සැබෑ ජීවිතයත් සිනමාවත්
 

සැබෑ ජීවිතයත් සිනමාවත්
එක ම රේඛාවක් වූ මොහොතක්

 

තාලිය යුද්ධයට බරපතළ ලෙස මුහුණ දුන්නු රටක්. ජර්මනියේ හිට්ලර් වගේ ම ඉතාලියේත් ආඥාදායකයෙක් හිටපු බව අපි දන්නවා. ඒ බෙනිටෝ මුසොලිනි. යුද්ධය පසුබිම් කරගෙන ඉතාලියේ චිත‍්‍රපට සැලැකිය යුතු ප‍්‍රමාණයක් බිහිවී තිබෙනවා.

එයින් වඩාත් ම වැදගත් සිනමා පට දෙක ලෙස මා පෞද්ගලික ව දකින්නේ රොබර්ටෝ රොසලිනිගේ ’රෝම් ඕපන් සිටි’ හා විටෝරියෝ ඩිසිකාගේ ‘ටූ විමෙන්’. මේ චිත‍්‍රපට දෙක ම ඉතාලි නව යථාර්ථවාදී සිනමාව නියෝජනය කරන කෘතීන්.

’රෝම් ඕපන් සිටි’ චිත‍්‍රපටයේ තම සැමියා නාසි හමුදාව විසින් පැහැරගෙන යනු ලබද්දී එක් ගැහැනියක් (මේ චරිතය රඟපාන්නේ ප‍්‍රතිභාත්මික සිනමා නිළියක ලෙස පිළිගැනෙන ඇනා මංඤානි), ජීප් රිය පසුපස දිව යනවා.

නාසි හමුදාව ඇයට වෙඩි තබනවා. ඇගේ කුඩා පුතා මේ සිද්ධිය දකිනවා. ඔහු සිටින්නේ පල්ලියේ පූජාවට සහාය වීම සඳහා පැළැඳගත් ලෝගුවෙන් සැරසී. පියා පැහැරගෙන යෑමත් මවට වෙඩි තැබීමත් නිසා ඔහු බලවත් කම්පනයට පත් ව විලාප තබන ආකාරය පෙ‍්‍ර්ක්ෂක අප තුළ ඇතිකරවන්නේ ළයානුකම්පාව මුසු වූ ප‍්‍රබල තිගැස්මක්.

ඩිසිකාගේ ‘ටූ විමෙන්’ චිත‍්‍රපටයට පාදක වන්නේ ඇල්බර්ටෝ මොරාවියාගේ එනමින් යුත් සුප‍්‍රකට නවකතාව. මොරාවියාත් යුද විරෝධියෙක්. පැසිස්ට් විරෝධය ‘ටූ විමෙන්’ නවකතාවේ පමණක් නොව ඔහුගේ සෙසු සාහිත්‍ය කෘතිවල පවා නිරන්තර දක්නට ලැබෙනවා.

මොරාවියා විසුවේ ඉතාලි ආඥාදායක මුසොලිනිගේ පාලන සමයේ. ඔහු මුසොලිනිගේ ඒකාධිපති පාලනය කොයිතරම් විවේචනයට ලක් කළා ද කිවහොත් ඔහුට ඇතැම් අවස්ථාවල ආරූඪ නම්වලින් ලිවීමටත් සැඟැවී සිටීමටත් සිදුවී තිබෙනවා. දෙවැනි ලෝක මහා සංග‍්‍රාම අවදියේ ඉතාලිය නාසිවාදී ජර්මනිය හා සන්ධානගතවීමත් සමඟ ම මොරාවියා රෝමයෙන් පලා ගියා. ඔහු නැවත රෝමයට ආවේ ඇමෙරිකානු හමුදා ඉතාලිය යටත් කර ගැනීමෙන් ඉනික්බිතිවයි.

මුසොලිනිගේ පාලන අවදියේ මොරාවියාගේ සාහිත්‍ය නිර්මාණ වාරණයට පවා ලක්වුණා. මුසොලිනිගේ සොහොයුරු අර්නල්ඩෝ වරක් කියා සිටියේ සෑම මානුෂික වටිනාකමක් ම විනාශ කළ මොරාවියා වැන්නවුන්ගේ පතපොත කියැවීම තරුණ ඉතාලියානුවන්ට තහනම් බවයි.

’ටූ විමෙන්’ නවකතාව පසුගියදා සිංහලයට නැඟී පළවුණා. එය සිංහලට පරිවර්තනය කළේ නාට්‍යකරුවකු, චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ප‍්‍රකට අසෝක නිශ්ශංක. මෙය නුගේගොඩ ‘සරසවි’ ප‍්‍රකාශනයක් ලෙස එළිදැක තිබෙනවා.

’ටූ විමෙන්’ නවකතාවට, චිත‍්‍රපටයට පාදක වන්නේ 1943 වසර. ඒ නම්; යුද්ධය බලපැවැත්වුණු වකවානුව. චිත‍්‍රපටය පටන්ගන්නෙම රෝම නගරයට බෝම්බ වැටෙන ජවනිකාවකින්. සිංඤෙ¤රා (නවකතාවේ දැක්වෙන ආකාරයට සේසිරා) රෝමයේ වෙළෙඳ සල් හිමියකුගේ වැන්දඹු බිරියක්. ඇගේ යොවුන් දියණිය රොසෙටා.

විචාරකයන් සඳහන් කරන ආකාරයට මොරාවියාගේ නවකතාවල ගැහැනුන් නිරූපණය වන්නේ ඔලමොට්ටල, විශ්වසනීයත්වයෙන් තොර, කිසිදු චාරයක් නොමැති කාමුක ස්තී‍්‍රන් විදියටයි. ඒත් සිංඤෙ¤රා එබඳු ගැහැනියක් නොවේ. ඇය තම සැමියාගේ මිතුරා වන ගියෝවානිගෙන් බේරිලා ඉන්නේ බොහො ම අමාරුවෙන්.

ඇය ඔහුගේ ගොදුරක් බවට පත්වන්නෙ ඇගේ චපලකමක් නිසා නොව අවස්ථාවේ ප‍්‍රතිඵලයක් වශයෙන්. සත්‍යවශයෙන් ම තමා පිරිමියකු වෙනුවෙන් නියමාකාරයෙන් කැපවුණු ප‍්‍රථම අවස්ථාව එය බව නවකතාවේ දැක්වෙනවා.

”අද වෙච්ච මේ දේවල් කාටවත් කියන් නෑ කියලා දිවුරනවද?

සිංඤෙ¤රා ගියෝවානිගෙන් අහනවා.

එය ජර්මන් හමුදා ඉතාලිය ආක‍්‍රමණය කළ මොහොත. සිංඤෙ¤රා රොසෙටාත් කැටුව දුම්රියක නැඟී තම දෙමව්පියන් ජීවත්වන දකුණු රෝමයේ සියෝසියේරියාවට පලා යනවා.

සියෝසියේරියාවේ මොවුන්ට හමුවන වැදගත් චරිතයක් තමයි මයිකල්. ඔහු බුද්ධිමත් තරුණයෙක්. ඔහු කෙරෙහි සිංඤෙ¤රාගේත් රොසෙටාගේත් සුවිශේෂ බැඳීමක් තියෙන බව අපිට පෙනෙනවා. දිනක් රොසෙටා නිරුවතින් නානු මයිකල්ට අහම්බෙන් මෙන් දකින්ට ලැබෙනවා. ඒ බව සිංඤෙ¤රා ද දකිනවා. ඒ ගැන නවකතාවේ සිංඤෙ¤රා ගේ සිතුවිලි දක්වා ඇත්තේ ඉතා ම විචිත‍්‍ර ආකාරයෙන්.

“කිසියම් පිරිමියකුගේ මනස වෙනත් සිතුවිලිවලින් පිරි තිබුණද, ගැහැනියක සිය නග්නත්වය විදහා දක්වන මොහොතකදි ඒ සියලු සිතුවිලි වෙඩි හඬක් හේතුවෙන් ගසක සිටිනා කුරුල්ලන් සමූහයක් සී සී කඩ ඉගිල යන්නාක් පරිද්දෙන් ඉගිල යනු ඇති අතර අවසානයේ ඒ ගැහැනියගේ මුහුණ දෙස තැති ගැන්වීමට පත් ව බලා සිටිනා පිරිමියකු හැරෙන්නට වෙන කිසිවක් ඉතිරි නොවනු ඇත.”

ජර්මානු භටයන් පිරිසක් මයිකල් කැඳවාගෙන යෑම කතාවේ වැදගත් අවස්ථාවක්. එය ඇත්තට ම යළි නොඑනා ගමනක්.

සිංඤෙ¤රා හා රොසෙටා මාස 8 ක පමණ කාලයක් ගමේ වෙසෙනවා. ඉන් පසු ඔවුන් රෝමය බලා එන්ට පිටත් වෙනවා. ඇයත් දියණියත් මොරොක්කෝ භටයන්ට ගොදුරු වන්නේ ඒ අවස්ථාවේ. එය සිදුවන්නේ පල්ලියක් ඇතුළේ අල්තාරය අභියස වීම උත්ප‍්‍රාසාත්මකයි. ඔවුන් ඇය ඉදිරියේදීම තම දියණිය දූෂණය කරනවා. ඇයත් ඔවුන් අතින් දූෂ්‍ය වෙනවා.

මේ ජවනිකාව අධ්‍යක්ෂ ඩිසිකා පේ‍්‍රක්ෂකයන් තුළ ලිංගික ප‍්‍රහර්ෂයක් නොව දැඩි කම්පාවක් ඇතිකරන ආකාරයට ඉදිරිපත් කර තිබීම ඉතා වැදගත්. යුද්ධයේ ඇති ම්ලේච්ඡත්වය එයින් අප තුළ ජනිත කරවනවා. මෙහිදී තවත් ජවනිකාවක් කෙරෙහි මගේ අවධානය යොමු වෙනවා. දිනක් සිංඤෙ¤රා හා මයිකල් මහමඟ සැරිසරද්දි තරුණ ස්ති‍්‍රයක් ඇගේ පියවුරු අනාවරණය කරමින් ඇවිදිනු දකිනවා. තම දරුවා යුද්ධයේදී අතුරුදන්ව ඇතැයි ඇය කියනවා. ඇය උමතුවෙන් මෙන්

“කාටද කිරි ඕනෑ” යනුවෙන් ප‍්‍රකාශ කරද්දි පේ‍්‍රක්ෂකයන්ට ඇති වන්නේ ඇගේ පියවුරු දැකීමෙන් හට ගැනෙන අනුරාගී හැඟීමක් නෙමෙයි; බලවත් චිත්ත කම්පාවක්; එසේ ම යුද්ධය ගැන දරුණු කෝපයක්.

යළි රෝමයට එන්නේ රෝමයෙන් ගිය රොසෙටා නෙමෙයි. ඇය මවගේ කීම නාහන හිතුවක්කාරියක ලෙස කටයුතු කරනවා. ඇය අනාචාරයේ හැසිරෙනවා. කොටින් ම ගණිකාවක් බවට පත්වෙනවා. චිත‍්‍රපටය නිමවන්නේ මයිකල් මියගොස් ඇති බවට සිංඤෙ¤රා රොසෙටාට පවසා සිටින ජවනිකාවෙන්.

නවකතාවත් එක්ක සසඳලා බලද්දි චිත‍්‍රපටයට ගෙන ඇත්තේ එහි මූලික සංසිද්ධී කීපය පමණක් බවක් පෙනී යනවා. නවකතාවේ වැල්වටාරම් අප‍්‍රමාණයි. ඒ සියල්ලෙන් අවශ්‍ය ම දේ විතරක් උපුටා ගෙන තිබීම අධ්‍යක්ෂ ඩිසිකාගේ ප‍්‍රතිභාවට මනා සාක්ෂියක්.

‘ටු විමෙන්’ චිත‍්‍රපටයේ සිංඤෙ¤රා ලෙස අද්විතීය රංගනයක නිරත වන්නේ සුප‍්‍රසිද්ධ නිළි සොපියා ලොරෙන්. මෙහි රඟපෑම සඳහා ඇය 1961 දී ඔස්කර් සම්මාන උළෙලේදී හොඳ ම නිළිය ලෙස සම්මාන හිමිකරගත්තා. මයිකල් ලෙස ප‍්‍රංශ සිනමාවේ අතිදක්ෂ නළුවකු වන ෂොන්පෝල් බෙල්මොන්ඩෝ රඟපානවා.

‘ටු විමෙන්’ නවකතාවේ එන ඇතැම් සිදුවීම් සොපියා ලොරෙන්ගේ මුල්කාලීන ජීවිතයත් එක්ක හුඟාක් බද්ධයි කියලා ඇගේ ජීවිත කතාව කියවලා තියෙන මට දැනෙනවා. සොපියාත් ඉතාලියේ අඳුරු මුඩුක්කුවේ ලෑලි කාමරයක උපන් ගැහැනියක්.

පියා අතැර ගිය නිසා ඇය ජීවත්වුණේ මව, සොයුරිය හා මිත්තණිය සමඟයි. යුද සමයේ තමාට බඩගිනි දැනුණු අවස්ථාවක තම මව මහපාරේ හිඟමනේ වැටි ඉන් ලබා ගත් සොච්චමකින් පාන් කෑල්ලක් ගෙනවිත් තම කුස පිරවූ ආකාරය ඇය තම ජීවිත කතාවේදී හෙළිදරව් කරනවා.

ඇය සෙබළුන් අතින් දූෂ්‍ය නොවුවත් බීමත් සෙබළුන් ඇගේ නිවෙසේ දොරට ගසමින් ඇය ගොදුරු කරගන්නට මාන බැලු අයුරු ඇය නොසඟවා තම චරිතාපදානයේදී අනාවරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් චිත‍්‍රපට නිළියක ලෙස ප‍්‍රසිද්ධ වීමෙන් අනතුරුවත් ඇයට දුප්පත් ව ඉපැදීමේ සාපය හේතුවෙන් නින්දා අවමන්වලින් ගැලවෙන්ට ඉඩක් ලැබුණේ නැහැ. වරක් ඇගේ නිවෙස ඉදිරියට පැමිණි මිනිසකු තමා සොපියා සමග අනාචාරයේ හැසිරුණු බවත් ඇගේ වැඩිමහල් දරුවා තමාගේ බවත් කියා ඇයට පරිභව කරන්ට යෙදුණා.

‘ටු විමෙන්’ නවකතාව කියවද්දි හෝ ඒ ඇසුරු කර ගත් චිත‍්‍රපටය බලද්දි හෝ අපට හැඟෙන්නේ සිනමාවත් (එයින් නිරූපණය කෙරෙන්නා වූ යථාර්ථයත්) සොපියා ලොරෙන් වැනි පහළ ම අඩියෙන් ජීවිතය පටන්ගත් ගැහැනුන්ගේ සැබෑ යථාර්ථයත් කොයිතරම් දුරට එකිනෙකට සමාන ද යන කාරණයයි.