»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුලි 31 දින
* 2011 ජුලි 24 දින
* 2011 ජුලි 17 දින
* 2011 ජුලි 10 දින
* 2011 ජුලි 03 දින
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
 
 
   
ළමා ලෝකයේ විචිත්‍රවත් මතකයක් වන මඩොල් දූව
 

ළමා ලෝකයේ විචිත්‍රවත් මතකයක් වන මඩොල් දූව

 

 ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘මඩොල් දූව‘ ලාංකික සිනමාවේ ප්‍රථම ළමා සිනමාපටය නොවන්නට පුළුවන. එහෙත් නියත වශයෙන් ම ‘මඩොල් දූව‘ ළමා සිනමා භාවිතයක් පිළිබඳ අපේක්ෂා යථාර්ථයක් බවට පත් කරලනු පිණිස උත්සුක වූ වඩාත් ම කැපී පෙනෙන ආරම්භක අවස්ථාව වෙයි. ඒ නිසාම ලාංකික ළමා සිනමා භාවිතය පිළිබඳ කතිකාව ඉදිරියේ ‘මඩොල් දූව‘ සිනමාපටය එක්තරා පුරෝගාමී මෙවෙරක් ද ඉටු කරලන බව පෙනේ.

‘මඩොල් දූව‘ සිනමා පටයට පාදක වූ මාර්ටින් වික්‍රමසිංහ මහා සාහිත්‍යධරයා විසින් ලියන ලද එනමින් ම යුතු නවකතාව ලාංකික ළමා පරපුර අතර හිමිකර ගෙන ඇත්තේ නොසිඳෙන ප්‍රසාදයකි. වර්ෂ 1957 දීයි ‘මඩොල් දූව‘ පළමු වරට මුද්‍රණයෙන් එළි දුටුවේ. අද වන විට එහි මුද්‍රණ අවස්ථා සංඛ්‍යාව 35 ක් පමණ වේ. විදේශ භාෂා කිහිපයකට ද එය පරිවර්තනය කොට ඇත. ඇත්තෙන් ම ‘මඩොල් දූව‘ සලකා බැලිය යුත්තේ ළමා හා යොවුන් නවකාතවක් වශයෙනි. පරම්පරා දෙක තුනකට ම අයත් ළමුන් ‘මඩොල් දූව‘ කියවා ලද රසය අපමණ ය. ලාංකික සාහිත්‍ය වංශය තුළ මෙබඳු නවකතා නිතර හමු නොවේ.

‘මඩොල් දූව‘ ළමා හා යොවුන් නවකතාව දශක හයකට අධික කාලයක් තිස්සේ ළමුනගේ නොසිඳෙන ආදරයකට ලක් වීම කෙරෙහි තුඩු දුන් ප්‍රධාන හේතු තුනකි. ඒවා හඳුනා ගත හැක්කේ නිරූපිත ප්‍රමුඛ පුවත ඇසුරු කර ගනිමින් ය.

මෙහි එන්නේ ගෙවුණු සියවසේ මුල් සමයේ දකුණු පළාතේ පිටිසර ගමක විසූ පිරිමි දරුවන් දෙදෙනකු මුල්කර ගත් පුවතකි. යට කී පළමු හේතුව වන්නේ මේ දරු දෙදෙනා ගේ දඟකාරකම් ය. දෙවැන්න නොහික්මුණුකම් ය. තෙවැන්න වීරත්වය යි.

මේ දරු දෙදෙනාගේ දඟකාරකම්වල සීමාවක් නැත. පල් හොරු සේ වෙස්වලා ගෙන මහලු ස්ත්‍රියක බියට පත් කරති. වැද්දන් සේ වෙස් වලා ගෙන දියට ගිය දැරියනට දුනු හී මානති. එක් දරුවකු අයත් වන්නේ යමක් කමක් ඇති පවුලකට ය. අනෙකා මෙහෙකාර දරුවෙකි. පළමු දරුවා අන් පෙදෙසක ගුරු මහතකු භාරයට පත් කෙරේ. එහෙත් දඟකාරකම් නො නවති යි.

මාර්ටින් වික්‍රමසිංහ හා ලෙස්ටර් මඩොල්දූව දර්ශන තලයේ...

මොහු යළි ගමට එන්නේ ළමා වියේ දඟකාරකම්වලට යම් විරාමයක් තබමිනි. දැන් ඔහු ද, සහායක දරුවා ද, මිතුරු කැල ද ගැටවර වියට එබිකම් කරන්නෝ වෙති. දඟකාරකම්වල මීළඟ අදියරක් වන ඇතැම් නොහික්මුණු කම් කරා ඔවුන් ඇදී යන්නේ නිරායාසයෙනි. ඒ දෙස විවෘත ව බලන්නට මාර්ටින් වික්‍රමසිංහයන් පාඨක දරුවනට මනා ඉඩක් පාදා දෙන බව පෙනේ. එසේ නොකළේ නම් ‘මඩොල් දූව‘ ළමා හා යොවුන් නවතාවක් සේ හඳුනා නොගන්නට ද ඉඩ තිබිණ.

නො හික්මුණු කම ඇරැඹෙන්නේ දරු දෙදෙනා මිතුරන් ද කැටුව සරුසාර කජු වත්තකට අනවසරයෙන් ඇතුළුවීමත් සමඟ ය. අයිතිකරු ඔවුන් පසුපස හඹා එයි. එහෙත් හයිය හත්තිය ඇති පිරිමි දරුවන්ගේ ප්‍රහාරයට ලක් ව මේ වියපත් මිනිසා ඇද වැටෙයි. මේ ළමා වියේ දඟකාරකමක් නොවේ. අනතුරුව දරු දෙදෙනා තීරණය කරන්නේ පොලිස් අත් අඩංගුවට පත් වේ යැයි බියෙන් ගම හැර යන්නට ය. මෙය ද දඟකාරකම් ඉක්මවූ තීන්දුවකි. ගම හැර යන ඔවුහු පාළු දූපතකට - මඩොල් දූවට සේන්දු වෙති. ඒ වැඩිහිටියන්වත් පා නොතබන තැනකි. දරු දෙදෙනාගේ නොහික්මුණු කම්වල එක් අවස්ථාවක් එතැන ද නිරූපිත ය.

වීරත්වය අනතුරු ව ඉස්මතු වේ. මඩොල් දූවට වදින ඔවුහු ගොවිතැන් කරති. මේ ආයාසකර ව්‍යායාමයකි. ගම්මුන් බිය වැද්දූ අවතාරයක් අල්ලා ගන්නට ද ඔවුහු සමත් වෙති. පසු කලෙක ගොවිතැන් කිරීමේ නිල අවසරය ද නීතිය ඉදිරියේ ඔවුනට හිමි වේ. දඟකාරකම්, නොහික්මුණු කම් පසු කර ආ මේ ගැටවරයන් අත දැන් මුදල් හදල් ද ගැවසේ. උපන් ගමට ඔවුන් වීරයන් ය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ මූලික හේතු තුනම අන්තර්ගත තිර නාටකයක් සකසා ගන්නට උත්සුක වෙයි. ‘මඩොල් දූව‘ සිනමාපටය මුල් වරට ප්‍රදර්ශනය වන්නේ වර්ෂ 1976 දී ය.

තිර නාටකය රචනා කරන්නේ පිලිප් කුරේ ය. ලෙස්ටර්ගේ සිනමා භාවිතය ගැඹුරින් හඳුනා ගන්නට සමත් වූ විචාරකයකු සේ ඔහු ප්‍රකට ය.

සිය දිගුකාලීන සිනමා භාවිතය තුළ ළමා සිනමාවට සඳහා ලෙස්ටර් අවකාශ සලසා දී ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. ඒ ‘මඩොල් දූව‘ හා ‘පිං හාමි’ ය.

මේ අනුව ලෙස්ටර් ‘මඩොල් දූව‘ සිනමාපටය නිර්මාණය කරන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් ගේ අරමුණු කෙරෙහි සවිඥානක වීමත්, ස්වකීය අභිලාෂය නිසි පරිදි වටහා ගත් පිලිප් කුරේ ගේ තිර නාටකයත් මහෝපකාරී කොට ගෙන යි. ඒ ඒ සිනමාපට නිර්මාණය කිරීම සඳහා වඩාත් ම උචිත ක්‍රමවේද සාක්ෂාත් කර ගනු පිණිස ලෙස්ටර් සතුව සුවිශේෂ හැකියාවක් තිබෙන බව මේ පසුබිම ඉඟි කරන්නේ නිහඬව ය.

‘මඩොල් දූව‘ සිනමාපටය සාර්ථක දැයි තීන්දු කළ යුතු වන්නේ කෙසේ ද? එක් අතකින් එය ළමා හා යොවුන් සිනමාපටයක් සේ කවර මට්ටමක තිබේදැයි යන්න කෙරෙහි සැලකිලිමත් විය යුතු ය. ප්‍රශස්ත ළමා සිනමා භාවිතයක් පිළිබඳ උනන්දුවක් සමකාලීනව දක්නට නොලැබිණ. විචාරක බහුතරයකගේ අදහස වන්නේ ‘මඩොල් දූව‘ කෙසේ වතුදු ඉනික්බිති ව නිර්මිත ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ ‘හඳයා’ ඉක්මවූ ළමා සිනමාපටයක් තවත් නිර්මාණය බව යි. මේ වන විටත් ළමා පරපුර විදේශීය ළමා සිනමාපට කෙරෙහි දක්වන උනන්දුවේ ප්‍රමාණය හා ස්වභාවය පවසන්නේ ද එකරුණම යි.

‘මඩොල් දූව‘ සිනමාපටය ලෙස්ටර්ගේ සිනමා භාවිතය තුළ ඇගැයීමකට ලක්වන්නේ මද වශයෙනි. ‘ගම්පෙරළිය’, ‘දෙලොවක් අතර’, ‘නිධානය’, ‘කලියුගය’ ඉහළින් අගය කරන, වීර පුරන් අප්පු, බැද්දේගම, අවරගිර, වෑකන්ද වලව්ව නිර්දය ලෙස විචාරය කරන අවස්ථා සුලබ ය. එබඳු තැන් හිදී ‘මඩොල් දූව‘ට හා ‘පිං හාමි’ට සිදුවන්නේ නොසලකා හැරීමේ තීන්දු භාර ගන්නට යි.

කෙසේ වතුදු ‘මඩොල් දූව‘, ආකර්ෂණීය නිමාවකින් යුතු ළමා සිනමා රසිකයන් සමඟ සෘජු සාකච්ඡා ආදියට උත්සුක වූ සිනමාපටයක් සේ හඳුනාගන්නට බාධාවක් නොමැත. මෙතැනදී ලෙස්ටර් අවතීර්ණ වූ මං තුනකි. පෙරදී ද කී පරිදි මාර්ටින් වික්‍රමසිංහයන් ගේ අරමුණු කෙරෙහි සවිඥානක වීමත්, පිලිප් කුරේ ගේ තිර නාටකයත් මේ මං නිශ්චය කර ගැනීමේ කටයුත්තට සහාය වී තිබේ.

පළමු මග වන්නේ වර්ණ සිනමාපටයක් සේ ‘මඩොල් දූව‘ නිර්මාණය කරන්නට ගත් තීන්දුව ය.

එවක වර්ණ සිනමාපට දේශීය වශයෙන් නිපදවීමේ නැඹුරුවක් දක්නට නොලැබිණ. ඇත්තෙන් ම ‘මඩොල් දූව‘ තෙවන ලාංකික වර්ණ සිනමාපටය යි. වර්ණ දේශීය සිනමාපටයකට වෙළෙඳපොළ ජය ගැනීමේ ඉඩක් ද නොතිබුණේ නොවේ.

‘මඩොල් දූව‘ හි තේමාව ම වර්ණ සිනමාපයකට අත්‍යයන්තයෙන්ම ගැළැපේ. මාර්ටින් වික්‍රමසිංහයන් ‘මඩොල් දූව‘ නවකතාව රචනා කරන්නේ ඒ ඒ සිදුවීම් මහත් සේ වර්ණනා කරමිනි. චරිත සේම අදාළ පරිසරය ද ඔහුට වැදගත් වේ. එක් අතකින් මේ සිදුවීම් යථාර්ථයට මදක් ඔබ්බෙන් තිබෙන්නට ද ඉඩ ඇත. ඇත්තෙන් ම මේ ළමා වියේ ගැටවර වියේ සිහිනය. බලාපොරොත්තු ය. සාක්ෂාත් කර ගැනීම අසීරු දෑය. නාගරික දරුවනට නම් මේවා දුරවබෝධ ය. ගැමි දරුවකු වුව මෙ පමණ අත්දැකීම් ලබන්නේදැයි යන්න විටෙක සැක සහිත ය.

මහ සයුර, ගංගාව, හුදෙකලා දූපත සේම ‘මගඩි නාටකය’, ‘කජු කොල්ලය’ බඳු අවස්ථා ළමා සිනමා රසිකයා කරා සමීප කරලීමේ දී වර්ණ රූප රාමු ඉටු කරන්නේ මහත් මෙහෙයකි. ලෙස්ටර්, ‘මඩොල් දූව‘ වර්ණයෙන් නිර්මාණය කිරීම පසුපස ළමා හැඟීම් තේරුම් ගැනීමේ සමත්කම ද පවතී... .කළු සුදු’ සිනමාපටයක් වන ‘හඳයා’ හා සැසඳීමේදී මේ අදහස වටහා ගැනීම පහසු ය.

දෙවන මග වන්නේ සිනමා පටයේ ධාවන කාලය යි. මෙහි ධාවන කාලය මිනිත්තු 90 කි. සිනමාපටයක් නැරැඹීමට ගත කළ යුතු හොඳම කාලය කොපමණදැයි යන්න ගැන සාකච්ඡා පවතී. වැඩි දෙනෙකු කැමැති වන්නේ මිනිත්තු 90 ක් ඒ සඳහා හොඳින් ම සෑහෙන බවයි.

ළමා සිනමා රසිකයකුට මිනිත්තු 90 කට වඩා කාලයක් සිනමාපටයක් ඇසුරු කිරීම අසීරු බව සත්‍යයකි. ඔවුනගේ ස්මරණ ශක්තිය ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම දක්ෂ ළමා සිනමාකරුවකුගේ වගකීමකි. ‘මඩොල් දූව‘ නවකතාව ද එක්තරා ආකාරයකින් කෙටි නවකතාවක් වේ. මාර්ටින් වික්‍රමසිංහයන් භාවිත කළ බස් වහර ද සරල ය. සුගම ය. ‘ගම්පෙරළිය’ - ‘විරාගය’ යන නවකතා හා සැසඳීමේ දී මේ බව මනාව දත හැකි වේ. ‘මඩොල් දූව‘ නවකතාව සේම සිනමාපටය ද ළමා හා යොවුන් පරපුරට උචිත ස්වභාවයක් ප්‍රකට කිරීම විටෙක ගුරු කොට ගන්නට ද පුළුවන.

තෙවැනි මඟ වන්නේ රංගන පාර්ශ්වය කෙරෙහි ලෙස්ටර් දැක් වූ විවෘත, සැහැල්ලු හා වගකීමකින් යුතු අවධානයයි. නවකතාවේ එන ප්‍රමුඛ සිදුවීම් එලෙසින් ම නිරූපණය විය යුතු ය. ඒවා සම්බන්ධයෙන් පැළපදියම් වී ඇති රූප දුර්වර්ණ නොකළ යුතු ය. ඒවා දීප්තිමත් ව බබළන සේ ඔප දැමිය යුතු ය. ඒ ඒ චරිත සතු මූලික ලක්ෂණ ආදිය එලෙසින් ම තිරය කරා ගෙන ආ යුතුය. මේ පිළිවෙත මත රැඳී සිටි ලෙස්ටර්, රංගන පාර්ශ්වය කෙරෙහි දැක්වූ අවධානය අද දවසේදී ද නවමු බවක් ප්‍රකට කරයි.

ප්‍රවීණ නළු නිළියන් ද, නවකයන් ද ‘මඩොල් දූව‘ සිනමාපටයේ රංගන පාර්ශ්වය තුළ විවිධාකාරයෙන් සාර්ථක වන බව පෙනේ.

ජෝ අබේවික්‍රම, සෝමලතා සුබසිංහ, ට්‍රිලීෂියා ගුණවර්ධන, උපාලි අත්තනායක, දෙනවක හාමිනේ ඒ වන විට ද ප්‍රකට ය. ප්‍රධාන චරිත සඳහා ලෙස්ටර් විසින් තෝරා ගනු ලැබූ අජිත් ජිනදාස හා පද්මසේන අතුකෝරාළත්, කුඩා චරිතයකට එක් වූ දමයන්ති ෆොන්සේකා ත් ප්‍රවීණයන් හා කරට කර ස්වකීය චරිත නිරූපණය කළහ. ‘මඩොල් දූව‘ ළමා හා යොවුන් රසික කණ්ඩායම් අමතන සිනමාපටයක් වීම නිසා ‘නළු නිළි’ ප්‍රතිරූප රහිත ළමා නළු නිළියන්ට ලැබුණේ ඉහළ පිළිගැනීමකි.

සම්පූර්ණ වශයෙන් බලන කල ‘මඩොල් දූව‘ කදිම රඟපෑම් වලින් පිරුණු සිනමාපටයක් බව චාර්ල්ස් අබේසේකර පවසන්නේ එහෙයිනි.

(සරසවිය, 1976. 05. 14)

අවසාන භාගය තුළ නිරූපිත වීරත්වය ගැටවර වියේ ජව සම්පන්න බව පිළිබඳ අදහසක් ගෙන එන බව පෙනේ. වික්ටර් රත්නායක ගායනා කරන ‘කොහේද කොහේද අපේ ලොවක්’ ගීය ඒ බව පවසයි.

අමරදේවයන් සඳහන් කරන්නේ එම ගීයේ ගායනා විලාසයත්, සංගීතයත් තරුණ බව හා ද¼ඟකාර බව පෙන්නුම් කරන බවය.

(සරසවිය, 1975. 08. 22)

නවකතා සිනමාවට නැඟීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතා ද, නො එකඟතා ද පවතී. ‘මඩොල් දූව‘ නවකතාව හා ‘මඩොල් දූව‘ සිනමාපටය මේ ගැන යම් අදහසක් පළ කරන්නට මැළි නොවේ. එනම් විශේෂයෙන් ම ළමා පාඨකයන් මුල් කොට ගෙන ලියැවුණු නවකතාවක් ඒ හැටියෙන් ම සිනමාවට නැඟීම වඩා සාර්ථක විය හැකි බයයි. දසක තුනහමාරක පමණ කාලයක් ගත වී තිබුණ ද ‘මඩොල් දූව‘ සිනමාපටය මතකයෙන් ඈත් නොවීමට එය ප්‍රබල හේතුවකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා