ස්නෙගූරච්කා
රුසියාවේ ජනශ්‍රැති
ජනකතා සහ සුරංගනා කතා
මෙය සිදුවූයේ ඉතා ඈත කාලයකදී ය. එක්තරා අඹුසැමි
යුවළකට දරුවෝ නැත්තා හ. ඔවුහු කෙමෙන් මහලු
වියට ද එළැඹුණා හ. මැහැල්ල හැමවිට ම කවුළුවෙන්
පිටත බලමින් සුසුම් හෙළමින් සිටිනු දකින
මහල්ලා ගේ සිත ද මහා දුකකින් පිරිණි. ඔවුනට
සියල්ල තිබිණි. නොතිබුණේ සිතේ සතුට පමණි. ඒ
දරුවකු නොමැති හෙයිනි.
මෙසේ හිම කාලය ද එළැඹිණි. එවිට මහල්ලා සිය
බිරිය අමතා මෙසේ කීය;
”හැමදාම මෙහෙම ඉඳලා බෑ. යමු අපි මේ හිමෙන්
දරුවකු තනමු. යමු.”
මැහැල්ල ගේ සිත සතුටින් පිරිණි. එය හොඳ
යෝජනාවකි. ඔවුහු වහා හිම ගොඩැල්ල මැදට වැදී
හිමෙන් දැරියක සෑදූහ. දැඩි ශීතය මැද හිම දැරිය
සුදු නිල් පැහැයෙන් යුතු ව ගොඩ නැඟුණා ය. ඈ
ස්නෙගූරච්කා යි. (හිම සීයා ගේ මිනිබිරිය ලෙස
රුසියානුවන් අතර මේ දැරිය ප්‍රකටය)
පණ ලැබූ ස්නෙගූරච්කා ද රැගෙන දෙමහල්ලෝ සිය
නිවසට වන්හ. ඔවුහු ඉහවහා ගිය සතුටින් යුතු
වූහ.
කලක් ගෙවිණි. ග්‍රීෂ්මය එළැඹිණි. හිම දියවිණි.
ස්නෙගූරච්කා දුකිනි. හේමන්ත මල් පිපී හාත්පස
සුවඳ විහිදෙද්දී ඈ දුකින් ගෙතුළට වැදී සිටියා
ය. හිරු එළිය ඈට හිරිහැරයකි.
යහළු යෙහෙළියෝ ඈ වෙත’විත් ඈ සෙල්ලමට කැඳවූහ.
ස්නෙගූරච්කා අකැමැත්තෙන් මෙන් ඔවුන් සමඟ
නික්මුණා ය.
යෙහෙළියෝ අසල කැලෑවට වන්හ. ඔවුහු වනමල් නෙළූ
හ. මාලා ගෙතූහ. ස්නෙගූරච්කා අසල වූ කුඩා දිය
කඳුර වෙත ගොසින් මහත්වූ ආශාවෙන් දිය බිඳු දෝතට
ගෙන ඒවා හා සෙල්ලම් කළා ය.
මේ අතර ඇගේ මිතුරෝ ගිනිමැලයක් දැල්වූහ. එය
සරුවට ඇවිලිණි. කුඩා කෙල්ලෝ ගිනිමැලය මතින්
එහා මෙහා පනින්නට වූහ.
”ස්නෙගූරච්කා එන්න. එන්න. සෙල්ලම් කරමු” ඔවුන්
ගේ ඇවිටිලි නිමා නොවූ තැන ස්නෙගූරච්කා
ගිනිමැලය වෙත ගියා ය. ඒ මතින් පැන්නා ය.
එවිට ඈ දිය වී කඩා හැලෙන්නට වූවා ය. ගිනිමැලය
මත කුඩා වලාකුළක් සෑදිණි. එය අහසට ම එසැ වී
ක්‍රමයෙන් නොපෙනී යන්නට විය.
ස්නෙගූරච්කා තවදුරටත් මෙලොව නොමැති විය.
දෙමහල්ලෝ හඬා වැළපී යමක් අවබෝධ කරගත්හ. එනම්
ස්වභාවධර්මයා ට එරෙහිවීමට කිසිවකුට නොහැකි බව
ය.
පරිවර්තනය
තනූජා ධර්මපාල
|