හන්තානෙට පායන හඳ
  හන්තානෙට පායන හඳ ලස්සනයි ද කියන්න  

හන්තානෙට පායන හඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න

අඳුරුලලා වහිනා කළ
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න

ගේය පද – ධම්මික බණ්ඩාර
සංගීතය – විශාරද ඩෙනිස්ටර් පෙරේරා
ගායනය – අමරසිරි පීරිස්

සුන්දර පෙ‍්‍ර්ම අන්දර සඳහා සරසවිය තෝතැන්නකි ලංකාවේ විවිධ ප‍්‍රදේශයන්ගෙන් පැමිණෙන බොහෝ තරුණ තරුණියන් නිදහසේ දොඩමළු වන්නේ සරසවියේදී ය. පෙ‍්‍ර්ම කරන්නට මෙන් ම පෙ‍්‍ර්මය විඳගන්නටත් අවැසි පරිසරයක් මෙන් ම ළෙන්ගතු බවක් ද මේ අපූර්ව භූමියේ නිතැතින් ම පවතී.

ලිය ගොමු, තුරු වදුලු තුළ සැරිසරන නොයෙක පේ‍්‍රමවන්තයන් හමුවේ සරසවි අධ්‍යාපනය නොලබන පෙ‍්‍ර්මවන්තයෙක්, සරසවියේ උගැන්ම ලබනා තම පෙ‍්‍ර්මවන්තියට කරන ආයාචනයක් දැක්වෙන අපූර්ව ගීතයක් අපි මෙවර ‘නිමැවුම් විමැසුම්’ සඳහා තෝරා ගනිමු.

මේ ගීතයේ නිර්මාතෘ ධම්මික බණ්ඩාර ගෙන් ම මුලින් ම ගීතය පිළිබඳව විමසීමි.

”සරසවි පෙම්වතුන් පිළිබඳව විවිධ ගීත මා අසා තිබෙනවා. මෙය එවන් ගීත ඇසීමෙන් මා ලද උද්දීපනයෙන් බිහිවුණු ගීතයක්.

තමන්ට වඩා උගත් සිසුන් සමඟ පෙ‍්‍ර්මවන්තිය ඇසුරු කරද්දි ඔහුට තමා පිළිබඳව පරාධීන හැඟීමක් ඇතිවෙනවා. සරසවිය යනු ආදරයේ තෝතැන්නක්. එහිදී ඔහුට සිය පෙම්වතිය තමා හැර යාදෝ එසේත් නැත්නම් වෙනත් පෙමක සෙවනට යාදෝ කුහුළක් ඇතිවෙනවා. ඒ සිතිවිල්ල ඊර්ෂ්‍යාවකට හරවා නොගන්නට තරම් පෙම්වතා පරිස්සම් වෙනවා. සරසවි බිමට පය තබන ඔහුට බැලු බැලූ අත පෙනෙන්නේ එක ම කුඩය යටින් අතිනත පටලවමින් යනෙන පෙ‍්‍ර්මවන්තයින්. ඔහුට ඇය පිළිබඳව අනුකම්පාවක් දැනෙනවා.

එක ම කුඩයකින් යාමට කවුරු හෝ ඇයටත් ආරාධනා කරාවි යැයි ඔහුට හිතෙනවා.

ඔහු එසේ තනිය මකා ගැනීමට කවුරු හෝ කතාකළොත් එයට එපා නොකියන ලෙස ඇයට කියන්නේ ඇය පිළිබඳ අනුකම්පාවෙන්.

තමාට දැකිය නොහැකි හන්තානට පායන සඳ ඇයට දැකිය හැකි බව පවසන ඔහු එය නොබලා නොසිටින ලෙස ඇයට කියන්නේ ඉතා සංයමයෙන් හා හිත පිරි අනුකම්පාවෙන්.

”හන්තානෙට පායන හඳ
ලස්සන දැයි කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය බලන්න”

තමාට දැකිය නොහැකි වුවත් පෙම්වතියට එය බලන ලෙස ඔහු කියනවා.

ඇයට අවශ්‍යය නම් අලුත් පෙම්වතකු සොයාගන්නා ලෙසයි ඔහු ඇයට කියන්නේ.

”ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න”


ධම්මික බණ්ඩාර


විශාරද ඩෙනිස්ටර් පෙරේරා


අමරසිරි පීරිස්

ඔහු තමා පිළිබඳව අමතක කර වෙනත් පෙ‍්‍ර්මයකට අහක නොබලන ලෙස ඇයට කියනවා.මෙය හිත හදාගෙන පෙම්වතියට අනුකම්පා කරන පෙ‍්‍ර්මවන්තයකුගේ පුරාවෘත්තයක්.මේ ගීතය මා ලියා වසර එකොළහක් ගෙවී යනවා. ගායනා කර අවුරුදු ගණනක් වෙනවා.මේ ගීතය සංගීතවත් කළ ඩෙනිස්ටර් පෙරේරා නම් සංගීතඥයා කරළියට ආවේ මේ ගීතයෙන්. ඔහු පොල්ගොල්ල පිරිවෙනේ සංගීත උපදේශකවරයා.

අමරසිරි පීරිස් ගායකයා මේ ගීතය ගායනා කරන්නට තෝරාගත්තේ මෙහි කුලුගැන්වෙන අදහස සන්සුන් ලෙස ගායනා කරන්නට ඔහුගේ ගැඹුරු කටහ¼ඬ ඉතා උචිත නිසා. විශාරද ඩෙනිස්ටර් පෙරේරා තාමත් වැඩි කතාබහට ලක් නොවූ දක්ෂ නිර්මාණාත්මක සංගීතඥයෙක්.

ගීතයට ලියූ සන්සුන් සුන්දර වදන් පෙළ හා ඉන් කියැවෙන අදහස සංයමයෙන් යුතු ව ගීතයට ගත් සංගීත විශාරද ඩෙනිස්ටර් පෙරේරා සමඟ ගීතයේ සංගීත නිර්මාණය පිළිබඳ ව මම කතා බහ කළෙමි.

”මේ ගීතයේ වදන් පෙළ බැලූ බැල්මට සුන්දරයි. එහෙත් ගීතයකට තාලයකට ගයන්නට පුළුවන් දැයි සැක සහිත වදන් පෙළක්. ඒ වුණත් එහි ගැබ්වුණු අපූරු අදහස මා ඉදිරියේ විසල් මල් රුකක් සේ මට පෙනුණා. මට ඒ මල් රුක ලස්සනට සරසන්නට අවශ්‍ය වුණා.

ගීතයේ අදහස හරි අපූරු එකක්. මින් පෙර නොකියැවුණු අදහසක්. මේ ගීතයට රාගධාරි තනුවක් එතරම් උචිත නැතැයි මට සිතුණා. ඒ නිසා බටහිර සංගීතයේ ආභාසය මා ලබාගත්තා. ඊට 3-4 රිද්මය යොදාගත්තා. Walz රිද්මයෙන් සංගීත සංයෝජනය කළා.

හන්තානේ කන්ද හරි සුන්දර ස්ථානයක්. ඒ ගැන මතක් වන විටත් ඇතිවන්නේ සුන්දර පෙ‍්‍ර්මාලිප්ත හැඟීමක්. ඒ සුන්දරත්වයට ශ‍්‍රාවකයා සංවේදී කළ යුතු නිසා මා ‘සෙක්සෆෝන්’ හඬ බෙහෙවින් යොදාගත්තා.

අනික මෙහි කියැවෙන පෙ‍්‍ර්මය හරි ම අහිංසකයි. මේ පෙ‍්‍ර්මය අහිමි වුණත් එය කිසිදිනක වෛරයකට පෙරළෙන එකක් නොවෙයි. ඔහු සිය පෙම්වතිය තමා අතහැර වෙන්වී ගිය දිනෙක වුවත් ඇයට සුභාශිංසනය කරන්නට මිස වෛර කරන්නට පෙළඹී නැහැ.

ඔහු දුක්වෙන්නෙත් නැහැ. බොහොම සන්සුන් විදිහට උපේක්ෂාසහගත ව හිතන කෙනකු ඒ තරුණයාගේ හිතේ සන්සුන් බව කියන්නට අවශ්‍ය නිසා මා”C major cord” යොදාගත්තා. ළං ළං ස්වර නොයොදා දුර දුර ස්වර යොදාගත්තේ ගීතයෙන් සතුටක් ජනිත කිරීම අවශ්‍ය නිසා.

රසය වැඩි කිරීමට ලීඩ් ගිටාරය වැඩි වැඩියෙන් භාවිතා කළා.

මේ ගීතයට උචිත ම ගායකයා අමරසිරි පීරිස්. ඔහුගේ ගැඹුරු ලයාන්විත හඬ, යථාර්ථ ස්වරූපී ගායන ශෛලිය මේ ගීතයට සුදුසුම හැඩයයි. ඔහුට ගායනයේදී විශාල පරාසයක ගායනා කරන්න පුළුවනි. හෙ¾ඩ් ගාම්භීර ප‍්‍රකාශනයක් තියෙනවා. ඒකට මං කියන්නේ ‘මනුෂ්‍යත්වයේ හඬ’ (Sound of the Humanity)කියලා මා ඒ හඩින් මේ ගීතයේ දී උපරිම පල නෙළාගත්තා.

ඒ සංගීතවේදී විශාරද ඩෙනිස්ටර් පෙරේරා ය. මා දැනගත් පරිදි ඔහුගේ පියා වන සංගීතඥ කේ.ඩී.ඇස්.පෙරේරා රෝහණ වීරසිංහයන්ගේ පළමුවන සංගීත ගුරුවරයා. වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ දී රෝහණ වීරසිංහට සංගීතයේ මුල් පොත කියාදුන්නේ ඔහු ය.

ගීතයේ ආත්මය බඳු ගායකයා අමරසිරි පීරිස් සමඟ මට කතාකරන්නට ලැබුණේ ඉන් අනතුරුව ය.

”හන්තානෙට පායන හඳ නම් වූ මේ ගීතයෙන් කියැවෙන්නේ සරසවි ජීවිතයේ පෙ‍්‍ර්ම වෘත්තාන්තයක්. එහෙත් අප අසා පුරුදු වෙනත් ගීතවලට වඩා වෙනස් වූ ආකෘතියක් මෙහි තියෙන්නේ. බොහෝ ගීතවල කියැවෙන සරසවි පෙම්පුවත් සරසවිය ඇතුළෙ ම අයගේ පෙ‍්‍ර්ම වෘත්තාන්ත. එහෙත් මෙහි පෙම්වතා සරසවියට සම්බන්ධ අයෙකු නොවේ. මා මේ ගීතයේ දුටු අපූර්වත්වය එයයි.

ගීතය ගායනා කිරීමේ දී වචනවලට උචිත තනුවක් ලැබීම මට රුකුලක් වුණා. මෙය සාම්ප‍්‍රදායික ගීත පදමාලාවක් නොවෙයි. පෙම්වතිය ගැන පෙම්වතාගේ සිතේ ඇතිවන කුකුස ඉතා සංයමයෙන් යුතුව ප‍්‍රකාශ කර තියෙනවා. මා මේ ගීතයට කැමැති ඒ නිසයි. විශේෂයෙන් ම මේ ගීතය භාව ප‍්‍රකාශනාත්මක ගීතයක්. ගීතයේ පදමාලාව වචන සංකලනය විශේෂිත ස්වරූපයක් ගන්නවා. සංසුන් එහෙත් භාව ප‍්‍රකාශනය වන වචන පෙළක් මෙහි ගැබ් වී තියෙනවා. ඝෝෂාකාරී සංගීතයකින් තොරව ගායනා කළ හැකි ලෙස ගීතයේ තනුව යෙදීමත් මෙහි භාව උද්දීපනයට හේතුවක්.

ගීතයේ ආත්මයට උචිත ලෙස සංගීත භාණ්ඩ හා සංගීත සංයෝජනය යොදාගෙන තිබීම ගීතය ගායනා කිරීමට මට පහසුවක් වුණා.

ගිටාරය හා සෙක්සෆෝනය ඉතාමත් ම උචිත පරිදි උචිත ස්ථානවලට යෙදීම සංගීතඥ ඩෙනිස්ටර් පෙරේරා ගේ දක්ෂකමක්. ඔහු සංගීත භාණ්ඩ රාශියක් යොදාගෙන නැහැ. ගීතයේ අර්ථය කුලුගැන්වෙන පරිදි භාණ්ඩ ඉතා අඩුවෙන් පරිහරණය කරගෙන තිබෙනවා.

ඉතා කෙටි යෙදුම්වලින් විශාල ගැඹුරු අරුතක් මෙහි කියැවෙන අතර සංගීත භාණ්ඩ කීපයකින් අර්ථවත් සංගීතයක් නිර්මාණය කොට තිබෙනවා.”

”ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න”

මෙවන් ආත්ම පරිත්‍යාගයෙන් යුත් පෙ‍්‍ර්මවන්තයින් ඉතා විරල ලෝකයක මෙලෙස අර්ථපූර්ණ වචන ටිකකින් අඩු සංගීත සංකලනයකින් භාවපූර්ණ ලෙස ගායනා වූ ගීතත් ඉතා විරල බව කිව යුතුය.