බල්ලෝ - බල්ලොමය ඇති නැති මුත් නැට්ට
 

බල්ලෝ - බල්ලොමය ඇති නැති මුත් නැට්ට

 

පේ ගැමියා වූ කලී ‘ඇටුවම්’ බැසගත් වනස්පතියක් වැන්න. විවිධ පිරිපතයන්ට ඔරොත්තු දීමේ වෙසෙස් බවක් වනස්පතීහු දරති. ඍතු ගුණයන්, ඍතු විපර්යාසයන් හා කාලික අකාලික රටාවන් හි තත්ත්වයන් විඳ දරා ගනිමින් ඊට සුදුසු හැඩ ගැසීම්හි වනස්පතියෝ පේවෙති.

උදාහරණ වශයෙන් ගිම්හාන ඍතුවට මුහුණදීම් වස් වෘක්ෂ තම බාහිරාවරණය රළු කර ගන්නා අතර, (ගසෙහි පිටපොත්ත වියළි බවට පාත්‍ර කරගන්නා අතර) වියපත් පත්‍රිකා මුදා හැරීම වෘක්ෂයන්ගේ පැවැත්මේ රක්ෂාවරණයක් වනු ඇත.

එසේ ම කොළ, මල්, දළු ලා සරත් ඍතුවට ආයිත්තම් වෙන ගහවැල සරාසිරියෙන් පරිසරය ඔපවත් කරයි. මෙවන් හැඩ ගැසීම් වලින් තම පැවැත්ම ව්‍යසනයන්ගෙන් වලක්වා ගැනීමට වනස්පතියෝ සමති.

ගැමියා ද තම විඳවීම් වලින් ම (අත් විදුම්වලින්ම) ජීවන ගමනේ බර සැහැල්ලු කර ගනී. ඊට උරකර දෙන ක්‍රමවේදවල දිගුව වනාහී ගැමියන්ගේ ධරමාණය හෙවත් ආයුකාලය වනු ඇති. මේ වකවානුවේදී ඔව්හු බැඳීම්, බෙදීම්, බිඳීම් හා සිඳීම් ආදියේ පරිචය ලැබ ගැන්මට ‘විඳීම්’ හෝ “විඳවීම්” යන ඇබෑසියන් හි නිරත වෙති.

එනයින් ඔවුන් තුල ‘අරටු බැස” ඇති ඉගැන්වීම් අපමණි. ඒ ඉගෙනුම් සමුද්‍රය එක්තරා අධ්‍යාපන වේදයක් නමුදු, ඒවා ඔවුන් ලිඛිත පොතපත කියවා ලබාගත් දැනුම් සම්භාරයක් නම් නොවන්නේමැයි. ඒ අධ්‍යාපනය ඔවුන් පරිශීලනය කළේ අසීමිත පිටු සංඛ්‍යාවකින් යුතු ‘ජීවිතය’ නමැති අමිලතම මහා පුස්තකයෙනි. එහි දැනුම වනපොත් කැරුමෙන් තාවකාලිකව ලබාගත් ඤාණයක් ලෙස නොව, “ජීවිතය කියවා” සදාකාලිකව අත්විඳගත් විඥානයක් ම වන්නේ ය.

එනිසා මේ විඥානයීය දැනුම් සම්භාරය විඳගැන්මේ කාර්ය භාරයේදී ‘ජීවිතය’ නමැති පොතෙහි අන්තර්ගත වූ පරිච්ඡේද තුන ම අවධාරණය කරගත යුතුවේ. මේ ජීවිතය නම් වූ පුස්තකයේ ප්‍රථම පරිච්ඡේදයේ ඇත්තේ ඉතා ම සීමිත පිටු කීපයකි. පරිච්ඡේදය නම් වන්නේ “උපැත්ම” යනුවෙනි. යමකු උපත ලබන්නට ඔහුට හෝ ඇයට දැනුමක් ඇවැසි නොවේ. එනිසාමය මතු සඳහන් ‘ජීවිත’ පොතෙහි පළමු පරිච්ඡේදයේ එනම් “උපැත්ම” නමැති පරිච්ඡේදයේ පිටු සංඛ්‍යාව සීමාසහිත වී ඇත්තේ.

ඒ පරිච්ඡේදය ඉතා පහසුවෙන් පෙරළා දැමුවත්, දෙවැනි පරිච්ඡේදයට අසිමිත පිටු සංඛ්‍යාවක් ඇතුළත් ය. ඒ පරිච්ඡේදය ‘පැවැත්ම’ නම් සිරස්තලයකින් ආවරණය වී ඇත. ජීවිත කෘතියේ වැඩි ම පිටු සංඛ්‍යාවක් ඇත්තේ ද, වැඩි ම ඉගැනුම් සම්භාරයක් ඇත්තේ ද, උපරිම විඥානයක් අත්පත් කරගත හැක්කේ ද ‘පැවැත්ම’ නමැති මේ දෙවැනි පරිච්ඡේදයෙනි. ඇතැම් විට බොහෝදෙනෙක් මේ පැවැත්ම නමැති පරිච්ඡේදයේ අන්තර්ගත ව ඇති ඉගැනුම් නිම කර ගැනීමට පෙරාතුව තෙවැනි පරිච්ඡේදයේ වූ ‘නැවැත්ම’ නමැති පරිච්ඡේදයේ හිඩැස දකිති.

කෙසේ වුවද අපේ ගැමියෝ බහුතරයක් ම දෙවැනි පරිච්ඡේදයේ දැනුම් සම්භාරයෙන් පෝසත් වූවාහුය. ඔව්හු දෙලොවට ම වැඩදායක අස්වැන්නක් නෙලාගෙන, අනතුරුව ඉතා සැහැල්ලු සිතින් පරිණත විඥාන කෝෂ්ටාගාරයෙන් කෙල පැමිණ, ‘නැවැත්ම’ නම් වූ අවසන් පරිච්ඡේදය, ජීවිත පුස්තකයෙන් පෙරළා සදාකාලිකව නින්දට සමවදිති.

අපේ ගැමියාගේ විඥානයේ තරම පසක් කැරෙන ඔවදන් එදාට, මෙදාට මෙන්ම ඉදිරිදාට ද හිතකර වෙයි. එනිසාවෙන් ම ඔවුන් තම අත්දැකීම් බාලයිනට නිර්ලෝභී ව දායාද කළේ පරපුරෙන් පරපුරට යථාවිධ පැවැත්මකට එළිවැට දල්වමිනි. ඔවුන්ගේ එදා සීපද තුළින් කලඑළි බසින යථාර්ථයන් කවර කලකට වුවද ගැලැපේ. ඇරත් ඔවුන් ගේ කියමන් අතර සැඟවී ඇති ගැඹුරු අරුත් සහජීවන දහමක තතු පහදයි.

එසේ වූ සත්‍යවාදී කියමනක් ඔවුන්ගේ පිළකින් නින්නාද වූ සැටියකි මේ.

”බෙල්ලෝ - බෙල්ලො මය ‘ලක’ නැතිමුත් කට්ට
කොල්ලෝ - කොල්ලො මය කළ නොකළත් මට්ට
ගුල්ලෝ - ගුල්ලොමය ලී විදිනා කට්ට
බල්ලෝ - බල්ලො මය ඇති – නැතිමුත් නැට්ට”

මේ සීපදයේ දැක්වෙන පරිදි අලංකාරී (ලක) කටුවක් ඇතත් නැතත්, බෙල්ලෝ බෙල්ලෝම විනා වෙනත් සතෙකු නොවේ. එසේ ම ඇතැම් පිරිමි දරුවෝ කොණ්ඩය බූගාගන හිස “මට්ට” කර ගනිති. ඇතැම්හු එසේ නොකරති. නමුත් හිස මුඩුගෑවත් නැතත්, ඔව්හු සියල්ලෝම කොල්ලෝ වෙත්. ඇරත් ලී විදින සතා ලී ගුල්ලා ය. ඌ ලී විද්දත් නැතත් ලී ගුල්ලෙකි. එමෙන් මේ සීපදයේ අවසන් පදය අනිකුත් තුන් පදයට ම වඩා ආන්දෝලනයකට ලක්වූවෙකි.

නැට්ට (නගුට) නැතත්, ඇතත් බල්ලෝ බල්ලෝ ම බව අවිරොධිව පිළිගැනෙන්නකි. එසේ වුවද නැට්ට නැත්තා නැට්ට ඇත්තාගෙන් වෙන්කර දැක්වීමට ඇතැම් හු තෙපර බාති. කෙසේ මුත් සුනඛයකු තම සෙනෙහස පෙන්වන්නේ නඟුට වැනීමෙන්ම නොවේ. උගේ ලෙන්ගතුකමේ සාදර සංකේත වී ඇත්තේ, මුහුණේ ඉරියව් හා දෙකණේ ඊර්යාපථයයි. ඌ තම වලිගය වනනුයේ ආදරය පෙන්වීමට පමණකැයි ඇතැමුන්ගේ මතයයි. එය නොදන්නා කමේ තරම ය.

සුනඛයා තමා තවකෙකුට යටත් බව පෙන්වීමට ද නඟුට පහත් කර වනවයි. හාම්පුතා ප්‍රකෝපයට පත් ව තමාට පහරදීමට සූදානම් වෙද්දී, ඌ නඟුට නටවන්නේ ආදරයට නොව, තමා කෙරේ අනුකම්පාව අයැදීමට ය. ඌට නැට්ට බෙහෙවින් ම උපකාරී වූයේ ‘වනචාරී සමයේ’ සිය නිදිපොළ පිරිසිදු කර ගැනීමට ය. එහිදී බල්ලා අදාළ ස්ථානයේ නඟුට බිම ස්පර්ශ වන ලෙස හසුරුවමින් කැරකෙයි.

බල්ලාගේ සහජ බලු ගතිය හරිහමන් අයුරින් දන්නේ බල්ලකු මය. එහෙත් බල්ලෝ තම පාර්ශවයේ බල්ලෙකුගේ ඇදකුද නොසොයති. ඇරත් නැට්ට නැති බල්ලා කවරෙකුට හෝ සමකළ හැක්කෙකු වේ නම් ඌ බල්ලෙකු ම විය යුතු ය. ඊට හේතුව “බලුගතිය යහතින් දන්නෝ බල්ලෝ ම වෙත්,” යන කියමන අපේ ගැමියන් අවධාරණය කරන නිසාවෙනි.

එනිසා සීපදයේ දැක්වෙන පරිදි නැට්ට ඇතත් නැතත් බල්ලෝ බල්ලෝම වෙති. මේ අනුව අප කවරදාක හෝ බල්ලෝ වූ විටක විනා, ඊට පෙරාතුව බල්ලෝ ගැන කතා නොකළ යුතුමය. මා එසේ පවසන්නේ බල්ලන් ගැන නොදැන යමක් කීම බල්ලන්ට මදි පුංචිකමක් වන නිසාවෙනි.