දොස් - නිදොස් විශ්ලේෂණය
 

දොස් - නිදොස් විශ්ලේෂණය

 

 ඩී. එෆ්. කාරියකරවන

තව සන්ධි 3 ක්
සිංහලයෙහි සන්ධි දහයෙන් පූර්ව ස්වර ලෝප සන්ධිය, පරස්වරලෝප සන්ධිය, ස්වර සන්ධිය, ස්වරාදේශ සන්ධිය හා ගාත්‍රාදේශ සන්ධිය යන පහ පසු ගිය ටිකේ අපට හඳුනා ගන්නට ලැබිණි.
අද තව සන්ධි තුනක් ගැන සලකා බලමු. ඒ, පූර්ව රූප සන්ධිය, පරරූපසන්ධිය හා ගාත්‍රාක්ෂරලෝප සන්ධියයි.

පූර්වරූප සන්ධිය
වචන දෙකක් සන්ධි කරන කල මුල් වචනයේ අග ඇති වර්ණය දෙවැනි වචනයේ මුල ඇති වර්ණයට දීමෙන් ගළපන සන්ධිය පූර්ව රූප සන්ධියයි. ඒ මෙසේයි:
කම් + හල = කම්මල
මුල් වචනයේ ‘ම’ කාරය දෙවැනි වචනයේ ‘හ’ කාරයට දීමෙන් ‘හ’ යන්න ‘ම’ යන්න වී ඇත. එවිට, කම්හල, කම්මල නම් වී.
තව නිදසුන්:
විස් + කම් = විස්සම් (විශ්වකර්මයා)
සිත් + කම් = සිත්තම් (චිත්‍ර කර්ම)
ඇත් + හල් = ඇත්තල් (ඇත්හල)

පරරූප සන්ධිය
වචන දෙකක් සන්ධි කරන කල දෙවැනි වචනයේ මුලකුර පළමු වචනයේ අගකුරට දීමෙන් පර රූප සන්ධිය හැදේ.
නිදසුන්:
සත් + දවස = සද්දවස
වප් + කඩ = වක් කඩ (දිය බැම්ම)
ලිප් + ගල = ලිග් ගල (ලිපේ ගල)
අත් + ලස් = අල්ලස්

ගාත්‍රාක්ෂර
ලෝප සන්ධිය

ගාත්‍රාක්ෂරයක් ස්වරයක් සමඟ ලොප් කොට, මාත්‍රා වෘද්ධි කිරීමෙන් ගළපන සන්ධිය, ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය නම්වේ.
උමංදාව මෙ සේ හැදෙන වචනයකි.
සන්ධි වී ඇත්තේ ‘උමඟ’ හා ‘දා’ යන ශබ්ද දෙක ය. පූර්ව වර්ණය වන ‘ඟ’ කාරයේ අර්ධ සංයෝගය ඉතිරි වන සේ ස්වර සහිතව ලොප් කොට ඒ ඉතිරි අර්ධ සංයෝගය වෘද්ධි කළ කල්හි ‘උමංදා’ යනුවෙන් හැදේ. තව නිදසුන් : ළිඳ + මැඬි = ළිං මැඬි
අඹ + මල් = අම්මල්

භාෂා රක්ෂණය
භයානක ලෙස විනාස වීගෙන යන සිංහල භාෂාව බේරා ගැනීමට කළ යුතු දෑ ජනාධිපති තුමාට පෙන්නා දෙන සන්දේශයක් දැන් පිළියෙල කැරගෙන යනු ලැබේ.
භාෂා ප්‍රේමීන් විසින් පසුගියදා පිහිටුවා ගන්නා ලද බල මණ්ඩලයෙකි මෙහි නියුක්තව ඇත්තේ.
මේ මණ්ඩලය “සිංහල භාෂා රක්ෂණ සංවිධානය” නම් වේ. මූලස්ථානය සිංහල ශබ්ද කෝෂ කාර්යාලයයි.
මේ මණ්ඩලයට අයත් වූවෝ මෙසේ වෙති. මහාචාර්ය විමල් බලගල්ල (සභාපති) මහාචාර්ය සුචරිත ගම්ලත් (උප සභාපති) පණ්ඩිත සිරි තිලකසිරි (ලේකම්) මාධ්‍යවේදී ඩී.එෆ්. කාරියකරවන, ප්‍රවීණ රචක හරිශ්චන්ද්‍ර විජයතුංග, ප්‍රවීණ ලේඛක කරුණාරත්න අමරසිංහ, මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන, ග්‍රන්ථ කර්තෘ හෙන්රි සමරනායක, විද්යුත් මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනී. (ප්‍රවීණ නළු සුමින්ද සිරිසේන මහතා ගේ නම ද යෝජනා වී ඇත)
මේ මණ්ඩලයේ ලිපි යොමුව මෙසේයි: සිංහල භාෂා රක්ෂණ සංවිධානය, සිංහල ශබ්ද කෝෂ කාර්යාලයය, 46 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07.

පුවත්පත්වලින්
පසුගිය ටිකේ පුවත්පත්වලින් උපුටා ගත් ශීර්ෂ පාඨ කීපයක් මෙසේයි:
“විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් එක ම තැනකින් හමු වූ ප්‍රථම අවස්ථාව“
“විශාල පුපුරණ ද්‍රව්‍ය” යනු කිමෙක් ද. මේ කියන්නේ “පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක්” ගැන ය.
“නිලධාරීන් අද ලෙඩවේ”
‘ලෙඩවේ’ යන්න ඒක වචන ආඛ්‍යාතයකි. ‘නිලධාරීන්’ යනුවෙන් හැඳින්වෙන්නේ එක් තැනැත්තකුට වැඩි සංඛ්‍යාවකි එසේ නම් ඒ වචනය ‘නිලධාරිහු’ යනුවෙන් නිවැරැදි විය යුතු ය.
එසේ වනවිට ‘ලෙඩවේ’ යි කිය නො හැකි ය. ආඛ්‍යාතය ‘ලෙඩවෙති’ යනුවෙන් නිවැරැදි විය යුතු ය.
‘දරුවන් ගැන හිතන එක දවසින් දවස කල් යනවා’ මෙසේ කියන්නී අලුත විවාපත් වූ නිළියකි.
‘මේ ‘දරුවෙක්’ යි කියන්නේ දරු උපතක් ගැන ය. එය නිවැරැදි වන්නේ ‘දරුවකු’ යනුවෙන් යෙදිණි නම් පමණි.
4. “සිරකරුවන් දහවල් කෑමත් එපා කියයි” ආහාර වර්ජනයක් පිළිබඳ පුවතෙකි.
‘සිරකරුවන්’ යනු අනුක්ත වචනයෙකි. එය උක්ත වන්නේ ‘සිරකරුවෝ’ යනුවෙන් යෙදුණු කල්හි ය. එවිට ඒ උක්තයට ගැළැපෙන පරිදි අවසාන ක්‍රියාව ‘කියති’ යනුවෙන් විය යුතු ය.
5. “නින්ජාවරු මාතලේ පොලිසියට පරදී”
‘වරු’ යන උක්ත රූප ප්‍රත්‍යය යෙදී ඇති හෙයින් ‘පරදී’ යන අවසාන ක්‍රියාව නො ගැළපේ. ‘පරදිති’ යන්නයි ඒ ‘වරුනට’ ගැළැපෙන්නේ.
6. “හලාවත රෝහලට ඇතුළත් කළ නිවුන් බිළිඳුන් දෙදෙනා මිය යයි”
මේ වැකියේ වැරැදි කීපයෙකි. ‘ඇතුළත් කළ’ යන්න ‘ඇතුළු කළ’ විය යුතුයි. ‘බිළිඳුන්’ යන්න ‘බිලිඳු’ විය යුතුයි. ‘මිය යයි’ යන්න ‘මිය යති’ යනුවෙන් නිවැරැදි විය යුතු ය.

මාධ්‍ය සිංහල
අද බොහෝ පුවත්පත්වල බස නසන්නේ ඉවක් බවක් නැති ව ය. ඉවසිය නො හැකි කරුණක් වන්නේ මාධ්‍යය ගැන ලියන දේවත් හරි හැටි නො ලියන එක ය.
ජූලි 27 වැනි දින (සඳුදා) එක්තරා පත්‍රයෙක ඡායාරූප විස්තරයෙක වූ කොටසක් මෙසේයි:
“ජනමාධ්‍ය ක්ෂේත්‍රයට කරන ලද මෙහෙය උදෙසා ‘රාජ්‍ය අමාත්‍යවරුන් ගේ මාධ්‍ය ලේකම්වරු 20 දෙනෙකු සම්මානයට පාත්‍ර විය”
කරන ලදැයි කියන ඔය මෙහෙයත් මේ වැකියේ තත්ත්වයේ වන්නට බැරි නැත.

අක්ෂර වින්‍යාසය
විදුලිය - 1. අකුණ 2. විදුලිබලය
විදිලිය - 1. අකුණ 2. විදුලිබලය
විදාරණය - පුපුරා යෑම, පැළීම
විදෙන - විහිදෙන
විධානය - නියෝගය
විනය - හික්මීම
විනිස - විනිශ්චය
විනිමය - ගනුදෙනුව
විනිවිද - ඇතුළත පෙනෙන
විනීත - හික්මුණු
විපරිණාමය - වෙනස්වීම
විපුල - මහත්
විපිළිසර - පසුතැවෙන
විභීෂණ - භයංකර, රජෙක්, දෙවියෙක්
විභූෂණ - අලංකෘත, සැරැසුණු
විමර්ශනය - සෝදිසිය
විමල - නිර්මල
විමන - වාසස්ථානය
විමානය - වාසස්ථානය
වියන - (1) උඩින් බඳින රෙද්ද,
                  (2) විවීම කරන
වියරණ - ව්‍යාකරණ
වියවුල - කලබලය
වියලණුව - කරත්තෙට ගොනා බඳින ලණුව
වියැළි - වේළුණු
වියැළුණු - වේළුණු
විරල - දුර්ලභ
විළිය - ලජ්ජාව
විල - තඩාගය
විලඳ - වී පොරි
විලවුන් - සුවඳ පෑන්
විලස - විලාසය