»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
* 2011 පෙබරවාරි 13 දින
* 2011 පෙබරවාරි 06 දින
* 2011 ජනවාරි 30 දින
* 2011 ජනවාරි 23 දින
* 2011 ජනවාරි 16 දින
* 2011 ජනවාරි 09 දින
* 2011 ජනවාරි 02 දින
* 2010 දෙසැම්බර් 26 දින
* 2010 දෙසැම්බර් 19 දින
* 2010 දෙසැම්බර් 12 දින
 
 
   
මනුෂ්‍යත්වයට ආදරය කරන්නට පොලඹවන හංස ඇස
 

මනුෂ්‍යත්වයට ආදරය කරන්නට පොලඹවන හංස ඇස

 

කෘතිය – හංස ඇස (කෙටිකතා සංග්‍රහය)

කර්තෘ - යමුනා මාලිනී පෙරේරා

ප්‍රකාශනය - ගොඩගේ ප්‍රකාශනයකි

දැනට අප අතර සිටින ප්‍රකට ම කිවිඳිය වන යමුනා මාලිනියගේ නවතම නිර්මාණ කෘතිය වන්නේ, ‘හංස ඇස’ ය. කතා දහයකින් සමන්විත මේ කෙටිකතා සංග්‍රහය ඇයගේ සිවුවැනි කෙටිකතා සංග්‍රහය වන්නේ ය.

මේ කෙටිකතා සංග්‍රහය මා අතට පත් වී දෙමසක් පමණ ගෙවී ගිය ද ඒ පිළිබඳ ව මා සිතන දේ ලියන්නට පමා වූයේ, මා දුටු එහි ඇති විශේෂත්වය නිසා ය. එම විශේෂත්වය නම් කෙටිකතාව පිළිබඳ ව විවිධ සිංහල විචාරකයන් විසින් පළ කරන ලද, අනුන්ගෙන් ණයට ගෙන ඉදිරිපත් කළ සමහර සිද්ධාන්ත සහ අදහස් මේ කතා සංග්‍රහය සමඟ සමාන කරන්නට නොහැකි නිසා ය. පොදු පිළිගැනීමකට අනුව නම් කෙටිකතාවක ඒකීය ධාරණාවක් තිබිය යුතුය. (මෙය ද බටහිරින් ගත් අදහසකි). ඒ හැරුණු විට එහි අකෘතිකමය විචිත්‍රත්වයක් තිබිය යුතුය.

අත්දැකීම අපූර්ව විය යුතු ය. ඉහත සඳහන් කරුණු කිහිපය සඳහන් කළේ, කෙටිකතාව පිළිබඳ ව යමුනා ඉදිරිපත් කරන අදහස්වලට ප්‍රවේශයක් වශයෙනි. ඇය දක්වා ඇති ආකාරයට, ‘මා දරන අදහස නම් හොඳ කෙටිකතාවක් ජීවිතයක විශාල කොටසක දිග කතාවක් කියා දෙන බව ය. අපට එදිනෙදා හමුවන ගැහැනුන් සහ පිරිමින්ගේ සිතුම් පැතුම් හා චර්යාවන් ඔස්සේ ඔවුන් හඳුනා ගනිමින් මනුෂ්‍යත්වයේ පොදු දුර්වලතා සේ ම පොදු ප්‍රබලතාවන් ද ඉස්මතු කර මනුෂ්‍යත්වයට ආදරය කරන්නට පෙලඹවීම හොඳ කෙටිකතාවක් තුළින් සිදුවන දෙයකැයි මම සිතමි... ජීවිතය දකින්නට අලුත් ඇසක් ඒ මඟින් තනා දෙනු ඇත.’

කෙටිකතාව පිළිබඳ ව යමුනා ගේ අදහස මැනැවින් පැහැදිලි කරන කතා සමුච්චයක් ලෙස ‘හංස ඇස’ හඳුන්වා දීමට කැමැත්තෙමි. මේ කතා සංග්‍රහය තුළ දක්නට ලැබෙන කතා දහය ම එකිනෙකට වෙනස් මෙන් ම සාමාන්‍ය අසාමාන්‍යය බවට පත් කරන අත්දැකීම ද විෂය කොට ගත්තේ වෙයි.

වර්තමාන සමාජ ක්‍රමය තුළ ලේඛකයාගේ අත්දැකීම, කාන්තා විමුක්තිය, මිනිසුන්ට අමතක කළ නොහැකි වෛරය, ගෘහ්‍ය ප්‍රචණ්ඩත්වය, වයසට නොයන්නට මිනිසුන් තුළ ඇති ආසාව, නොලද ආදරය ලබන්නට ගොස් මුහුණපාන ව්‍යසනය, වියපත් වෙද්දී දැනෙන පාළුව, නවයුගයේ තරුණ තරුණියන්ගේ ආකල්ප පදනම් කොට ගත් මේ කතා, ඇසීමෙන් නොව විඳීමෙන් අවබෝධ කොටගත් දේ සේ සිතෙයි.

ඒ යමුනාගේ කතාවල ඇති විශේෂත්වය ය. ඇය කතා ලියන්නේ තමා ලද, විඳි, මනුෂ්‍යත්වය ආචාර විචාර, හැඟීම්, දැනීම් සත්‍යභාසයක් සේ පාඨකයා වෙත ඉදිරිපත් කරන්නට ය. කතාකීම සඳහා ඇය භාවිත කරන්නේ හැඟීම්වල ස්පන්දනය දනවන කාව්‍යෝචිත භාෂාවකි. හැඟීම්වල උච්චාවචනය සමඟ බස ද යොදා ගන්නට ඇය දැරූ උත්සාහය වෙසෙසි සැලකිල්ලට ලක්විය යුත්තකි.

”ඒ හඬ ඇසෙන්නේ මාවනැල්ල පැත්තෙනි. ඒ කමලසිරිගේ මෑණියන් හෙවත් තමාගේ නැන්දම්මාගේ හඬ ය. ඒ එන හඬ තුළ නැන්දම්මලා දහසකගේ ඒකීය හඬ ඇත. ඒත් ඒ හඬට සාප කරන්නේ කෙලෙස ද?

කමලසිරි “ඔහෑ ඔහෑ” ගගා මෙලොවට ආවේ ඒ ගැහැනියගේ කුසයෙනි. කමලසිරිව “දොයි දොයි” කියා නැළෙව්වේ ඒ හඬ ය... ඒ ඔහුගේ අම්මා ය. එහෙත් එහෙව් අම්මාට පුතාගේ කලවයසට අනුව කැන්දාගෙන ආ මනාලියව ඉවසන්න බැරිවුණේ කාගේ කරුමයට ද?

මේ ලෝකේ ප්‍රථම නැන්දම්මා ඈ නොවෙනවා වගේ ම මේ ලෝකයේ ප්‍රථම ලේලිය ද තමා නො වේ ම ය. ප්‍රථම පුතා ඔහු නොවේ. ප්‍රථම සැමියා ද ඔහු නොවේ ම ය. මේ භද්‍ර කල්පය පවතින තාක් කල් හැමෝම මුහුණ දෙන ප්‍රශ්නයට තමන්ලාට මුහුණ දෙන්නට බැරි වුණේ පූරුවේ කරුමයකට ද?”

යමුනා ගේ ‘දිනූ පරාජය’ කෙටිකතාවේ මුතුලතාට සිය නැන්දම්මා ගැන සිතෙන ආකාරය ඇය දක්වා තිබුණේ එසේ ය.

තම දුවත් බෑණාත් දරුවන් තුන්දෙනාමත් සුනාමිය බිලිගත් නිසා තනි වූ වික්‍රම ගේ ව්‍යසනය ඇය කෙටි ඡේදයකට කැටි කරන සැටි බලන්න.

”කටින් බඩට පාන්වත් යයි. ඒත් ඇසින් හිතට මොකවත් නැත. ඇසුම්, දැකුම්, ඇළුම් බැලුම් නැත. ජීවිතය හරි පුදුම එකකි. ඔහු පාන් ගෙඩිය කපයි. පෙත්තක් අරගෙන කෙසෙල් ගෙඩියක් සමඟ කන්නට ගත්තත් එය උගුරේ හිරවෙයි.”

ආදරයක ඇති සැඟවුණු මිහිර සොයා විවාහක බව නොදැන ගැහැනියක් පිටුපස යන මිනිසකුගේ ‘මානසික පෙම්වතිය’ යමුනා විස්තර කරන්නේ මෙසේ ය. ”හීන පුරා සෙනේ පපා ඇය රඟයි. ඇස් කතාකරන විට මනුජිත ඇස් අරියි. ආයෙත් තදින් ඇස් පියා ගත්තේ ආයෙම ඇගේ දෑස දකින්නට හිතාගෙන ය.”

’හංස ඇස’ කතා සංග්‍රහයේ නිරූපිත චරිත ජීවිතය දෙස කාන්තා ඇසින් බලන්නට අප යොමු කරවන්නේ යැයි මට සිතෙයි. ඇය ලියන්නේ ව්‍යාජයකින් මවා ගත් දේ නොවේ. සංවේදී කිවිඳීයකගේ හෘදයග්‍රාහී අත්දැකීම් ය, මේ කතා සංග්‍රහය මඟින් අප ඉදිරියට එන්නේ.

තමා ඇසූ, විඳි, දුටු අත්දැකීම් ය. ඇය ප්‍රතිනිර්මාණය කරන්නේ, මනුෂ්‍යයා සතු සියුම් සංවේදන, උත්ප්‍රාසත්මක ලෙස විවරණ කරන්නටය. ඇය අප ඉදිරියට ගෙන එන්නේ, අප හැමදාමත් දකින ගැහැනු සහ පිරිමින්ගේ නොපෙනෙන, නොදැනෙන පැත්තය.

යමුනා සඳහන් කළ ලෙසට ම, මනුෂ්‍යත්වයට ආදරය කරන්නට පොලඹවන නිර්මාණ සමුච්චයක් ලෙස ‘හංස ඇස’ හඳුන්වන්නට කැමැත්තෙමි.