෙදීමට ලැබීම මා ජීවිතයේ ලද භාග්‍යයක් බව ද කිව යුතු ය.

ඔබ 1958 දී ලංකා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන්නේ වළල මධ්‍ය මහා විද්‍යාලයෙන්. එහිදී ඒ විද්‍යාල ඉතිහාසයේ සම්මුඛ පරීක්ෂණවලට සහභාගි නොවී ප්‍රතිඵල පමණක් පාදක කරගනිමින් කෙළින්ම විශ්වවිද්‍යාලයට තේරී පත්වූ (Direct Entrance)  ශිෂ්‍යයා ලෙස ද ඔබ වාර්තාවක් තැබුවා. විශ්වවිද්‍යාලයේදී ඔබගේ ගමන නිවැරැදි ආස්ථානයක පිහිට වූ ගුරුවරු කවරේ ද?

ඒ කාලේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මහා දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයන්. මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය ඇම්. සී. රම්මණ්ඩල, මහාචාර්ය ඇම්. බී. ආරියපාල, මහාචාර්ය එම්. ඩබ්ලිව්. එස්. ද සිල්වා, මහාචාර්ය හේමපාල විජේවර්ධන, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය පී. ඊ. ප්‍රනාන්දු වැනි විද්වතුන් සිංහල විශේෂවේදී උපාධිය හදාරන සමයේ මගේ ගුරුවරු.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මම ඉගෙනුම ලබපු සිංහල අධ්‍යයන අංශයේ නොහිටියට ඔහුගේ දැනුම මට බෙහෙවින්ම බලපෑවා. මහාචාර්ය එස්. ජේ. තම්බය්යා, මහාචාර්ය කේ. එන්. ජයතිලක, මහාචාර්ය ජෝතිය ධීරසේකර, මහාචාර්ය ගණනාථ ඔබේසේකර, මහාචාර්ය සිරි ගුනසිංහ, මහාචාර්ය ඩී. ඩී. ද සේරම් වැනි විද්වතුන්ගෙන් මම විවිධ විෂයික දැනුම් සම්භාරයක් ලබා ගත්තා. මේ මහාචාර්යවරු දේශන කරනකොට දේශන ශාලාව පිටුපස ඉඳගෙන අපි ඒවාට සවන් දෙනවා.

මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මගේ දිවියට විශාල වශයෙන් බලපෑම් කළ ගුරුවරයෙක්. ඒ කාලේ එතුමා අපේ අධ්‍යයන අංශයේ අංශාධිපති. එතුමා මතවාදි වශයෙන් ඉතාමත් ස්ථාවර පදනමක පිහිටා කටයුතු කළ කෙනෙක්. මහාචාර්ය හෙට්ටිආරච්චි ඉන්දියාවේ දර්ශනසූරි (Ph.D) උපාධිය හැදෑරුවේ. එතුමාගේ ක්‍රියාකාරකම්, අධ්‍යයන වැඩ කටයුතු දුටුවහම ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමේ කැමැත්ත අප මනසේත් ඇතිවුණා.

පේරාදෙණි ගුරුකුලය පිළිබඳ ඔබේ අදහස කුමක් ද? මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි වැන්නකුට එය බලපෑවේ කෙසේ ද?

මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චිට පේරාදෙණි ගුරුකුලය වගේම විද්‍යාලංකාර, විද්‍යෝදය බලපෑමත් ලැබුණා. සර් ඩී. බී. ජයතිලක බොහොම ළඟින් මහාචාර්ය හෙට්ටිආරච්චි ව ආශ්‍රය කළා. සර් ඩී. බී. ජයතිලක කියන්නෙත් ඉතාම හොඳ සිංහල උගතෙක්. මහාචාර්ය විලිහෙල්ම් ගයිගර් වගේ අයත් ඒ කාලේ හිටියා. ඒ අය ගෙන ආව ‘නව ව්‍යාකරණ වාදය’ 18 වැනි සියවසේ යුරෝපයේ ඇතිවීමත් සමඟ විශේෂයෙන් භාෂා තුලනය කිරීම, ස්ව භාෂාවේ ඉතිහාස අධ්‍යයනය වගේ ඒවා දියුණු වෙලා ආවා.

එහි නිරතවීම මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි වැන්නන්ට සුදුසුකම් තිබුණා. මොකද එතුමා සංස්කෘත, පාලි, සිංහල, ලතින්, ගි‍්‍රක වගේ භාෂා දැන සිටියා. ඒ කාලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබුණ ස්වභාෂා කාර්යාලය කියලා එකක්. ඒ මඟින් යම් යම් පොත පතත් නිකුත් කළා. ඒ කාලේ සිංහල ඉගැන්වූයේත් ඉංගි‍්‍රසියෙන්. ඒ මඟින් සිංහල වගේම ඉංගි‍්‍රසි උගැන්මේ හැකියාව ළමුන්ට ලැබුණා.

මහාචාර්ය ම. ව. සුගතපාල ද සිල්වා ඔබේ ශාස්ත්‍රීය ගමන්මඟට කවරාකාර බලපෑමක් ද එල්ල කළේ.

මම වාග් විද්‍යාව පිළිබඳ හදාරන්න හිතුවේ සහ පෙලඹවීමත් ඇතිවුණේ ම. ව. සුගතපාල ද සිල්වාණන් නිසයි. එයට එක් හේතුවක් වුණේ මහාචාර්ය හෙට්ටිආරච්චිගේ දැනුමට කිට්ටු කරන්නවත් අපට නොහැකි වීම. එය විශාල දැනුම් පරාසයක්. එවැනි දැනුමක් ලබාගැනීමට නම් අපට අවුරුදු ගාණක්, විශාල වශයෙන් වෙහෙසීමට සිදු වෙනවා. මහාචාර්ය ම. ව. සුගතපාල ද සිල්වා ‘නූතන වාග් විද්‍යාව‘ කියන විෂය පථයයි හඳුන්වා දුන්නේ.

 ඒකෙදි එයා පැරැණි ග්‍රන්ථගත භාෂාව විශ්ලේෂණය කරනවට වඩා පොදුජන භාෂාව, සාමාන්‍ය ව්‍යවහාරික භාෂාව ඉගෙන ගත යුතුයි කියලා අලුත් ආකල්පයක් ගෙනාවා. ඉතින් ඒ කාලේ අපිත් අලුත් අය නිසා මේ අලුත් සංකල්පයට ඇදී ගියා.

වාග් විද්‍යාවේ ස්වර්ණමය කාල පරිච්ඡේදය වන්නේත් මහාචාර්ය සුගතපාලයන්ගේ වකවානුවයි.

එයට හේතු වන්නේ භාෂාව ඉගෙන ගැනීමේදී බොහෝ වෙලාවට ග්‍රන්ථගත භාෂාව තමයි මෙතෙක් කල් අවධානයට යොමු වුණේ. නමුත් භාෂාවේ ජීව ගුණය පවතින්නේ මිනිසුන් අතරේ. ඉතින් ඒ ජීවමාන භාෂාව පිළිබඳ අධ්‍යයනය කරනකොට ග්‍රන්ථගත භාෂාව අධ්‍යයනය කරනවාට වඩා වෙනස්. සජීවීවනේ පවතින්නේ. කතා කරන විදිය ගැන සොයන්නේ තැන් තැන්වල ගිහින් ඒ පළාත්වල ජනතාව කතා කරන විදිය අධ්‍යයනය කරලා, කතා ව්‍යවහාර එකතු කරලා සමාජයත් එක්ක ගනුදෙනු කිරීමේ වැඩපිළිවෙළක් තමයි එහි තිබෙන්නේ. ඒවා ඊට කලිනුත් තිබුණා, උප භාෂා අධ්‍යයනය කියන කොටස යටතේ. නමුත් මේ වාග් විද්‍යාව විෂයය යටතේ එය වඩාත් ඉස්මතු වී පෙනෙනවා.

සුගතපාල ද සිල්වාණන් හඳුන්වා දුන් විශ්ලේෂණ ක්‍රමවේදය අපි හඳුන්වනවා, ව්‍යුහාත්මක වාග් විද්‍යාව කියලා. එහිදී පැවැති ඓතිහාසික ආකල්පය වන භාෂාව කියන්නේ ඉතිහාසය යුගයෙන් යුගයට පරිණාමය වී එන දෙයක් ය යන්නෙන් ඈත්වෙලා ඒ සියලුම ලක්ෂණ කතා ව්‍යවහාර භාෂාවේ තියෙනවා ය යන හැඟීමෙන් යුක්ත වීමත්. යම් කිසි ව්‍යවහාරික ව්‍යුහයක් ගත්තහම ඒ ව්‍යුහයේ තියෙනවා ඉතිහාසයේ ලක්ෂණ. ඉතිහාසය පමණක් නොව වර්තමාන ලක්ෂණත් එහි ගැබ් වෙනවා. ව්‍යුහාත්මක වාග් විද්‍යාවේ රිද්මය කියන එක යුරෝපයේදී බුද්ධි සාකච්ඡාවට ලක් වූවක්. මුලදි තිබුණ ඓතහාසික වාදය හා පරිණාමවාදය. පරිණාමවාදයේදී සියලු දේ පරිණාමය වූයේ කෙසේ ද යන්න සෙවීම තමයි ආකල්පය වුණේ. චාල්ස් ඩාවින් කළේ එයයි.

එවැනි ආකල්ප භාෂාව පැත්තටත් යනවා. නම් ජිව පරිණාමය ගමන් කරනවා භාෂා පරිණාමය දෙසටත්. ජීව පරිණාමය ගැන සෙවීමට කලින් තමයි භාෂා පරිණාමය ගැන සෙව්වේ. ඊට පස්සේ බොහෝ උගතුන්ට පෙනි යනවා මේ ඉතිහාසයේ ඉතිරි වෙලා තියෙන්නේ බොහොම ටිකයි, 90% ක් පමණ විනාශ වෙලා තියෙන්නේ කියලා. එයට හේතුව ඉතිහාසගත කරුණු සංරක්ෂණය කරලා සහ වාර්තා වෙලා තියෙන්නේ බොහොම ටිකයි. එතකොට සජීවි යම්කිසි දෙයක් තියෙනවනම් ඒ සජීවීත්වය තුළ සියලුම වේශයන් පවතිනවා ය යන්න අනුමාන කරනවා.

උදාහරණයක් විදියට ගසක වයස දැනගන්න අවශ්‍ය නම්, ගහ මැදින් කපලා එහි තිබෙන ස්තර ගණන ගණන් කළා ම අපිට කියන්න පුළුවන් මේ ගහ කොතරම් වයස ද කියලා. ඒ වගේම ගහට හොඳට වර්ෂාව ලැබුණු කාල මොනවාද වගේ දේවල් සොයාගන්න පුළුවන්. ඒ මඟින් අපට ගස පිළිබඳ විශාල දත්ත ප්‍රමාණයක් අනුමාන කිරීමේ අවස්ථාව ලැබෙනවා. එයම තමයි මාක්ස්වාදයටත් තියෙන්නේ. මාක්ස්වාදය වගේ සංකල්පත් ව්‍යුහවාදය මතයි පදනම් වන්නේ. ඒකට වාග් විද්‍යාඥයෝ හුඟක් සම්බන්ධ වුණා.

මුලින් ඓතිහාසික වාග් විද්‍යාවට සම්බන්ධ වුණු අය පස්සේ ව්‍යුහවාදයට එනවා. ලෙනාර්ඩ් බ්ලූම්ෆීල්ඩ් වගේ අය ද ඊට උදාහරණ. ඔහු මුලදී ඓතිහාසික වාග් විද්‍යාවට නැඹුරු කෙනෙක්. ඔහු වැඩි වශයෙන් කළේ ඇමරිකාවේ ජීවත්වන විවිධ ගෝත්‍රික ජනතාව පිළිබඳ අධ්‍යයන කිරිම. ඔහු වඩාත් කිට්ටු මානව විද්‍යාව පැත්තට. මානව විද්‍යාඥයොත් විශ්වාස කරනවා, පැරණි දේවල් සොයා ගැනීමට නම් ජන සමාජයට යා යුතු ය කියන ආකල්පය. ජන සංස්කෘතින්හි බොහෝ පැරැණි දේවල් පවතිනවා ය කියලා ඔවුනුත් විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන් භාෂාවේ තිබෙන ලක්ෂණ ආශ්‍රයෙන් පැරැණි සමාජවල තිබුණු ලක්ෂණ සොයා ගන්නවා. ඒකත් එක්ක ජනශ්‍රැතියත් සම්බන්ධ වෙනවා.

ජන ඇදහිලි, ජන විශ්වාස, පුරාණ කතා ආදිය තිබෙන්නේ ව්‍යවහාරික සංස්කෘතියේයි. මානව විද්‍යාවේ තිබෙන ඒ ආකල්ප බලපෑම් කරනවා වාග් විද්‍යාවට. මානව විද්‍යාවට වඩාත් හොඳම ආදර්ශය ලැබෙන්නේ භාෂාවෙන්. එතකොට මානව විද්‍යාඥයන්ටත් භාෂාව වැදගත් වෙනවා, වාග් විද්‍යාඥයන්ටත් භාෂාව වැදගත් වෙනවා. ඒ නිසා ඒ විෂයයන් දෙක තුනම එකතු වෙනවා. මහාචාර්ය සුගතපාල ද සිල්වා මෙවැනි අදහස් ඒ කාලේ ගෙන ආවා.

අපි සිංහල භාෂාව ඉගෙන ගන්නකොට භාෂාවේ තියෙන නොයෙකුත් දේවල් සොයනවා වගේම තුලනාත්මක ආකල්පවලින් භාෂාව ගැන බැලීමට මේ නිසා අපිට හැකියාව ලැබුණා. මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ඇම්. බී. ආරියපාල, මහාචාර්ය හේමපාල විජේවර්ධන වගේ ගුරුවරුන් මගේ දිවියට බොහෝ බලපෑම් කළ අය.

පේරාදෙණියෙන් බිහිවූ උගත්තු ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකට ම බලපෑම් කිරීමට සමත් වූවා නොවේ ද? විශේෂයෙන් මහාචාර්ය ඇම්. බී. ආරියපාල, මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි වැන්නන්.

මෙහේ ඉදපු මහාචාර්යවරු තමයි ඒ ඒ විශ්වවිද්‍යාල ඇරැඹෙන කොට ඒවාට ගියේ. ඒ නිසා රටපුරා මේ උගතුන්ගේ සේවය ව්‍යාප්ත වුණා.

මහාචාර්ය ම. ව. සුගතපාල ද සිල්වාණන්ගේ ප්‍රමුඛ ශිෂ්‍යයන් ලෙස ඔබ සහ මහාචාර්ය ජේ. බී. දිසානායකයන්, මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසයන් හඳුන්වාදිය හැකියි.

ඇත්තෙන් ම අනෙක් අයට නැති සුදුසුකමක් මට තියෙනවා. ඒ තමයි සුගතපාලයන් යටතේ ශාස්ත්‍රපති උපාධිය (M.A) පළමුවෙන් ම කළේ මම. සුගතපාලයන් මගේ ශාස්ත්‍රපති නිබන්ධය ඉතා අගය කළා.

කුමන විෂය පථයක් සම්බන්ධයෙන් ද ඔබ ශාස්ත්‍රපති උපාධි නිබන්ධය සම්පාදනය කළේ.

‘ව්‍යවහාර සිංහලයේ නාම පද යෝජනය’ තමයි මගේ නිබන්ධනය වුණේ. එය මුද්‍රණය වුණේ නැහැ. අත් පිටපතක් විදියටයි තිබෙන්නේ. දැන් බැලුවහම එහි අඩුපාඩු රැසක් පෙනෙනවා. නමුත් ඒ වයසට ඒ කාලයේ එය හොඳ නිබන්ධයක් වුණා.

නූතන ආකල්ප පිළිබඳ ස්මරණය කරද්දි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙන් සිදුවුණු සේවාව අමතක කරන්න බැහැ නොවෙ ද?

ඔව්. මහාචාර්ය සරච්චන්ද්‍ර මගේ ගුරුවරයෙක්. මගේ ශාස්ත්‍රීය ජීවිතයට බෙහෙවින් බලපෑම් කළ කෙනෙක් විදියට සරච්චන්ද්‍රයන් හඳුන්වන්න පුළුවන්. නූතන ආකල්ප පැත්තෙන් කතා කරද්දි එතුමා අමතක කරන්නම බැහැ. නාට්‍ය හා දර්ශනය කියන විෂය පථ දෙක ම පිළිබඳ ඔහු හසළයෙක්. ඔහු ඇත්ත වශයෙන් ම මනෝ විද්‍යාඥයෙක්.

සරච්චන්ද්‍රයන්ගේ දර්ශනසූරි උපාධි නිබන්ධනය වන “The Buddhist Philosophy of Perception and the theory of Bhavanga”  මම හරිම කැමැත්තෙන් කියෙව්වා. එය ඉංගි‍්‍රසි ඉගෙන ගන්න හොඳම කෘතියක්. මොකද එය කෙටි වාක්‍යවලින් ගැඹුරු අදහස් හොඳට ප්‍රකාශ කරන පොතක්. ඒ වගේම දර්ශනය හා සම්බන්ධ පොත් කියැවීමටත් මා විශාල කැමැත්තක් දැක්වූවා. මහාචාර්ය කේ. එන්. ජයතිලක හිටියෙත් පේරාදෙණියේ.

මම හිතන්නේ ඔහු ලංකාවේ හිටපු එකම දාර්ශනිකයා. තව ඒ කාලේ හිටියා සමාජ විද්‍යාඥයෙක් මහාචාර්ය ජයසූරිය කියලා. ඔහුගේ දේශන අහන්නත් අපි යනවා. මහාචාර්ය ඩබ්ලිව්. එච්. කරුණාරත්නත් මට ගොඩක් බලපාපු ගුරුවරයෙක්. විශ්වවිද්‍යාලේ ඇතුළේ අපි නිකන් හිටියේ නැහැ. අපට අදාළ විෂය පථ නොවුණත් දැනුම ලබාගන්න ඕන නිසා අපි අනෙත් මහාචාර්යවරුන්ගේ දේශනවලටත් සහභාගි වුණා.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ සමීපස්ථ ශිෂ්‍යයකු වශයෙන් ඔබ ප්‍රකටයි. පරණවිතානයන්ගෙන් ලැබු පන්නරය පිළිබඳ කතා කළොත්.

ඇත්තටම මම ඉස්සර පරණවිතානයන් දේශන කරනකොට දේශන ශාලාවේ පසුපසට වෙලා හරිම උනන්දුවෙන් ආශාවෙන් ඒවා අහගෙන ඉන්නවා. පරණවිතානයන් එක්ක ඉස්සර අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය වගේ ප්‍රදේශවලට මමත් යනවා. ඒ කාලෙත් එතුමාට අවුරුදු 70 ක් විතර වෙනවා. ඒත් සීගිරියට ගියාම තරුණයෙක් වගේ ගලින් ගලට පනිමින් තමයි කතා කරන්නේ.

එක දවසක් සීගිරියට ගියපු වෙලාවක එතන ඉඳපු කෙනෙක්ට කතා කරලා පරණවිතානයන්, ඇහුවා ‘ගුණතිලක අර වාහන තියෙනව ද? කියලා. තියෙනවා, තියෙනවා සර් කියලා අර මනුස්සයා පරණවිතානයන්ට ඒ ගහ පෙන්නුවා. වා කියලා ගහක් තියෙනවා කියලා දැනගත්තෙත් එදා. බොහොම සියුම් දේවල්වලට එතුමාට තද උනන්දුවක් තිබුණා. සීගිරි ගී ගැනයි එතුමා විශ්වවිද්‍යාලේ උගැන්වූයේ. එකම ගී ටික හැම අවුරුද්දෙම ඉගැන්වූවාට ඒ හැම උගන්වන වාරයකදීම අලුත් දෙයක් එතුමා ඉදිරිපත් කරනවා. ඒ නිසා මම හැම අවුරුද්දෙම ගිහින් පරණවිතානයන්ගේ දේශනය අහගෙන ඉන්නවා.

ඉතිරි කොටස ලබන සතියේ


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා