විශ්ව සාහිත්‍යයේ සිංහල ලකුණ - 6
 

විශ්ව සාහිත්‍යයේ සිංහල ලකුණ - 6

 

මාර්ටින් වික්‍රමසිංහ

රුසියානු බසට නැඟුණු වික්‍රමසිංහගේ වැදගත් ම සාහිත්‍ය නිර්මාණය වනුයේ, ගම්පෙරළිය - කලියුගය - යුගාන්තය යන තුන් ඈඳුතු නවකතාව ය. මේ නවකතා ත්‍රිත්වයේ පළමුවැන්න වන ගම්පෙරළිය, කලින් ද සඳහන් කළ පරිදි, මුලින් කරන ලද ඉංගිරිසි පරිවර්තනයක ආධාරයෙන් රුසියන් බසට නැඟුණි.

ඉන් අනතුරුව, වී. විහුහොලෙෆ් සහ ඊ. ශෙවෙලියේවා විසින් කෙළින් ම සිංහල බසින් රුසියන් බසට නඟන ලදු ව, මේ සුවිශේෂ කෘතිය අවසන් යුගය යන අරුතැති “පස්ලේද්නි වියෙක්” නමින්, 1965 දී පළ විය. පිටු 366 කින් පරිමිත එකී මහරු පරිවර්තනයට පෙරවදනක් ලියුවේ, එවකට රුසියානු සාහිත්‍ය සංගමයේ ලේකම් ධුරය හෙබවූ කොන්ස්තන්තීන් චුගුනෝෆ් ය. පොත ප්‍රකාශ කරන ලද්දේ, මොස්කව්හි ප්‍රගති ප්‍රකාශන මන්දිරය විසිනි.

1965 වසරේදී මොස්කව්හි ප්‍රගති ප්‍රකාශන මන්දිරය මඟින් තනි පොතක් හැටියට රුසියන් බසින් පළ කරන ලද තුන් ඈඳුතු නවකතාවේ පිටපත් ලක්ෂයක් (100,000) වහා විකිණී ගියේ යැයි පවසන වී. විහුහොලෙෆ් මෙසේ ද පවසයි.

“නියම චරිත හා නියම සිද්ධීන් තුළින් එක ම පවුලක පරම්පරා කීපයක ඉතිහාසයත්, ජාතික ජීවයේ වර්ධනයත් පෙන්වීමට කතුවරයා දරන වෑයම නිසා, ඔහු ගෝර්කිට නෑකම් කියයි. සමකාලීන ජීවිතයේ ගති ස්වභාවය හා තම රටේ ජනයාගේ සිතුම් පැතුම් පළ කිරීමට මාර්ටින් වික්‍රමසිංහ සමත් ව සිටියි. තම ජනතාවගේ ඉරණම ගැන ඉතා ම ඵලදායක ලෙස බොහෝ සෙයින් සිත් යොමු කරන දැඩි විමංසන චින්තනයක්, ඔහුගේ සියලු කෘතීන්හි ගැඹුරින් කාවැදී ඇත. ඔහුගේ තුන් ඈඳුතු කතාව, ඒ රමණීය දිවයිනේ ජන ජීවිතයට එබී බැලිය හැකි කවුළුවක් සේ, අපි සලකමු.”

රුසියන් බසට නැඟුණු තුන් ඈඳුතු කතාව සෝවියට් පාඨක ජන සමූහය විසින් ඉමහත් ආදරයෙන් පිළිගන්නා ලද බව, ඒ පිළිබඳව වරින් වර රුසියානු සාහිත්‍යධරයන් විසින් කරන ලද ඇගයීම්වලින් පෙනී ගියේ ය. සුප්‍රකට රුසියානු බසින් පළ වන “විදේශ සාහිත්‍යය” සඟරාවේ 1966 අංක 9 කලාපයෙහි, මේ රුසියානු පරිවර්තනය ගැන දීර්ඝ සමාලෝචනයක් පළ විය. ඒ විචාරය එල්. ෆේයිගින් විසින් ලියන ලද්දේ විය.

එසේ ම රුසියාවේ පළ වන විශාලත ම දිනපතා පුවත්පත වන ඉස්වෙස්ටියාහි, 1966 මාර්තු 17 වැනි දින බොරිස් රියුරිකෝෆ් විසින් ලියන ලද විචාරයක් පළ විය. එහිලා මේ සම්භාවනීය රුසියානු සාහිත්‍ය විචාරකයා කියා සිටියේ, “අවසන් යුගය වූ කලී විස්මයජනක ලෝකයක ජීවත්වන ජනතාවකගේ ජීවිතය දෙස එබී බැලිය හැකි කවුළුවක්” බව ය. සෙසු කාරණා ද අතර, ඔහු මෙසේ ද සඳහන් කෙළේ ය.

“ප්‍රකෘති ලෝකය හා එදිනෙදා ජීවිත ක්ෂේත්‍රය සිතුවම් කරන මේ ලේඛකයා, අනවශ්‍ය විස්තර කථනයෙන් බැහැර වෙයි. සෑම විට ම ලේඛකයකු සතු වැදගත් කාරිය නම්, චරිතයන්ගේ සංකීර්ණත්වය හා ඔවුන්ගේ සම්බන්ධය පූර්ණ තාත්විකත්වයෙන් ඉදිරිපත් කිරීමයි. වික්‍රමසිංහගේ ශෛලිය, සෞන්දර්ය වර්ණනයෙන් බැහැර වූවකි. මොහු ගැඹුරු සමාජ චින්තනයෙන් හා ප්‍රජාතාන්ත්‍රික අදහස්වලින් පිරුණු කලාකරුවෙකි.”

පසු කලෙක මාර්ටින් වික්‍රමසිංහ ගේ දිගුකාලීන මිත්‍රයකු බවට පත් වූ ව්සියෙවොලෝද් කොචිතෝෆ්ද, තුන් ඈඳුත්ත පිළිබඳ ව සිය අදහස් නොපැකිළ ඉදිරිපත් කෙළේ ය. ඔහුගේ නිර්ලෝභී වදන් පෙළ සිංහලයට නැඟිය හැක්කේ මෙපරිදි ය.

“මේ උසස් කෘතිය ලෝක යථාර්ථවාදී සංස්කෘතියේ හොඳ ම කෘතීන් සමඟ සම තැනක් ගෙන ඇත. මේ ග්‍රන්ථය කියවද්දී එහි චරිත ගොඩනංවා ඇති අයුරුත්, ඔවුන්ගේ දුෂ්කර සහ සංකීර්ණ ඉරණම මෙහෙයවන ආකාරයත් දකින ඔබට හැඟෙන්නේ, මේ සියවසේ මුල් විසිපස් වසරේ ඉතිහාසයේ පිටු යළිත් කියවන බවකි.

“ලාංකික ජනතාවගේ ජාතික කීර්තිය හා ප්‍රෞඪත්වය නිර්මාණය කරන්නාවූ කතුවරුන් අතර, වික්‍රමසිංහයන්ට හිමි වන්නේ අතිවිශේෂ ස්ථානයකි. මොහුගේ උසස් කුසලතාවය හා දැනුම හේතුවෙන්, ලාංකික සාහිත්‍ය ඉතිහාසයේ නව යුගයක් උදා වුණි. ඔහුගේ උදාර මානව පේ‍්‍රමී අදහස්වලින් හා ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනයන් ගෙන් ලාංකික සාහිත්‍යය පොහොසත් විණි.

සැබැවින් ම ඔහු ජාතික ලේඛකයෙකි. ඔහුගේ කෘතීන් ගෙන් ස්වකීය ජනතාවගේ ජීවන දැක්ම, රසිකත්වය, සිතුම් පැතුම් ආදිය මොනවට පිළිබිඹු වෙයි. තාත්විකත්වය නොඅඩුව පිළිබිඹු කෙරෙන ප්‍රගතිශීලි කලා නැඹුරුව නමැති කාහල නාදය සාහිත්‍ය ලෝකය පුරා පතුරවන්නකු හැටියට වික්‍රමසිංහයන් සැලකිය හැක්කේ ය.”

මුලින් සඳහන් කෙරුණු ප්‍රධාන කෘතීන්ට අමතර ව, ඔහුගේ කෙටිකතා රැසක් ම, වරින් වර කෙළින් ම සිංහල බසින්ද, ඉඳහිට ඉංගිරිසි පරිවර්තන අනුසාරයෙන් ද රුසියන් බසට නැඟුණි. එසේ සෝවියට් - රුසියානු පාඨකයින් අතට පත් වුණු කෙටිකතා අතර හඳ සාක්කි කීම, වහල්ලු, නරක් වූ පිටි බඳුන, මීයාගේ මරණය ආදි නිර්මාණ දැක්විය හැක්කේ ය.

මේ කතා සියල්ල සිංහල බසින් රුසියන් බසට නඟන ලද්දේ එන්. ක්‍රස්නදේම්බ්ස්කයා නමැති ලේඛිකාව විසිනි. එකී කතා පළ ව ඇත්තේ 1968 දී මොස්කව්හි ප්‍රකාශිත “ලංකාවේ නූතන ලේඛකයන්ගේ කෙටි නවකථා” යන කෘතියෙහි ය. ඒ අතර කයිවාරුකාරයා යන අරුතැති “බල්තූන්” නමින්, ඒ. බෙල්කොවිච් විසින් සිංහල බසින් රුසියන් බසට නඟන ලද කතාවක් ද වෙයි. මේ වනාහී, මාර්ටින් වික්‍රමසිංහගේ බේගල් කතාව බවට සැක නැත.

හොඳින් නිමා වන සියලු දේ හොඳ ය (ව්සියෝ හරශෝ ශ්තෝ හරශෝ කන්චායෙත්සා), පේ‍්‍රමය, නාගයා යන කතා සිංහල බසින් රුසියන් බසට නඟන්නේ, යූරි අක්සෙනෝෆ් ය.

ඒ කතා “තේ වතුරේ පාට” යන හිසින් 1964 දී රුසියන් බසින් පළ වූ ලාංකික ලේඛකයන්ගේ කෙටිකතා එකතුවට ඇතුළත් විය. විනෝද වීම (රස්ව්ලිචේනියෙ) නමැති කතාව ඉංගිරිසි පරිවර්තනයක ආධාරයෙන්, රුසියන් බසට නඟන ලද්දේ ටී. නෙම්ට්සෝවා විසිනි. මේ කතා සියල්ල 1979 වසරේදී මොස්කව්හිදී ප්‍රකාශයට පත් වුණු “ශ්‍රී ලංකාවේ නූතන කෙටි නවකතා” යන කෘතියෙහි පළ වුණි.

මාර්ටින් වික්‍රමසිංහගේ සාහිත්‍ය නිර්මාණ රුසියන් බසට නැඟීමේ හේතුවෙන්, ඔහු කෙරෙහි එවකට සෝවියට් සමූහාණ්ඩු සංගමයට අයත් වුණු සෙසු ජනරජයන්හි සාහිත්‍යධරයන්ගේ ද අවධානය යොමු විය. ඒ අනුව වහල්ලු, කණ්ණාඩි පැලඳි සර්පයා, පේ‍්‍රමය වැනි කතා කිහිපයක් ම උස්බෙක් බසින් පළ විය. මේ සඳහා, රුසියන් බසින් කරන ලද පරිවර්තන ඇසුරු කරගන්ට ඇතැයි සිතිය හැකි ය.

උස්බෙක් බසට නැඟුණු වහල්ලු කතාව පළ වූයේ, “ශාර්ක් යුල්දුසි” සඟරාවේ 1960 අංක 02 කලාපයෙහි ය. කණ්ණාඩි පැලඳි සර්පයා යන අරුතැති මාර්ටින් වික්‍රමසිංහගේ කෙටිකතාවක් උස්බෙක් බසට පෙරළෙන්නේ 1967 වසරේදී ය. මේ කතාව ඒ වසරේ උස්බෙක් බසින් පළ වූ “ලාංකික ලේඛකයින්ගේ කතා එකතුවට” ඇතුළත් විය. එසේ ම ‘පේ‍්‍රමය’ නමින් උස්බෙක් බසට නඟන ලද මාර්ටින් වික්‍රමසිංහගේ කතාවක්, 1967 මාර්තු 30 වැනි දින “යෙශ් ලෙනින්චි” පුවත්පතේ පළ ව තිබුණි.

මේ අතර “ලේඛකයකුගේ නිවසේදී” යන හිසින් “අගනියෝක්” සඟරාවෙහි 1966 අංක 22 කලාපයේ මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳ ලිපියක් පළ විය. ඒ ලිපිය උපුටාගෙන තිබුණේ “කුණාටු දිවයින” යන හිසින් ව්සියෙවොලෝද් කොචිතෝෆ් විසින් ලංකාව ගැන ලියන ලද කෘතියෙනි.

එසේ ම “විදේශ රටවල” නමැති සඟරාවේ 1968 අංක 23 කලාපයෙහි “සිංහල සාහිත්‍යයේ මහා පුරුෂයා” යන හිසින් ඕ. ප්ලෙශෝෆ් විසින් ලියන ලද ලිපියක් ද පළ ව තිබුණි.

ඊට ද අමතර ව, ඊ.වී. අස්ලානොවා විසින් “මාර්ටින් වික්‍රමසිංහගේ ‘පව්කාරයාට ගල් ගැසීම’ කෙටිකතා

සංග්‍රහයේ විශේෂත්වය” යන හිසින් ලියන ලද විචාරාත්මක ලිපියක්, “පෙරදිග සාහිත්‍ය අධ්‍යයනයේ ගැටලු - සම්ප්‍රදාය හා වර්තමානය” (1982) යන කෘතියෙහි ද, ඇය විසින් ම ලියන ලද “මාර්ටින් වික්‍රමසිංහ - යථාර්ථවාදී ලේඛකයෙක්” යන හිසින් ලියැවුණු තවත් ලිපියක් “ආසියාව හා අපි‍්‍රකාව අද” යන වාර ප්‍රකාශනයේ 1983 අංක 6 කලාපයෙහි ද පළ ව ඇත.
 

ලබන සතියට