පිය සමර හා බැඳුණු විශ්වීය කාව්‍ය නිර්මාණ
 

 පිය සමර හා බැඳුණු විශ්වීය කාව්‍ය නිර්මාණ

 

ලොවැ සියල්ල බිඳෙයි, නොතිරයි දුකයි
අපට ඒ සැබැවින් වෙනසක් නො වී
වරද නම් ගිය කල් පෙරළා බලා
තැවෙන සේ සිහියක් ඇතිවීම මැ යි

                                            (පිය සමර - 104 වැනි කවිය)

කුමාරතුංග මුනිදාසයන් ගේ ‘පියසමර’ කාව්‍ය සංග්‍රහය මුල් වරට මට කියවන්නට ලැබුණේ පාසල් වියේදී බව මතකයි. එහෙත් එකල කාව්‍ය පිළිබඳ එතරම් දැනුමක් නො තිබූ නිසාදෝ එදා මොනවා කෙසේ තේරුම් ගත්තා දැයි මතක නැත.

එදායින් පසුව මට ‘පියසමර’ සම්පූර්ණයෙන් කියවා රස විඳීමට අවස්ථාවක් උදා වූයේ මෑතකාලයේදී ය. එම සිද්ධිය රසවත් අත්දැකීමක් හා බැඳුනකි.

එක්තරා දිනයක මගේ ලේඛන කවදත් අගයන මා මිත්‍ර ජගත් පියදසුන් ලේඛකයා විසින් මා වෙතැ තැපැල් මගින් තිළිණයක් එවන ලදී. එය විසිදුනු ප්‍රකාශකයන් විසින් සම්පාදිත කුමරතුඟුන් ගේ පිය සමර මැ වී ය.

ග්‍රන්ථයේ පිටුවක් පුරා පියදසුන් මට ලියූ කව් පෙළකි.

දෙදහස් පස් වැන්නැ
වැවුරු කන්නල පැවැති
සැට එක් වැනි සමරුවේ
හොඳම කුමරතුඟු සමරු ගීයට

තිළිණ ලෙස මා ලත්
මේ පිය සමර ඔබහට
තිළිණ කොට තුටු වීමට
ඉඩ දෙනු මැනැවි මැතිනිය

විදෙස් රස කවි සිය බස
සරසනු ගෙනැ රස නුසුන් කොට
සැරසුණු ඔබට සුව සෙත
පතමි දුටුයෙන් අගය ඔබගේ

තෝමස් ග්‍රේ ගේ පියාගේ සොහොන් ගැබ

එවන් වූ කවි හදකින් ම වෙත පිදුණු ‘පියසමර’ හුදෙකලාව කියැවූවෙමි. එම ග්‍රන්ථයේ මෙවන් සඳහනක් වෙයි.

පියා (අතීත) හා පුතා (වර්තමාන) අතර සම්බන්ධය හමුවේ. එහිදී පියාගෙන් පුතා හැඩ ගැසෙයි. ජීවය ලබයි. අභියෝග ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලබයි. අවසාන වශයෙන් පියා ජීවත් වනුයේ පුතා තුළ ය. මේ භාව ලෝකයට පිවිසුණු කල අතීතයෙන් වර්තමානය බිහි වූ අයුරු මෙන් ම අතීතයේ පැවැත්ම වර්තමානය මත රඳා පවතින අයුරු තේරුම් ගැනීමට හැකි වෙයි.

මේ ඡේදය කියවද්දී මට ‘ මිය ගිය පියා’ වෙනුවෙන් වියෝ කව් ලියූ ශ්‍රෙ‍්‍ර්ෂ්ඨ ස්පාඤ්ඤ කවියකු මතක් විය. තවද ඉංග්‍රීසි ජාතික කවියකු වූ තෝමස් ග්‍රේ විසින් ද පිය වියොව පිළිබඳ සෝබර කව් පෙළක් ලියා තිබේ. මේ ලිපියෙහි දැක්වෙන්නේ එම නිර්මාණ පිළිබඳ මූලාශ්‍ර මගින් සොයාගත් තොරතුරු බිඳකි.

ස්පාඤ්ඤ කිවිවර ජෝර්ජ් මන්රිකේ
(Jorge Manrique (1440 - 1479)

ස්පාඤ්ඤ සාහිත්‍යය දෙසට යොමු වුවහොත් පහළොස් වැනි සියවසේ බිහි වූ ජෝර්ජ් මන්රිකේ කවියා විසින් නිර්මාණය කරන ලද COPLAS DE LA MUETE DE MI PADRE (මියැදුණු පියා වෙනුවෙන් සෝ ගී) නම් කව් පෙළ එවකට බිහි වූ හොඳ ම වියෝ ගී පද්‍ය රචනාව බව කියැවේ. එහි කව් පෙළක් රස විඳීමු.

Recuerdo el alma dormida
a bive el seso y despierte

...............................

නිදිගත් ආත්මය
නැගෙයි මා මතකයේ
විවර කරමින් නැණැස
දිවි ගෙවී යන අයුරු

අප මිය දෙනා යුරු
නිහඬ කරමින් සැවොම
ඒ තරම් ඉක්මනට
සතුට නිමවෙනා යුරු

සිහියට නැගෙන විට
වේදනා දෙයි හඳට
කොයි තරම් කාලයක්
ඉක්ම ගිය මුත් අදට

මේ ලිපියේ ආරම්භයේ දීම මා සඳහන් කළ කුමරතුඟුන් ගේ පියසමර කවියේත් මන්රිකේ ගේ මේ කව් පෙළේත් කිසියම් සමීප බවක් නො හැඟෙන්නේ ද?

ජෝර්ජ් මන්රිකේ එවකට ස්පාඤ්ඤයේ නම් දැරූ ‘මාර්කේස්’ (Marques)  නම් රජ පවුලේ සාමාජිකයකු වූ ගෝමස් මන්රිකේ (Gomas manrique)  කවියාගේ ඥාති පුත්‍රයෙක් විය. ජෝර්ජ් ඉතා කුඩා අවධියේදී ම සිය මාමා ගෙන් කවි ලිවීමට පුරුදු වූයේ ය.

තුරුණු වියේ යුද සේවයට බැඳී කලක් සේවය කොට යුද පිටියේ ම වීරයකු සේ සටන් කොට මිය ගියේ ය. ජෝර්ජ් ගේ පියා වූ රොද්‍රිගෝ (Rodrigo Manrique) යුද සෙබළකු ද දේවගැතිතුමකු ද රාජදූතයකු ද හොඳ කවියකු ද වශයෙන් කීර්තිමත් චරිතයක් ඇත්තෙක් විය.

ඔහු ගේ සෙවණේ වැඩුණු ජෝර්ජ් මන්රිකේට තමා නො සිතූ මොහොතක සිදු වූ පිය වියෝව දරා ගත නො හැකි විය. ඒ අත්දැකීමයි ඔහු අතින් සංවේදී කවි පෙළකට නැඟුණේ.

කෙටි කවි හතළිහකින් සමන්විත එම කවි පෙළෙහි පියා විසින් වටිනා ජීවිතයක් ගත කළ බව කවියා කියයි. තවද ඔහු ජීවිතය හා මරණය සංසන්දනය කරයි.

. මරණයෙන් කෙළවර වන ලෞකික ජීවිතයක්

. මරණින් පසු සදාකාලික ජීවිතයක්

. පියා ගත කළ කීර්තිමත් දිවි පෙවෙතක් කාව්‍යවල මූර්තිමත් වෙයි.

හොඳින් මතක තබාගත හැකි උපමා යොදා කාව්‍ය අලංකාර කොට ඇත.

මේ ලොව මාවතක් වේය

තවත් ලොවක් වෙත දිව යන

වඩා සපිරි කුරුමානම්

වෙතැ නො පැරැදි ඇවිදිය හැකි

ජෝර්ජ් මන්රිකේ ගේ පිළිරුව

මෙවැනි අරුත් ඇති කාව්‍යයන්ගෙන් සපිරි එම කාව්‍ය නිර්මාණය ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි කිවියර ලෝං ෆෙලෝ (Longfellow) විසින් Funeral Hymn  නමින් ඉංග්‍රීසියට හරවා ඇති බවත් විලියම් වර්ඩ්ස්වර්ත් (William Wordsworth) විසින් ද වරක් එය පරිවර්තනය කර ඇති බවක් කියැවේ.

ඉංග්‍රීසි ජාතික තෝමස් ග්‍රේ ගේ ‘පියවියොව‘ නිර්මාණය

දහඅට වැනි ශත වර්ෂය දෙසට ඒමේදී ඉංග්‍රීසි ජාතික තෝමස් ග්‍රේ (Thomas Gray) (1715 - 1771)  නම් පූර්ව රොමැන්තික කවියා ගේ නූතන සම්භාව්‍ය වියෝ කව් පෙළක් වශයෙන් Elegy Written in a country Churchyard නම් නිර්මාණය ගැන සැළවෙයි. මෙම ශෝකී පද්‍ය රචනාව එවකට වඩාත් ම ප්‍රසිද්ධ වූ ඉංග්‍රීසි කාව්‍ය නිර්මාණවලින් එකක් විය. කවිවල ඇති භාවමය ව්‍යක්ත ප්‍රකාශ සම්භාවනීය ශ්‍රේෂ්ඨත්වය හා රොමැන්තික වාදයට ළැදිබව පරම්පරා ගණනාවක් විසින් ම අගයමින් පවතී.

මෙම කාව්‍ය සංග්‍රහය දෙමසක් ඇතුළත සිව්වරක් මුද්‍රණය වූ බවක් මාස එකොළහකට පසුව විවිධ භාෂාවලට පරිවර්තනය වීමට පටන් ගත් බවක් කියැවේ. තෝමස් ග්‍රේ ගේ කවි රසවින්දනය කළ දහඅට වැනි ශත වර්ෂයේ කවීන් විසින් ඔහු පූජනීයත්වයෙන් සලකනු ලැබීය.

තෝමස් ග්‍රේ කවියා මන්රිකේ ගැන දැන සිටියා ද?

තෝමස් ග්‍රේ කවියා ගේ ජීවන තොරතුරුවලට අනුව ඔහු කීප වරක් ම යුරෝපා රටවල සංචාරය කළ බවක් ලතින් ප්‍රංශ ආදී භාෂා දැන සිටි බවත් මධ්‍යතන යුගයේ සාහිත්‍යය දැඩි ඇල්මකින් යුතුව හැදෑරූ බවත් දැනගන්නට තිබේ. ස්පාඤ්ඤ භාෂාවේ ආරම්භය ඉබේරියානු - ලතින් ග්‍රාමීය භාෂාවයි. එබැවින් ග්‍රේ ස්පාඤ්ඤ භාෂාව ද හඳුනාගෙන සිටින්නට ඇති බව සිතා ගත හැක. ජෝර්ජ් මන්රිකේ කවියා මධ්‍යතන යුගයේ ස්පාඤ්ඤයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ස්පාඤ්ඤ කවියා වූ බැවින් ග්‍රේ විසින් මන්රිකේ ගේ නිර්මාණ අධ්‍යයනය කර ඇති බවට සාධක තිබේ.

දැන් අපි තෝමස් ග්‍රේ පියාගේ සොහොන් ගැබ සිට ලියූ කවියක් කියවා බලමු.

The boast heraldry, the pump of power
And all that beauty, all that wealth e’er gave
Awaits alike the inevitable hour
The Paths of Glory lead out but to the grave

ඉහත කී කවිය ජෝර්ජ් මන්රිකේ පිය වියෝ කව් පෙළ හා සසඳා බලමු.

ගංගාවෝ වෙති ජීවිත අපගේ
බිල්ලට සයුරට ගෙන යන සැමදේ
මහා මුහුද යනු රුදු මරණය වේ
රජවරු අධිපති බලවත් ඇත්තෝ

ඇති දෑ ගැන හිස උදුමා ගත්තෝ
දහඩිය හෙළමින් වැඩෙහි යෙදෙන්නේ
කෑමක් බීමක් නැතිව පෙළෙන්නෝ
මානාධික ලෙස සිත පුරවන්නෝ

මේ හැම වෙනසක් නැතිවම එක ලෙස
ඇළ වී නිහඬව යති මහ සයුරට
සුන්දරත්වය සතුට නැවුම්බව හා පැහැය
රතුපාට සුදුපාට රෝස මල් කහ ගැහුණු

මුහුණුවෙතැ දිවා රෑ ලුහු බඳින තාරුණ්‍යය
සියලු දෑ නතර වී නිම වී යයි නො සිතූ ලෙස
සැදෑ හිරු මැකී යන සන්ධ්‍යාව නැග එද්දී

මේ අනුව බැලීමේදී පසළොස්වන ශත වර්ෂයේ බිහිවූ ස්පාඤ්ඤ කවි ජෝර්ජ් මන්රිකේ කවියාගේ කාව්‍ය නිර්මාණය හා 18 වන ශත වර්ෂයේ බිහි වූ ඉංග්‍රීසි කවි තෝමස් ග්‍රේ ගේ කාව්‍ය නිර්මාණයන් අතර කිසියම් සබඳතාවයක් ඇති බවක් නො හැඟෙන්නේ?

කුමරතුගුන් ගේ ‘පිය සමර’

පළමුවෙන් ම කුමරතුඟු මුනිදසුන්ගේ පිය සමර ග්‍රන්ථයේ ප්‍රකාශකයන් වෙතින් වූ සටහනක් දෙසට යොමු වෙමු.

....... එවන් වස්තු විෂයයක් කොට ගෙන කාව්‍යයක් කිරීමට කුමාරතුංග මුනිදාසයන් මෙහෙයවූ කරුණු සලකා බැලිය යුතු ය. ඔහු ඉංග්‍රීසි සාහිත්‍යය කියවා මැනවින් රස විඳ සිටි බව වෙනත් මූලාශ්‍රවලින් පෙනී යයි. විශේෂයෙන් ඉංග්‍රීසි පද්‍ය රචනාවල දැක්වෙන ලක්ෂණ සිංහල කවීන් විසින් ගුරු කොට ගතයුතු යැයි ද කී කුමාරතුංග එබඳු ‘හොඳ කවි පරිවර්තනය කිරීමට ද ආධුනිකයන් පොලඹවා ඇත.” මෙයින් කියවෙන්නේ කුමාරතුඟුන් ඉංග්‍රීසි කවීන්ගේ නිර්මාණ රස විඳ ඇති බවයි.

මීළඟට අපි පිය සමර ග්‍රන්ථයේ 152 වැනි පිටුවේ එන සඳහනකට යොමු වෙමු.

මියැදුණු පියා වෙනුවෙන් සෝ ගී..
ජෝර්ජ් මන්රිකේ ගේ කාව්‍ය නිර්මාණය

“වස්තු විෂයය අතින් පිය සමරට වෙනස් වුව ද සියුම් ශෝකී භාවයක් මඟින් රස මනස අළලන ඉංග්‍රීසි කාව්‍යයක් වන තෝමස් ග්‍රේ විසින් රචිත පිටිසර සොහොනකදී ලියූ ශෝක කාව්‍යයෙහ (Elegy Written in a Country Church yard) පද්‍ය කීපයක් ඔහු විසින් සිංහලට පෙරළනු ලැබිණි.

ඉංග්‍රීසි කාව්‍යයෙහි දක්නා ලැබෙන ශෝක හා ශ්‍රම භාවයන් නිසා නැගෙන නිරාමිස රසය කොතරම් සියුම් ව භාවාත්මක වූවක් ද යනු සිංහල පෙරළිය කියවන්නකුට මැනවින් දැක ගත හැකි වේ.

ඉංග්‍රීසි කවි කියවා ගැඹුරු ලෙස රස විඳ සිටීම නිසා ඔහුගේ හදවතෙහි පැතිර තිබූ චමත්කාර භාවය පිය සමර බඳු භාවාත්මක කාව්‍යයක් සිංහලයෙනුදු ලියන්නට තරම් ප්‍රගල්භ භාවයක් ලබාදෙන්නට ඇත.

..... අපර දිග සාහිත්‍යයේ ඇති ශෝක කාව්‍යයක (Elegy) ඇතැම් ලක්ෂණ පියසමරෙහි විද්‍යමාන වෙතියි සමහර විචාරකයන් කියන්නේ එබැවිනි.

එහෙත් ඔවුන්ගේ වස්තු විෂය ද එකල සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට ආගන්තුක බවත් එහිදී ඉංග්‍රීසි කාව්‍යයන් කියවා රස විඳ තිබීම ඔවුනට අනුබලයක් වන්නට ඇති බවත්......

මේ ආදී වශයෙන් තමන්ගේ අතීත සාහිත්‍ය වංශය හැදෑරීමෙන් ලත් දැනුම මතු නොව සංස්කෘත ඉංග්‍රීසි ආදී පරිබාහිර සාහිත්‍යයත් හැදෑරීමෙන් ලත් දැනුම ද ඔවුන් යොදවා ගෙන ඇත්තේ එම ඇණවුමට අනුවය.”

මෙවැනි ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ පිය වියෝව ගැන සැමරුම් සටහන් කළ කවීන් තිදෙනා ම එක සමාන චින්තන රටාවක සිය නිර්මාණය බිහි කර ඇති බවයි.

මේ නිර්මාණ ත්‍රිත්වයේ ම පොදුවේ සලකා බැලූ විට ජීවිතයේ තාවකාලික බවත් ලොවැ සියලු දෑ බිඳෙන සුළු බවත් පියෙකු ගේ සදාකාලික වියෝගය පොදුවේ කාහට වුව ද මුළු ජීවිත කාලයටම පවතින කිසිදා අමතක කළ නොහැකි හද සසල කරවන වේදනාවක් බවත් මැනැවින් ප්‍රකාශිත ය.

විශ්වීය ශෝක කාව්‍ය

විශ්වීය කාව්‍ය විලාස අතර වූ  ‘Elegy’ නම් කාව්‍ය විලාසය බොහෝ විට මිය ගිය ඇත්තන් වෙනුවෙන් විලාපය නොහොත් ශෝකාලාපය වැනි දෙයකි. ආත්මයත් තුළට දැනෙන වේදනාව හා නැවැත නැවතත් මිය ගිය තැනැත්තා කළ කී දේ මතක් කර ගැනීමෙන් කරන මහා විලාපයක් ලෙස ස්පාඤ්ඤ සාහිත්‍යයේ Elegia නමින් අර්ථ දක්වා ඇත.

ලෝක සාහිත්‍යය ගැන සැලකීමේ දී ද ශෝකාලාප නොහොත් ඛේද කාව්‍ය නිර්මාණය පුරාතනයේ සිටම පැවැති එන බව පෙනී යයි. මෙම කාව්‍ය නිර්මාණය සඳහා පළපුරුදු වූ ලේඛක වශයෙන් ප්‍රොපෙටියාස් (Propetias) කවියාගෙන් පටන් ගෙන පිළිවෙළින් ජෝර්ජ් මන්රිකේ (Jorge Manrique)  ජෝන් මිල්ටන් (John milton) තෝමස් ග්‍රේ (Thomas Gray) අන්තෝනියෝ මචාඩෝ (Antonio machado) ජුආන් රමෝන් (Virginia woolf) වර්ජිනියා වුල්ප් (Federico Grcia Lorca) පෙඩ්රිකෝ ගර්ෂියා ලොර්කා (ජ්ඥඤඥපඪජධ ට්පජඪච ඹ්ධපජච) ආදී ලෝ පතළ කවීන් ගේ නම් සඳහන් කළ හැක. මේ අතරට අපේ මවු බිමෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ වියෝ කව් රචකයා ලෙස කුමාරතුංග මුනිදාසයන් ගේ නාමය එක්වනු නො අනුමාන ය.

මේ සෝබර කාව්‍ය විලාපය විශ්ව සාහිත්‍ය ඉතිහාසය පුරාවට විවිධ සමයන්හි ගලා ගිය බව දක්නට ලැබෙයි.

වස්තු විෂය අතින් පිය සමරට වෙනස් වුව ද සියුම් ශෝකී භාවයන් මගින් තෝමස් ග්‍රේ හා මන්රිකේ ගේ කාව්‍ය නිර්මාණ රස භාවයන් අළලන විශ්ව කාව්‍යයන් බව සිතෙයි. මේ සාහිත්‍යාංග පිළිබඳ කරුණු සොයා යාම විශ්ව සාහිත්‍ය පිළිබඳ අපේ දැනුම පුළුල් කර ගැනීමට ද අවස්ථාවක් වනු ඇත.