අපි පොත් කියවන පිරිසේ පැහැදිලි වර්ධනයක් ඇති කළා
 

අපි පොත් කියවන පිරිසේ පැහැදිලි වර්ධනයක් ඇති කළා

 

සාහිත්‍ය කන්නදැයි ඇසූ යුගයක සිට ‘සාහිත්‍ය මිනිසා පූර්ණ කරයි’ යනුවෙන් හැඳින්වෙන යුගයකට අපි අවතීර්ණ වී සිටින්නෙමු. වසරක් පාසා පැවැත්වෙන අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය මේ පවතින සාහිත්‍ය පිපාසාවට දිය දෝතක් බඳුය.

විශේෂිත වූ කිසිඳු දිනයක් මතකයේ නොමැති ජනතාව පවා පොත් සල්පිල හේතුවෙන් මේ උදාවී ඇත්තේ සාහිත්‍ය මාසය බව පසක් කර ගනිති.

සැබැවින් ම පොත් ප්‍රදර්ශනය හේතුවෙන් සාහිත්‍යයේ යම් ප්‍රවර්ධනයක් සිදු වූයේද? එසේත් නොමැති නම් මෙය හුදු පොත් මිලදී ගැනීමේ සංස්කෘතියක්, මෝස්තරයක් පමණක්ද? අද මුවදොර වදන සංලාපයට එක්වෙන විද්වතුන් තිදෙන සාහිත්‍ය ප්‍රවර්ධනයට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය උපස්ථම්භක වූයේද යන්න පිළිබඳ ව මෙසේ අදහස් දක්වති.

අපි පොත් කියවන පිරිසේ පැහැදිලි වර්ධනයක් ඇති කළා

උපාලි වනිගසූරිය

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම්,

ලබන දහනව වැනිදා (19) අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙනවා. පසුගිය වසරට සාපේක්‍ෂ ව මෙවර මේ ප්‍රදර්ශනයේ පවතින වෙනස්කම් මොනවාද?

මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන්නේ එකළොස්වැනි වරට. මේ ප්‍රදර්ශනය සැප්තැම්බර් 19 වැනිදා සිට පුරා දින නවයක් දිනකට පැය 12 ක කාලයක් තිස්සේ පැවැත්වෙනවා. මෙවර අපි ලක්‍ෂ 7 කට අධික සංඛ්‍යාවක් පොත් ප්‍රදර්ශනය සඳහා පැමිණේවි යැයි බලාපොරොත්තු වෙනවා. මේ අපේක්‍ෂිත මහජනකායට පහසු වන පරිද්දෙන් මෙවර ප්‍රදර්ශන භූමියත් මනාව සකස් කොට තිබෙනවා.

මෙවර පවතින විශේෂත්වයක් වන්නේ විදේශීය ප්‍රකාශකයන් විශාල ප්‍රමාණයක් සහභාගී වීම. වෛද්‍ය විද්‍යාවට අදාළ පොතපත වගේ ම පරිගණක තාක්‍ෂණයට අදාළ පොතපතත් ඒ නිසා අපේ රටේ පාඨකයනට මිලදී ගන්න පුළුවන් වෙනවා.

මෙවරත් ගියවර වගේ ම ප්‍රදර්ශන භූමියට ඇතුල්වීම සඳහා රුපියල් දහයක් වටිනා ප්‍රවේශපතක් මිලදී ගත යුතුයි. ඒ වගේම මෙවර ප්‍රදර්ශනයට පැමිණෙන අමුත්තන්ට නව අත්දැකීමක් ලබා දෙමින් ප්‍රදර්ශන භූමියේ ‘නාදතාල’ තේමාව යටතේ සංස්කෘතික වැඩසටහන් පෙළක් පැවැත්වීමටත් කටයුතු යොදා තිබෙනවා.

මෙවර ලැබෙන ආදායමෙන් රණවිරු පවුල් පහක දරුවන් පස් දෙනෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා ඉගෙනීමට අවශ්‍ය පහසුකම් සැපැයීමට තීරණය කරලා තියෙනවා.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අනුග්‍රාහකත්වය දරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පමණද?

නැහැ. බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව විසින් මේ පොත් ප්‍රදර්ශනයේ සම සංවිධානය දරනු ලබනවා. ඊට අමතරව බුක් සේල්ස් ඇන් ඉන්පෝටර්ස් ඇසොසියේෂන් ඔෆ් සිලෝන් හා සමස්ත ලංකා පොත් වෙළෙඳ සංගමය මීට අනුග්‍රහය දක්වනවා. මේ ප්‍රදර්ශනය පොත් ප්‍රකාශකයන්ගේ, පොත් වෙළෙන්ඳන්ගේ, කර්තෘවරුන්ගේ, අධ්‍යාපන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ වගේ ම තොරතුරු තාක්‍ෂණ සේවා සපයන්නන් ගේ ප්‍රදර්ශන කුටිවලිනුත් සමන්විත වෙනවා.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මඟින් මෙරට කියැවීමේ හා ග්‍රන්ථ පරිශීලනය කිරීමේ පරම්පරාවක් නිර්මාණය වුණා කියලා ඔබ සිතනවද?

පැහැදිලිව ම ඔව්. මොකද වසර පුරාම මේ පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගැනීම සඳහා මුදල් එකතු කරන පරම්පරාවක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වුණා. මේ අය පොත් අරගෙන කියවන්නෙ නැතිව ඉන්නෙ නැහැනේ. ඒ කියන්නේ කියැවීමේ රුචියක් අපි නව පරම්පරාවට ඇති කළා. රූපවාහිනිය ඇතුළු විද්‍යුත් මාධ්‍ය මඟින් මෙරට ලාබ බොළඳ පරිභෝජනවාදි සමාජයක් නිර්මාණය කළත් මේ අතරේ පොත පත ඇසුරු කරන පිරිසකුත් ඉන්නවා. මෙන්න මේ අයට මේ පොත් ප්‍රදර්ශනය ඉතා වටිනා අවස්ථාවක්.

අනිත් කාරණේ පොතක් ඇසුරු කරනවා කියන්නේ විශ්වයක් දකිනවා වගේ දෙයක්. ඒක තේරුම් ගත්ත කෙනා පොත් පරිශීලනයෙන් අයින් කරන්න බැහැ. අපි මේ පොත් කියවන පිරිසේ පැහැදිලි වර්ධනයක් ඇති කළා. ඇත්තට ම මේක සාහිත්‍ය සැණකෙළියක් කියලා හඳුන්වන එකේ වරදක් නැහැ කියලයි මට හිතෙන්නේ. සාහිත්‍ය පාසල් විෂයය නිර්දේශයෙන් අයින් කිරීමත් සමඟ තමයි නව පරම්පරාව සාහිත්‍ය පරිශීලනයෙන් ඈත් කරවන්නේ. ඒ නිසා නැවත සාහිත්‍ය ළමයින්ට සමීප කරවීමට මෙවැනි දේ අවශ්‍ය වෙනවා.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හේතුවෙන් මෙරට ජනතාව විශාල වශයෙන් පොත් මිලදී ගත්තත් තමන් මිලදී ගත් පොත් කියවන පාඨක පිරිස අඩු බව විචාරකයෝ පවසනවා. හුදු මෝස්තරයට පොත් මිලදී ගෙන පොත් රාක්ක පුරවන බවයි ඔවුන් පවසන්නේ.

මෝස්තරේට පොත් ගන්නෙ කවුද? පොතක් මිලදී ගන්නේ කියැවීමේ ආශාවට. නොයෙක් හේතු නිසා ඊළඟ වසර වනතෙක් මේ පොත් සේරම කියවන්න නොලැබුණු අය ඉන්නවා. මටත් පහුගිය වසරේ මිලදී ගත්ත පොත් සේරම කියවන්න බැරිව ගියා. නමුත් කෙනෙක් පොතක් ගන්නේ කියවන්න.

කෑමක් ගන්නවා වගේ නොවෙයි. කියවන්න ඕන කියලා හිතෙන එකත් ලොකු දෙයක්. සාහිත්‍ය කන්නද කියලා අහපු ඉතිහාසයක් අපිට තියෙන්නේ. ඉතින් එහෙම ඉතිහාසයකින් ආපු අපට පොතක් මිලදී ගන්න කෙනෙක් දකින එකත් සතුටක්. යුද්ධය අවසන් වීම නිසා මිනිසුන් කැමැත්තෙන් සතුටින් බයක් සැකක් නැතිව මේ වසරේ පොත් මිලදී ගනීවි.

පොත් ප්‍රදර්ශනයට සමගාමී ව ස්වර්ණ පුස්තක සම්මාන උලෙළත් මෙහිදී පැවැත්වෙනවා. මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ පිළිබඳ ව වැඩ කටයුතු අවසන් ද?

පොත් 74 ක් ඉදිරිපත්වෙලා තිබුණා. අපි තීරණයක් විදියට පුවත්පත්වල කොටස් වශයෙන් පළ වූ නවකතා බාර ගත්තෙ නැහැ. එහෙම නවකතා දෙකක් අයින් වුණා. මේ පොත් 72 විසිදෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකින් තේරුවා. මේ පොත් අතරින් අපි පොත් දහයක් තෝරා ගත්තා. ඒ දහය අතරින් යළිත් පහක් තෝරා ගත්තා.

බටුවන්ගල රාහුල හිමියන්ගේ ‘බොර තෙල්’, කරුණාදාස සූරියආරච්චිගේ ‘අන්ධකාර තාරකාව‘, කැත්ලින් ජයවර්ධනගේ ‘සත්‍යකාම’, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ ‘එපුර රජ වූ ඇය’ හා සුනේත්‍රා රාජකරුණානායකගේ ‘පොදු පුරුෂයා’ කියන පොත් මේ අවසාන නවකතා පහ වශයෙන් තේරුණා. මේ අතරින් ‘ස්වර්ණ පුස්තකය’ තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලයේ (සභාපති) මහාචාර්ය තිස්ස කාරියවසම්, මහාචාර්ය රත්නසිරි අරංගල, මහාචාර්ය ආරියරත්න ඇතුගල, ඩී.බී. නිහාල්සිංහ, ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර කියන විද්වතුන්ගෙන් සමන්විතයි.

’ස්වර්ණ පුස්තක’ සම්මානය පිරිනමන්නේ නවකතා ක්‍ෂෙත්‍රයට පමණයි. මෙය අනෙක් ක්‍ෂෙත්‍රයන්ටත් ලබාදීමේ වැඩපිළිවෙළක් නැත්ද?

ඊළඟ වසරේදි කෙටිකතා හා කාව්‍ය ක්‍ෂෙත්‍රයටත් මෙය පිරිනමන්න අපි බලාපොරොත්තු වෙනවා.

කර්තෘ ප්‍රකාශකයන්ගේ පොත් මේ තරගයට ඇතුළත් කරන්නේ නැහැ. එය ඔවුනට කරන අසාධාරණයක් නොවේද?

අපේ අරමුණ ප්‍රකාශන සමාගම් දිරිමත් කිරීම. ඒ නිසා කර්තෘ ප්‍රකාශකයන්ගේ කෘති අපි තෝරා ගන්නේ නැහැ.


නව පරපුරේ ලේඛකයන් දෙස ද්වේශයෙන් බලන්න එපා

සාලිය කුලරත්න

අංශාධිපති සිංහල අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අගනුවරින් බැහැර සිටින අපට අගනුවර අයට තරම්ම දැනෙන්නේ නැහැ. නමුත් මම දකිනවා බොහෝ පාසල් සිසුන් හා විශ්වවිද්‍යාල සිසුන් මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා අගනුවරට පැමිණෙන බව.

මෙහිදී විශාල ලෙස පොත් අලෙවියක් සිදුවෙනවා කියලා පෙනෙනවා. පොත් සල්පිලේ තරමක කාලීන හා අවශ්‍යතා කේන්ද්‍ර කරගත් ප්‍රවණතාවයක් මේ වන විට පෙනෙන්නට තිබෙනවා.

එහිදී පාසල් විෂයය නිර්දේශයට, උසස් අධ්‍යාපන විෂයය ක්‍ෂේත්‍රයනට අදාළ පොත්පත් අලෙවිය සඳහා වැඩි ඉඩකඩක් වෙන් වෙන බව පේනවා. බොහෝ දෙනා පොත් සල්පිලට යන්නේ තමන්ගේ විෂයය නිර්දේශිත අවශ්‍යතාවයනට සරිලන සහ අවශ්‍ය වන පොත් ගැනීමට.

ඒ වගේ ම මම දැකපු තවත් කාරණයක් තමයි තේමාමය විෂයයන් සඳහා නිර්මාණය වන පොත්පත් ප්‍රමාණය ඉතා වැඩියි. ඒ කියන්නේ ජීවිතය පිළිබඳ ප්‍රහේලිකාත්මක විදියට ලියැවුණු චිත්ත බලය, මනසේ ක්‍රියාකාරිත්වය, මනසේ ගුප්ත ස්වභාවයන් ආදිය පිළිබඳ ව ලියැවුණු පොත්පත් වැඩි වශයෙන් අලෙවිවීමක් සිදු වෙනවා.

සාහිත්‍ය කෘති කියැවීම පසෙකලා මෙවැනි පොත් මිලදී ගැනීමට හා කියැවීමට පෙළැඹීම හොඳ දෙයක් විදියට, හොඳ ප්‍රවණතාවයක් විදියට මම දකින්නෙ නැහැ. මිනිස්සු ජීවිතය පිළිබඳ විවිධ විවරණ කර ගැනීම සඳහා එක් එක් ක්‍රමවේද භාවිතා කරනවා. අක්මුල් සොයා ගත නොහැකි දේ ගැන වැඩි වශයෙන් යොමු වීමකුයි සිදු වන්නේ.

මේවා අවියත් සංස්කෘතික ලක්‍ෂණ ලෙසයි මා දකින්නේ. සංස්කෘතික සන්නිවේදනයේ ඇති අසමතුලිතතාවය නිසා මිනිසුන් සාර කලාපවලට යොමු වීම අවම වෙලා තිබෙනවා. එදිනෙදා සංතෘප්ත විය හැකි බාල හරසුන් දේ කෙරෙහි මිනිසුන්ගේ ආශක්ත භාවයක් තිබෙනවා.

පසුගිය කාල වකවානුවට සාපේක්‍ෂ ව ගත්තොත් සාහිත්‍යයේ යම් පිබිදීමක්, උනන්දුවක් මෙකල ඇති වී තිබෙනවා. කොහොමටත් ගැඹුරු සාහිත්‍ය කරුණු පිළිබඳව සාමාන්‍ය ජනතාව ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. විශ්වවිද්‍යාල හා පරිබාහිර උසස් අධ්‍යාපනය ලබන සිසු පිරිසත් සාහිත්‍ය ගැන ඇල්මක් රස වින්දනයක් තිබෙන අයත් පමණයි සාහිත්‍ය පොත් පරිශීලනය කරන්නේ.

විශ්වවිද්‍යාල සිසුන් මට්ටමෙන් ගත්තහම ලේඛනයේ යෙදෙන අයගේ ප්‍රමාණය සංඛ්‍යාත්මක ව වැඩිවෙලා තියෙනවා. මම කියන්නේ ඔවුන් ලියන, නිර්මාණය කරන හැම පොතක් ම හොඳයි කියලා නොවෙයි. නමුත් ඒ පිළිබඳ උනන්දුවක් වර්ධනය වෙලා තිබෙනවා.

අපේ ලේඛනයේ යෙදෙන සමහර පැරැණි සාහිත්‍යකරුවන් නව පරම්පරාවේ නිර්මාණකරුවන් කෙරෙහි යම් කිසි ද්වේශ සහගත හැඟීමකින් යුතුව බලන බවකුත් පෙනෙනවා. සාහිත්‍යකරුවා මානුෂික හැඟීම්වලින් වියුක්ත වූවෙක් විය යුතු නැහැ.

ලියෝ තෝල්ස්තෝයි වරක් තමන්ගේ ‘කලාව යනු කුමක් ද?’ කියන කෘතියේ සඳහන් කරනවා සාහිත්‍යකරවා ආගමික නායකයකු නොවුවත් මනුෂ්‍යත්වයෙන් පිරි අයෙක් විය යුතුයි’ කියලා.

සාධු සම්මත නිෂ්ඨාවක් කරා අපේ ලේඛකයන් ගමන් කරනවා නම් හොඳයි. මම මේ කියන කාරණය යම් තරමකින් හෝ ‘ජයසේන ජයකොඩි’ ලේඛකයා කරනවා. ‘හර්මන් හෙස’ තමන්ගේ සියලුම කෘති වලින් මේ නිෂ්ඨාව සාක්‍ෂාත් කර ගන්නවා. තමන්ගේ ජීවිතය හා බද්ධ වූ කතා කලාවක්, කාව්‍ය කලාවක් අපට නැහැ. මෙය වර්ධනය කර ගත යුතු තත්ත්වයක්.

ජාත්‍යන්තර පොත් සල්පිලට සමගාමීව මෙන්න මේ සාහිත්‍යයික ප්‍රබෝධයත් සිද්ධ වෙනවා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.


මිලදී ගන්න හැම පොතක් ම කියවනවා නම් හොඳයි

මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්‍ෂ

අංශාධිපති ජනසන්නිවේදන අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හේතුවෙන් සාහිත්‍යමය පොත් පත් මිලදී ගැනීමේ උනන්දුවක් ඇතිවී තිබෙනවා. නමුත් මේ මිලදී ගන්නා පොත් කියවනවද කියලා ගැටලුවක් මට තිබෙනවා. මොකද මේ ප්‍රදර්ශනයට සහභාගී වන පිරිසත් එක්ක බැලුවහම සමාජයේ පොත් පරිශීලනය කරන, කියවන පිිරිසක් විශාල වශයෙන් බිහිවෙලා නැහැ. එතකොට මෙතන සාහිත්‍යම අරමුණට වඩා තියෙන්නේ වාණිජවාදි අරමුණක්.

ඒ නිසා පොත් ප්‍රදර්ශනයට සහභාගී වන පිරිස දිහා බලලා, ඒක සංඛ්‍යාත්මක ව වැඩි නම් සාහිත්‍යයේ වර්ධනයක් සිදුවෙලා කියලා උදම් අනන්න පුළුවන් කමක් අපට නැහැ. මේක හරියට සැණකෙළියක් වගේ.

පොත් පත් මිලදී ගැනීමට අමතරව විශාල වශයෙන් වෙන වෙන සංතෘප්තිකර වැඩසටහන් මේ ප්‍රදර්ශනයේදි සිදුවෙනවා. උදාහරණයක් විදියට නර්තන ප්‍රසංග වගේ.

මේ පොත් ප්‍රදර්ශනය නිසා පොත් පිළිබඳ උනන්දුවක් නම් සමාජයේ ගොඩනැඟිලා තියෙනවා. මේ සඳහා සහභාගීවීමට පැමිණෙන පාසල් ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ආදිය මේ පොත් බලලා යන එකත් හොඳයි කියලා මට හිතෙනවා. ඇස ගැටීම නිසා පොත් කියැවීමේ රුචියක් ඇතිවීමේ ඉඩකඩක් තිබෙනවා.

ඒ වගේ ම අපේ ලේඛක ලේඛිකාවන් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පෙර සිය කෘති නිකුත් කිරීමේ ප්‍රවණතාවයක් ඇති වෙලා තිබෙනවා. පොත්පත් ලිවීම හොඳ ප්‍රවණතාවයක්. නමුත් මේ හදිසියේ පොත් ලිවීම නිසා ඒවායේ ගුණාත්මක බව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා පොත් බිහිවෙනවා මිසක් ඒවායේ සාරගර්හ බව අඩු විය හැකියි.

බහු මාධ්‍ය සංස්කෘතියක් පවතින ලංකාව වගේ රටක පොතක් ඇසුරු කරනවා කියන්නේ ප්‍රබල අධ්‍යාත්මික ක්‍රියාවලියක්.

රූප රාමුවෙන් රාමුවට විචලනය වන හා බාල හරසුන් දේ බහුල වශයෙන් එළි දැක ඇති මෙවැනි වකවානුවක චින්තනමය මෙහෙයැවීමක් සඳහා පොතපතින් ලැබෙන පිටුබලය අප්‍රමාණයි. පාසල් හා විශ්වවිද්‍යාලයීය මට්ටමෙන් නිර්දේශිත පොත්පත් පමණක් පරිශීලනය කිරීමට පෙලැඹී සිටින පිරිස ඒ මානසිකත්වයෙන් ගලවා ගැනීමට නම් පොත් කියැවීම එදිනෙදා පුරුද්දක් බවට පත් කළ යුතු වෙනවා.

රූපවාහිනියේ පෙන්වන ටෙලිනාට්‍ය දිනපතා පුරුද්දක් විදියට නරඹන පිරිස පුරුද්දක් විදියට පොත පත කියැවීමක් සිදු වන්නේ නැහැ.

පොත් ඇසුරු නොකිරීම නිසා තමනට ජීවිතයේ ලද හැකි උත්තරීතරම මිතුරකු අහිමි වී යන බව ලෝ ප්‍රකට සාහිත්‍යකරුවන් පවසා තිබෙනවා. මැක්සිම් ගෝර්කි පවසා තිබූ වටිනා කියමනක් මට මේ වෙලාවෙ සිහිපත් වෙනවා.

”මා තුළ ඇති යහපත් වූ හැම දෙයක් ම ගැන මා ණයගැති විය යුත්තේ පොතපතටයි. මනුෂ්‍යයාට වඩා කලාව, පොතපත බෙහෙවින් ත්‍යාගශීලි බව මට පසක් වුණේ තරුණ කාලේදීමයි. මම පොත්වලට ආදරය කරන්නෙක්මි. හැම පොතක් ම හරියට හාස්කමක් වගේ. ගැඹුරු හැඟීම් වලින් යුතු පී‍්‍රතිමත් ජීවිතයක් මට උරුම කළේ පොතපතයි.”

අපි හැමෝට ම ඒ වගේ. පොතක් කියවනවා කියන්නේ ලෝකයක් ඇසුරු කළා වගේ දෙයක්. මේක පොත් කියවන බොහෝ දෙනෙකුට පොදු අත්දැකීමක්. චින්තනය, භාෂාව ගොනු කිරීමට ඉවහල් වන විශාල ම සන්නිවේදන මාධ්‍ය වන්නේ පොත්.

ඒ නිසා අවම වශයෙන් පොත් මිලදී ගැනීමට හෝ පෙලැඹවීමක් ඇති කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මා ස්තූති වන්ත වෙනවා.

ස්වර්ණ පුස්තකය තෝරාගැනීමට නිර්දේශිත අවසන් වටයේ නවකතා පහ