මනුෂ්‍යත්වයට වෙඩි තබනු ලැබේ
| |
මනුෂ්‍යත්වයට වෙඩි තබනු ලැබේ
|
|

කර්තෘ - ගුණසේන විතානගේ
ප්‍රකාශනය - කුරුලු පොත්
මිල - රු. 200
පොදුජන සාහිත්‍යයක් ගොඩනැඟීමෙහිලා දිගුකාලීන මෙහෙවරක නිරතව සිටින ශ්‍රී ලාංකේය
ලේඛකයන් අතලොස්ස අතර ගුණසේන විතාන ද ප්‍රමුඛයෙකි. මෙරට සාහිත ක්ෂේත්‍රයට ජනතා
සාහිත්‍ය සංකල්පය හඳුන්වාදීමේ පුරෝගාමියා ද වන විතානගේ සිය නවවැනි කෙටිකතා සංග්‍රහය
මනුෂ්‍යත්වයට වෙඩි තබනු ලැබේ’ නමින් පසුගිය වසරේ නිකුත් කළේ ය.
සිංහල කෙටිකතා
රචකයකු වශයෙන් ඔහුගේ ප්‍රවේශය සිදුවන්නේ 1945 තරම් ඈත කාල පරිච්ඡේදයකදී වීම ද
මෙහිදී වෙසෙසින් සඳහන් කළ යුතු ය. වෙඩි පහර නමින් සිය ප්‍රථම කෙටිකතා එකතුව 1945 දී
පළ කරන ඔහු ඉනික්බිති හොල්මන (1954) අයියා වගේ කෙනෙක් (1971 - රාජ්‍ය සම්මාන) පොළවේ
ගීතය 1973. සිංහල පියකුට දාව දෙමළ මවකගේ කුස උපන් පුතකුගේ කතා වස්තුව (1983) සජීවී
චිත්‍රයක් (1987) යාපා පටුනේ දිසා පාමොක් ((1998) සහ එතෙර ගිය බිරිඳගේ සම්මුතිය
(2003) වශයෙන් කතා එකතු ගණනාවකින් සිංහල කෙටිකතා කලාවේ ඉදිරිගමනට දායකත්වය සපයා
තිබේ.
ගුණසේන විතානයන්ගේ කෙටිකතා රචනයේ දිස්වන කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් වන්නේ තමා
ජීවත්වන සමාජයේ සමාජ දේශපාලන ආර්ථික හා සංස්කෘතික සංසිද්ධීන් පිළිබඳ ව අවදි මනසකින්
පසුවීමත්, විශේෂයෙන් ම මානව සංහතියේ ඉදිරිගමනට රුකුල්දෙන සමාජ දෘෂ්ටියකින් යුතුව
වඩාත් යහපත් ලෝකයක් වෙනුවෙන් පෙනී සිටීමත් ය. එම අරමුණු සාක්ෂාත් කරගැනීමේ දී
සාහිත්‍යකරුවකු වශයෙන් විතානයන් විසින් අනුගමනය කරනු ලබන සාහිත්‍යයික උපාය මාර්ගයන්
අරඹයා විවාදයක් තිබිය හැකි වුව ද දශක ගණනාවක් එපිටට දිවෙන ඔහුගේ සාහිත්‍ය භාවිතාව
තුළ ඔහු විසින් ඉටු කෙරුණු කාර්ය භාරය විවේචනාත්මක ඇගයීමකට ලක් කිරීමට එබඳු සීමාවන්
බාධාවක් නො විය යුතු ය.
ගුණසේන විතානයන්ගේ නවතම කෙටිකතා සංග්‍රහය වන ‘මනුෂ්‍යත්වයට වෙඩි තබනු ලැබේ’ කෘතිය
සැලකිය යුතු වන්නේ ද අප ඉහතින් සඳහන් කළ සමාජ දෘෂ්ටියේත් සාහිත්‍ය භාවිතාවෙන් තවත්
එක් පියවරක් ලෙසිනි. මිනිස් සමාජය වඩාත් යහපත් එකක් බවට පත්කිරීමේ අරමුණ හමුවේ
වාර්ගික ගැටලුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට උනන්දුවීම ද විතානයන්ගේ කෙටිකතා
තුළ මුල් කාලයේ සිට ම දක්නට ලැබුණු ලක්ෂණයකි. කෙටිකතාවලට අමතරව ‘යාපනයට පාලමක්’
වැනි නවකතාවක ද මේ ජාතික අවශ්‍යතාව ඔහු ඉස්මතු කර ඇත.
සිංහල දෙමළ මෙන් ම මුස්ලිම්
ප්‍රජාව අතර ද සාකච්ඡාවකට බඳුන් වූ ප්‍රකට කෙටිකතාවක් ලෙස ‘පාලම’ හඳුන්වා දීමට
පුළුවන. මේ අයුරින් වසර තිහකිනුත් එපිටට විහිදෙන අප රටේ වාර්ගික අර්බුදය කෙරෙහි
තියුණු ඇසක් දල්වා සිටීමට විතානයන් උත්සුක වී සිටීම මඟින් පෙන්නුම් කෙරෙනුයේ
ලේඛකයකු වශයෙන් ඔහු ප්‍රගුණ කරගෙන සිටින සියුම් සමාජ සංවේදිතාවයි. එසේ ම ලේඛකයා -
කලාකරුවා යනු හුදෙක් මනෝරාජිත ලෝකවල සැරිසරමින් ජනසමාජයේ ගැටලු හා කාලීන අරගලවලින්
පැන යන්නකු නොවිය යුතු බවයි.
ගුණසේන විතානගේ අභිනව කෙටිකතා එකතුවේ කෙටිකතා කිහිපයක් වාර්ගික ගැටුමේ මෙන් ම
සමඟියේත් විවිධ පැතිකඩ නිරූපනය කිරීම සඳහා යොදාගෙන තිබෙනු දැකිය හැකි ය. ‘එළුවන්
ඇල්ලීම’ නමැති එක් කතාවක කියවෙනුයේ ‘ළමා සොල්දාදුවකු’ පිළිබඳ පුවතකි. ‘එළුවන්
ඇල්ලීම’ නමැති යෙදුම කෙරෙහි ද මෙහිදී අපගේ අවධානය යොමුවීම වටී.
එය ද පසුගිය කාලයේ
දේශපාලන සංසිද්ධීන් හරහා සමාජගත වූ ‘ගෝනිබිල්ලා’ වැන්නකි. කොටි සංවිධානය ළමා
සොල්දාදුවන් සඳහා පාසල් සිසුන් හඹා යාම එළුවන් ඇල්ලීම ලෙස දෙමළ සාහිත්‍යයේ අරුත්
ගැන්වෙයි.
දෙමළ සමාජයේ උගත් පිරිස් අතර කොටි ත්‍රස්තවාදයට එරෙහි හා පක්ෂ දෙපිරිස
අතර පවතින ප්‍රතිවිරෝධතා ද කයිලාසපති හා ශ්‍රීපති බඳු ගුරුවරුන් ගේ ක්‍රියා කලාප
ඇසුරෙන් ලේඛකයා පැහැදිලි කරයි. ‘එළුවන් අල්ලීම’ කතාව නිමාවට පත් වනුයේ කොටි
සංවිධානය විසින් පැහැර ගනු ලැබූ ළමා සොල්දාදුවකු වන ගෝපාලන්ගේ සිරුර සීල් තැබූ
පෙට්ටියක බහා දෙමාපියන්ට බාරදෙන අවස්ථාව නිරූපනය කරමිනි. ගෝපාලන්ගේ පියා
බලහත්කාරයෙන් පෙට්ටිය විවර කර බලයි.
දරුවාගේ මෘත දේහය වෙනුවට එහි ඇත්තේ කෙසෙල්කොට
දෙකකි. මෙබඳු ඛේදජනක අත්දැකීම් දෙමළ සමාජයට මෙන් ම සිංහල සමාජයට ද පසුගිය සමයේ අත්
විය. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ගේ ‘පුරහඳ කළුවර’ නම් චිත්‍රපටයට
තේමා වූයේ ද හමුදා සොල්දාදුවකුගේ පියෙකු මුහුණ දුන් එබඳුම ඛේදනීය සිද්ධියකි. අද
යුද්ධය නිමා වී ඇතත් මතු අනාගතයකදී හෝ එවැනි ශෝකාන්තයන් උදාවීමට ඉඩ නො දෙනු පිණිස
‘එළුවන් ඇල්ලීම’ බඳු කෙටිකතාවක් අපගේ සිත් සතන් අවදි කරනු ලබයි.
‘මනුෂ්‍යත්වයට වෙඩි තබනු ලැබේ’ නම් කතාවට පසුබිම් වනුයේ ජර්මනියේ බර්ලින් නුවර
සරසවියකදී මුණගැසෙන ප්‍රභාත් නම් සිංහල තරුණයකු හා ඉන්දු නමැති දෙමළ තරුණියගේ සුබ
ප්‍රාර්ථනා සුනු විසුනු වී යන ආකාරයයි. කෙටි ප්‍රේමයකින් ඉක්බිති ඔවුන් විවාහ
දිවියට එළඹෙනුයේ සිංහල දෙමළ මිශ්‍ර දරුවන් හදා සමාජයට ආදර්ශයක් සැපයීමට ය. ඒ අතරතුර
දෙදෙනා ම යුද්ධයට මෙන් ම ත්‍රස්තවාදයට ද එරෙහිව දෙස් විදෙස් සංවිධානවල වැඩකටයුතු
කරති. ලේඛකයා මේ චරිත දෙක සංකේතවත් කරමින් ඉදිරිපත් කරනුයේ මෑත අතීතයේ මෙවන් උදාර
අරමුණු පෙරදැරි කරගෙන මහත් ඇප කැපවීමෙන් කටයුතු කළ සිංහල - දෙමළ බුද්ධිමතුන්ට අත්
වූ කුරිරු ඉරණම විය යුතුය.
විදෙස්ගතව ආරක්ෂිත ලෙස ජීවත්වීමේ හැකියාව තිබියදීත්
දරුවන් ද සමඟ මව් බිමට පැමිණෙන ප්‍රභාත් හා ඉන්දු ඉක්මනින් ම කොටි ව්‍යාපාරයේ ඉලක්ක
බවට පත් වෙති. ‘මිනිසකු මරා දැමිය හැකි ය එහෙත් ඔහු පරාජය කළ නොහැක’ යන අර්නස්ට්
හෙමිංවේගේ ප්‍රකට කියමන සනාථ කරමින් මේ තරුණ යුවළගේ ප්‍රාර්ථනා අවසානයේ ජයගන්නා බව
කථාව අවසානයේ එන මෙම වැකියෙන් තහවුරුවේ. ‘භය වෙන්න එපා ප්‍රභාත්. අපේ දරුවෝ දිනාවි’
කවදා හරි. ඒක මට සහතිකයි. අද සැබෑවී තිබෙනු ප්‍රභාත් හා ඉන්දු ඇතුළු සිය දහසක්
සිංහල හා දෙමළ ජනතාවගේ ප්‍රාර්ථනා නොවේදැයි කතාව කියවා අවසාන කරන පාඨකයාට හැඟී යයි.
මේ කෘතියේ එන සොඳුරු සමාගම ඍජුව අප රටෙහි වාර්ගික ගැටුම් හා සම්බන්ධ එකක් නොවුව ද
බහුවාර්ගික සමාජයක මිනිසුන් අතර පවතින අන්‍යොන්‍ය අවබෝධය හා සුහදත්වය ඉස්මතු කර
පෙන්වන්නකි. අප ලේඛකයා විටින් විට ලෝකයේ විවිධ රටවල සංචාරය තුළින් ලද අත්දැකීම්
ඇසුරින් රචිත කතාවක් සේ මෙය සැලකිය හැකි ය. රුසියානු මහා කිවි පුෂ්කිං පිළිබඳ ව
මෙහි කියවෙන අතුරු කතාව ද පාඨකයා විෂයෙහි නැවුම් රසයක් දනවන්නකි. කතාවේ මූලික තේමාව
වන්නේ පුෂ්කිං චතුරශ්‍රයේ දී කතානායකයට මුණ ගැසෙන සුදු - කළු යුවළක් පිළිබඳ පුවතකි.
මේ යුවළ අතර සිටින මිශ්‍ර දරුවා භාෂා පරිවර්තිකාව විසින් හඳුන්වා දෙනු ලබනුයේ
මෙලෙසිනි.
‘මේ දරුවා දෙවියන්වහන්සේ ගේ නිර්මාණයක් නෙවේ. මිනිසුන්ගෙ නිර්මාණයක්’ මේ
වැකියෙන් බොහෝ යටි අදහස් ගම්‍යමාන කිරීමට ලේඛකයා උත්සාහ දරයි. සියලු දේ දෙවියන්
විසින් ප්‍රදානය කරන තුරු බලා නො සිට මිනිසාට ද ඒ හා සමාන හාස්කම් කළ හැකි ය යන්න
අපට මෙහිදී හැඟී යයි. අප කතානායකයා රුසියාවට පැමිණ සිටිනුයේ සමුළුවකට සහභාගි වනු
පිණිස ය. එහිදී ඔහුට විවිධ ජනවාර්ගිකයන් හමුවෙයි. ඔවුන් සියලු දෙනා ම මානව දයාව
නමැති පොදු බැම්මෙන් බැඳී සිටිති. වර්ණය, භාෂාව හෝ ජාතිකත්වය හේතු කොටගෙන
කිසිවෙකුත් අනෙකෙකුට වඩා උස් හෝ පහත් නොවේ. ලේඛකයන් - කලාකරුවන් නිරන්තරයෙන් කැපවී
සිටිනුයේ එවන් මානව සමාජයක් ගොඩනැඟීමේ ක්‍රියාවලියට බව කතාව කියවාගෙන යන පාඨකයාට
හැඟී යයි.
‘මනුෂ්‍යත්වයට වෙඩි තබනු ලැබේ’ කතා සංග්‍රහයේ දක්නට ඇති සෙසු නිර්මාණ අතර එහි
මුලින් ම වන ‘දඩයම’ ද කිසියම් අපූරු බවක් පෙන්නුම් කරයි. විශ්‍රාමික මේජර්වරයකු තමා
වියපත්ව සිටින බව පිළිගැනීමට දක්වන අකමැත්ත හේතු කොටගෙන මානසික බිඳ වැටීමකට කෙමෙන්
ගොදුරු වන සැටි මේ කතාවේ නිරූපණය වේ.
විමුක්තිය, මම, මිය ගියෙමි, නවරැල්ල සහ
මීහරක්, අතිධාවන - අධිවේග - පුරාවස්තු ආදී නම්වලින් ද තවත් කෙටිකතා කිහිපයක් මේ
සංග්‍රහයට ඇතුළත්ව තිබේ. එහෙත් මුලින් දැක්වූ කතාවලදී ලේඛකයා පෙන්නුම් කරන නැවුම්
බව මේ කතාවල දී දක්නට ලැබෙන්නේ නැත. ‘’’ඔවා දෙන් පරහට - තමා සම්මතයේ පිහිටා සිට’ යන
ආප්තය සිහි ගන්වන ‘විමුක්තිය’ කෙටි කතාව විවිධ රාජය නොවන සංවිධාන ඔස්සේ කාන්තාව
තොරම්බල් කරන ආකාරය දෙස උත්ප්‍රාසයෙන් බැලීමට දැරූ තැතකි.
නමුත් මේ උපහාසය යටින්
දිවෙන සානුකම්පිත බවක් හෝ මානව දයාවක් මෙහි දක්නට නො ලැබීම නිසා කතාව සිද්ධි
විකාශනයනට සීමාවෙයි. ‘මම මිය ගියෙමි’ කතාවේ තේමාව ඉතා සුලභ එකක් බැවින් මම සුලභ බව
ඉක්මවා යමින් අපූර්ව වින්දනයක් පාඨකයාට අත්පත්කරදීමට ලේඛකයා සමත් ව නැත. නවරැල්ල සහ
මීහරක් සිදුවීම් මාලාවක් ලෙස ඉදිරිපත් කර තිබේ. ලේඛකයා සඳහන් කරන ආකාරයට මෙය
මිතුරකු විසින් ලියා තබන ලද සටහන් පෙළකි.
එම සටහන් පෙළ එලෙස ට ඉදිරිපත් කරනු වෙනුවට
ලේඛකයා එකී කතාවස්තු ඇසුරු කොටගෙන නව නිර්මාණ පෙළක් ඉදිරිපත් කළා නම් මැනවි.
නවරැල්ල සහ මීහරක් හුදු කතාන්දර මාලාවක් බවට පත්වී තිබීම නිසා කෙටි කතාබහ ආස්වාදය
ඒවායින් ගම්‍යමාන නොවේ. ‘අතිධාවන - අධිවේග‘ සහ පුරාවස්තු නමැති කතා දෙක ද ප්‍රවීණ
කෙටිකතා කරුවකු ගේ ශූරත්වය පෙන්නුම් කිරීමට ප්‍රමාණවත් නොවන බව පෙනී යයි. ඒවායින්
ප්‍රකට කෙරෙන කිසියම් ජීවන ධර්මතාවක් හෝ ගොඩනැඟෙන නව කථිකාවක් දක්නට නො මැති
බැවිනි. මෙලෙස සක්‍යතා සහ ඌනතා වලින් මිශ්‍රිත කෙටිකතා සංග්‍රහයක් වුව ද
‘මනුෂ්‍යත්වයට වෙඩි තබනු ලැබේ’. පාඨක විචාරක අවධානයට යොමු විය යුතු කෘතියක් ලෙස
හඳුන්වනු කැමැත්තෙමි.
කමල් පෙරේරා
|