සැබෑ බිරිය
 

සැබෑ බිරිය

 
රුසියාවේ ජනශ්‍රැති
ජනකතා සහ සුරංගනා කතා

ක් මහලු පුරුෂයකුට දියණියෝ තිදෙනෙක් වූහ. ඔහු ගේ බිරිය අකාලයේ මියැදුණා ය. මවු ගේ මරණින් පසු තරුණ දියණියෝ තිදෙන පියා සමඟ තනිවූ හ.

නිවෙසේ කටයුතු බහුල විය. එහෙත් වැඩිමහල් දියණියෝ වැඩ මඟ හරිති. බඩපිස්සිය තනිව ම වෙහෙසෙන්නී ය. ඇගේ කටයුතු ඉතා පිළිවෙල ය. නිරවුල් ය.

එක් දිනක් පියා ඈට මනරම් කොණ්ඩා සැරසිල්ලක් තිළිණ කෙළේ ය. එහි කිසියම් සුවිශේෂත්වයක් ඈ දුටුවා ය. සියල්ලන් ඒ රාත්‍රියෙහි නින්දෙහි පසුවන විට ඈ ඒ කොණ්ඩා කටුව පොළොවෙහි දමා මෙසේ ප්‍රාර්ථනා කළා ය.

”මාගේ පෙම්බරයා මට ලබා දෙන්න”

එවිට ම මහා පුදුමයක් සිදුවිය. ඇසකින් බලා නිම කළ නොහැකි තරමේ සුන්දරත්වයකින් හෙබි කුමාරයෙක් ඈ ඉදිරිපිට පෙනී සිටියේ ය. ඔහු නම් නියම රජ කුමරෙකි!

ඔවුහු එක් රැයකින් ම ඉතා ළබැඳි වූහ. සියල්ලන් පිබිදෙන අලුයම් කල, මෙකුමරා පොළොවේ හැපී උකුස්සකු බවට පෙරැළී කුඩා කවුළුවෙන් පියාඹා යන්නට ගියේ ය. එහෙත් ඔහු එදින රාත්‍රියේ පටන් හොර රහසින් සිය පෙම්බරිය සොයා එන්නට විය.

මේ බව දැනගත් වැඩිමහල් දෙසොහොයුරියන් උකුස්සා පියඹා එන කවුළුව වසා එතැන තියුණු පිහි තුඩු කිහිපයක් රඳවා තැබූහ.

එදින රාත්‍රියෙහි මේ නිවෙස වෙත පියෑඹූ උකුස්සා කවුළු පියන් පතෙහි තදින් හැපී, ළය මඬල සිදුරු කර ගෙන මහත් වේදනාවෙන් පියාඹා යන්නට ගියේ ය.

උකුස්සා ගේ පෙම්බරිය මේ බැව් දැනගන්නා විට සියල්ල සිදු වී හමාර ය. එහෙත් ඈ පරාජය බාරගන්නියක් නොවේ. එදින උදයේ ම ඈ සිය පෙම්බරයා සොයා පිටත් ව ගියාය. ගන කැලෑ මැදින්, වන සතුන් ගේ ප්‍රහාර අතරින්, යක්ෂණියන් වසන ගල් ගුහා තරණය කරමින් ඈ නොපසුබට වීර්යයකින්, සිය ප්‍රේමය වෙනුවෙන් ගමන් ගත්තා ය.

මේ අතර ඇගේ පෙම්බර රාජ කුමාරයා මායාකාරී රාජ කුමාරියක විසින් රඳවා ගෙන ඔහු බලහත්කාරයෙන් ඇගේ ස්වාමිපුරුෂයා බවට පත්කරගනු ලැබ තිබිණි. එහෙත් අපේ කතා නායිකාව ගේ ආත්ම විශ්වාසය ද, මනා කැපවීම ද අවසානයේ දී ජය ගැනිණි.

කුමාරයා ගේ සැබෑ බිරිය නම් මායාකාරිය නොව ඔහු වෙනුවෙන් මහත් කැපවීම් කළ යුවතිය බව සියලු රට වැස්සෝ තීරණය කළහ. එවිට නීත්‍යනුකූල එහෙත් මායාකාරී බිරියට පරාජය බාර ගැනීමට සිදුවිණි.