දොස් - නිදොස් විශ්ලේෂණය
 

දොස් - නිදොස් විශ්ලේෂණය

 

ඩී. එෆ්. කාරියකරවන

ලිංග

ශබ්ද ප්‍රකෘති හෙවත් නාම පද ලිංග භේදයෙන් යුක්ත වේ. සිංහලයෙහි ලිංග තුනක් දැක් වේ.

1. පුරුෂ ලිංග
2. ස්ත්‍රී ලිංග
3. නපුංසක ලිංග
මේ අනුව ශබ්ද ප්‍රකෘති ද තෙවැදෑරුම් වේ.

1. පුරුෂ ලිංග ශබ්ද ප්‍රකෘති
2. ස්ත්‍රී ලිංග ශබ්ද ප්‍රකෘති
3. නපුංසක ලිංග ශබ්ද ප්‍රකෘති යනුවෙනි.

1. පුරුෂාර්ථයක් හඟවන්නේ පුරුෂලිංග ශබ්ද ප්‍රකෘති යි. නිදසුන් : මිනිස්, අස්, ගොන්.
2. ස්ත්‍රී අර්ථයක් හඟවන්නේ ස්ත්‍රීලිංග ශබ්ද ප්‍රකෘති යි. නිදසුන් : ළඳ, යෙහෙළි, කත්
3. සිත් පිත් නැත්තක් හෙවත් අචේතනික වූවක් හඟවන්නේ නපුංසකලිංග ශබ්ද ප්‍රකෘති යි. නිදසුන් : කට, ගස්, පා, රුක්, අත්
සාමාන්‍යයෙන් මුල් ශබ්දයට ‘ඊ’ ප්‍රත්‍යය වැටීමෙන් ස්ත්‍රීලිංගික ශබ්දය සෑදේ. නිදසුන් මෙ සේ යි:
 

පුරුෂලිංග

ස්ත්‍රීලිංග

බමුණා බැමිණී
බළලා බැළලී
කුමරා කුමරී
බිහිරා බිහිරී
කුකුළා කිකිළී
ඌරා ඊරි
සතුරා සැතිරී

මුල් වචනයට ස්ත්‍රී වාචක වෙන ශබ්දයක් එකතු වීමෙන් ද ස්ත්‍රීලිංගික වචන සෑදේ. නිදසුන් :

පුරුෂලිංග

ස්ත්‍රීලිංග

සිංහයා සිංහ ධෙනුව
කොටියා කොටිදෙන
මීමා මීදෙන්
දෙවියා දෙවිදු

ස්ත්‍රීලිංගය වශයෙන් අමුතුම ශබ්දයක් වැහැරීම ද සිදුවේ. නිදසුන් :

පුරුෂලිංග

ස්ත්‍රීලිංග

පිය මව
පුත් දූ
මයිල් නැදි
අස් වෙළඹ
මිනිස් ගෑනු
මොනර සෙබඩ
රජ බිසෝ
සැමි අඹු

මේ ක්‍රමයට වෙනස් ව ද හැදෙන ස්ත්‍රී ලිංගික වචන දෙකකි සෙර හා කෙර. (සොර යන්නෙහි ස්ත්‍රී ලිංගය සෙර. කොර යන්නෙහි ස්ත්‍රී ලිංගය කෙර.
මම, අපි, තෝ, තෙපි යන සර්වනාම පද ද ළමා, දේවතා ආදි ශබ්ද ද හොඳ, සුදු, රතු ආදි ගුණ වාචක ශබ්ද ද සම ලිංගික වේ.
ළමා ශබ්දය පුරුෂ වාචක වන්නේ ‘පිරිමි ළමයා’ යනුවෙනි. ස්ත්‍රී වාචක වන්නේ ‘ගැහැනු ළමයා’ යනුවෙනි.
‘හොඳ’ යන්න ද එ සේ ම ය. ‘හොඳ මිනිසා’ ‘හොඳ ගැහැනිය’ යනුවෙනි.
සියලු ම අප්‍රාණ වාචි ශබ්ද නපුංසක ලිංග වශයෙන් සැලකීම ඉතා පහසු වේ.


කොම්බුව

අගෝස්තු 29 වැනිදා එක්තරා පත්‍රයෙක මුල් පිටුවේ සිරස් තලයෙක මෙසේ දැක්වේ:
“ගෝලයෝ දෙදෙනකුත් මැරී වැටිලා”
එදිනම තවත් පත්‍රයෙක මුල් පිටුවේ සිරසක් මෙසේයි:
“ෆාජිගේ ගෝලයෝ දෙදෙනකුත් මැරුම් කති”
පත්තර දෙකට ම පොදු සිරස් තල කොටස ගෝලයෝ දෙදෙනකුත් ය. (ගෝල යනු ගෝලාකාර ය. සිසුවාට හෝ අනුගාමිකයාට කිය යුත්තේ ‘ගෝළයා’ කියා ය. එතැනට මූර්ධජ අවශ්‍ය ය)
‘ල’ කාරය මොහොතකට අමතක කර අනෙක් වරද ගැන බලමු.

පත්තර දෙකේ ම ‘දෙදෙනකුත්’ යන්න උක්ත රූපයෙන් දක්වා ඇත. දෙකේ ම ‘දෙදෙනකු’ යන්නෙහි ඇත්තේ උක්ත රූපයයි. එහෙත් මේ දෙකේ ම ඇත්තේ ‘අකු’ ප්‍රත්‍යයයි. එය අනුක්ත රූපයෙකි.
උක්ත රූපය වන්නට නම් ‘එක්’ ප්‍රත්‍යය තිබිය යුතු ය. එවිට පත්තර දෙකේ ම ‘දෙදෙනකුත්’ යන්න ‘දෙදෙනෙකුත්’ විය යුතු ය. පත්තර දෙකට ම කොම්බුව බැගින් අවශ්‍ය වන්නේ ය.


අනෙක් කොම්බුව

අනුක්තයෙහි යෙදෙන විට ‘දෙදෙනකු’ යන්න නිවැරැදි ය. එතැන ඇත්තේ ‘අකු’ ප්‍රත්‍යය බැවිනි. එහෙත් අද බොහෝ දෙන අනුක්තය ලියන්නේ ‘දෙදෙනෙකු’ වශයෙනි. ‘අකු’ ප්‍රත්‍යය අවශ්‍ය තැනට ‘එකු’ ප්‍රත්‍යයක් ආදේශ කිරීමෙනි.
හොඳ උගතුන් යැයි සම්මත ඇතැමෙක් ද මේ අමතර කොම්බුව රුවති. එය නිරවද්‍ය නොවේ. එයට දෙන පිළිතුරු පිළිගත හැකි ඒවා නො වේ.


ඇහැළේපොළ

නිවැරැදි වන්නේ ඇහැළේපොළ ද නැත්නම් ඇහැලේපොල ද යනුවෙන් විමසන පාඨක මහතාට පිළිතුරුයි මේ.
නිවැරැදි විය යුත්තේ මුර්ධජ ළකාර දෙක සහිතව ලියන ඇහැළේපොළ ය. ‘ඇසළ’ හෝ ඇහැළ යන තැනත් ‘පොළ’ යන තැනත් ඒකාන්තයෙන් ම මූර්ධජ වේ.
එහෙත් සංඥා නාම ලිවීමේදී නණ ලළ එතරම් ම බැලිය යුතු නැතැයි කියන්නෝ ද වෙති. එහෙත් ඇහැළේපොළ සර්ව නිර්දෝෂියි.


අක්ෂර වින්‍යාසය

සිත්කලු - සිතට පි‍්‍රය උපදවන
සිතුමිණ - චිත්තා මාණික්‍යය. සිතූ පැතූ දේ දෙන මැණික

සිඳුනා - 1. සාගරය, 2. කපන

සිනහව - හාසය

සිනිඳු - මට සිලිටි

සියන - පියස්ස

සියලු - හැම

සියුමැලි - ඉතා සියුම්

සිලිටි (සිලුටු) - මෘදු

සිල - 1. ශීලය, 2. සිදුර

සිලා - ගල්මය

සිලවු - වෙනුවට

සිල්ල - 1. ජලය, 2. සීතල, 3. කඳුළ

සිවලා - නරියා

සිහින - ස්වප්න

සිහින් - 1. හීනි, 2. ශීතල බව

සිහිලැල් - ඉතා ශීතල

සිළ - පහන් දැල්ල

සිළු - මුඳුන - හිස කෙස් වැටිය

සිංහල - අපේ රට, ජාතිය, භාෂාව

සීන - ස්වප්න

සීනි - රස කාරකයක්

සීනුව - මිණිය

සීරළු - සිවුරු හළ

සීලය - යහපත් දිවිය

සීහෙන - ගැළපෙන

සුකොමළ - ඉතා කෝමල

සුකුමාල - ඉතා කෝමල

සුගුණ - හොඳ ගුණ

සුදර්ශන - හොඳින් දකින

සුපතළ - හොඳ හැටි පැතිරුණු

සුපිළිපන් - හොඳට පිළිපැද්ද

සුපිළිසන් - හොඳින් වැසුණු

සුඹුල - සිවිය

සුනිල - ඉතා නිල්වන්

සුනෙර - මහමෙර

සුනු - සුන් වූ, සිහින් කුඩු

සුනුපිසුනු - කැඩී බිඳී ගිය

සුමන - 1. යහපත් සිත, 2. සුමන සුරිඳු

සුමන - 1. සුමන සුරිඳු, 2. යහපත් සිත

සුමනා - ස්ත්‍රී නාමයක්

සුමානය- සතිය