»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
* 2011 පෙබරවාරි 13 දින
* 2011 පෙබරවාරි 06 දින
* 2011 ජනවාරි 30 දින
* 2011 ජනවාරි 23 දින
* 2011 ජනවාරි 16 දින
* 2011 ජනවාරි 09 දින
* 2011 ජනවාරි 02 දින
* 2010 දෙසැම්බර් 26 දින
* 2010 දෙසැම්බර් 19 දින
* 2010 දෙසැම්බර් 12 දින
* 2010 දෙසැම්බර් 05දින
 
 
   
ඕනෑම නිර්මාණකරුවකුට දර්ශනයක් තිබිය යුතුයි
 

ඕනෑම නිර්මාණකරුවකුට දර්ශනයක් තිබිය යුතුයි

 

දිනේෂ් සුබසිංහ

දිනේෂ් සුබසිංහ යනු අපේ පරපුරේ සිටින ප්‍රතිභාපූර්ණ සංගීතවේදීන් අතළොස්සෙන් එක් අයෙකි. සංගීතය අරභයා සහජ ප්‍රතිභාවකින් යුත් ඔහු එහි අත පොත තැබුවේ බී.වික්ටර් පෙරේරා ගාන්ධර්වයාණන් ගේ අවසාන ශිෂ්‍යයා ලෙසිනි. රාවණාහත්ත ශූර ලෙස වැයීමෙන් මතු නොව ඒ ඔස්සේ දේශීය අක්මුල් සොයා යෑමෙන් ද එය වඩාත් ප්‍රචලිත කළ දිනේෂ් ලෝක ප්‍රකට භාරතීය සංගීතවේදී ඒ.ආර්.රහමන් ගෙන් සංගීතය ප්‍රගුණ කිරීමේ භාග්‍යය ලැබුවේය.

“හුම්මානය” ඔස්සේ ටෙලි නළු සංගීතයට බට ඔහු එතැන් සිට ටෙලි නළු 32ක ස්වර සංරචනය කරමින් සිග්නීස් සම්මානයට ද පාත්‍ර විය. ‘ඒ උයනට මල් ගේන්න’ දිනේෂ් ගේ සිනමා සංගීත සම්ප්‍රාප්තිය වේ. “කරුණා නදී” : The Buddha: River of Kindness නමැති සංගත තැටිය හේ පසුගියදා එළිදැක්වූ අතර මෙය ලංකාවේ ප්‍රථම බෞද්ධ “ගී යැදුම” (Oratorio) ලෙස සැලකිය හැකි ය.

ආගමික කථා වස්තූන් ගී යැදුම්වලට නැඟීම යුරෝපයේ ආරම්භ වූයේ 16 වන සියවසේදී යි. ඔබ ඉන් ආභාසය ලබා මෙරට ප්‍රථම බෞද්ධ ගී යැදුම (Oratorio) නිර්මාණය කිරීමට පුරෝගාමී වෙනවා..

16 වන සියවසේ දී රැමෝ, ලුලී වැනි සංගීතඥයෝ සංගීත න්‍යායන් හඳුන්වා දුන්නා. ඉන්පසු ජේ.එස්.බාක් නමැති සංගීතවේදියා ‘පැෂන් ඔෆ් මැතිව්’ ‘පැෂන් ඔෆ් ජෝන්’ යනාදී වශයෙන් ද බීතෝවන් ‘හැන්ඩ්ල් ඔෆ් මෙසායා’, චිල්ඩ්රන් ඔෆ් ඊශ්‍රායල්, ඩෙබෝරා, එස්තර්, ඩේවිඩ් ආදී වශයෙන් ද ශුද්ධ වූ බයිබලයෙන් උපුටා ගත් කතා වස්තූන් ඇසුරින් ගී යැදුම් රචනා කළා. සංගීතයට නඟන ලද ආගමික වස්තු ‘Oratorio’ යන්නෙහි අර්ථයයි. යුරෝපයේදී 16 වැනි සියවසේ දී තමයි මේවා රචනා කිරීම ඇරඹුණේ.

මින් ආභාසය ලබා මා කල්පනා කළා අප රටේ මෙවැනි ගී යැදුමක් බිහිකිරීමට. මුලින් මා සිතුවේ යශෝදරාවත මීට පාදක කරගන්නයි. පසුව බුදුන්වහන්සේගේ හා ක්‍රිස්තුස් වහන්සේගේ චරිත එකිනෙකට තුලනය කොට මෙවැන්නක් බිහිකිරීමට සිතුවත් පසුව මුළුමනින්ම බුද්ධ චරිතය මෙහිලා පාදක කර ගැනීමට මට සිතුණා. පසුගියදා එළිදැක්වූ ‘කරුණා නදී’ : The Buddha: River of Kindness) නමැති සංගත තැටිය මෙහි ප්‍රතිඵලයයි. අපේ සංගීත නිර්මාණ පිටරැටියෝ වයන දවසක් උදා කරගැනීමයි මගේ සිහිනය. අපේ සංගත තැටියකට අන්තර්ජාතික ප්‍රජාව අතරේ වෙළෙඳ අගයක් හිමිවන්නේ කවදාද? එහිලා විදේශ විනිමය ලබාගත හැකි තත්ත්වයකට අපේ කලාව පත්කළ යුත්තේ කෙසේද යන්න ගැන මා සිහින මවනවා. මේ අපේක්ෂාව අපේ අනාගත පරපුර තව තවත් ඉදිරියට ගෙන යා යුත්තක්.

අපේ සංගීත කලාවේ අනන්‍යතාව අන්තර්ජාතික තලයට ගෙන යෑමට සමගාමීව මෙරට සංගීතයේ වෘත්තීය මට්ටමත් දියුණු විය යුතුයි. මේ ‘ගී යැදුම’ සඳහා බුද්ධ චරිතය යොදා ගැනීමේ දී මහායාන බුදුදහම සෙසු රටවල ව්‍යාප්ත වුවත් ථේරවාදී බුදුදහම පවතින සුවිශේෂ රට ලෙස අන්තර්ජාතික ප්‍රජාව අතර අප ප්‍රමුඛ බව මා අමතක කළේ නැහැ. ලෝකය ඉදිරියේ අප රටේ සංගීත නිර්මාණයක් වෙන්කොට දැක්වීමට නම් අනිවාර්යයෙන්ම එහි දර්ශනයක් තිබිය යුතුයි.

නව පරපුරේ සංගීත හෝ වෙනත් නිර්මාණ බහුතරයක දක්නට ලැබෙන ප්‍රමුඛ ඌනතාවක් ලෙස දර්ශනයක් නොමැතිකම දක්වන්න පුළුවන්. දර්ශනයක් ගොඩනැඟීමට ශික්ෂණයක් අවශ්‍යයි. ශික්ෂණයක් ගොඩනැඟීමට ඉවසීම කාලය හා කැපවීම අවශ්‍යයි?

පැහැදිලිවම මෙරට බහුතරයක් සංගීත නිර්මාණ හරසුන් වීමට හේතුව දර්ශනයක් නොමැතිකමයි. දර්ශනයක් ගොඩනැඟෙන්න නම් ඔහු හෝ ඇය දශකයක් එකහමාරක් අදාළ විෂය පිළිබඳ ශික්ෂණයක් ලැබිය යුතුයි. මා බුද්ධ චරිතය ගී යැදුමට නැඟීමට පෙර භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සමඟ මේ ගැන සාකච්ඡා කළා. මගේ අධ්‍යාත්මය මේ සඳහා සූදානම් කොට ගත්තා. නිදර්ශනයකට මෙහි දේව ආරාධනාව සංගීතයට නැඟීමේදී බෝධි සත්ත්වයන්ට මනුලොව වැඩම කිරීම සඳහා දෙවියන් ඇරියුම් කළ අයුරු, තුසිත දෙව්ලොව සහ මනුලොව සොබාදහම සතුටින් ඊට ප්‍රතිචාර දැක්වූ අයුරු මා මනසින් සිතා බැලුවා.

මානව සමාජයට සත්‍යය ප්‍රකාශ කරමින් එය දුකින් මුදවා ගන්නා ශාස්තෘවරයාගේ පහළවීම ගැන මිනිසුන්, සත්ත්වයන් හා සොබාදහම සතුටින් ඉපිලෙන ආකාරය සංගීතයෙන් සන්නිවේදනය කිරීමයි, මට මෙහිදී අවශ්‍ය වුණේ. අපේ කැටයම්කරුවන් චිත්‍ර හා මූර්ති ශිල්පීන් පොදුජන ඇසට මේ බොදු සිරිත ගෙන ගියා. නමුත් සවනට ගෙන ගියේ නැහැ. එයයි මා ගී යැදුමෙන් ඉටුකළේ. ”Oratorio” යනු සංගීතයට නඟන ලද ආගමික කතා වස්තුවක් නිසා අප රටේ මහා ශාස්තෘවරයාණන් වන බුදුන්වහන්සේ ගේ චරිතය ඇසුරින් මේ නිර්මාණය කිරීමට මට සිතුණා. ලංකාවේ මින් පෙර එවැන්නක් සිදුවී නැහැ.

මේ ගී යැදුමෙහි පිළිබිඹු වන්නේ ඔබටම ආවේණික, අනන්‍ය වූ සංගීත ශෛලියක්. අපරදිග සම්භාව්‍ය සංගීතය හෝ පෙරදිග භාරතීය රාගධාරී සංගීත ආර මෙහි ප්‍රකට නොවන අතර චීන, ජපන්, ටිබෙට් යනාදී මහායාන බුදුසමය ව්‍යාප්ත වූ රටවල භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වීදි දිගේ වැඩම කරන විට මුවින් නික්මෙන, සකු ආකි සෙන් භාණ්ඩයෙන් වැයෙන ආධ්‍යාත්මික සංගීත ශෛලියට මෙහි යම් ඥාතීත්වයක් ඇතැයි මට සිතෙනවා.

මට මෙහිදී අවශ්‍ය වුණේ මගේම සංගීත ශෛලියක් ගොඩනැඟීමටයි. අපරදිග සම්භාව්‍ය සංගීතයත් පෙරදිග උත්තර භාරතීය රාගධාරී සංගීතයත් මා හදාරා තිබෙනවා. නමුත් අපේ රටේ අනන්‍යතාව පිළිබිඹු වන පරිදි බුද්ධ චරිතය ගී යැදුමකට නැඟීමේදී ඔබ කී ආකාරයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රකට වූ ආධ්‍යාත්මික සංගීතයේ ආභාසය, අනුප්‍රාණය පිළිබිඹු වීම ගැන මම පුදුම වන්නේ නැහැ. පෙර ජන්මයේ සිටම බුදුදහම හා සංගීතය මට උරුම වී ඇතැයි මා සිතනවා. ඉන්දියාවේ දී ද මා ඇසීමට අපේක්ෂා කරන නාඩි වාක්‍යයකින් මෙය තහවුරු වේ යැයි මට විශ්වාසයි. නිවුණු සැනහුණු සංගීතයක් මෙහි තිබේ නම් ඊට හේතුව එයයි.

ඉන්දියාවේ රවි ශංකර්, සකීර් හුසේන්, අපරදිග යෙහුඩී මෙනුහින්, ජෝර්ජ් හැරිසන් යනාදී විශිෂ්ට සංගීතවේදීන් සුළඟ, උදෑසන, සැඳෑ සමය යනාදී සොබා සෞන්දර්යය පිළිබඳ තැනූ අනර්ඝ සංගීත සංධ්වනිවල (Symphony) දක්නා ලැබෙන ආරට වඩා මෙහි ශෛලිය වෙනස් කිරීමටත් ඔබ ප්‍රවේශම් වී තිබෙනවා.

එයට හේතුව ඔබ කී සංගීතවේදීන්ගේ සංගීත සංධ්වනිවලට පාදක වූ ප්‍රස්තූතවලට වඩා මගේ “ගී යැදුම’ හි දක්නා ලැබෙන ආගමික මුහුණුවරයි. එයට වස්තු විෂය වන්නේ බුද්ධ චරිතය නිසා ඉතා ප්‍රවේශමෙන් ආධ්‍යාත්මික සංයතභාවයෙන් ලෞකිකත්වයට නැඹුරු නොවන සංගීතයක් මෙහිලා නිර්මාණය කිරීමට මා උත්සාහ කළා. නවනළු රසය අයිති හින්දු සමයට. ඊට අයිති ශාන්ත රසයත් බුදුදහමේ ශාන්ත රසයත් එකිනෙකට වෙනස්.

මින් ඉහත බුද්ධ පරිනිර්වාණය අළලා මහා සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මෙරට ප්‍රථම බෞද්ධ කැන්ටාටාව “පිරිනිවන් මංගල්‍යය’ මැයෙන් නිර්මාණය කළා. කැන්ටාටාවේත් ඔරෙටෝරියෝවේත් පවත්නා වෙනස ව්‍යවහාරික සංගීතයේත් (Applied Music) ශුද්ධ සංගීතයේත් (Pure Music) පවත්නා වෙනසට සමයි. ගීත නාටකවල (Opera) උපත මේ දෙකේ ප්‍රතිඵලයක් නේද?

ඔව්. ඔරෙටෝරියෝ සහ කැන්ටාටා යන දෙකම ආගමික ප්‍රස්තූත මුල්කොට ගෙනයි ගොඩනැඟෙන්නේ. ආචාර්ය කේමදාසයන් තමයි පිරිනිවන් මංගල්‍යය හරහා කැන්ටාටාව මෙරටට හඳුන්වා දුන්නේ. පසුකාලීනව කැන්ටාටා හා ඔරෙටෝරියෝ දෙකම සංකලනය වීමෙන් ඔපෙරා බිහිවුණා. ඔරෙටෝරියෝව සඳහා පාදක වන්නේ ඔබ කී පරිදි ශුද්ධ සංගීතයයි. ගායකයෝ වාදකයෝ සිටගෙන ගයනවා. නර්තන හෝ නාට්‍යමය අංග නොදා. ඇඳුම් මාරුකිරීම් මඟදී සිදුවන්නේ නැහැ. කැන්ටාටාවේ භාවිත කෙරෙන්නේ ව්‍යවහාරික සංගීතයයි. එහි ගායනය, නර්තනය හා නාට්‍යාංග සහසංකලනයක් දක්නට ලැබෙනවා. එහි පොතේ ගුරුලා ඉන්නවා. ඇඳුම් පැලැඳුම් හුවමාරු වෙනවා.

ඔපෙරාවට මේ දෙඅංශයම එක්වුණා. ලොව ප්‍රථම ඔපෙරාව බිහිකළ මොන්ටිවර්ඩ් මේ දෙකෙන්ම අංග උකහා ගත්තා. මා බිහිකළ ගී යැදුමෙහි තවත් අරමුණක් තිබෙනවා. අද මේ රටේ කලා ක්ෂේත්‍රයේ තිබෙන්නේ ජනතාවගේ උසස් රසඥතාව මොටකරන බලවේග. 1950ට පසු පෙරදිග රටවල් දුබල කිරීමට බටහිර විජාතික බලවේග විවිධ ව්‍යාපෘති දියත් කළා. එක් පැත්තකින් විවිධ බීම වර්ග හරහා දියවැඩියාව බෝකළා. අනික් පැත්තෙන් පෙරදිග ජනයා මානසිකව ඇද වැට්ටුවා. එහෙම කළොත් තමයි පෙරදිගට අභියෝග කරන්න බටහිරට හැකිවන්නේ.

සුකිරි බටිල්ලන් හරහා අවරගණයේ ගීත රැල්ලක් මෙරටට සංක්‍රමණය වන්නේ ද එහි ප්‍රතිඵලයක් වශයෙන්. හරසුන් දේ හරහා බල්බ් දාලා, පාට පෙන්වන කෘත්‍රිමව අලංකාර කරන, භෞතික සැප සම්පත් හා මුදලට වහල් වූ තරුණ පරපුරක් හදා ගත්තොත් ඒ පිරිස තමන්ගේ අම්මාවත් විකුණන බව ඔවුන් දන්නවා. මේ සඳහා මාධ්‍යය බවට පත්කර ගන්නෙත් කලාවයි. අනික තමයි කලාව කියන මාධ්‍යයට අරක්කු සහ ගැහැනිය එකතු කළොත් එහි පරිහානිය පටන් ගන්නේ එතැනින්.

ඔබේ කරුණා නදී ගී යැදුමෙහි අවසාන භාගයේදී කේමදාසයන්ගේ පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාවේ ආභාසයත් ලැබී තිබෙන බව මට පෙනෙනවා?

එය සත්‍යයක්. කේමදාසයන්ගේ පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාවේ වාදක මණ්ඩලයේ මමත් සාමාජිකයෙක්. මේ නිර්මාණ යුගලටම බුද්ධ චරිතය පාදක වූ නිසා මගේ ගී යැදුම අවසාන භාගයේ ඒ ආභාසය මට තදින් බලපෑ බව මා පිළිගන්නවා.

ඔබ ලෝ ප්‍රකට ඉන්දියානු සංගීතවේදී ඒ.ආර්.රහ්මන් ගෙන් සංගීතය ප්‍රගුණ කරන ශිෂ්‍යයෙක්. එහෙත් ඔබ ඔහුගේ අනුකාරකයෙක් නොවී දිනේෂ් සුබසිංහ කෙනකුවීමට උත්සාහ දැරීම වැදගත්. ප්‍රතිභාපූර්ණ ඉන්දියානු ශිල්පීන්ටත් ගීතය උගන්වන්නට තැත් කරන මෙරට සුකිරි බටිල්ලන්ට දේශීය අක්මුල් සොයා යන ඔබේ ගමන ආදර්ශයක් වේ යැයි මා සිතනවා.

මා රාවණහත්ත වයමින් සිටි සමයේ බී.එච්.අබ්දුල් හමීඩ් මහතා හරහායි රහමන් ගුරුතුමාගේ පාසලට යාමට අවස්ථාව ලැබුණේ. ඒ අනුව සංගීත පරීක්ෂණයට සහභාගිවී සමත් වුණා. නමුත් අවශ්‍ය මුදල සොයා ගැනීමේදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ යොමු කිරීමෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපකාරයෙන් තමයි ඒ මහඟු අවස්ථාව උදාවුණේ. මා රාවණාහත්ත වැයූ ආකාරය දැකලා එතුමා එය ඉතා අගය කිරීම තමයි ඊට බලපෑවේ.

පළමුවන දවසේ රහමන් ගුරුතුමාගේ සංගීත පාසල (K.M.Music Conserverted),ශබ්දාගාරය දැකගත්තා. ඔහු සිටියේ නැහැ. ඇමෙරිකාවේ සිට පරිගණකයෙන් skype හරහා ඔහු අප සියලු දෙනාට කතාකළා. සති දෙක තුනකට පසු එතුමා ආවා. ඔහු එරට රජෙක් හා සමානයි. එක් මොහොතකට ඔහු කාරයෙන් ඇවිත් පෙනී නොපෙනී ගියා. මං ළඟ කඩේකට ගොඩවැදිල සිසිල් බීම පානය කරමින් සිටින විට කුඩා බලු පැටියෙක් මා දිහා බලන් ඉන්නවා මං මොනවාහරි ඌට දෙයි කියලා. රහමන් ඉදිරියේ මා බලන් හිටියෙත් මේ බලුපැටියා වගේ නේද යැයි මට සිතුණා.

පසුව ඔහු පන්තියේ සිසුන් සමඟ සහභාගිවූ දිවා භෝජන සංග්‍රහයකදී තමයි බොහෝවෙලා අපට මුලින්ම කතාකිරීමට අවස්ථාව ලැබුණේ. පසුව මා එතුමාගේ උපන් දින සාදයේ වයලීනය වයමින් ගී ගැයුවා. රහමන්ගේ සංගීතය යටතේ මනිරත්නම් ගේ ”RAAVAN” චිත්‍රපටයේ වයලීන් වාදනය කිරීමේ භාග්‍යය මට ලැබුණා.”

50 දශකයේ මුල අපේ ආර්.මුත්තුසාමි මාස්ටර් සී.රාමචන්ද්‍රන් නමැති සුප්‍රකට ඉන්දියානු සංගීතඥයාගේ වාදක මණ්ඩලයේ සාමාජිකයකු වීමෙන් එරට සිනමාවට දායක වූවාට පසුව මේ අවස්ථාව ලැබූ දෙවැන්නා ඔබයි?

”රහමන්ගේ වාද්‍ය වෘන්දය මෙහෙයවන දාස් ඩැනියෙල් නමැති පියානෝ ගුරුතුමා මට හරි ආදරෙයි. එතුමා මාව තෙලිඟු චිත්‍රපටයකට මුලින්ම යොමු කළා. ජී.වී.ප්‍රකාශ් සංගීතවත් කළ මේ චිත්‍රපටයේ මා වයලීනය වැයුවා. පසුව ‘වේට්ටම්’ නමැති දෙමළ චිත්‍රපටයේ ශ්‍රීසායි නමැති සංගීතඥයාගේ වාදක මණ්ඩලයේ කටයුතු කළා. රහමන් ගුරුතුමාගේ සංගීත ආයතනයේ පදනම් පාඨමාලාව මා හමාර කළා.

මා එතැනින් ඇමෙරිකාවට ගොස් වෙනත් සංගීත අත්දැකීමක් ලබා ගැනීමටයි උත්සාහ කරන්නේ. ජීවිතයේ අවසාන භාගයේ විදේශීය වාද්‍ය වෘන්දයක් මෙහෙයවමින් ලාංකික සංගීතඥයකු ලෙස බුදුන්වහන්සේගේ බුද්ධත්වය (Enlightenment) සංධ්වනියකට නැඟීමයි මගේ අපේක්ෂාව. යම් කෙනෙක් තමන් නියැළෙන කවර කලාවකට හෝ අවංකව කැපවීමෙන් තම කාර්යයෙහි නියැළුණොත් කිසි කෙනෙකුට කුහකත්වයෙන් ඔහුට හෝ ඇයට කැපිලි දාන්න බැහැ. මන්ද සොබාදහම එවැන්නන්ට රැකවරණය දෙනවා. මෙය මා තරයේ අදහන සත්‍යයක්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා