»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 අගෝස්තු 21 දින
* 2011 අගෝස්තු 14 දින
* 2011 අගෝස්තු 07 දින
* 2011 ජුලි 31 දින
* 2011 ජුලි 24 දින
* 2011 ජුලි 17 දින
* 2011 ජුලි 10 දින
* 2011 ජුලි 03 දින
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
 
 
   
 ළමා ලොව විචිත්‍රත්වය කැටි වූ ගී සරණියක්
 

 ළමා ලොව විචිත්‍රත්වය කැටි වූ ගී සරණියක්

 

නැවුම් සහ හරවත් ළමා ගීයක් අද අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. 70 දශකයේ දී හා ඉන් අනතුරුව බිහි වූ ළමා ගී අදත් අපේ මතකයේ රැඳී පවතී.

 

”කොන්ද නමාගෙන

හැරමිටි ගහගෙන

ඉබි ගමනින් එන්නේ..”
 

”පුළුන් වගේ සුදු රැවුල දිගයි

මේ එන්නේ නත්තල් සීයයි..”

මෙවැනි ගී කවදත් රස විඳිය හැකිය.

මර්සලීන් ජයකොඩි පියතුමන් විසින් රචිත
 

”වෙසක් කැකුළු අතු අග හිඳ රඟන විලාසේ..”

වැනි ගීත ළමයින්ටත් වැඩිහිටියන්ටත් එක ලෙස රස විඳිය හැකි සර්වකාලීන ගුණයෙන් අනූණ නිර්මාණයන් ය.

ටයිටස් තොටවත්තයන් ගේ “හඳයා” ළමා චිත්‍රපටයේ එන-

”පුංචි වුණත් හරිම සැරයි

ගම්මිරිස් ඇටේ..”

වැනි ගීත ළමා චිත්‍රපට ඔස්සේ ළමා ගීත සාහිත්‍යයට එක්වූ අපූර්ව නිර්මාණයන්ය. සෝමරත්න දිසානායක ගේ ළමා චිත්‍රපටවලින් ද නැවුම් ළමා ගීත කිහිපයක් දායාද කෙරිණ.

”දොස්තර හොඳහිත මමයි...”

”බෑ කියලා බැරිය මලේ...

බෑ කියලා බෑ බෑ බෑ..”

”දොස්තර හොඳහිත” නම් කාටූන් නිර්මාණයටත් වඩා පේ‍්‍රමකීර්ති ද අල්විස් විසින් රචිත යට කී ගීත ළමා ලෝකයේ හද බැඳ ගත්තේ ය. එහෙත් මේ සියල්ල අයත් වන්නේ අතීතයට ය. මෙකල ළමා ගීත සාහිත්‍යයක් නොපවතින පමණටම ඒ ක්‍ෂේත්‍රයේ පවතින්නේ දැඩි නිහඬතාවකි – මූසල පාළුවකි. අද ප්‍රාසංගික වේදිකාවේ පවා ළමයින් විසින් ගයනු ලබන්නේ වැඩිහිටියන්ට උචිත ප්‍රේම ගීතයන් ය. හොඳ ළමා ගීයක් ඇසෙන්නේ ම නැත. අලුත් ළමා ගීයක් නිර්මාණය වන බවක් ද නොපෙනේ. ළමා ගීත, මළගිය සාහිත්‍යයක්ද? වෙළෙඳපොළ තර්කණය මත පදනම් ව කල්පනා කළහොත් අනුමාන කළ හැක්කේ ළමා ගීතවලට වෙළෙඳපොළක් නැති නිසා එවැනි නිර්මාණ බිහි නොවන බවද? නොඑසේ නම් නිර්මාණකරුවන් ළමා ගීත සාහිත්‍යයෙන් පිටමංව සිටින නිසාද? මේ විචාරාක්ෂිය යොමු කළ යුතු පැනයකි.

එහෙත් මෑතකද දී කදිම ළමා ගී පොකුරක රස සුවඳ විඳීමේ භාග්‍යය අපට ලැබිණ. ඒ, ළමා ගී විස්සකින් සමන්විත “අතුරු මිතුරු” නම් සංයුක්ත තැටියයි. 70 දශකයේ පාසල් වියේ සිටි අයෙක් අද මේ ගී පෙළ අසත් නම් එක්වරම බාරගනු ඇත්තේ බොහෝ කලකින් නොදුටු සුහද නෑයෙක් හදිසියෙන් ගෙට පැමිණි විට දෙනන්නාක් වැනි වූ ප්‍රීති ප්‍රමෝදයකිනි.

”කුන්ද හට්ටි ටික ළඟට අරන්

කොන්ද නවාගෙන මන්ද බොලන්

කුන්ද කුදුං කුදු නැන්දේ ඉතින්

කොන්ද නවන්නට වෙයි ද බොලන්
 

”පුංචි කොකිස් මල් තෙලේ පිපෙන්නා

කාණ්ඩ කැවුම් පොඩි ඔමරි කරන්නා

බලන් ඉන්න බැරි අය නළියන්නා

හැන්ද උළුක්කර නැන්දා රවන්නා”

ළමයින්ගේ ගතිය සහ විඳින ස්පර්ශ කරන රචකයා; සරල - සුගම වචන පෙළකින් සිංහල අලුත් අවුරුදු අසිරිය මිහිරි වින්දනයක් බවට පත්කරවන්නට තැත් කැර තිබෙන්නේ සජීවී රූප පෙළක් ද සමඟ ය.
 

”අකරගනේ අසංචියක් වෙලා වගේ

බොලන්නේ

අරමක්කද අකම්පාල වෙලා ඉන්නෙ

ළමයිනේ

ලවක් දෙවක් නැතුව තැනුණු

උඩංජඹුරු මක්වුණේ

තාන්තුවා වෙලා වගේ ඉන්නෙ

මොකෝ හිච්චි- හිංචනෝ

අටන්පහුරු අරතපාල

කාටෙයි මේ කියන්නේ

අට්ටන්දර පට්ටන්දර

අපට මොටෝ දෙයියනේ

පලන්කාදු පාරට්ටුව

පලිච්චි කර හරින්නේ...”

”අතුරු මිතුරු ගී තැටියේ එන තවත් අපූරු ගීතයක පද පේළි කිහිපයකි ඒ.ඇතැම් විට මේ වචන නුහුරු ය. ආගන්තුක ය. එහෙත් ඒ සෑම වචනයක් ම අර්ථයෙන් හා රසයෙන් පොහොසත් ය. අකරගනේ = අපරාදේ / අසංචියක් = වෙනසක් / අකම්පාල = කම්පාවෙලා / උඩංජඹුරු = සෙල්ලමට උඩ පැනීම / අටන්පහුරු = තේරුම් ගත නොහැකි දේ / අරතපාලි = ඇනුම්පද / පට්ටන්දර = කයිවාරු යනාදී වශයෙනි. දකුණු පළාතේ ජනවහර ඇසුරු කරමින් කළ මේ පද රචනය පර්යේෂණාත්මක නිර්මාණයකි. සිංහල භාෂාවේ එක් ප්‍රාදේශීය ව්‍යවහාරයක් ළමයින්ට හඳුන්වාදීමට උත්සාහ දරන රචකයා; ඉන් නොනැවතී ළමා මන තුළ විචිත්‍ර කල්පනා සමුදායකට ඉඩහසර සාදයි. ඒ කාරණා දෙකෙහිදීම සාර්ථක වන ඔහු අතින් නොදැනීම බොල් ගීත හෑලි රචනා කරන්නවුන්ට ද අතුල් පහරක් වැදෙයි. ඒ සියල්ලටත් වඩා මතුව එන්නේ සිංහල ජනවහරේ විවිධත්වය සහ අර්ථ - ශබ්ද රසය මේ ගීතය සඳහා පරෙස්සමෙන් භාවිතා කැර ඇති ආකාරයයි.

දඟකාර ළමා ලෝකයට ඔවදන් ගෙන හැරපෑම වැඩිහිටියන්ගේ සිරිතකි. එහෙත් අමුවට අවවාද දීම් එක හෙළා බැහැර කරන මේ රචකයා ඒ වෙනුවට තෝරාගෙන තිබෙන්නේ සියුම් උපායකි. එය ළෙන්ගතු ය. බලාපොරොත්තු දල්වන සුළු ය. මේ රචනය ඊට නිදසුනකි.

”කළු ලෑල්ල එළිය වෙන්නේ

හුණු කෑල්ල නිසා නේද

කළු ලෑල්ල වගෙයි මූණ

හුණු කෑල්ල හිනා අඳිනවා

 

කළු කළු රැළි - කළු කෙහෙරැළි

තලෙළු නුඹට පෙනුම ගේනවා

කළු මැදෙනා කළු ලෑල්ල

වගේ නුඹත් හැඩ වැඩ වෙනවා

 

ඒ වුණාට කල එළියක් නෑ

සුදු සුදු රැළි -ගවුමේ රැළි

ස්කෝලෙට පාර කියනවා

දුකින් පෙඟුණු හුණු කෑල්ල

වගේ නුඹත් අකුරු ලියනවා

ඒ වුණාට හෙට හිනැහේවී...”

මෙහි “දුකින්” යන වචනය හැරෙන්නට අනෙක් සියලු වචන හැඟීම් – දැනීම් විරහිත නාම හා ක්‍රියා පද වේ. එහෙත් රචනයේ අර්ථය අතිශයින් ම මානුෂික ය. “උගත මනා ශිල්පය මයි මතු රැකෙනා” යන සුප්‍රකට කියමන මේ රචකයා වඩාත් අනුවේදනීය හා ඉතා හෘදයාංගම ලෙස අන් ලෙසකට ප්‍රකාශ කරනුයේ නැවත වරක් ප්‍රබල චිත්ත රූප සමුදායක් මවමිනි. ළමා මනස තුළ එවැනි චිත්‍ර බොහෝ කාලයක් රැඳී පවතින බැව් ඔහු මැනැවින් පසක්කොට ගෙන සිටිනවා විය යුතුය.

සජීවී බව, චිත්තරූප මැවීම, ළමයාගේ ගතිය සහ විදිහ හඳුනාගැනීම, වින්දනය සහ මිහිර බෙදා දෙන අතරේ පුරුෂාර්ථ, ආකල්ප වර්ධනය යනාදී කරුණු ඉෂ්ට සිද්ධ කිරීමේදීත් රචකයා; කිසියම් සමාජ මෙහෙවරක යෙදීමට දැනුවත් උත්සාහයක් ගෙන ඇති බවත් මෙහි එන සෑම ගීතයකින් ම පාහේ ප්‍රකාශ වෙයි. ඒ බවට නිදසුන් ලෙස තවත් පද රචනා ගෙන හැර දැක්විය හැකි වුවත් එය තවත් එක් උධෘතයකට පමණක් සීමා කරමු.

කරපිංචා කුරුපිංචි

බත් පිඟානේ කොනක ඉඳන්

සුසුම් හෙළන්නී

කඳුළු සලන්නී...

උදව්වක් කළ අයෙක් ඉන්පසුව අතහැර දැමීම නුගුණයක්, දුර්ගුණයක් බැව් ළමා මනසට කා වැද්දීමට රචකයා තෝරා ගත්තේ බත් පිඟානකි. සරු දේ සරු ලෙසත් – නිසරුදේ නිසරු ලෙසත් දැකීම මිනිසත් බවේ ලකුණක් බැව් පෙන්වාදීමට ඔහු තැත් දරා තිබෙන්නේ සරල වචන කිහිපයක් ඇසුරු කොට ගනිමිනි. ඒ පැහැදිලිවම ළමයාගේ හිතට කාවදින්නේ ඔහු තුළ නොදැනීම ආකල්ප වර්ධනයකට ද මුල පුරමිනි.

මේ ගීත රචකයා සිසිර දිසානායක ය. ඉතා සකසුරුවම් ව හා සියුම් ව වචන හසුරුවන ඔහු අතින් මීට පෙරත් සිංහල ජනවහර ඇසුරු කොට ගත් ගීත නිර්මාණය වී තිබේ. මෙවර ඔහු ළමයින් වෙනුවෙන් ඉදිරිපත් කැර තිබෙන්නේ පර්යේෂණාත්මක නිර්මාණයකි. අභාවයට යමින් තිබෙන සිංහල ළමා ගීත සාහිත්‍යයට නවමු පණක් ගෙනදීමට ඔහු ගෙන තිබෙන වෑයම ප්‍රශංසනීය ය. සිංහල ළමා ගීත සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ තිබූ කන් බිහිරි කරවන නිහඬතාව නිර්මාණශීලීව හා සංයමයෙන් බිඳ දැමීමට උත්සාහ දරන හෙතෙම ඉන් නොනැවතී අනෙක් ගීත රචකයන්ටත් ඒ මඟෙහි එන ලෙස හෘදයංගම වූ ඇරියුම්පතක් පිළිගන්වන්නේ ය. විවිධත්වය සහ ඒකත්වය සොබාදහමේ මූලික නියාමයකි. ළමා ලෝකයට ඒ නියාමය වඩාත් සුන්දර ලෙස දැනෙයි. ‘අතුරු මිතුරු’ ගීතාවලිය සොබාදහමේ රිද්මයට වඩාත් සමීප වන්නේ එහි එන කන්කලු නාද රටා සම්මිශ්‍රණයෙනි. වික්ටර් රත්නායක, ෂෙල්ටන් ප්‍රේමරත්න, රෝහණ වීරසිංහ, තරුපති මුණසිංහ, රෝහණ ධර්මකීර්ති සහ ලයනල් රන්වල ජන ගී කණ්ඩායම මවන ළබැඳි නාද රටා සහ සිසිර දිසානායකගේ පැබැඳුම් එකට එක්ව ගෙන එන්නේ විචිත්‍ර වූ මිහිරකි. එහෙත් මෙරට ක්‍රියාත්මක ජ්.ර්. නාළිකා ලෝකයට ඒ බව කෙසේ දැනෙනු ඇද්ද යන්න නම් සිතාගත නොහැකි ප්‍රශ්නයක් බවත් සඳහන් කළ යුතුව තිබේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා