කර්තෘ : සමුද්‍ර වෙත්තසිංහ
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයො
මිල : රු. 390
නම කියූ පමණින් ආනන්දයත්, මෛත්‍රියත්
පහළකරවන ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අපට
දැනෙන්නේ අප ජීවත් වූ යුගයේ වැඩ සිටි
බෝසතාණන් වහන්සේ ලෙසය. උන්වහන්සේ අපේ මනස්
පුළුන්වලා මත මහත් කාලයක් සක්මන් කළහ.
මහත් දුරක සිටින මුනිවරයෙකුගේ පිළිරුවක්
උන්වහන්සේගේ රුව අබියස මැවී ගියේය. ඇතැම්
විට නොදුටු බුදුවරයෙකුගේ රුව උන්වහන්සේ
වෙතින් මවාගන්නට අපි උත්සාහ දැරුවෙමු.
සැබවින් ම “ආනන්ද මෛත්‍රෙය මහනාහිමි
අප්‍රකට ලිපි” නම් කෘතිය ඇස ගැසුණු වේලේ
පටන් – එහි පිටු එකින් එක අප නුවන්
ඉදිරියේ පෙරළෙත් ම නාහිමියන් අප දෑස්
ඉදිරියේ දිස් වන්නට වූයේ විස්මිත අයුරිනි.
පාඨකය, මෙම ඉන්ද්‍රජාලික ප්‍රබන්ධ
රචකයෙකුගේ තවත් ප්‍රබන්ධ කතාවක වැකියක්
නොව යථාර්ථවාදී විඳ ගැනීමක් බව කියන්නට
ඕනෑය. මෙසේ වීමට බලපෑ කරුණු කිහිපයක් විය.
මේ කෘතිය රචනා කර ඇති සිත් අදනා විලාශය
එක් හේතුවකි.
අනෙක් කරුණ වන්නේ මේ කෘතිය
අප දන්නා හඳුනන තරුණ ලේඛකයෙකුගේ හෘදයංගම
නිර්මාණයක් වීමය. අපගේ මනස් විමනේ සිටි
නායක හිමියන් තවත් අතකින් අප මිත්‍ර
ලේඛකයාගේ ඥාතියෙක්වීම ඒ හිමියන් අපගේ සැබෑ
ලෝකයට කැඳවා ආ විස්මිත සාධකයක් වූයේය.
ආධ්‍යාත්මික චරිතකතා විශ්ව සාහිත්‍යයට එක්
වෙමින් පවතින්නේ් බොහෝ ඈත අතීතයේ සිටය.
උපනිෂද් සාහිත්‍යයේ නොයෙකුත් ආධ්‍යාත්මික
ප්‍රකාශ අඩංගු සූත්‍ර දත හැකිය. බෞද්ධ
සාහිත්‍ය ආධ්‍යාත්මික චරිත කතා අති මහත්
ප්‍රමාණයක් අප ඉදිරියේ තබයි.
“ආනන්ද
මෛත්‍රෙය මහනා හිමි අප්‍රකට ලිපි” කෘතියද
අප දකින්නේ එවැනිම ප්‍රයත්නයක් ලෙසයි. මෙය
බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගැන ලියවී ඇති
අති මහත් චරිතකතා කියවා සිටින පාඨකයින්ට
කිසියම් නව එළඹුමක් එක් කරන කෘතියකි.
බහුතරයක් යතිවරයින් වහන්සේලා ගැන සිංහලෙන්
ලියැවී ඇති චරිත කතා කියවීමෙන් වෙහෙසට
පත්ව සිටින පාඨකයින්ට සමුද්‍ර වෙත්තසිංහගේ
මේ ප්‍රයත්නය බෙහෙවින්ම සිත් ගන්නවාට
සැකයක් නැත. ලෞකික පීඩාවන්ගෙන් වෙහෙසට
පත්ව සිටින පාඨක ජනයාට ආධ්‍යාත්මික
සාහිත්‍ය, මානසික සුවය උපදවන්නාවූ ඖෂධයක්
වැනිය. ස්වාමි විවේකානන්ද චරිතය,
ක්‍රිෂ්ණමූර්ති චරිතය අද වුවද මිනිසාට
අත්කර දෙන්නේ අපූර්ව ආධ්‍යාත්මික
දිරියෙකි. මේ කෘතියේ විශේෂත්වය වන්නේ මේ
ආධ්‍යාත්මික සාහිත්‍ය සිහිපත් කරමින්
ඒවායින් උද්ධෘත ගෙන හැරපාමින් එම චරිත
කතාවල අසිරිමත් දේ රසවත්ව බුද්ධි ගෝචර ලෙස
මුහුන් කරමින්, ආනන්ද මෛත්‍රෙය චරිතය
ආලෝකමත් කිරීමයි.
එසේම එමඟින් කෘතියේ
සාරගර්හ භාවය වර්ධනයට ගන්නා උත්සාහයයි.
ක්‍රිෂ්ණමූර්ති හා අදිකාරම් අරබයා වැදගත්
තොරතුරු රාශියක්ද මේ විස්තර අතර දක්නට
ලැබෙයි. බ්ලැවැට්ස්කි, ඇනී බෙසන්ට්,
ලෙඩ්බීටර් යන අය ගැන විස්තර මෙන්ම අගනා
පින්තූර රාශියක්ද මෙහි දක්වා තිබීම
පාඨකයින්ගේ භාග්‍යයෙකි.
සමුද්‍ර වෙත්තසිංහ නම් යෞවනයා, එකල කුඩා
සිසුවා මේ මහා නායක හිමි පසුපස හඹායාම සහ
විශේෂ සැලකිල්ලට බඳුන්වීම
විශ්වසනීයත්වයෙන් තොර සිද්ධි දාමයක් සේ
ඇතැමුන් සලකන්නට පුළුවන. කෘතියේ එක තැනක
මෙවන් සඳහනක් වෙයි. “මා ධර්ම ග්‍රන්ථ
කියවීමට දැක්වූ උනන්දුව ඇගැයූ ආනන්ද
මෛත්‍රෙය මහනාහිමියෝ එදා අප ගිය කුලීකාරය
පිරෙන්න පොතපත පරිත්‍යාග කළෝය. අදටත් ඒ
පොත්වලින් මගේ පුස්තකාල කාමරය පිරී තිබේ.
දිනක් ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් ගේ
සිතිවිලි පොත් කාණ්ඩ දෙකක් උන්වහන්සේගේ
පුස්තකාලයේ තිබෙනු දුටුවෙමි. එහෙත් එය
ඉල්ලීමට පැකිළුණෙමි. පසුව එය ලිපියකින්
දැන්වීමි. උන්වහන්සේ මා වෙත මෙසේ ලියා
එවූහ.
“මෙහි ආ විට ඕනෑ කළ සිතිවිලි පොත්
දෙක ලබාගත හැක. මා ළඟ ඇති ඔබට අවශ්‍ය මොන
පොතක් වුවත් ඔබට ලැබෙනු ඇත.” ඒ අනුව
උන්වහන්සේගේ පුස්තකාලයේ පොත් රාශියක්
ඉල්ලා ගතිමි. ඉල්ලූ සෑම පොතක්ම උන්වහන්සේ
මා වෙත පරිත්‍යාග කළෝය.” (පිට 119 – 120)
සාමාන්‍ය තත්වය අනුව අද කෙනෙකුගේ
පුස්තකාලයකින් පොත් තොගයක් තබා එක
පොතක්වත් හුවමාරුවකටවත් ලබාගත නොහැකිය.
එහෙත් බොහෝ ආශා ප්‍රහීන කළ උන්වහන්සේ
රැස්කර තබා ගන්නට කියා දෙයක් නොවීය. එම
නිසා මේ ඥාන ගවේෂණයට පි‍්‍රයකරන ශිෂ්‍යයාට
උන්වහන්සේ ඉල්ලූ සෑම පොතක්ම පරිත්‍යාග
කිරීම අරුමයක් නොවෙයි.
අනෙක් කරුණ වන්නේ
අද කිසිම තරුණයෙක් හෝ ශිෂ්‍යයෙක් කාරයක්
පිරෙන්න පොත් බලෙන් දුන්නත් ගෙන ගොස්
කාමරවල ගොඩගසා ගන්නේ නැත. එවැන්නක් එදත්
අදත් කරන්නේ පොතට පතට සහජයෙන් ළැදියාවක්
ඇති එහෙමත් අයෙකු පමණි. සමුද්‍රගේ එදත්
අදත් පොත්වලට ඇති ඇල්ම ඔහු ලියා ඇති ඇතැම්
පොත් වලින්ම අපට පසක් වෙයි. කිසි දිනක
පොත්වලට ඇල්මක් නැති අයෙකුට ‘ටෝල්ස්ටෝයි
සහ සමකාලීනයෝ’, ‘චෙකෝෆ්ගේ ජීවන දෘෂ්ටිය’
වැනි කෘති සම්පාදනය කළ නොහැකිය. අප
සාමාන්‍යයෙන් කියන්නා සේ පෙර ආත්මයේ සිට
එන පුරුද්දක් තිබිය යුතුය. අද කාලයේ තරුණ
ලේඛකයින්ගේ හැටියට ජනපි‍්‍රයත්වය හඹායන
කාර්යවල නිරත වෙනවා විනා මහානාහිමි නමක්
පිළිබඳ මෙවන් ග්‍රන්ථයක් සපයන්නේ ද නැත.
එහෙත් කතුවරයා සහ ආනන්ද මෛත්‍රෙය
නාහිමියන් අතර සම්බන්ධය භෞතික
විශ්ලේෂණයෙන් ඔබ්බට ගොස් හිතන්නට කරුණු
කාරණා මේ කෘතියේ මෙන්ම ආධ්‍යාත්මික ලෝකයේ
පවතින සබඳතා ඇසුරින්ද සොයාගත හැකිය.
මේවායේ විශ්වසනීයත්වය භෞතිකවාදීව තහවුරු
කිරීම දුෂ්කර වුවත් මිනිසුන් අත පවතින
ආධ්‍යාත්මික සබඳතා අනාවරණයට භෞතිකවාදය
අපොහොසත් වී ඇති අයුරු එඩ්ගා කේසීගේ ඇතැම්
පොතපතින් මෙන්ම ජීවිතයට පසු ජීවිතයේ
තොරතුරු කියන රේමන්ඩ් මූඩි වැනි
විද්වතුන්ගේ පර්යේෂණවලින් ද, ජිනා
සර්මිනාරා වැනි පර්යේෂිකාවන්ගෙන් ද, යෝගී
ඍෂිවරුන්ගේ ප්‍රකාශ වලින්ද පෙනී යයි.
මිනිසෙකු තවත් මිනිසෙකු කෙරෙහි අසමාන ලෙස
දයාබර වන්නේ ලේ සුවඳට වඩා ජනකානුවල ඇති
කිසියම් විශේෂ බලයක් නිසා බැව් කිව හැකිය.
මෙයට අනුබල දෙන ප්‍රකාශ සමුද්‍ර විසින්
රචිත මෙකී කෘතියේ දැක්වෙයි. “.... වැඩි
දෙනෙක් අපෙන් අසන්නේ මේ ශ්‍රේෂ්ඨ යතිවරයා
සමඟ සමීප සබඳතාවක් ඇති වූයේ කෙසේද යන්නයි.
උග්‍ර ආගම්වාදියෙකු නොවන මම ජනපි‍්‍රය
හාමුදුරුවන් පසුපස අන්ධ භක්තියෙන් දිව
යන්නෙකුද නොවෙමි. එහෙත් ආනන්ද මෛත්‍රෙය
මහනාහිමියෝ මට අතිශය පි‍්‍රය වූහ.
මම ද
උන්වහන්සේට පි‍්‍රය වීමි. 93 වන වියෙහි
ඇතිවූ සමීපත්වය උන්වහන්සේ සිය සිරුරෙන්
නික්ම යන තුරු අප අතර පැවතියේය. මෙබඳු
මානුෂික බැඳීම් වලට හේතුව පූර්වාත්ම සබඳතා
යයි අයෙක් කියති.” ඇතැම් අයගේ කුකුසට
ලක්වූ කරුණක් සමුද්‍ර වෙසසින්ම සඳහන්
කරන්නේ මෙවැනි මානව සබඳතා වටහා ගැනීමේ දී
තවමත් අප සමාජයේ ඇති පටු චින්තනයැයි
කියන්ට පුළුවන.
එහෙත් විශ්වයේ තවමත්
තේරුම්ගත නොහැකි මෙවැනි ධර්මතාවන් ගැන
කිසිවෙකු කලබල විය යුතු නැත. මේවාට අමතරව
පුද්ගල සබඳතා, ළෙන්ගතුකම් තහවුරු කරන අනේක
වාර්තා බෞද්ධ පොතපතෙහි දක්නට ලැබෙයි. මේ
පුද්ගල සබඳතා පිළිබඳ ව කියවීමක් ජිනා
සර්මිනාරාගේ “පුනර් ජන්මය සහ ජීව ලෝකය”
නම් කෘතියේ “අනන්ත ජීවිත, අනන්ත ස්නේහ,
පුනර් ජන්මය සහ ප්‍රේමය” නම් පරිච්ඡේදයේ
දැකගත හැකිය. එක් ඡේදයක මෙවැන්නක් සඳහන්
වෙයි. “එක් ජීවිත සමයක් තුළ සමීපතම
සම්බන්ධයක් ඇති ආත්මයෝ අනෙක් ජීවිත සමයෙහි
දීද මුණ ගැසෙති. සම්බන්ධතාව ස්නේහාන්විත
වූයේ නම් එම ස්නේහය නො සිඳම පවතී.”
(පුනර් ජන්මය සහ ජීව ලෝකය, පරිවර්තනය:
බලංගොඩ ප්‍රඥාවංස හිමි, පිට 88, 1973)
වෛරයද එසේමය, අප දන්නා බොහෝ අය එකිනෙකාට
වෛර කරගන්නේ හේතුවක් නොමැතිවය.
ඉන්ද්‍රීය ගෝචර ලෝකය හා අතීන්ද්‍රීය ලෝකය
අතර කිසියම් වෙනසක් තිබේද නැද්ද යන්න අද
ආධ්‍යාත්මික ප්‍රශ්න අතුරින් බලගතු ලෙස
විමසා බලන කරුණක් බවට පත්ව ඇත.
ආධ්‍යාත්මික ප්‍රශ්නවලට විසඳුමක් සොයන
ඇතැම්හු වඩාත් විශ්වාස කළ යුත්තේ අපේ
ඉඳුරන්ට ගෝචර වන දේ පමණකැයි සිතති. වඩාත්
භෞතිකවාදී තෘප්තියක්, සැනසීමක්,
ස්ථාවරත්වයක් උදෙසා බොහෝ දෙනෙකු එසේ
සිතනවා ඇත.
එහෙත් මිනිසා මන ගවේෂණයේ යෙදෙන
සෑම විටම බාහිර ලෝකය එසේ පවතින බව වටහා
ගන්නවාට සැකයක් නැත. ඒ නිසා ඔහු සත්‍ය
ගවේෂණයේ විකල්ප මාර්ග සොයමින් අතීතයේ සේම
අදත් තත්පර වෙනවා ඇත. භාවනාවල නිරත
යෝගීන්, මුනිවරුන් එවැන්නෝය. අප මහනායක
මාහිමිපාණන්ද ඒ මඟට පිළිපන් ගවේෂකයාණන්
කෙනෙකි.
සමුද්‍ර වෙත්තසිංහ විසින් සම්පාදනය කරන ලද
ආනන්ද මෛත්‍රෙය මහනාහිමි අප්‍රකට ලිපි නම්
කෘතිය අප දකින්නේ මෑතදී චරිතාපදාන
සාහිත්‍යයට එක් වූ බෙහෙවින් සිත් අදනා
සුලු රචනයක් සේය.
නවකතා කෙටිකතා පමණක්
සාහිත්‍යය ලේඛන ලෙස සලකන මෙකල හෘදයාංගම
තරුණ කතාකරුවන්ට ඉන් ඔබ්බට ගොස් උසස්
සාහිත්‍ය සම්ප්‍රදායකට පිවිසිය හැකි වෙනත්
මංපෙත් ඇති බව සමුද්‍ර සිත්ගන්නා ලෙස මේ
කෘති හරහා කියන්නේය. තවද මේ කෘතියට අප
සහෝදර ලේඛිකා සුනේත්‍ර රාජකරුණානායක එක්
කර ඇති “සන්නසඳ” අමතක කළ නොහැකි ය.
ටෙනිසන් පෙරේරා