බලය පිළිබඳ සාහිත්‍යයික කියැවීමක්
| |
බලය පිළිබඳ
සාහිත්‍යයික කියැවීමක්
|
|

වංසකථාව සිංහල සාහිත්‍යයේ ආරම්භක අවධියේ සිට ම
වර්ධනය වූ සාහිත්‍ය අංගයක් ලෙස දැකිය හැකියි.
යමක පරම්පරා කතාව, ඉතිහාස කථාව විවරණය කිරීම
වංසකථාවෙන් සිදුවන කාර්යභාරය වෙයි. බුදු දහම
හා බැඳුණ පූජනීය වස්තු අරබයා විශේෂයෙන් වංසකථා
සාහිත්‍යයක් ගොඩනැගුණ අයුරු දළදා සිරිත,
බෝධිවංසය, ථූපවංසය වැනි කෘති ඔස්සේ විද්‍යමාන
වෙයි.
පළමු වරට පුද්ගලයකු වටා කෙරුණු
වංසකථාවක් දඹදෙණි යුගයේ හත්ථනගල්ල විහාර වංසය
නමින් ලියැවීම, වංසකථා සාහිත්‍යය නව මගක යොමු
කරවන්නට හේතු විය.
මෙය කි‍්‍ර.ව. 251 දී රජ
පැමිණි සිරිසඟබෝ රජතුමාගේ චරිතය විවරණය කරනු
පිණිසත් අත්තනගලු විහාරයේ ඉතිහාසය ලියා තබනු
පිණිසත් කෙරුණු පාලි චම්පු කාව්‍යයකි.
අනවමදර්ශි නම් ශ්‍රේෂ්ඨ පඩිවරයාගේ ආරාධනයෙන්
කෙරුණ මෙම කෘතිය කවරෙකු විසින් කළාදැයි
නිශ්චිත තොරතුරක් නොදැක්වෙන හෙයින් කර්තෘ අඥාත
ග‍්‍රන්ථ අතරට මෙය එක් වෙයි.
පරිච්ඡේද එකොළහක්
අතරින් අටක් ම රජුගේ චරිතය වර්ණනා කිරීමට යොදා
තිබීමෙන් පෙනෙන්නේ කතුවරයාගේ පරමාධ්‍යාශය වී
තිබුණේ සිරිසඟබෝ චරිතය සමාජයට හඳුන්වා දීමයි.
මෙම ග‍්‍රන්ථය ගම්පොල හා කෝට්ටේ යන යුග දෙකක
දී ම සිංහල බසට පරිවර්තනය වීමෙන් පෙනෙන්නේ
සිංහල පාඨකයා තුළ මෙම වංසකථාව පරිශීලනය කෙරෙහි
තිබු දැඩි උවමනාවයි.
කෝට්ටේ යුගයේ දී වීදාගම මහා මෛතී‍්‍රය හිමියන්
විසින් පරිවර්තිත වූ මෙම දෙවන කෘතිය පිළිබඳ
මෙහි දී විශේෂ අවධානය යොමු කරවන අතර,
මකුළුදූවේ පියරතන හිමි සංස්කරණය මේ සඳහා
මූලාශ‍්‍රය කර ගන්නා ග‍්‍රන්ථය වෙයි.
ඉතා කුඩා කෘතියක් වුව මෙම ග‍්‍රන්ථය කොළඹ
විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ උපාධි පාඨමාලාවට
නිර්දේශිත ව දීර්ඝ කාලයක් ඉගැන්වීමෙන් ලද
දැනුම සහ අත්දැකීම් පදනම් කොට මෙම ග‍්‍රන්ථය
තුළින් විශද කෙරෙන රාජ්‍ය බලය පිළිබඳ අපූර්ව
ඥාන සම්භාරයක් පාඨක ලෝකයා හමුවෙහි දැක්වීම මෙම
පර්යේෂණයෙහි අරමුණ ව පවතී.
දේශපාලන සංකල්පයක් වශයෙන් “රාජ්‍ය බලය” යන්න
ලොව විවිධ දර්ශන වාද, තර්කවාද, ආගම්වාද ඇතුළු
සෑම අංශයක දී ම විශේෂයෙන් සාකච්ඡා කෙරෙන්නකි.
මෙහි දී බලය යන්නෙන් අදහස් කෙරෙන්නේ රාජ්‍ය
පාලනය සම්බන්ධ නීති සම්පාදනය කිරීමේ ඒවා
කි‍්‍රයාත්මක කිරීමේ සහ යුක්තිය පසිඳලීමේ
අධිකාරිත්වය යි. එනම් ව්‍යවස්ථාදායක විධායක හා
අධිකරණ බලය යි.
වර්තමානයේ මේවා ආයතනගතව පැවතුණ
ද අතීතයේ පුද්ගල කේන්ද්‍රීය විය. එසේ පුද්ගල
කේන්ද්‍ර බලය අත්තනෝමතික ලෙස කි‍්‍රයාවට
නැංවුණ ආකාරය මෙන්ම ජනතාවගේ සුබසිද්ධිය පිණිස
කි‍්‍රයාත්මක වූ ආකාරය ද දැකිය හැකිය. රජෙකු
හට තම රාජ්‍යය තුළ ධනාත්මක පාලන තන්ත‍්‍රයක්
කි‍්‍රයාත්මක කරවීමට හැකි වූයේ ඔහු ගුණ නුවණ
යන දෙකරුණින් පිරිපුන් ධර්මයට ළැදි කෙනෙකු වූ
විට ය.
ඔහු අධර්මකාමී අගතිගාමී අදූරදර්ශී වූ
විිට වැසියා අසරණ වීම අනිවාර්ය විය. අධර්මකාමී
පාලකයාට පැහැදිලි දර්ශනයක් හෝ පැහැදිලි
ප‍්‍රතිපත්තියක් නැත. සියලු ප‍්‍රතිපත්ති
දූෂිත අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන්
සැකැසුණකි. මෙවැනි පාලනයකින් රටක ආර්ථිකය
මෙන්ම සදාචාරය බිඳවැටීම වැළැක්විය නොහැකි වනු
ඇත. එහි දී ප‍්‍රබලයා විසින් දුබලයා ගිල ගන්නා
මත්ස්‍ය න්‍යාය කි‍්‍රයාත්මක වීම ද දැකිය
හැකිය.

පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලයය |
බුදු සමය තුළ පාලකයාට බලය ලැබෙන්නේ ජනතාව
සතුටු කරමින් අගතිගාමි නොවී දස රාජ ධර්ම ඔස්සේ
පාලනය කිරීම සඳහා ය. අග්ගඤ්ඤ සූත‍්‍රය
චක්කවත්ති සිහනාද සූත‍්‍රය, කුටදත්ත සූත‍්‍රය
මෙන්ම බොහෝ ජාතක කථා ප‍්‍රවෘත්ති “දැහැමි බලය”
පිළිබඳ ව මූලධර්ම සම්පාදනය කෙරෙයි. බලය දැහැමි
වීම සඳහා බලය ලබා ගන්නා පුද්ගලයා කරුණු
හතරකින් සම්පූර්ණ විය යුතු බව කුටදත්ත
සූත‍්‍රයෙහි එයි.
උභය කුල පාරිශුද්ධ වීම, නැණවත් හා ව්‍යක්ත බව,
ශීලාදි ගුණධර්ම ප‍්‍රගුණ කරලීම, උපදේශකයන් ද
නැණවත් ගුණවත් අය වීම මෙවැනි පාලකයෙකු වෙත
සංකේන්ද්‍රික බලය අත්තනෝමතික ව භාවිත නොකෙරෙන
අතර එය වැසියාගේ සුඛිත මුදිත බවට හේතු වනු ඇත.
පුද්ගලයාගේ දැහැමි, අදැහැමි බව තුළ තමා වෙත
ලැබෙන බලය කි‍්‍රයාත්මක කෙරෙන ආකාරය පිළිබඳ ව
ඉතා වැදගත් සාහිත්‍යමය විග‍්‍රහයත් අපේ වංසකථා
සාහිත්‍යයේ එළුඅත්තනගලු වංශයෙන් අවධාරණය
කෙරෙයි. හුදෙක් සිරිසඟබෝ බෝසත් වීරයාගේ චරිතය
විකසිත කරලීමේ අරමුණින් මේ කෘතිය සම්පාදිත වුව
ද එහි අන්තර්ගත කරුණු විශ්ලේෂණය කිරීමේ දී
දේශපාලන බලය පිළිබඳ පුළුල් සමාජ විග‍්‍රහයක්
ශී‍්‍ර ලාංකේය ඉපැරණි සමාජය ඇසුරින් ගම්‍යමාන
කරලන්නට අපට හැකි වෙයි.
මෙහි දී විග‍්‍රහයේ පහසුව පිණිස මෙහි ඇතුළත්
අවස්ථා අංකිත කරමින් අදාළ කරුණ තහවුරු කරලීම
පිණිස ගෙනහැර දැක්වීමට අපේක්ෂා කරමි.
1. අන්ධ බමුණාගේ අනාවැකිය
මහියංගනයට නුදුරුව ක්‍ෂති‍්‍රයකුට දාව බිහිවන
සිරිසඟබෝ කුමාරයා නන්ද මහ තෙරුන් වහන්සේගේ
අවවාද අනුශාසනා ලබමින් මහියංගන විහාරයෙහි
හැදෙන වැඩෙන අතර, එහි දී තාරුණ්‍යය අගතිගාමී
බවට පත් කරවන්නට හේතු වන බොහෝ කරුණු නන්ද
තෙරුන් විසින් සිරිසඟබෝ කුමාරයාට කියා දෙයි.
(දෙවන පරිච්ඡේදය අනුශාසනාව - 10 පිට) ඉන් පසු
මෙම කුමාරයාට ධාර්මික කුමාරයා යන නම තබා වඩාත්
ආරක්ෂිත ස්ථානයක් ලෙස සැලැකු අනුරපුර නගරයට
රැගෙන යද්දි ඊට තවත් ක්‍ෂති‍්‍රය කුමාරවරු
තිදෙනෙක් එකතු වෙති.
මෙම කථා පුවත අපූර්ව
සාහිත්‍ය නිර්මාණයක් බවට පත් වන්නේ මොවුන්
තිදෙනා තිසා වැව අසල පිහිටි ලෑලි පාලමක් මතින්
ගමන් කිරීමේ දී සිදු වූ සිදුවීමකි.
අම්බලමක් අසල පිහිටි මෙම ලෑලි පාලම් (පුවරු
ගෙය) මතින් මෙම කුමාරයන් තිදෙනා ගමන් කරද්දී
ලෑලි මතින් නැගුණ පා සටහන්වලට සවන් දී සිටි
මහලු අන්ධ බමුණෙක් මේ කුමාරවරුන් තිදෙනා
පිළිබඳ අනාවැකියක් පළ කළේය. එය එළුඅත්තනගලු
වංසයෙහි දැක්වෙන්නේ මෙසේ ය.
“විශ‍්‍රාම ශාලායෙහි හුන් නුවණැති අන්ධ බමුණු
මහල්ලෙක් ඒ කුමාරවරුන්ගේ පතුල් ඔබන ශබ්දය අසා
තමා විසින් මනාව දන්නා ලද ලක්ෂණානුසාරයෙන්
නුවණින් පරීක්ෂා කොටැ මොහු තුන්දෙනා මැ මේ
සිංහලද්වීපයෙහි පෘථිවිශ්වර වූ රාජඓශ්වර්යට
පැමිණෙති’යි ශාලාවෙහි හුන් සෙසු ජනයන්ට
ප‍්‍රකාශ කොට කීයේයි.”
(20 පිට, තෙවන පරිච්ඡේදය)
අන්ධ බමුණාගේ මේ ප‍්‍රකාශය කන වැකුණු පසුපසින්
ගිය ගෝඨාභය කුමරු අනෙක් කුමාරයන් දෙදෙනාට
නොදැනෙන සේ බමුණා කරා පැමිණ කවරෙකු චිර කාලයක්
රාජ්‍ය කරන්නේදැයි විමසා සිටියේ ය. මහලු බමුණා
පසුපසින් යන කුමාරයා’යි කී කල්හි ඒ තමා බව
ප‍්‍රත්‍යක්ෂ කර ගත් ගෝඨාභය එතැන් සිට
කි‍්‍රයාත්මක වන්නේ බලය තමා සතු කර ගැනීමේ පරම
අභිලාෂයෙනි.
තමා වෙත බලය පැමිණෙන තුරා ඒ වෙනුවෙන් කළ හැකි
සෑම කුමන්ත‍්‍රණයක් ම ඉතා දක්ෂ ලෙස සංවිධානය
කෙරෙන ගෝඨාභයගේ චරිතයට හා ඔහුගේ සිතුවිලිවලට
සමාන බලකාමී චරිත නූතන ලෝක දේශපාලනය පුරාම
අදත් අපට දිස්වෙයි. ඒ අනුව අනුරපුර රජ කළ
විජයරාජ නම් රජුගේ සේනාධිපති තනතුර සඳහා
සංඝතිස්ස නමැති වැඩිමල් කුමාරයා පත් කරලන්නට
ගෝඨාභය උත්සුක විය.
විජයරාජයන්ට යෙහෙන් බොහෝ
කාලයක් රාජ්‍ය විචාරන්නට ගෝඨාභය ගෙන් ඉඩ හසර
නොලද අතර ඔහු මාලිගාව අභ්‍යන්තරයෙහි ම ඝාතනය
කෙරුණ බව එළුඅත්තනගලු වංසයෙහි දැක්වෙයි.
“එකල්හි සෙනෙවිරත් තනතුරෙහි නියුක්ත වූ
සංඝතිස්ස තෙමේ සියලු රට ද මුළු නුවර ද තමන්
සන්තක ගත කොට වාසය කෙරෙමින් එක් දවසෙක්හි ලබන
ලද අවකාශ ඇත්තේ ඒ රජහු ඇතුළුරාජ භවනයෙහිදි මැ
ගෝඨාභය කුමරුන් ලවා ජීවිතක්ෂයට පමුණුවා තෙමේ
රාජ්‍යයෙහි පිහිටියේ ය.”
(21 පිට, තුන්වන පරිච්ඡේදය)
බලකාමී බව හමුවේ සිදුවන රාජ්‍ය කුමන්ත‍්‍රණවල
සර්වකාලීන බව මෙම සාහිත්‍ය ග‍්‍රන්ථය මෙසේ අපට
අනාවරණය නොකරන්නේ ද?
2. සංඝතිස්ස ඝාතනය
සංඝතිස්සට ලැබෙන බලය අනපේක්ෂිත ලෙස හිස මත කඩා
වැටුණකි. සාම්ප‍්‍රදායික රජ සිරිතට අනුව ලත්
අභිෂේකයකින් නොලද මෙම බලය ඔහු විසින් භාවිතයට
ගැනුණේ අත්තනෝමතික පරිද්දෙනි. ඔහුගේ බලය
සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු නොවූ නිසා ඔහුට බලය
යෙදීම පිළිබඳ සම්බාධා කිසිවක් නොවුණි. කවර
කලෙක වුව ද අනපේක්ෂිතව ලැබෙන බලයකින් පාලකයා
අගතිගාමි වීම වැළැකිය නොහැකි කරුණක් වන අයුරු
සංඝතිස්සගේ පාලනය දෙස් දෙයි.
එළුඅත්තනගලුවංස
කතුවරයා සංඝතිස්සගේ පාලනය හඳුන්වන්නේ බොහෝ
කුසල් ද අකුසල් ද රැස් කරමින් කෙරුණ පාලනයක්
(22 පිට සිව්වන පරිච්ඡේදය) ලෙසිනි. කිසිදු
යුක්ති ධර්මයක් නොපිළිගත් මේ රජුගේ බලය ජනතාවට
පීඩා වන ලෙසින් භාවිතයට ගත් අයුරු දඹ අනුභවය
සඳහා යන ගමනින් පෙනේ. කෘතියෙහි එම අවස්ථාව
මෙසේ දැක්වෙයි.
“දඹ පැසුණු කල්හි සේනාව හා අමාත්‍ය ජනයන් ද,
අන්තºපුරවාසින් සහිත වූයේ ඉදිරි දික් භාගයෙහි
එක්තරා ජනපදයකට ගොස් දඹ අනුභව කරන්නේ ය.
රජ්ජුරුවන් සපිරිවරින් බොහෝ සේ යාමෙන් ඊමෙන්
උපද්‍රැත වූ (කරදරයට පත්) එරට වැස්සෝ
රජ්ජුරුවන්ගේ උපභෝගයට සුදුසු වූ දඹ ඵලයෙහි
විෂයක් යෙදවාහුය. සංඝතිස්ස මහරජ තෙමේ ඒ විෂ
මිශ‍්‍ර දඹ අනුභව කිරීමෙන් එතන්හිදී මා කළුරිය
කළේයැ.”
(24 පිට, හතරවන පරච්ඡේදය)
පාලකයන් තම බලය අවිචාරවත් ලෙස ජනතාවට පීඩාවන
ලෙසින් භාවිත කළ කල්හි මේ රටේ අභීත ජනයා එවැනි
බලකාමීන්ට නිසි පාඩම් ඉගැන්වූ අයුරු උක්ත ඡේදය
අපට පෙන්වයි. රජ පිරිස සමඟ දඹ අනුභවයට පැමිණෙන
හැම විටෙක ම මාර්ගය දෙපස ගමන් කළ මගීන්ට වූ
හිරිහැර අප‍්‍රමාණ වන්නට ඇත. එහෙත් එය ජනතාව
නොඉවසුවේ ය. රජ අනුභව කරන්නට එන දඹ ඵලයන්ට විෂ
යොදා රජතුමා මරණයට පත් කෙළේ ය. ලෝකයේ බලකාමි
පාලකයින් එක් රැයින් බිඳ වැටෙන අවස්ථා නූතනයේ
පවා අපට මෙසේ පසක් නොකරන්නේ ද?
මෙම සාහිත්‍ය කෘතිය ඔස්සේ වාර්තා නොකළ ද
සංඝතිස්සගේ මරණය පිටුපස වඩාත් ප‍්‍රබල
කුමන්ත‍්‍රණකරුවා ලෙස ගෝඨාභය සිටින්නට ඇතැයි
විශ්වාස කළ නොහැකිද? දඹ ඵලයට වස හෙළන්නට ජනතාව
පොළඹවන්නට ඇත්තේ ගෝඨාභය නොවිය හැකි ද? යන
ප‍්‍රශ්න නිරන්තරයෙන් අප ඉදිරියේ ඉදිරිපත්
වෙයි.
3. බලය පැවරීම කෙරෙහි සංඝයා සතුව තිබූ බලය
සංඝතිස්සගේ මරණින් පසු ඔහුගේ සෙනෙවිගේ
තනතුරෙහි පිහිටි සංඝබෝධි කුමාරයා රාජ්‍යය බාර
ගත යුතු බව ගෝඨාභය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අදහස
විය. එහෙත් සංඝබෝධි කුමාරයා ඒ ඉල්ලීම එක්
හඩින් ම ප‍්‍රතික්ෂේප කළේ ය. ගෝඨාභයගේ
මෙහෙයවීමෙන් සියලු රටවැසියන් විවිධාකාරයෙන්
ඉල්ලීම් කළ නමුදු සිරිසඟබෝ කුමාරයා ඒ සියල්ල ම
බැහැර කළේ ය.
අනතුරුව මහාවිහාරයට රැස්වූ සියලු
මහා සංඝයා සංඝබෝධි කුමාරයා රාජ්‍යය බලය භාර ගත
යුතු බවට ප‍්‍රකාශයක් නිකුත් කළේ ය. එය ඍජුව ම
ප‍්‍රතික්ෂේප කරන්නට නොහැකි වූ සංඝබෝධි
කුමාරයා රාජ්‍ය බලය පුද්ගලයා අගතිගාමී බවට පත්
කෙරෙන අයුරු විග‍්‍රහ කෙරෙන අගනා දේශනයක්
සංඝයා හමුවෙහි ඉදිරිපත් කළේ ය.
ලෝකයේ විවිධ
සාහිත්‍යාංග රාජ්‍ය බලයෙහි සුබ පක්ෂය ම
වර්ණනාවට ලක් කර ඇති නමුදු එහි අසුබ පක්ෂය
වර්ණනා කෙරුණු ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙස මේ
දේශනය දැකිය හැකිවෙයි. සංඝබෝධි කුමාරයා තම
දෙසුමේ දී විවිධ උපහැරණ ගෙන පාමින් බලය
පුද්ගලයා අගතිගාමී කරවන අයුරු ම පෙන්වා දුන්නේ
ඉතා නිර්මාණශීලී ප‍්‍රවේශයකිනි.
. කපුරු දැල්ලෙන් නැගෙන දැලි කිලිටි මෙන් බලය
අකුසල කර්මයට මග පෙන්වයි.
. තෘෂ්ණාවන්ගේ වර්ධනය පිණිස බලය ජල ධාරාවක
වැන්න.
. බලය, පංචේන්ද්‍රියයන් නමැති මෘගයන්ගේ බැඳීමට
වැද්දන්ගේ මිහිරි ගායනාවක් වැන්න.
.බලය සත්පුරුෂ ධර්ම නමැති සිතුවම් කිලිටි කරන
ධූම රේඛාවක් වැන්න.
. බලය, මෝඩකම නමැති නින්දට මුලා කරවන යාගයක්
වැන්න.
. බලය, ප‍්‍රාඥාව වසාලන අඳුරු පටලයක් වැන්න.
. බලය, අනාචාරයට ඔසවන ලද කොඩියක් වැන්න.
. බලය, ක්‍රෝධ ආවේගයක් නමැති කිඹුලන්ගේ උපතට
ගංගාවක් වැන්න.
. බලය, ද්වේෂ නමැති සර්පයන්ගේ වාසයට ගල්
බෙනයක් වැන්න.
. බලය, සත්පුරුෂයන් පහ කරවන වේවැලක් වැන්න.
. බලය, සුචරිත ධර්මයන් නමැති හංසයන් වෙත
පැමිණි අකාල මේඝයක් වැන්න.
. බලය, පංචකාම ආශාවන් නමැති හස්තින්ම කෙසෙල්
වනයක් වැන්න.
. බලය, සත්පුරුෂ ධර්මයන්ගේ විනාශයට වධක
ශාලාවක් වැන්න.
මෙලෙස රාජ්‍යත්වයේ අසුබ බව පිළිබඳ කෙරෙන සෑම
අදහසක් ම බලකාමි ඕනෑ ම පාලකයෙකුට අදාළ වෙයි.
සංඝබෝධි කුමාරයාගේ මෙම දෙසුම අවසානයේ මහා
සංඝයා අපූර්ව අදහසක් ඉදිරිපත් කළ අතර එය
සංඝබෝධි කුමාරයාට ඉවත ලිය නොහැකි තරම් ප‍්‍රබල
විය. එය කෘතියෙහි දැක්වෙන්නේ මෙසේ ය.
“මහත් වූ භාග්‍ය ඇති පුණ්‍යවන්තයාණෙනි
තනපුඩුවෙහි ඵලුණා වූ පූඩා තොමෝ (කූඩැල්ලෙකු)
තියුණු වැ, ඩැහැමෙන් ඒ තනපුඩුවෙහි දුºඛ වේදනා
උපදවමින් රුධිරය මැ ඇද බොන්නීය. ළදරු වූ
පුත‍්‍ර වනාහී තමාගේ කෝමළ වූ මුඛ පුටයෙන් මවට
සැප සංඥා උපදවමින් කිරි මැ ඇද බොන්නීය. එසේ
හෙයින් පින්වත් මහාපුරුෂයාණෙනි තෙපි වනාහී
දැහැමින් සෙමෙන් ලෝක පරිපාලනය කෙරෙමින්
බෝධිපාක්ෂික ධර්මයන් මුහුකුරුවා වන්නාහුය.”
(26 පිට හතරවන පරිච්ඡේදය)
මෙසේ අගනා උපමාවක් ඔස්සේ බලය අයුතු පුද්ගලයෙකු
වෙතට යාමෙන් විය හැකි විනාශය කූඩැල්ලාගේ
කි‍්‍රයාවලියට උපමා කරමින් සංඝබෝධි කුමාරයා
වැනි කෙනෙකු වෙතට ලැබෙන බලය කිරි උරා බොන
බිළිදෙකුගේ උපමාව තුළින් පැහැදිලි කළ කල්හි,
සංඝයාගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන්නට ඔහුට
නොහැකි විය. අවසානයේ ඔහු බලය උරුම කර ගන්නේ
මහා සංඝයාගෙනි. පැරණි ලංකාවෙහි සංඝයාට ඒ
පිළිබඳව තිබූ බලය මෙම අවස්ථාව ඔස්සේ විශද
කෙරෙයි.
4. සංඝබෝධි රජු අර්බුද ජය ගැනීමට යෙදූ බලය
සංඝයාගෙන් ලද බලය ඉතා දැහැමි ලෙස භාවිතයට
ගනිමින් සංඝබෝධි රජතුමා විසින් කෙරුණ පාලනයේ
දී උද්ගත වන අභියෝග ජය ගන්නට කි‍්‍රයා කළ
අයුරු විමසා බැලීම ද වැදගත් වනු ඇත. ජනහිතකාමී
පාලකයකු ඒ සඳහා කෙරෙන කැප කිරීම, ආධ්‍යාත්මිකව
ගොඩනඟා ගන්නා බලයේ ශක්තිමත් බව හා එයින්
රටවැසියා සුඛිත මුදිත කළ හැකි විම යන කරුණ
සංඝබෝධි පාලනය තුළින් විශද වන වැදගත් කරුණු
වෙයි.
සංඝබෝධි රජු ජය ගත් ප‍්‍රධාන අභියෝග 03 කි.
එනම්
1. රක්තාක්ෂ දමනය
2. නියං පීඩාව
3. අපරාධ මර්දනය වෙයි
පාරිසරික ගැටලුවකින් ඉස්මතු වන රක්‍ෂ්තාක්‍ෂි
නම් උණ රෝගය හේතුවෙන් ජනයා මියැදෙන්නට පටන්
ගත් කල්හි රජතුමා එය ජය ගන්නට කල්පනා කළේ
අධ්‍යාත්මික කැප කිරීමකිනි. එහි දී බලය පිළිබඳ
කල්පනා නොකළ රජතුමා මේ සිදු කරන්නේ නූතන
අරුතින් ගත් කල්හි උපවාසයකි. මෙය නූතන
දේශපාලනය තුළ සිරිතක් ලෙස දැකිය හැකි මුත්
එයින් ලැබෙන ප‍්‍රතිඵල පිළිබඳ ව අපට අසන්නට
ලැබෙන්නේ අල්ප වශයෙනි.
එහෙත් සංඝබෝධි රජුගේ
උපවාසය අභියෝගය ජය ගන්නට සමත් විය. රජුගේ මෙම
ආධ්‍යාත්මික කැප කිරීම හමුවේ රාක්ෂයාට
තවදුරටත් ජනතාව පීඩාවට පත් කළ නොහැකි විය.
උපෝෂථසීලය රකිමින් රජු කළ ප‍්‍රාර්ථනා හමුවේ
රාක්ෂයා දමනය විය. එම පාරිසරික අර්බුදය නිමා
විණි. මේ අනුව සංඝබෝධි පාලනය පෙන්වා දෙන
වැදගත් කරුණ නම් බලය වඩාත් ආධ්‍යාත්මික
ශක්තියක් බවට පත් කර ගත් කල්හි මුළු මහත් සොබා
දහම පවා අවනත කර ගැනීමට පාලකයාට පහසු වන බවයි.
රජු මුහුණදෙන නියං පීඩාව අවසන් කරන්නේ ද
මෙවැනි ම උපවාසයකිනි. එය ස්වර්ණමාලී දාගැබ
මළුවෙහි කළ උපවාසයකි. එය නිමාවට පත් කෙරෙන්නේ
ද මහ වැසි ලබා ගනිමිනි.
රජුගේ දැහැමි පාලනය හමුවේ සොර සතුරන් අපරාධවලට
නැඹුරු වූ කල්හි ඒවා මර්දනය කරලීම පිණිස
රජතුමා ඍජු පිළිවෙතක් අනුගමනය කළේ ය. එනම්
අපරාධයට හේතුව දුප්පත්කම බව අවබෝධ කොට
අපරාධකරුවන් දහවල සිර ගෙවලට යවා රාති‍්‍ර
කාලයේදී ඔවුනට ධනය දී ඈත පළාත්වලට පිටත් කරවා
සොහොන් බිමෙන් ගෙනෙන ලද මළ සිරුර මංසන්ධිවල
තබා පුළුස්සා අපරාධවලට දඬුවම එය බව ඒත්තු
ගැන්වීමයි. රජතුමා ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස
අපරාධ මර්දනය කිරීම පිණිස ගත් මෙම දැඩි
පිළිවෙත නිසා සොර සතුරන් සමාජයෙන් තුරන් කොට
සියලු දෙනාම සුඛිත මුදිත ව ජීවත්වීමට අවස්ථාව
සැලසුණි.
05. බලය හමුවේ කෙරෙන ආධ්‍යාත්මික දානය
සංඝබෝධි රජුගේ උපක‍්‍රමශීලි පාලන ක‍්‍රමය තුළ
ජනතාව සතුටින් ජීවත්වනු දුටු බලකාමී ගෝඨාභය
සංඝබෝධි රජුට එරෙහි ව කුමන්ත‍්‍රණ කරන බව
දැනගත් කල්හි ගෝඨාභය සතුරෙකු බවට පත් කොට යුද
වදින්නට කි‍්‍රයා නොකළේ ය. බලය හමුවේ කෙරෙන
නිරර්ථක යුද්ධය සාමකාමී වූ වෙසෙන ජනයා පෙළන
දෙයක් ලෙස සිතූ සංඝබෝධි රජු ගෝඨාභයට සිහසුන දී
වනගත විය.
තවුසෙකු ලෙස භාවනානුයෝගී ව වසන
සංඝබෝධි රජුට මගියෙකු වෙතින් දැන ගන්නට
ලැබෙන්නේ සංඝබෝධි රජුගේ හිස ගෙනෙන්නෙකුට ඉසුරු
දෙන බවට ගෝඨාභය කර ඇති ප‍්‍රකාශය යි. එහි දී
ඉසුරු ලොබින් මත් වූ බොහෝ අය අහිංසක මිනිසුන්
මරා සංඝබෝධි හිස ලෙස පෙන්වා ඉසුරු ලබන්නට වෙර
දරන බවයි. යුද්ධය තුළින් ජන සංහාරයක් සිදුවනු
දැක්ම ප‍්‍රතික්ෂේප කළ තමා හේතුවෙන් අහිංසක
මිනිසුන් මිය යාම ගැන කම්පිත වූ සංඝබෝධි රජු
අවසානයේ ගෝඨාභයගේ බලකාමිත්වය හමුවේ තම හිස
ගලවා මගියා අතට දී මනුෂ්‍ය ඝාතනය නතර කරවයි.
සිරිසඟබෝ රජුගේ ආධ්‍යාත්මික දානය හමුවෙයි
වැළපෙන ගෝඨාභය තමා කළ කී දේ පිළිබඳ බරපතළ
පශ්චාත්තාපයට පත්වේ.
“අනේ, මම බොහෝ කාලයක් පවත්නා සාධු ජනයන්
විසින් නින්දා කටයුතු වෙමි. විශේෂයෙන් වනාහි
මට කල්‍යාණ මිත‍්‍ර වූ මහත් වූ ගුණානුභාව ඇති
නිරපරාධ වූ මහා පුරුෂයාණන් වහන්සේ ගේ හස්තගත
වූ රාජ්‍යය උදුරා මෙබඳු වූ අපරාධයක් කළෙමි.
ඒකාන්තයෙන් මිත‍්‍ර ද්‍රෝහී කර්මයෙන් වෙළන
ලද්දෙමි වෙමි’ යි හිතන්නේ හටගත් බියෙන් හා
තැවුලියෙන් නික්මුණා වූ ස්වේද ජලය ඇත්තේ මම
වනාහී කෙසේ මේ උග‍්‍ර වූ පාප කර්මයෙන් ගැලවෙම්
දැයි පරීක්ෂා කළේ ය. ඉක්බිත්තෙන් දඬුවම්
කිරීම් වශයෙන් මහත් වූ සිත් කටයුතු යයි
වැටහුණේ ය.
(61 පිට, 9 පරිච්ඡේදය)
මෙය ගෝඨාභය මෙන් බලය අයුතු ලෙස යෙදූ කවර
පාලකයෙකුගේ වුව තම හෘද සාක්ෂියෙන් මතු වන
අෙඳ¤නාවක් විය නොහැකි ද? එය පාලකයන් සියලු
දෙනාට දෙන පරමෝපදේශයක් නොවන්නේ ද? ධර්මාශෝක,
වළගම්බා, මහසෙන්, කාශ්‍යප, දුටුගැමුණු ආදී
රජවරුන්ගේ මග ගිය ගෝඨාභය අවසානයේ අත්තනගලු
විහාරය කරවා සැනසීමක් ලබන්නට උත්සාහ කළ බව මෙම
කෘතියෙන් අවධාරණය කෙරේ.
මේ අනුව දැහැමි සිරිසඟබෝ චරිතය විකසිත කරනා
අටියෙන් සැකසුණ එළුඅත්තනගලු වංසය පුරා හුයක්
සේ මුල සිට අග දක්වා ගලා යන ප‍්‍රධාන කාරණයක්
වන්නේ රාජ්‍ය බලය පිළිබඳ කෙරෙන සංවාදයකි.
මෙවැනි සංවාදයක් සංගෘහිත වටිනා වංසකථාවක් වන
මෙම කෘතිය දේශපාලන ක‍්‍රියාවලිය තුළ වඩාත්
සාකච්ඡාවට ගත යුතු හස්තසාර ග‍්‍රන්ථයක් බවට
පත් නොවන්නේ ද?
එළුඅත්තනගලු වංසය ඇසුරිනි.
|