|
සිංහල බෝධිවංශය

මහා
ස්තූපය වර්ණනා කරනු පිණිස ථූපවංශයත් ශ්‍රී
දළදා වහන්සේ වර්ණනා කරනු පිණිස දළදා සිරිතත්
ලියැවෙද්දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ අරබයා
බෝධිවංශය ලියැවීම කුරුණෑගල සමයේ සිදු වූ තවත්
මහඟු සාහිත්‍යමය කර්තව්‍යයකි.
මෙය ලියැවී
තිබෙන්නේ අනුරාධපුර සමයේ අවසාන භාගයේ දී පමණ
රචනා වී තිබූ පාලි බෝධිවංශය සිංහලට පරිවර්තනය
කිරීමෙනි. එකී පාලි කෘතිය ද බෝධිවංශය යනුවෙන්
ම හැඳින්වෙන බැවින් මේ කෘතිය ‘සිංහල බෝධිවංශය’
යනුවෙන් නිරන්තර ව හැඳින්වෙනු දකින්නට පිළිවන.
පාලි බෝධිවංශයට මුල් වී ඇත්තේ ද එයට කලින්
ලියැවී තිබූ පැරැණි සිංහල බෝධිවංශයකි.
පොළොන්නරු සමයේ දී පාලි බෝධිවංශයේ ගැටපද
විවරණයක් ලෙසින් මහා බෝධිවංශ ග්‍රන්ථි පදයත්
පරිකථාවක් ලෙසින් ධර්ම ප්‍රදීපිකාවක් ලියැවී
තිබේ. මේ අනුව ශ්‍රී මහා බෝධිය වටා බිහි වූ
අගනා සාහිත්‍යයක් දැකිය හැකි ය. සිංහල බෝධිවංශ
ආරම්භ කථාවෙන් සහ ග්‍රන්ථාවසානයෙහි දැක්වෙන
කර්තෘ නිර්දේශයෙන් මේ කෘතියේ කාලය, කර්තෘ සහ
අරමුණ ඇතුළු කරුණු රැසක් ම අනාවරණය වේ.
ඒ
අතුරෙන් ‘... ද්වීතිය පණ්ඩිත පරාක්‍රමබාහු මහා
රාජෝත්තම තෙම භවිෂ්‍යත් කාලයෙහි ශ්‍රද්ධා
බුද්ධි සම්පන්න ධර්ම දේශකයන් බහුල නො වන
හෙයින් ධර්ම ශ්‍රවණයෙහි තත්පර වූ ශ්‍රෝතෘ ජනයා
මඳ සේ දැකැ... විල්ගම්මුළ මහා ස්ථරවිරපාදයන්
වහන්සේ සමීපයට පැමිණ භක්ති පේ‍්‍රමාතිභාරාවන
තෝත්තමාංගයෙන් නමස්කාර කොටැ, මූල භාෂාවෙන්
ප්‍රවෘත්ත වූ බෝධි වංශාභිධාන ප්‍රසිද්ධ
ප්‍රබන්ධය ස්වභාෂායෙන් කළ හොත් යෙහෙකැයි
ආරාධනා කළේ යැ’ යන්න එසේ වූ තොරතුරු කීපයක්
පැහැදිලි ව ප්‍රකට කරලයි.
දෙ වැනි පණ්ඩිත පරාක්‍රමබාහු නම් කුරුණෑගල
සමයේ රජ කළ හතර වැනි පරාක්‍රමබාහු රජතුමා ය.
විල්ගම්මුළ හිමිපාණන් යනු නිකාය සංග්‍රහයෙහි
පණ්ඩිත හිමිවරුන් ගේ නම් අතුරෙහි කියැවෙන
‘සාහිත්‍ය විල්ගම්මුළ’ හිමි බව ද පැහැදිලි ය.
උන් වහන්සේ ‘කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජාධිරාජ
කල්‍යාණි විහාරාධිපති’ බැව් මෙහි ම දැක්වේ.
ශ්‍රී බු.ව. 1876 (ක්‍රි.ව. 1332) දී පිහිටුවා
ඇති කිත්සිරි මෙවන් කැලණියේ විහාර සෙල්ලිපියේ
ද විල්ගම්මුළ මාහිමි නාමය සඳහන් වේ.
උන්
වහන්සේ බුද්ධත්වය ප්‍රාර්ථනා කළ උත්තමයෙකු වූ
වග සහ මේ ධර්ම කාර්යය ද ඊට දායක වේවා යි
අදිෂ්ඨාන කළ වග මෙහි එන ‘මම වනාහි උතුම් වූ
සම්‍යක් සම්බෝධියට පැමිණැ නිරුත්තර වූ ධර්ම
දේශනා කොටැ සියලු සත්ත්වයන් සංසාර බන්ධනයෙන්
මුදම්වා!’ යන වැකියෙන් අවධාරණය කෙරේ.
පාලි බෝධවංශය මෙන් ම සිංහල බෝධිවංශය ද ආරම්භ
කෙරෙන්නේ ප්‍රශ්නාර්ථ මාතෘකා පහක් දක්වමින්
ඒවා පහදා ලන අභිප්‍රායයෙනි. ඒ මෙසේ ය: “මේ ජය
මහා බෝධිය කවර නම් අර්ථයකින් බෝධි නම් වේ ද?
කවර කෙනෙකුන්ගේ බෝධියක් ද? කුමක් සිද්ධ කෙරේ
ද? කවරක්හු විසින් ස්තුති කරන ලද්දේ ද?
කොතැන්හි පිහිටියේ ද? යන මේ මහා ප්‍රශ්න පස
විසර්ජනය කටයුත්තේ යැ.’ මෙසේ පැවසුණ ද මේ
පොතෙහි පරිච්ඡේද පෙළ ගැසී ඇත්තේ මෙකී
පරිද්දෙන් ම නො වේ.
පරිච්ඡේද දොළසකින් සමන්විත
සිංහල බෝධිවංශයේ පරිච්ඡේද බෙදා දක්වා ඇත්තේ
අභිසම්බෝධි කථා, ආනන්ද බෝධි කථා, දශබල
පරිනිර්වාණ කථා, ප්‍රථම සංගීති කථා, ද්විතීය
සංගීති කථා, කෘතීය සංගීති කථා, ලංකාවතරණ කථා,
නගර ප්‍රවේශ කථා, මහා විහාර ප්‍රතිග්‍රහණ කථා,
චෛත්‍යගිරි විහාර ප්‍රතිග්‍රහණ කථා, ධාත්වාගමන
කථා සහ දුමින්දාගමන කථා යන ශීර්ෂ යටතේ ය.
මේ අනුව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන්
වහන්සේ මෙන් ම දඹදිව ජේතවනාරාමයේ ආනන්ද මහා
බෝධීන් වහන්සේ සහ අනුරාධපුරයේ ශ්‍රී මහා
බෝධීන් වහන්සේ යන ත්‍රිවිධ බෝධීන් වහන්සේ ම
වර්ණනය කිරීම බෝධිවංශයේ අභිප්‍රායය වී ඇත්තේ
ය. අභිසම්බෝධි කථා නම් වූ ප්‍රථම පරිච්ඡේදයෙන්
සුමේධ පණ්ඩිත කථාවේ සිට විවරණ කථා ද සහිත ව
සිද්ධාර්ථ කුමාර බෝසත් චරිතයෙන් හා මහා බෝධි
මූලයේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කර
ගැනීමෙන් ප්‍රථම මහා බෝධි කථාව සමාප්ත කෙරේ.
ආනන්ද බෝධි කථා නම් පරිච්ඡේදයෙන් බුද්ධ චරිතය
ද වර්ණනය කෙරෙමින් සැවැත් නුවර ජේතවනයේ රෝපිත
ආනන්ද බෝධියේ කථාව විස්තර වේ. දශබල පරිනිර්වාණ
කථා ද සමග සංක්ෂිප්ත බුද්ධ චරිතය ඒ සමග
සම්පූර්ණ කිරීමට කතුවරයා සමත් වේ. අනුරාධපුර
මහමෙවුනාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පුවත
වර්ණනය වන්නේ දොළොස් වැනි පරිච්ඡේදය වන
දුමින්දාගමන කථාවෙනි. ඒ අතරතුර සංගායනාත්‍රය
පිළිබඳ කථාවලින් දඹදිව ශාසන ඉතිහාසය ද
ලංකාවතරණ කථාවේ සිට ලක්දිව ශාසන ඉතිහාසය ද
සැකෙවින් පළ වේ.
මේ කෘතිය ලියැවී තිබෙන්නේ සංස්කෘත මිශි‍්‍රත
සිංහල භාෂා ශෛලියකිනි. බණ ඇසීමේ රුචිය වඩවන
අටියෙන් ලියැවුණු පොතක් බව පැවසෙන හෙයින් මෙය
එවක භාවිතයෙහි පැවැති භාෂා විලාසයට අනුරූපී ව
ලියැවුණැයි සිතීමට පිළිවන. එසේ වේ නම්
කුරුණෑගල අවධිය වන විට වැඩෙමින් ආ සංස්කෘත
මිශි‍්‍රත භාෂා ව්‍යවහාරයට මේ පොත මනා
නිදර්ශනයකි. සමස්තයක් සේ ගත් කළ බෝධිවංශය
වර්තමානයෙහි දී ලෙහෙසියෙන් වටහා ගත හැකි වූ ද
අද්‍යතන සිංහලයට සමීප වූ ද භාෂා විලාසයක්
පෙන්වයි.
පාලි බෝධිවංශයෙහි අනුකරණයක් වුව ද මේ කතුවරයා
සිය අභිමතය පරිදි යම් යම් කරුණු අලුතෙන් එක්
කිරීමට පසුබට වී නොමැත. උදාහරණ සේ ගත හොත්
සූවිසි විවරණය විස්තරය පාලි කෘතියේ නො එතත්
අනෙකුත් සිංහල ගද්‍ය කෘතිවල තිබූ පිළිවෙත
පරිදි ඒ කොටස අමුතුවෙන් ඇතුළත් කර ඇත්තකි.
එමෙන් ම මෙහි ශාක්‍ය වංශය පිළිබඳ පැවසෙන
විස්තරය වෙනත් කිසිදු සිංහල ග්‍රන්ථයක නො එන
තරම් ය. ඒ සඳහා රඝුවංශය ආදිය ආශ්‍රය කොට සූර්ය
වංශයේ ඉතිහාසය තොරතුරු ලබා ගෙන ඇති බැව් පෙනේ.
ශ්‍රී මහා බෝධිය මහමෙවුනාවේ වඩා හිඳුවීමෙන්
අනතුරු ව පැන නැඟුණු අෂ්ට ඵලරුහ සහ දෙතිස්
ඵලරුහ රෝපණය කිරීම් පිළිබඳ විස්තරය ද
එවැන්නකි.
එකී බෝධි අංකුර සිරිලක පුරා පිහිටා
ලූ සියලු ස්ථාන මෙහි දී අනාවරණය වේ. ශ්‍රී මහා
බෝධි ශාඛාව මෙරට වැඩම වද්දී සංඝමිත්තා මහා
මෙහෙණින් වහන්සේ සමඟ සපැමිණි විවිධ කුල පිළිබඳ
මහා වංශ තොරතුරට වඩා පුළුල් විස්තරයක් දැක්වෙන
බෝධිවංශයෙහි මහාවංශයෙහි ද නම නොසඳහන් කුල සහිත
ව එකී විස්තරය දක්වා ඇත්තේ ය.
‘එසේ මැ රජකුල අටක් ද සිටුකුල අටක් ද බමුණු
කුල අටක් ද කෙළෙසි කුල අටක් ද වෙළෙඳ කුල අටක්
ද අනුවා කුල අටක් ද සරස් කුල අටක් ද කිළිඟු
කුල අටක් ද කපු කුල අටක් ද බලත් කුල අටක් ද
පෙහෙර කුල අටක් ද කුඹල් කුල අටක් ද මල්කරු කුල
අටක් ද ඔසුදවටු කුල අටක් ද සන්නාසි කුල අටක් ද
අරක්කැමි කුල අටක් ද කඹුරු කුල අටක් ද ලෝකුරු
කුල අටක් ද ස්වර්ණකාර කුල අටක් ද බෙරවා කුල
අටක් ද සත්කරු කුල අටක් ද උයන්ගොවු කුල අටක් ද
දී...’ යනුවෙනි. මේ අනුව මෙය මෙරටෙහි කුල
ක්‍රමයක සමාජයක් ස්ථාපිත කිරීමට මූලික වූ
අවස්ථාවක් බැව් පෙනේ. එසේ ම තත්කාලීන ව පැවැති
විවිධ කුල මොනවා ද යන්න අවබෝධ කොට ගත හැකි
පාඨයක් සේ ද මෙය දකින්නට පිළිවන.
මෙහි ඇතැම් සිද්ධි අතිශය දීර්ඝ ව වර්ණනා කෙරෙන
නමුදු ඇතැම් තැත් ඉතා කෙටියෙන් කියැවෙන
ආකාරයක් දැකිය හැකි වේ. සමහර විටක ප්‍රස්තුතයට
වඩාත් වැදගත් අවස්ථා එසේ ලුහුඬින් ප්‍රකාශ වන
අවස්ථා ද තිබේ. කෘතියේ මුල් භාගයේ එන සේනානිගම
සුජාතා සිටු කුමරිය පිළිබඳ දීර්ඝ විස්තරයක්
කරන කතුවරයා ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම කළ
සංඝමිත්තා මහා මෙහෙණින් වහන්සේ පිළිබඳ කරන
විස්තරය ප්‍රමාණවත් නො වේ.
බෝධිවංශ භාෂාවේ පමණක් නො ව උපමා ආදි යෙදුම්වල
පවා පොදුවේ ගත් කල හෙළ මුහුණුවර හා ගැමි ලක්ෂණ
අල්ප යැයි කිව හැකි ය. එහෙත් ඇතැම් තැන්හි
හුදු හෙළ වහරට එයින් ආලෝකයක් ලැබී තිබේ. ජය මන
ලේනා, සුළුලිය මන ලේනා, සත් ගත්නා, අරක් මේ
නා, කඩුගන්නා, බමුණු නා, මහ වෙළෙඳ නා, මහබෝ
රුක් නා ආදි වූ තනතුරු නාම ඊට නිදසුන් වේ.
මුල් සිංහල සාහිත්‍ය කෘති අභාවයට ගිය කාලයක
යළිත් සිංහල කෘති නිර්මාණයට ගත් උත්සාහයේ එක්
පියවරක් සේ ද සිංහල වංශ කථා සාහිත්‍යයක්
ස්ථාපිත කිරීමේ තවත් එක් ප්‍රයත්නයක් සේ ද
සිංහල බෝධි වංශය අගය කළ හැකි ය. මේ කෘතිය
සිංහල ගද්‍ය සාහිත්‍යයේ පසුබෑමේ සලකුණකට වඩා
එය යළි යළි නඟා සිටුවීමේ වෑයමක් සේ සැලකීම
නිවැරදි ය.
ආචාර්ය
පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ
|