පශ්චාත් යුද සමයකදී, දේශපාලනඥයාට වඩා විශාල යමක් කලාකරුවාට කළ හැකියි
| |
පශ්චාත් යුද සමයකදී, දේශපාලනඥයාට වඩා විශාල යමක් කලාකරුවාට කළ හැකියි
|
|

මහාචාර්ය තිස්ස කාරියවසම්
අප මේ වන විට එළැඹ සිටිනුයේ පශ්චාත් යුද සමයකට
ය. පශ්චාත් යුද සමාජ සංස්කෘතියක දේශපාලන, සමාජ,
ආර්ථික හා සංස්කෘතික ගැටලු මතු නොව මානව ගැටලු ගැඹුරින් විග‍්‍රහ
කරගැනීමේ සාහිත්‍යයික මෙහෙවරක් ද සිදුවිය යුතු ව තිබේ.
එහිදී යුද්ධයෙන් පීඩාවට
පත්වූ ජනතාවගේ ප‍්‍රභාස්වර නැවුම් සිතුවිලි මෙන් ම එක ම ජාතියක් වශයෙන්
එක් හුයකට බැඳීමේ දයාර්ද්‍ර භාවය ද එක සේ නිරූපණය කිරීමට
නිර්මාණකරුවා සමත් විය යුතු ය.
පශ්චාත් යුද සමයක කලාකරුවා වෙත පැවැරෙන අසීමිත
වගකීම පිළිබඳ ව මෙවර ‘මුවදොර වදන’ සංලාපයට කරුණු දක්වමින්
මහාචාර්ය තිස්ස කාරියවසම් අවධාරණය කළේ කලාකරුවා අද ගැන නොව හෙට ගැන සිතා
නිර්මාණකරණයේ යෙදිය යුතු බවයි.
අප දීර්ඝ කාලයක් තිස්සේ යුද අත්දැකීම් විඳි
පිරිසක් වුවත් එහි සංකීර්ණ මනෝභාව පිළිබඳ ව
ගැඹුරු විවරණයකින් යුත් නිර්මාණ සාහිත්‍යයක්
මේ වන තෙක් බිහිවී නැහැ. නිදහසින් පසු ගෙවී ගිය අවුරුදු හැටක කාලය
ඇතුළත මොනම රාජ්‍ය නායකයකුවත් ප‍්‍රකාශ නොකරපු
පද කිහිපයක් ජනාධිපතිතුමා මහජනතාව ඉදිරියේ
ප‍්‍රකාශ කළා. ඒ අලුත් රටක්, අලුත් ලංකාවක්,
වගේ පද, මේ අරමුණ සඳහා ලංකාවාසී හැමදෙනාටම
වගකීමක්, කළ යුතු කිසියම් කාර්යභාරයක්
තියෙනවා. ඒ සඳහා කලාකරුවාට තිබෙන වගකීම පිළිබඳ
ඔවුන් ආයෙත් සිතිය යුතු වෙනවා. මෙතැනදි නිර්මාණ සාහිත්‍ය කියන පදය මම නවකතා,
කෙටිකතා, කවි, නාට්‍ය පෙළ කියන කොටුවට සීමා
කරන්නේ නැහැ. සාහිත්‍යකරුවා කියන්නේ කලාකරුවා
කියන විශාල ඡත‍්‍රය යට එක් අංශයක් නියෝජනය කරන
කෙනෙක්.
එතැනදි නිර්මාණාත්මක ප‍්‍රබන්ධ
සාහිත්‍යයක් වගේ ම ප‍්‍රබන්ධ ගණයට නොවැටෙන
සාහිත්‍යයක් සහ ළමා සහ යෞවන සාහිත්‍යයක් ද
තිබෙන බව අප අමතක නොකළ යුතුයි. පුවත්පත්
ලිපිවලත්, සාහිත්‍ය රැස්වීම්වලත් දැන්
තිබෙන්නේ පොඩි කොටුවක්.
මේ කොටුවෙන් පිට
පනින්න අද ලේඛකයාට සිද්ධ වෙලා තියෙනවා. මේක
අමාරු වැඩක්. අපි හිතපු ගතානුගතික මට්ටමක්
තිබෙනවා. රාමුවක් තිබෙනවා. රටේ කරන සාහිත්‍ය
උත්සවවලින් තෑගි දෙන විෂයය පද්ධතිය පමණක්
සාහිත්‍ය යැයි සිතන්න ඉඩ නොදෙන්න අලුත්
සභාපතිතුමාවත් කි‍්‍රයා කරනවා නම් හොඳයි.
පසුගිය දශක තුනක කාලයක් තිස්සේ අපේ යුද
අත්දැකීම් උඩින් පල්ලෙන් විග‍්‍රහ වන යම් යම්
නිර්මාණ දක්නට ලැබුණා. මේවා කාලීන වශයෙන් සිදු
වූ යම් සිද්ධි පිළිබඳ වාර්තාකරණයන් ගෙන් ඔබ්බට
ගියේ නැහැ. ඔව්. අපි සිංහල සාහිත්‍ය දිහා බැලුවහම වරින්වර
මේ රටේ ඇතිවුණු විවිධ සිදුවීම් ගැන පොත් ලියලා
තියෙනවා. සින්දු ලියලා තියෙනවා. නාට්‍යත් කරලා
තියෙනවා. මේවා ගැන ඒ කාලේ බොහෝ දේ කතා කළාට
එහි දැන් නමක්වත් තියෙනවද? 1957 දී කරපු
‘තිත්ත බත’, ‘කුඹුරු පනත’ කියන මුද්‍රා නාට්‍ය
දෙක ගන්න.
පනත සම්මත කරගත්ත ඒ කාලෙට ඒක
ගැළැපුණාට අද අපිට ඒක ගැළැපෙනවද? ‘සාම විජය’
වගේ නාට්‍යයක් ලෝක සාමය වෙනුවෙන් කළ එකක්නෙ. ඒ
වුණාට අවුරුදු පනහක් තිස්සෙ අපිට සාමය උදාවුණා
ද? නැහැනේ. අපි කරන මේ බොරු වැඩ දැන්වත් නතර
කරන්න ඕන.
උතුරට පාලම් දානවා, නෑගම් යනවා වගේ
පද මාලාවක් මීට අවුරුදු දහයකට පහළොවකට ඉස්සරත්
අනුරාධපුරයෙන් එහාට නොගියට, කිව්වා. අද
ජනමාධ්‍යවලින් කරන්නෙත් ඒක පතුරුවන එක. මේ
ව්‍යාජයෙන් අපි ගොඩ එන්න ඕන. කලාකරුවාගේ වගකීම
එදිනෙදා කරන වැඩ නොවෙයි. සිද්ධියක එදිනෙදා
විග‍්‍රහය කරන්න පුවත්පත් කලාවේදින් ඉන්නවා.
කලාකරුවා එතැනින් ඔබ්බට යා යුතුයි.
යුද්ධය පාදක කොටගත් වස්තු බීජ සාහිත්‍යකරුවා
පරිකල්පනීය ලෙස ඔපමට්ටම් කිරීමේදී විශේෂයෙන්
සැලැකිලිමත් විය යුතු කරුණු මොනවා ද? අපේ සාහිත්‍යකරුවන්ට හීනෙන් නිර්මාණකරණයේ
යෙදෙන්න බැහැ. මේ රටේ තිබෙන ප‍්‍රශ්නය ගැන සරල
ව තේරුම් අරගෙන බැහැ. මේ ගැටලුව ගම්භීර
ආකාරයෙන් විශ්ලේෂණය කළ යුතුයි. එකම රටක් එකම
ජාතියක් කියලා සංකල්පයක් අපිට තියෙනවද? අපේ සාහිත්‍යකරුවා කරන්න ඕන පළමුවැනි කටයුත්ත
තමයි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සහ
ආදිවාසීන් ඇතුළු ජනකොටස් අතර සන්නිවේදන සබඳතා
යළි ස්ථාපනය කිරීම. උදාහරණයක් විදියට
මැලේසියාව ගන්න.
මැලේසියානු රජය පමණක් නොවෙයි
සාහිත්‍යකරුවොත් ඒ ආකාරයට හිතලා තමන්ගෙ
නිර්මාණ කළා. චීනයේ සුළු ජාතින් 55 ක් ඉන්නවා.
තියෙන්නෙ එක ජාතියයි, එක රටයි, එක
සාහිත්‍යයයි. දෙමළ සාහිත්‍ය ගැන අපේ රටේ
සිංහලෙන් ලියැවුණු එකම ලිපියයි මම දන්න තරමින්
තිබෙන්නෙ.
ගොඩගේ ප‍්‍රකාශකයෝ ගහපු ‘සියවසක මඟ
සලකුණු’ කියන පොතේ විතරයි දෙමළ නාටකය ගැන,
දෙමළ සාහිත්‍ය ගැන ලියපු සිංහල ලිපියක්
තියෙන්නේ. අපි බොරුවට ජාතික සමඟිය ඇති කරන්න
සාහිත්‍යයක් ඕන කියලා කියනවා. ඒ හැම දෙනාම කළේ
තමන්ගේ පොත දෙමළට පරිවර්තනය කරලා විකුණගන්න
එකයි.
මෙවැනි පශ්චාත් යුද වාතාවරණයකදී
සාහිත්‍යකරුවන් පුද්ගලානුබද්ධ භාවාතිශය
භාවයෙන් මිදී සංයත ලෙස සිද්ධි නිරූපණයකට යා
යුතු වීමක් විය යුතුයි නේද? ඇත්තට ම දේශපාලනඥයා කරන කියන දේවල් වලට වඩා
විශාල යමක් කලාකරුවාට කළ හැකියි. සිද්ධි
නිරූපණය, චරිත විග‍්‍රහය වගේ දේවල් ඉතා
පරිස්සමෙන් කිරීමට සාහිත්‍යකරුවා වගබලා ගත
යුතුයි.
අවුරුදු 30 ක් තිස්සේ කෙරුණු යුද්ධය
ගැන මිනිස්සු ප‍්‍රාණවත් ව හිතන්න ගත්තේ මේ
පසුගිය කාලයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඊට
සකි‍්‍රයව මැදහත් වුණු අවස්ථාවේ සිටයි. අඩුම
තරමේ අපිට මේ යුද්ධය ගැන තේරුම් ගන්න තියෙන එක
දෙයක් තමයි අවසාන දවස් කිහිපයේදී කලපුව හරහා
එන මිනිසුන්ගේ පෙරහර.
සමහර අය ආවේ ඇඳිවත පමණක්
දරාගෙන. තවත් අය පොඩි මල්ලක් අරන් තවත් කොටසක්
පොඩි පොට්ටනියක් අරන්. මෙයාලගෙ සේසතම
මෙච්චරයි. මේත් අපි වගේ මිනිසුන්ගෙන් කියලා
කම්පා වෙනව නම් හෙට උදේට නිර්මාණ කරන්න බැහැ
මේ තත්ත්වය ගැන අධ්‍යයනය කරන්න ඕන; පර්යේෂණ
කරන්න ඕන. එහෙම නැතිව හීනෙන් වගේ නිර්මාණ කරලා
වැඩක් නැහැ. දෙවැනි ලෝක යුද්ධයේදී නාගසාකී හා ටෝකියෝ අතර
එහා මෙහා ගමන් කිරීමේදී කුඩා ළමයකු මුහුණ දුන්
අත්දැකීම් ඇසුරින් ‘කසුබ ඉෂිගිරෝ’ කියන ලේඛකයා
නවකතා දෙකක් ලියලා තියෙනවා. මේ නවකතා කියැවූ
මිනිසකුට යුද්ධය ගැන කොච්චර කම්පා වෙන්න
පුළුවන් ද? යුද්ධය වඩාත් බලපෑම් කරලා තියෙන්නේ
ළමයින්ට හා කාන්තාවන්ට. 1945 වෙනකොට යුද්ධය
ඉවරයි.
ඉෂිගිරෝ උපදින්නේ 1954 දී. එතකොට
යුද්ධය ඉවර වෙලා වසර නවයක් ගතවෙලා. ඔහු මේ
දේවල් සොයලා, අධ්‍යයනය කරලා, පර්යේෂණ කරලා
විතරක් නොවෙයි, විදේශයක ඉඳගෙන තමන්ගෙ රට ගැන
ලියනවා. ජපන් සංස්කෘතිය, ඒ මිනිසුන්ගේ කම්පනය
ඔහු වඩාත් හොඳින් චිත‍්‍රණය කරනවා.
මේ පොත්
දෙක තමයි ‘අ පේල් වීව් ඔෆ් ද හිල්ස්’
(A Pale View of the
Hills) සහ ‘ඇන් ආටිස්ට් ඔෆ් ද ප්ලෝටිං
වර්ල්ඩ්’ (An artist of
the Floating World)
යුද්ධයේ, ත‍්‍රස්තවාදයේ භීෂණය කලාත්මක ලෙස
සංකල්ප රූපයකට නැඟීමේ වගකීමක් නූතන කලාකරුවාට
ඇතැයි ඔබ සිතනව ද? පැහැදිලිවම ඔව්. ඒකීය රාජ්‍යයක සාමය පවත්වා
ගෙන යාමට සහ සාමකාමී වීමට වුවමනා පරිසරය සකස්
කිරීම සාහිත්‍යකරුවාගේ වැඩක්. මේ කාර්යය සඳහා
රටවැසියා අතර සම්බන්ධතා ඇති කරන්න ඕන. විවිධ
ආපදාවලදී කි‍්‍රයාකරන ආකාරය, යුද්ධය ගැන, ළමා
සොල්දාදුවන් ගැන, අනාථ කඳවුරු ජීවිත ගැන
සාමාන්‍ය ජනයා අතර හැඟීමක් ඇති කරන්නේ
නිර්මාණකරුවායි.
හැම ලේඛකයකුට ම, හැම
කලාකරුවෙකුට ම අත්දැකීම් උවමනා කරනවා. කොළඹ
ඉඳන් මෙහෙම වෙනව ඇතියි කියලා ලියන්න යාමෙන්
කවදාවත් අදට සහ මත්තට ගැළැපෙන සාහිත්‍ය කලාවක්
නිර්මාණය කරන්න බැහැ.
මෙවැනි වස්තු බීජයක් පාදක කොට ගනිමින්
නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයන්ට තෝරා ගන්නා
වස්තු බීජයේ පවතින සීමාවන්ට යටත්වීමට සිදු
වෙනවා නේද? පැහැදිලිවම ඒ සීමා පිළිබඳ අවබෝධයක්
නිර්මාණකරුවාට තිබිය යුතුයි. අපි දෙමළ
මිනිස්සු ගැන, දෙමළ සාහිත්‍ය ගැන මොනවද දන්නේ?
අපි අපේ ළමයින්ට ඉංගි‍්‍රසි උගන්වනවා. නමුත්
අපි, අපි එක්ක එකට ජීවත් වෙන මිනිසුන්ගේ භාෂාව
ඔවුන්ට උගන්වන්නේ නැහැ. අපි මාධ්‍ය හරහා
විඳින්නේ ප‍්‍රබල සාහිත්‍ය කෘති නොවෙයි.
ලේඛකයා බලන්න ඕන අද තියෙන දේ ගැන නොවේ.
අද
තියෙන දේ ඒ විදියට ම ප‍්‍රයෝජනයට ගන්න ලේඛකයාට
බැහැ. ලේඛකයා ලියන්නේ අනාගතයට. අනාගතයට ලියනවා
කියන එක තේරුම් ගත්තහම නිර්මාණකරණයේ යෙදෙන්න
ලේසියි. වික්ටර් හියුගෝ කියන ප‍්‍රංශ
නවකතාකරුවා වරෙක කියනවා, “ලේඛකයා ලිවිය යුත්තේ
තමන්ගේ කාලයට පමණක් නම් මම මේ පෑන කඩලා විසි
කරනවා” කියලා. මුල්ම කාරණය මේ ජාතික ගැටලුවට
සම්බන්ධ වෙන්න ඕන. පිටින් ඉඳන් මේ වැඩේ කරන්න
බැහැ.
සිංහල පිරිමි ළමයකුගේ නමක් ලියලා, දෙමළ
ගෑනු ළමයකුගේ නමක් ලියලා, ඒ දෙන්නා අතර
පේ‍්‍රම සබඳතාවක් ඇතිවුණා යැයි කියන එක මේ
ප‍්‍රශ්නයට උත්තරයක් නොවෙයි.
පශ්චාත් යුද වාතාවරණයකදී ලෝකයේ ඒ පිළිබඳ වෙනම
ම සාහිත්‍යයක් ගොඩනැගෙනවා. රුසියාව මේ අතරින්
ප‍්‍රධානයි. ඔව්. අපි දකිනවා දෙවැනි ලෝක යුද්ධයේ පසුකාලීන
ප‍්‍රතිඵලයක් වශයෙන් යුදෙව් සංහාරක
සාහිත්‍යයක් බිහි වෙනවා. රුසියාව ගත්තත්
එහෙමයි. චින්ගිස් අයිත්මාතොව් ගේ
The Early Cranes (‘වේලාසන කොක්කු ඇවිත්’ නමින්
ඩබ්ලිව්.ඒ. අබේසිංහ මේ කෘතිය සිංහලට නඟා ඇත)
නවකතාව ගන්න. දෙවැනි ලෝක යුද්ධය සෝවියට්
රුසියාවේ පිටිසර ගම්මානයක ජන ජීවිතය කෙරෙහි
බලපාන ආකාරය කොයිතරම් හොඳට චිත‍්‍රණය කරලා
තියෙනව ද? සමහර ලේඛකයන් පශ්චාත් විප්ලව යුගයේ
නිර්මාණකරණයේ යෙදෙන අවස්ථා වගේ ම විප්ලවයක්
අතරමැද නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවනුත්
සාහිත්‍ය ලෝකයේදී අපට හමුවෙනවා. ඔවුන් අනතුරු
අඟවනවා විප්ලවය සමඟ ප‍්‍රති විප්ලවයක් එන්න
පුළුවන් කියන එක ගැන. පකිස්ථානය කි‍්‍රකට් තරගාවලියෙන් ජයග‍්‍රහණය
කළාට පස්සෙ මොකද කිව්වේ. ‘අපි කි‍්‍රකට් ගහලා
දිනුවා. ඒ වගේ ම ත‍්‍රස්තවාදයත් පරාද කරනවා’
කියලයි. ඒ මානසික ස්වභාවය ලේඛකයාටත් ඇතිවිය
යුතුයි.
ඒකට සිංහල ළමයින්ට දෙමළ ඉගෙන ගන්නයි,
දෙමළ ළමයින්ට සිංහල ඉගෙන ගන්නැයි කියලා කිව්වට
කෙරෙන දෙයක් නොවේ. මේක බොහොම ගැඹුරු දෙයක්.
සමහර විචාරකයන් ප‍්‍රකාශ කරනවා මේ ගැටලුවේදී
සිංහල දෙමළ ජනතාව අතර සුහදතාවයේ පාලමක් ගොඩ
නැඟීම කලාකරුවාගේ කාර්යයක් නොවේ කියලා. මේ විචාරකයෝ මම අර කියපු පරණ ඉස්කෝලෙට ගිය
උදවියයි. කලාකරුවා කියලා කෙනෙක් ව හඳුන්වන්නේ
ඔහුට සමාජය පිළිබඳ වගකීමක් තියෙන නිසයි.
නැත්නම් කලාකරුවා කියන්නෙ නැතිව කම්කරුවා
කියන්න පුළුවන්නේ එහෙම නැතිනම් ලිපිකරුවා,
කියලා කියන්න බැරි ඇයි. වගකීමක් තියෙන නිසානෙ
කලාකරුවා කියලා හඳුන්වන්නේ. ඇයි කලාකරුවා
සංවේදී කියන්නේ.
අනෙක් මිනිස්සුන්ගේ ජීවිත ගැන
ආදරයක්, සමාජීය වශයෙන් විවිධ පරිපීඩනයන්ට
හසුවූ චරිත ගැන විග‍්‍රහයක් ඔහුට තිබෙන්න ඕන.
මිනිසුන්ගේ දුක තේරුම් ගන්නට ඕන. කලපුවෙන්
මෙහාට එන මිනිස්සු එක්ක අපිට නෑකමක් නැහැ. ඒත්
ඔවුනුත් අපි වගේ ම මිනිස්සු කියන එක තේරුම්
ගන්න ඕන.
රවීන්ද්‍රනාත් තාගෝර් ගේ ‘ගෝරා’ නවකතාවේ සිට
අරුන්දතී රෝයිගේ නවකතා දක්වා ඉන්දීය නූතනවාදී
සාහිත්‍ය ධාරාව මඟින් සමාජයත් රාජ්‍යයත්
අභියෝගයකට ලක්කරනවා. මේ සාහිත්‍ය කෘති මඟින්
නූතන ඉන්දීය සමාජය වඩාත් සාධාරණිකරණය තිබෙනවා.
ලංකාවේ මෙවැනි සාහිත්‍යයක් දක්නට ලැබෙන්නේ
නැහැ. ඒකට හේතුව මම අර මුලිනුත් කිව්වා වගේ ලංකාවේ
මෙවැනි තත්ත්වයක් නැති බව කියන කලාකරුවන් යැයි
කියාගන්නා පිරිසක් ඉන්න නිසා. අරුන්දතී රෝයි
ගත්තොත් බුකර් සම්මානයෙන් ලැබුණු මුදල්වලින්
එයාට හොඳ සුඛෝපභෝගී ජීවිතයක් ගෙවීමේ හැකියාව
තිබුණා.
නමුත් නර්මදා නදිය පිළිබඳ ප‍්‍රශ්නයට
මැදිවෙලා තමන්ගේ මුදල් ටික වියදම් කරගන්නේ
මොකට ද? ඇය දන්නවා දුක කියන්නේ මොකද්ද කියලා,
එයා ආපු පරිසරයත් එක්ක විඳපු දුක් දොම්නස් ඇය
දන්නවා. බොහෝ දුක් විඳපු අය හොඳ මට්ටමකට ආවට
පස්සේ තමන් විඳපු ඒ දුක අමතක කරනවා. දැන්
වික‍්‍රම් සෙත් ගන්න. ඔහු ලිව්වා ‘අ සුර්ටබල්
බෝයි’ (A Suitable Boy) කියලා පොතක්. ඒකෙ
විස්තර වන්නේ පරම්පරා හතරක භාරතීය ජීවිත කතාව.
සමහරු ඒක හඳුන්වන්නේ ‘නිදහස් භාරතයේ කතාව‘
කියලයි. රවීන්ද්‍රනාත් තාගෝර් කුල ප‍්‍රශ්නය ගැන කතා
කරපු ‘චණ්ඩාලිකා’ වැනි නාට්‍ය දිහා බැලුවහම ඒ
සියල්ලේ ම තියෙනවා මොකක් හරි දේශීය ගැටලුවක්
විග‍්‍රහ කළ තැනක්. ජපන් ලේඛකයන්, චීන ලේඛකයන් යුද්ධය ගැන
කොයිතරම් දේවල් ලියලා තියෙනවද? 1919 මාර්තු 04
වැනිදා ගමන ගැන ලියැවුණු සටහන්, ඊළඟට මාඕ
සේතුං සමග කළ වැඩ කටයුතු ගොවිතැන් කටයුතු කළ
හැටි කොයිතරම් හොඳට විග‍්‍රහ කරනව ද? 1989
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන්න කියලා ඉල්ලපු
කැරැල්ල රජය මර්දනය කරනවා. ඒ ගැන ලියැවුණු
නවකතා තියෙනවා. නිදහස ලැබුණට පස්සේ, සංස්කෘතික විප්ලවයෙන්
පස්සේ රටේ සිදුවන දේවල් ලේඛකයන් දැක්කනේ. ඒවා
ගැන ලියන්න පුළුවන්කම තියෙනවානේ මිනිසුන්ට.
හැබැයි ලියන්නේ තමන්ගෙ රටේ ප‍්‍රශ්න ගැන
අනුන්ගේ ප‍්‍රශ්න නොවේ. වෙන රටක සංස්කෘතිය දැනගන්න නම් මුලින් ම අපි
අපේ රටේ සංස්කෘතිය දැනගන්න ඕන. ළමයින්ට අපේ
සංස්කෘතිය ගැන අවබෝධයක් නැහැ. සාහිත්‍ය
කියන්නේ පිස්සන්ගේ වැඩක් කියලයි මිනිස්සු
හිතන්නේ.
සංලාපය - සුමුදු චතුරාණි ජයවර්ධන
සේයාරුව - දුෂ්මන්ත මායාදුන්නේ
|