|
කවිතා ලතා

|
ජීවකයාණෝ...

රෝහලේ පෙළින් පෙළ යමින්
නියමවමින් ඖෂධ
අත ගැටෙන නෙත ගැටෙන
ලේ සිදුන කහ ගැසුන වණ
නැහැයට දැනෙන නේක කුයිල
නොතකන...
දයාවෙන් තෙමුණු සිතැති
කරුණාබර නෙතැති
හසරැල් පිරුණු නුඹෙ වත
දකින සඳ...
කුමට ඖෂධ
දුරුවෙයි සියලු රෝ දුක්
නුඹයි මිහිබට දෙවිඳුන්
ජී.කේ.ආර්. සිරිවර්ධන
|
මල්පෝච්චිය
සුපුරුදු ලෙසට බැලුණි
ඉබේට ම
වෙනදා මෙන් නොව
අද එය
අලුත් මුහුණුවරක් ගෙන ඇත
රටාවකට ගෙත්තම් කළ
මකුළු දැලකින්
පී.වයි.කුලතුංග
විජයගෙන් කුවේණියට
රන්මිණි මුතු අභරණ
කිසිත් නොඉල්ලා ම
නුඹ දුන් සෙනෙහස
හදේ ගැඹුරු ම තැන
තව ම ඇත
ඔටුන්නට නොවෙයි
සිහසුනටත් නොවෙයි
බින්දේ නුඹේ සිත
මගේ පරපුරේ හඬ
අසන්නට තරම්
අසරණ කළා මං
සාපලත් විජයිඳු මම
කියාගන්නට නොහැකි ව
මගේ පෙම
තවමත් ම’හිත තුළ
ගොළු ව
සෝමලතා හේරත් මැණිකේ
|
ඇගේ රුව
නිසසල නිශාවෙක
තනි වූ විරාමෙක
අතීතයේ
කවුළු දොර ළඟට විත්
එපිට බලන විට
දැනුණා පුරුදු මතකෙක
වියළි මල් සුවඳක්,
අකීකරු කඳුළු බිඳු දෙකක්
තෙත් කළා දෙනෙත්
මතක පොතේ ඇති සදා නොමැකෙන
ඇගේ රුව
බොඳ වුණා වෙනදා මෙන් ම
හර්මන් දියහුන්නත |
මගෙ හිතට බරක් නැත
අද උඹට මහන්සිද
වතුර පොදකුත් දේද
හිතේ බර මට දියන්
ආදරෙන් කියනවද
කොහේවත් නුඹ නොයන්
මගෙ හිතට බරක් නැත
හැම ආත්මෙ ම ඉමුද
මේ ටිකත් දුර වැඩිද
මමයි නුඹ – නුඹයි මම
වෙන දිනය ළඟක නම්
මගේ ළඟ නුඹ හිඳින්
මගෙ හිතට බරක් නැත
අහස වැටුණා වගේ
මහ බරක් මගේ හිසට
කණට ගැහුවා වගේ
නුඹේ වදන් අතුල් සැර
නුඹ කොහේ ගියත්
මගෙ හිතට බරක් නැත
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
සොඳුරු සිහිනය
හිරුට පිටුපා බලා උන්නෙමි
හිස් අහස් කුස - නැඟෙන තුරු ඉඳුසව්...
වලා යහනත විසුල කඳුලෙන්
දිලුණි විසිතුරු - රූ රටා මනරම්..
අහා අසිරිය ! චමත්කාරය!
වැළඳගෙන සිඹ – පුරා ලොල් හදගින්..
අයා නෙත් යුග සිහින මැව්වෙමි
දකින්නට හෙට නව ලොවක අබිමන්....
ගලා එන සඳ කිරණ සතපන,
මිහිමඬල මත තනන්නට සු යහන්..
නිශා දෙව් දුව තිමිර සේලය
මුදා හරිමින් කළ අයුරු සරදම්..
දුටුව සිහිනය බොඳ ව යද්දී
නුවනගින් වට පිණි කඳුළු දහරින්..
හිරු ද නැත ඉඳුසව් ද නැත මට
හුදෙකලා විය මෙ දිවි අරණේ මම්......
චතුරි අනූකා දොඩම්පෙ
යසෝදරා

දෙපා සුරත් පියුමන් සදිසියි කියලා
දෙපා මුල ම වැටිලා පය සිපගත්තා
නුඹේ නිල් මුහුළ දෙරණත විසිර ගියා
නීල රැළි නඟන ගඟªලක සිරි වින්දා
එදා රිදී පව්වේ කින්නරිය වෙලා
සදා සොඳුර ස්නේහෙන් මට තුරුලු වුණා
විදා සියක් සිකිපිල් මොනරුන් නැටුවා
මුදා සඳුන් සිහිලස තුරු හිස් වෙලුණා
සඳුන් අරටු ගෙන සඳගිරි පව්වෙ තුලා
සිහින් ඇඟිලි තුඩගින් ළය පිරි මැදලා
රසින් පිරුණු සඳ දිය දෝතකුත් හෙළා
මුවන් ගෙනා මල් මී මට තිළිණ කළා
හංස තුඩු ඇනී මෘදු වූ මගෙ ළයට
චණ්ඩ හී සරය දරන්න බෑ සොඳුර
සංසාරය තුළ නිර්වාණය දුටුව
නුඹේ පාමුළයි වැටුණේ මා එදින
අමිල තේනුවර
ප‍්‍රණාමය
පොරණ පසිඳු අප තුන් සිංහලය ම
දිවිසේ රැකගත් මහ විරුවෝ
දිවි තෙදවන් ඒ මහවිරුවෝ
පෙරමඟ සැපමිණ මැඩමින විරිදුන්
ගැමුණු විජයබා වලගම්බා
ගජබා පැරකුම් මහ නිරිඳුන්
හෙළයට විපතක් වනු දැක නොලසා
තිරසර ජයදද හොබවනු පිණිසා
පවර අමර පුර සිට ඒ මහවිරු
බලසෙන් සමඟින් ඒ නිරිඳුන්
පිවිසව නැවති හෙළ දෙරෙණේ
පතුරා විකුමන් තද තෙද ලෙසිනේ
වෙසෙස් ගුණැති තිරසර මහ නැණ බල
ගැඹුරා නිසි පිළිවෙත් සපුරා සොඳ
රුපු ගනඳුරු බිඳ මතු උවදුරු මැඬ
රැක හෙළ බිම කිතුලිය මල් ගන්වා
කල මෙහෙයේ පින් බෝ සන්ඳ්‍ර
මුණි තුන් සරණය ලැබ උතුමන්හට
මතු දෙලොවම සුභසිරි අත්වේවා!!!
රෝහණ යූ.ජී.සේනාරත්න
ඇමරිකා එක්සත් ජනපදය
කුලගෙට එන නුඹට
ළඟදී එන ඇසළ මහට
තිරික්කලෙන් කැන්දාගෙන
මගේ පැලට නුඹ එනතුරු
බලා ඉන්නවා කුමරියෙ
කුලගෙට එන නුඹ දෝතට
දෙන්නට මට මිණි මුතු නෑ
පළඳින්නට ඔටුනුත් නෑ
ඇත්තේ සෙනෙහස පමණයි
චන්දිමා සේනානි කරුණාරත්න
සිත්තමක්
සඳ කිරණ
ගලා විත්
හමන මද
සුළඟ මැද
රෑ පිපෙන
වන මලෙක
සුවඳ විසිරී
ගොසින්
දිටිමි මම
ඒ තුළින්
සිත්තමක්
සිත්තමක්
විගසින් ම
ඒ සැණින්
විකසිතවිය
නෙතු පියන්
සංසාර
සුවඳකින්
කුසුම් තිලකරත්න
ජීවිතේ
පෙනෙයි ලස්සන
ඇසෙයි ගීහඬ
දැනෙයි රස
සුවඳ විහිදෙයි
මල් මාවතේ
මැවෙයි සිතුවිලි
නැඟෙයි සිතුවිලි
මම නොවේ
මගෙ නොවේ
මිරිඟුවකි ජීවිතේ
පරගම්මන නන්ද
ගොසින් නුවරට තක්සලා.....
සත් රුවන් පොදි ගැල් පුරාගෙන
දෙමාපිය ආසිරි පතාගෙන
මුරායුද සෙබළුන් දරාගෙන
ගිරි දුර්ග ......
වන දුර්ග.....
පසු කොට
ගියෙමි නුවරට තක්සලා
සිල්ප කුංකුම ගතේ තවරා
යසස් මුතුහර ගෙලේ පළඳ්‍ර
පැසුණු කෙසේ ඇති
තපෝ ගුණ ඇති
දිටිමි මහ’ඳුරු
දිසාපාමොක්
’කිමද ? දරුවනි තොප පැමිණියේ’
”සිප් සයුරු පරතෙරට පීනූ
මා සුවච අතවැසි තෙමේ
ලබන්නේ....
මා දුව පියඹ කොට”
මහල් තලයෙන් එබී බලනා
දසන් සුදු පැහැ මවෙත පුදනා
සුමුදු බඳ ඇති
මවෙත සිත් ඇති
ඔබේ දියණිය ලබා ගන්නට
කල්ප ගණනක්
සිල්ප සටනක යෙදී උන්නෙමි
සිල්ප නිමවන
දියණි හිමිවන
දිනය කවදා දැයි කියනු මැන
රාජ තේජස් කිරන නංවා
සිල්ප ගනඳුර ඈත පලවා
පවන පරදවන
තුරඟ රියකින්
ඔබේ දියණිය
මගේ කුමරිය
(කිරුලු පලඳින දිනය නුදුරින්)
රැගෙන යන්නෙමි.
”කියව පැමිණිය නොහැකි කාරණ”
.............
ලියව සොඳුරිය
මෙන්න තල්පත
ලියව සොඳුරිය
මෙන්න පන්හිඳ
නිසි සිප් නොදත්තහු
සිරි අබේසේකර
වේදනාව

නිසල රැයේ,
සමනළියකි,
මා අසල
බැලුවෙමි
හොරැහින්
වශී වුණෙමි
නෙක වර්ණයන්ගෙන්
දෝතට ගෙන
රඳවා ගතිමි
පරෙස්සමින්
නමුදු
සුමුදු තටු
බිඳුණු
සමනළියකි
පවරා දුනිමි
මා හද
සෙනෙහසින්
පසුදින
අරුණෝදයෙහි
හද දොර කවුළු බිඳ
රෑ සමනළිය
ඉගිලී ගොසින්
සුරනි නර්මදා
මුතුමාලි ගාල්ලගේ
සුදු කුසුම
නිමිත්ත
(ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ
ශිෂ්‍ය වජිර ද සිල්වා හදිසි
ඛේදවාචකයකට ගොදුරුවීම)
තක්සලාවේ සුදු කුසුමක්
හැලුණා
කෝටියක් නෙත
බොඳවුණා - රිදුණා
හදවතක් ඇති මිනිස්සුන්
තැනූ හදවතක් නැති
පාලමක් ඔරවා
පරපුරට නැණ පාලමක්
කැඩුණා
සුදු කුසුම රත්පැහැ වුණා
මහමඟට වේදනාවක්
දැනුණා
කෝටියක් දන නොව
රත්තරන් පුතුනේ
ගිං ගඟක් හැඬුවා
සූරිය මැදගෙදර
|