කවිතා ලතා
කුසුම
බිගුනි, නුඹ ගුම්සර
වුවද පෙරකළ
හිසරද
ඇතුළු සිත තුළ
අභිනව
වේය කුසුමක්
විකසිත......
නෙතින්
වදනින්
හසරැල්ලෙන්
පෙති එකින් එක
පිබිදෙන......
ඇතුළු සිත සිරගෙයද
අත්හැර
කුසුම බිඳ බිඳ
එසවේ ය
ඉහළට .....
තලා
පෙති බිඳ
දමනු කෙලෙසක
මා දෑත
රැහැනින් බැඳ
මේ වසන්තය.....
එරාධිනි හසිනි ලංකා
පේරාදෙණිය සරසවිය
ඉක්බිති ව නික්මුණේ ය ඔහු
මට කහවණු උවමනා නැත
රන’බරණ, කසී සළු, දෝලා ද
කුමට මට?
ඇය කීවාය.
පත පොතය - මිතුරෝ
කවිය මට නෑයින්ය.
විශ්වයම ඔබය - මට
යළිඳු කීවාය ඇය.
මම...
කහවණු දෝලා සහ සම්පත් ම
පතන්නෙමි මතු මතු ද
කවි කුමට? නෑ - මිතුරු සිටිනතුරු
විශ්වය ම මට - මමය
කීවේය ඔහු.
ඇය - ඉකිබින්දාය.
රුක් මුදුනක වියළී යන පත්‍රයක් සේ
හැකිළී ගුලිවී.
ඔහු - සිනාසුණේය
කුරුලු හඬින්
පුළුන් රොදක් සේ - සැහැල්ලුවෙන්
කහවණු ද දෝලා ද නොව
ස්නේහය ද දයාව ද රැගෙන
ඔබ එතොත් මම සිටිමි
ඕ පිළිතුරු දුන්නාය
ඉක්බිතිව නික්මුණේය ඔහු
සමු නොගෙනම,
නොබලා ආපසු...
කාන්තී මල්ලිකා පෙරේරා
මේ අපගෙ රටයි රැකගව් උරුමේ!
උතුර නැගෙනහිර දකුණේ
බටහිර දිග හෙළ දෙරණේ
සිංහ කොඩිය ළෙල දෙයි අප දිනුව හෙළ බිමේ!
බුදුරැස් දළදා මැදුරේ
දී ආලෝකය පැතිරේ
දෙවිවරු දෙති සාදුකාර අපගෙ මව් බිමේ!
ජයසිරිමා බෝසමිඳුට
සුරඟන පරසතු පිදු විට
මහමුනි කිය කිය නැටවෙයි ළපලු පුදබිමේ!
සතුරු බලය මුලසුන් කොට
රට රැකගත් විරුවන් හට
සුරබඹු ආසිරි පුද දෙති අපගෙ මව් බිමේ!
සටනින් සටනට ජයගෙන
දිවිපුද දී රට රැක දෙන
රණවිරුවෝ යළි උපදිති අපගෙ මව් බිමේ!
ලෙය පුද දෙව් රට රැකුමට
දැය රැකගව් දිවි පුද කොට
මේ සිංහල අපගෙ රටයි රැකගව් උරුමේ!
බුදුරැස් විහිදෙන නන් අත
බුදුවරුන්ට පිදු පින් කෙත
රැකගෙන මියයමු ඉපදෙමු අපගෙ මව් බිමේ!!!
ආචාර්ය පණ්ඩිත කොස්ගොඩ සිරි සුධම්ම ස්ථවිර
අම්මේ මේ නුඹට...!
වචනයක්වත් නැතිවුන දා නුඹ මා ළඟ
තනිය මකන්නට,
දෙසවන් මොටදැයි අම්මේ මට සිතුණා
නුඹේ රුව දෙනෙතේ නැති තරම් දුර
වුවා මග හරවන්නට,
නිල් නුවන් මොටදැයි අම්මේ මට සිතුණා
නුඹ මැවු නුඹේම රුවේ පළුවක් අද
තනිව ඉකිබිඳිනා කලට,
මෙතරම් රූ සපුවක් මට මොටදැයි අම්මේ සිතුණා
කේ.එම්.ඩබ්ලිව්. කුමාරි
පුංචි දුකක්
මිනිස් කමක් නැති
නිවට...
තිරිසන් සතුන් මෙන්
කෙළ හළමින්
පාර පුරා... විදි දිගේ
තැන් තැන්වල
නුරාමතින් වැටි සිටින...
ගඳ ගහන මිනිසුනේ;
දැන්වත් නැගිටපන්
උඹට හරියන තැනක් වුණාට මේ විදිය
පුංචි එවුන් එන්න ළඟයි...
නැගිටලා පලයන්
ගත මනාව සොයාගන්න
රෑ බෝ වෙන විට වරෙන් ආයෙත්
උඹලට උරුම මේ විදියේ
පණුවෙක් වෙලා
මට ඉන්න ලැබුණ එක ගැන
මට දුකයි...
එන්.ජී. අනුරාධා ශිරෝමි ගම්ලත්
ක්‍රි.ව. 2050 දී
සුපිරි වෙළඳසැළෙක
දැන්වීමකි
අප වෙතින් රුපියල්
ලක්ෂ පහකට වැඩියෙන්
භාණ්ඩ මිලදී ගන්නා
සෑම අයකුට ම
පිරිසිදු ඔක්සිජන් වායුව පිරවූ
සිලින්ඩරයක් නොමිලේ
අමරපාල වැලිකන්න
දිනනු බැරි ආදරය
ලෝකය ම දිනන්නට දිරිය දුන් ආදරය
ලෝකය ම දකින්නට එළිය දුන් ආදරය
පලා ගියදා හඳේ දුක රන්දා
බලා ඉන්නද යළි එතැයි සිතලා...
නුවන් යුග විරසක වෙලා
කඳුළු කැට නුඹ රැගෙන ගිය හින්දා
සිත ම සිර වී ගොළු වෙලා
සුසුම් රැළි නුඹ රැගෙන ගිය හින්දා
ලොව ම දිනුවත් කිමද ඉන් ඵල
දිනනු බැරි නම් නුඹේ සිත කිසිදා..
සවන් බිහිරි ව වැළැපිලා
නුඹේ හඬ මට දුර ඈත හින්දා
හද වෙණෙහි තත් විසිරිලා
ලියූ ගී වෙන හදක් සතු හින්දා
ලොව ම දිනුවත් කිමද ඉන් ඵල
නුඹේ ආදර සිත දිනනු බැරිදා..
චතුරි අනූකා දොඩම්පෙ
රතු පලස යට
කළු තාර පලස මත
තැබූ නිරුවත් දෙපා
රිදුම් දී...
වැටුණු උණු කඳුළු කැට
පැල්ලම්...
යනෙන රතු පලස යට
දනිමි ඇති බව
අදත්...
බන්දුසිරි ජයලත් රූපසිංහ
හමුවීමක් හා පැතුමක්
සසර ගමනේ
ඇවිදිනා මම
දුටුවෙමි,
මා යන මගට
සමාන්තර වූ
මගෙක යන්නා වූ
ඔබ
ඇතිවිය හැඟිමක්
භවයෙන් භවය
හමුවුවෙක් ලෙසට
ළංවිය හදවතට
යළි නොයනා
ලෙසට
බලා සිටියෙමි
ඔබ මා පසුකර
යන අයුරු
නොපෙනි යන තෙක්ම
බලා ඉන්නෙමි
සසරෙහි කවදා හෝ
හමුවන තෙක් ඔබ
මානි ගාල්ලගේ
ඔබ
නිල්ල දිලෙන විල් ජලයේ
-පිපි මානෙල් කුසුම ඔබයි
පෝදා නිල් ආකාසේ
-දිදුලන සඳ වතිය ඔබයි
සුවදෙන මඳනල පිස එන
-සුවැඳැති මේ කුසුම ඔබයි
මේ ජීවන ගමන් මගේ
-මගෙ හද පැතු මැණික ඔබයි
හිමගිර මට සීතල නැත
-ඔබ උණුසුම ළඟ වේනම්
කතරද මට කෙම් බිමක්ය
- ඔබ මා ළඟ ඉන්නව නම්
මිහිපිට මට සුරපුරක් ය
- ඔබ මා හා රැඳෙනව නම්
මගෙ සිත සොඳ පුදසුනක් ය
-ඔබ එහි රැඳි මල වේ නම්
කඳුහෙල් මග හමුවුනොතින්
-පියගැට පෙළ ඇතිවේවා
රුදුරු වන සතුන් ඔබ එන මඟ
-යන මඟ නොම ඒවා
පිපාසයට දිය සලසන
-උල්පත් තැන තැන වේවා
පහන් තාරකා පායා
-මග සලකුණු ඇතිවේවා
වෛද්‍ය
ජයරුවන් බණ්ඩාර
ද සොයිසා කාන්තා රෝහල
ගෙට ගෙවදීම
කිරි මුට්ටිය හිනැහෙයි
පෙණ පිඬු පිඹ පිඹ
ඇස්වල සතුට උතුරයි
පවුලේ සැමගේ
අලුත් සායම් සුවඳින්
සිත් කුල්මත් කරවයි
සෙත් පිරිත් නද
ගෙනෙයි ආසිරි පැතුම්!
පොදි පොදි
තුටු රැළි ගලා එයි
වෙහෙස නිවී
සිත් පැසවයි
නෑදෑයන්ගේ
එච්.එම්. කපිල
ජයවිලාල් හේරත්
නො ලියවුණු වැකිය
හැර දමා යන වගක්
නොදැනෙන්න ගියා නම්
මේ ගලන දුක් ගඟෙන්
එකම එක බිඳක් වත්
ඔබෙ කොපුල් තෙමාගෙන
ගලන්නට ඉඩ නොදී
හිම කඳක් වගෙ ඔහේ
වැතිරී ඉන්න තිබුණා
සමන්ගුණ හේරත්
සපුන් සමඟින්
කිරි බීම
නා සපුන් හා මිතුදම්
කිරි පොවා ධම් පැතූයෙන්
කුලුණු ගුණ එහි නැතියෙන්
මේ තුඹස දැන් බිඳලමි
දිනක ක්‍රෝධයේ විෂ දළ
විෂ හනුව හා එක් කළ
බරනිඳුගෙ ගෙල අත්හළ
පනිදුන්ය පෙර මිතු කල
පෙර දිනක මිතු දම් කළ
ගුණෙන් යුත් කිරි පිදු කල
අමතක ව හද සුළ කල
විෂ ඛේට නෙතු මත හල
සියලු රසඳුන් මතක ගල් කොට
සත් හිසින් පනිඳුන්ව නැඟ සිට
අවුළු පත් මධුවිත් ද විසි කොට
දෂ්ට කළ ඔහු මිතුරු සුරතට
බුදුහු කල සිට පැවති මිතුදම්
එහි පද රුත් පසිඳ දෙසුයෙන්
බුදුහු වදනින් බිනූ මිතුදම්
දියත්තක ඇඳි රුවක් බඳුයෙන්
අවිදු අඳුරේ දිවි සයුර ඉම
නෙක ප්‍රලාපෙන් අවන්හල් පිස
සපුන් සමඟින් ගෙවූ රෑ රැස
අඳුරු දෙනෙතක් පැවසි නෙක දොස
උපුල් සේනාධිරිගේ
වෙනස
විරහ දුක දැක
සිතා එහි ළතැවුල
පදරාත් සඳැස් ගැළපී
ලියැවුණු දහසක්
විරහ කවි පද...
විරහ දුක දැණුනු සඳ
නොලියවුණු අරුමය
තරින්දි වීරසිංහ
|