මිනිස් කටහඬ නැති ව ගොස්කවිය හුදෙකලා සිතුම් ලොවක් වේ ද?
  මිනිස් කටහඬ නැති ව ගොස්කවිය හුදෙකලා සිතුම් ලොවක් වේ ද?  

දශක හතරක් තිස්සේ අඛණ්ඩ ව කාව්‍ය ක්ෂේත‍්‍රයේ රැඳී සිටි පරාක‍්‍රම කොඩිතුවක්කු සහ බුද්ධදාස ගලප්පත්ති යන ප‍්‍රවීණ කිවිවරුන් දෙදෙන කවිය බඳු සියුම් කලාවක් සමඟ එක දිගට ම දශක හතරක් රැඳී සිටීම ම ඔවුන් ජාතියේ ගෞරවාදරයට පාත‍්‍ර වීමට හේතු වේ.

 එහෙත් ඔවුන් ගේ කාව්‍ය කෘති දෙක එළිදැක්වීම අරබයා මාධ්‍ය හරහා සිදුවූ කථෝපකථනයන් නම් සිංහල කවියේ අනාගත අභිවෘද්ධිය පතා ලබා ගත් මනා ශාස්තී‍්‍රය ප‍්‍රවේශයක් ලෙස සැලැකීම අසීරු ය. විශේෂයෙන් ම අප ගේ ජ්‍යෙෂ්ඨතම කිවිවරයකු වන පරාක‍්‍රම කොඩිතුවක්කු විසින් දක්වන ලද අදහස් අතිශයින් ම විවාදයට තුඩු දෙන බව අමුතුවෙන් කිය යුතු නො වේ.

පරාක‍්‍රම කොඩිතුවක්කු

කිවිවර ගුණදාස අමරසේකරයන් වර්තමානයේ සිංහල කවියක් නැතැයි ද්වේශ සහගත ප‍්‍රකාශ කරමින් සිටින අතරතුර, පරාක‍්‍රම කොඩිතුවක්කු වැනි පැසුණු කවියකු ද භාවාතිශය ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම අපේ කවියේ අනාගතය කෙරෙහි අසුබ ලෙස බලපානවාට කිසිදු සැකයක් නැත.

මේ හේතුවෙන් ම අද දවසේ අපට කවිය පිළිබඳව ශාස්තී‍්‍රය සංවාදයක අවශ්‍යතා දැඩි ව පැන නැඟේ. ඒ සංවාදය ද්වේශයෙන්, භාවාතිශය බවින්, පුද්ගල කේන්ද්‍රීය බවින් මිදුණු තරමට ම කවියට සිදුවන යහපත වැඩිවනු නො අනුමාන ය.

පරාක‍්‍රම කවියා එක් පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවක දී දැක්වූ අදහස් කීපයක් මෙබඳු ය.

. ජන සාධකය කොළඹ කවියේ ප‍්‍රධාන පෝෂණ පදාර්ථය වූයේ එදා කවීන් තුළ සමාජය ගැන යම් සිතීමක් පැවති නිසයි.

. නිදහසින් පසු අඩ සියවසක් තුළ ම සිද්ධ වුණේ දේශපාලන පිල් වියරුවට හසු වී අප සමාජයේ බුද්ධි මන්දිරය කඩා වැටීමයි. අපේ කලාකරුවන්, ලේඛකයන්, කවීන්, නාට්‍යකරුවන්, මාධ්‍යකරුවන්, විශ්වවිද්‍යාලයීය ඇදුරන් බහුතරය සිතන්නට බැරි පුස්සන් පිරිසක් බවට පත්වූයේ එහි විපාක වශයෙනි.

. මේ කවීන් දෙදෙනා (රණවීර - නන්දන) තුළ ඇත්තේ විශිෂ්ට කවි ශක්තියක්. ඔවුන් ගේ ලිවීමේ ඇතැම් ප‍්‍රවණතාවලට මා රුචි කරන්නේ නැහැ. ආරියවංශ රණවීර ස්වභාව ධර්මය සමඟ කරන සංවාදය සංවේදී එහෙත් රස සමාහිත නොවන කථනයක් නොවන බවයි මගේ අවංක හැඟීම.

මේ දෙදෙනාම සොබාදහම ආශ‍්‍රය භූමි කොට ගෙන වචන සංකල්ප විතර්ක කවිය බවට පරිවර්තනය වී නැති නිසා බොහෝ රචනාවල හොඳ කවියක ඇති චලනය, නාටකීය භාවය ඇත්තේ නැහැ. රණවීර ගේ හැම පොතක ම නීරස ප‍්‍රකාශන අතරේ පුදුම සහගත නිර්මාණ තිබෙනවා.

 කෙටි කාව්‍ය රීතිවල දී මේ දෙදෙනා ම නොමඟ යනවා. මේ කවි මූලික වශයෙන් ගස්, ගල්, තණ හෝ, පිනිබිඳු, මැඩියන්, වලාකුළුවලට කතා කරන කවි. මේ මොහොතේ ඇවිලෙන සමාජාත්මය මිනිස් කටහඬ නැති වී ගිය විට කවිය හුදෙකලා සිතුම් ලොවක් බවට පත්වෙනවා.

උත්තම සාහිත්‍ය නිර්මාණයක සමාජ සාරයක්, ජීවිත සාරයක් තිබෙනවා. එහෙත් අපට මේ කවීන්ට සීමා පනවන්න බැහැ. තම මහාර්ඝ පෑන මිනිසුන් වෙත යොමු කරන්නැයි අපට ගෞරවයෙන් ඉල්ලා සිටිය හැකියි.

ඉහතින් දැක්වූ කරුණු අතර සඳහන් වන පළමු වැන්න ගුණදාස අමරසේකරයන් ‘අමල් බිසෝ’ (තුන්වන මුද්‍රණයට) සංග‍්‍රහ කරන සිංහල කාව්‍ය සම්ප‍්‍රදායය හා ජනකවිය යන ලිපියේ එන මතු දැක්වෙන අදහසට ගැලැපෙන්නකි.

“අප ගේ මේ කාව්‍ය සම්ප‍්‍රදාය පොදුජන රසඥතාවය පදනම් කරගත් සම්ප‍්‍රදායක් වන අතර, එය විදග්ධයන් සුළු පිරිසක ගේ රසඥතාවය පදනම් කර ගත්තක් නොවේ.” (අමල් බිසෝ - 3 වන මුද්‍රණය - 12 පිටුව)

ආරියවංශ රණවීර

කවිය පොදු ජනතාවගේ රසවින්දනයට ගෝචර කලා මාධ්‍යයක් විය යුතු බව මේ ප‍්‍රකාශද්වය යෙන් ම ගම්‍ය මාන වේ. එබඳු පදනමක සිට ශාස්තී‍්‍රය ප‍්‍රවේශයකින් කවිය පිළිබඳ ව පුළුල් සාකච්ඡාවකට මුල පිරීමට අපට එරෙහි විය නො හැකි ය.

එහෙත් මේවා මුද්‍රා තැබූ අවසාන නිගමන ලෙස හුවා දැක්වීම කොතරම් යුක්ති යුක්ත ද යන්න යළි මෙනෙහි කර බැලිය යුත්තකි. අමරසේකරයන් නම් සිය ආස්ථානය පැහැදිලි කිරීම අරබයා පුළුල් තාර්කික ප‍්‍රවේශයක් ගොඩනැඟීමට වෙහෙසෙන බව පෙනේ.

අමල් බිසෝ කාව්‍ය සංග‍්‍රහයේ එන ලිපිය මතු නො ව, සිංහල කාව්‍ය සම්ප‍්‍රදාය නමැති කෘතියත්, අසක්දා කව කෘතියෙහි ලිපියත් ඒ සඳහා දෙස් දෙයි. අප එකඟ වුව ද නො වූ ව ද මේ ප‍්‍රවේශය ලඝු කොට තැකිය හැකි නො වේ. එහෙත් පරාක‍්‍රමයන් සිය ලිපිවල දී හෝ දේශනවල දී මෙබඳු ප‍්‍රවේශයක් වෙත එළැඹෙන්නට වෑයම් කරන බවක් නොපෙනේ. අද දවසේ සිංහල කවිය ප‍්‍රශස්ත තලයකට ඔසවා තැබීම සඳහා කැරෙන අරුත්සරු නිර්භය ප‍්‍රවේශයක් දක්නට ලැබේ.

ඒ ප‍්‍රවේශය වඩාත් තියුණු ලෙස අප ගේ අවධානයට ලක් කළ කවියා ආරියවංශ රණවීර ය. රණවීර සිය කාව්‍ය භාවිතයේ දී මතු නො ව ඔහු ගේ විචාර ලිපි කෙරෙන් ද මේ බව සනාථ කරයි. “ඇමරිකානු කවියට පෙර වදනක්” “සංස්කෘතිය හා ගොඩ්සිල්ලාකරණය” යන කෘතින් හි දී ඔහු මේ ප‍්‍රවේශය ලබා ගෙන තිබේ.

 එසේ ම ආනන්දවර්ධන ගේ ධ්වනිවාදය ඇසුරින් සිංහල කවිය පිළිබඳ සියුම් විමංසනයක් සඳහා ඇරෙන ප‍්‍රවේශයක් වර්තමානයේ දැක්ක හැකි ය. එය සිංහල කවිය ගුරුකුලයකට කොටු කිරීමක් ලෙස ලඝු කොට දැක්වීම බුද්ධි ගෝචර ද යන්න යළි සිතා බැලිය යුතු ය.

ආරියවංශ රණවීර සිය කතිකාවේ දී රූපක හා චිත්තරූපවාදී ගුණය සිංහල කවිය ප‍්‍රශස්ත තලයකට ඔසවා තැබීමට යොදා ගත හැකි අයුරු සාකච්ඡා කරයි. එලියට්, එස්රා පවුන්ඩ්, රොබට් ෆ්‍රොස්ට් වැනි බටහිර කවීන් ගෙන් නිදර්ශන සපයමින් කරනු ලබන මේ සාකච්ඡාව සිංහල කවිය බටහිර අනුකරණයක් ලෙස ගොඩ නැඟීමට දරන තැතක් ලෙස හඳුනා ගත යුතු ද? සංගීතයට මෙන් ම කවියට ද විශ්ව සාධාරණ ගුණාංග නොමැත්තේ ද? රණවීර සහ නන්දන ඔවුන් ගේ කාව්‍ය භාවිතයේ දී ඉතා තියුණු ලෙස කවර හෝ විදේශීය සම්ප‍්‍රදායයක ආභාසය ලබා ගැනීම කවර වරදක් ද? එක් කාව්‍ය සම්ප‍්‍රදායයක් තවත් කාව්‍ය සම්ප‍්‍රදායයකින් පෝෂණය වීම හෙළා දැකිය යුතු ද? ජී.බී. සේනානායකයන් ගේ මතු දැක්වෙන අදහසට සාවධාන ව සවන් දීම මැනවැ යි සිතේ.

“සම්ප‍්‍රදායයක් වෙනස් වන විට එහි පදනම වෙනස් විය හැකි ය. එහෙයින් දීර්ඝ කාලයක් වෙනස් වූ සම්ප‍්‍රදායයක් එහි පැරැණි අවස්ථාව හා සම කරන විට, එය අලුත් සම්ප‍්‍රදායයක් ලෙස සැලකිය යුතු වෙයි. මෙසේ ටිකින් ටික වෙනස් නොවී ද අලුත් සම්ප‍්‍රදායයක් ඇති විය හැකි ය.

එය සිදුවන්නේ කිසි සාහිත්‍ය කාරයකු අලුත් සම්ප‍්‍රදායයක් නිපදවන්ට කළ උත්සහයක ප‍්‍රතිඵලයක් වශයෙන් නොවේ. කවීන් සමූහයකට වුව ද එකවර අලුත් සම්ප‍්‍රදායයක් පහළ කළ නොහෙයි, ඔවුන්ට කළ හැක්කේ පෙර සිට තමන් අතර පැවත එන සම්ප‍්‍රදායයක් වෙනස් කිරීම ය. පෙර නොතිබුණු සම්ප‍්‍රදායයක් එක් වර පහළ විය හැක්කේ.

 කිසි විදේශික සම්ප‍්‍රදායයක් සාහිත්‍ය කාරයන් විසින් අනුගමනය කරන කල ය. විදේශික සම්ප‍්‍රදායයක් සාර්ථක ලෙස අනුගමනය කිරීමට නම්, එය සාහිත්‍ය කාරයන් විසින් තමන් ගේ පැරණි සම්ප‍්‍රදායය හා සම්බන්ධ කොට සකස් කර ගත යුතු ය. මෙය සම්පූර්ණයෙන් අලුත් සම්ප‍්‍රදායයක් ඇති කිරීමකි; නැතිනම් ඊට සමාන කාරියකි. සාහිත්‍ය සම්ප‍්‍රදායයක සුළු වෙනස්වීම් ඇති වන්ට ද විදේශික සාහිත්‍යයක් හේතු විය හැකි ය.

 ඇතැම් විටක කිසි සාහිත්‍යයක් අනිත් රටක සාහිත්‍යය කෙරෙහි ආධිපත්‍යයක් ඇති කර ගනියි. එවිට ආධිපත්‍යයට යටත් වන සාහිත්‍යය ඒ අධිපති සාහිත්‍යයේ සම්ප‍්‍රදායයන් අනුගමනය කරයි. පැරැණි සිංහල කවීහු සංස්කෘත කාව්‍ය සම්ප‍්‍රදායය අනුගමනය කළහ. එහෙයින් පැරැණි සිංහල කාව්‍ය විවේචනය කරන විචාරකයා සංස්කෘත කාව්‍ය සම්ප‍්‍රදායයෙහි සැටි දත යුතු ය.

 පැරැණි සිංහල ගද්‍ය සාහිත්‍යය කෙරෙහි පාලි ගද්‍ය සාහිත්‍ය බල පෑවේය; එහෙයින් පැරැණි සිංහල ගද්‍ය සාහිත්‍ය විවේචනය කරන්නා පාලි ගද්‍ය සාහිත්‍ය දත යුතු ය. නවීන සිංහල සාහිත්‍ය කෙරෙහි බටහිර සාහිත්‍යය බලපායි; එහෙයින් නවීන සිංහල සාහිත්‍යය විවේචනය කරන්නා බටහිර සාහිත්‍යය දත යුතු ය.

 කිසි සාහිත්‍යයක් වෙනත් සාහිත්‍යයක් නිසා වෙනස් වුණු අයුරු නොදැන ඒ සාහිත්‍යයෙහි කවීන් ගේ ප‍්‍රතිභාව හැඩ ගැසුණු සැටි විචාරකයාට වටහා ගත නොහැකි ය.”

(විචාර ප‍්‍රවේශය - ජී.බී. සේනානායක) පෙර කී කවීන් දෙදෙන ගේ කාව්‍ය භාවිතය විමසන්නකුට මේ අදහස් ඉතා වැදගත් යැයි හැඟේ. ඔවුන් ගේ කවිය විදේශීය කාව්‍ය ඇසුරෙන්, කාව්‍ය විචාර සිද්ධාන්ත ඇසුරෙන් ලබන පෝෂණය විචාරකයන් විසින් තුලනාත්මක විමැසුමකට ලක් කළ යුතු ය.

 අනෙක් අතට ඔවුන් දෙදෙන ගේ උත්සාහය හුදු විදේශීය කාව්‍ය සම්ප‍්‍රදායයන් ගෙන් පෝෂණය ලැබීමක් පමණක් ම ද? සීගිරි කුරුටු ගී සහ ඉන් ඔබ්බෙහි වූ අපේ ම කවියක මේ ලක්ෂණ විද්‍යමාන ව පැවැතුණු බව ද අප අමතක කළ යුතු නැත. අමල් බිසෝ තෙවන මුද්‍රණයට අමරසේකරයන් දක් වන මේ අදහස් සැලැකුව මනා ය.

“සීගිරි ගී ප‍්‍රදර්ශනය කරන ඒ සම්ප‍්‍රදායානුකූල කවි බස උපමාරූපක කවි චින්තා සීගිරි ගීයට පෙර අප අතර පැවති ශ්‍රේෂ්ඨ කවි සමයක නෂ්ටාවශේෂ වශයෙන් සැලකිය හැකි යැයි මම සිතමි.”

(අමල් බිසෝ - තෙවන මුද්‍රණය)

මෙබඳු පුළුල් විචාර දෘෂ්ටියකින් රණවීරගේ සහ නන්දනගේ කවි මඟ විමසන්නකුට ඒවා වලාකුළු, ඉර, හඳ, තරු, මැඩියන්ට කරනු ලබන ආමන්ත‍්‍රණයක් ලෙස නො පෙනෙනු ඇත. ඒවා සීරුවෙන් පරිහරණය කරන්නකුට ඒ වෙතින් වත්මන් සමාජ පිළිබිඹුව දැක ගැනීමට නො හැකි යැයි පැවසීම සත්‍යයට කිට්ටු වන්නක් නො වේ. ඒ කවි අතර නිශේධනීය ලක්ෂණ තිබිය නො හැකි යැයි අපි නො කියමු. එහෙත් ඒවා පෙන්නා දිය යුත්තේ ශාස්තී‍්‍රය පදනමක පිහිටා ය.

මෙසේ වර්තමාන සිංහල කවිය පෝෂණය කළ හැකි විවිධ උපාය උපක‍්‍රම අනුදැන ඒ ඔස්සේ අභ්‍යාසයෙහි යෙදෙන තරුණ කවි පරපුරක් අපට ඇත. ආලෝක මිනිසා මඟින් විමල් දිසානායකට ඇමැතූ පරාක‍්‍රම, සංසාරෙට මං ආසයි කෙරෙන් සිරි ගුණසිංහ සොයා යයි.

 එහෙත් මේ ජ්‍යෙෂ්ඨ කිවිවරයා මීට වඩා මැදහත් සිතින් වත්මන් තරුණ කවි පරපුර වෙත සිය දයා ඇස යොමු කළ යුතු ව ඇත. එහෙත් මෑතක දී පුවත්පතකට “පෙ‍්‍ර්මයේ රුසිරු කැටයම” යන හිසින් ඔහු ලියූ ලිපියක් දැක මම මවිතයට පත්වීමි.

ඔහුට අනුව සමන්ත හේරත්, ලක්ෂාන්ත අතුකෝරල සහ සුධර්මා සුභාෂිණී සිංහල කවියේ නවදැල්ල ලෙස සැලැකිය යුතු ය. මොවුන් කවි කිවිඳියන් ලෙස සැලැකීමට අපි එරෙහි නො වෙමු. එහෙත් මහත් වෙර වීරියෙන් විවිධ අභ්‍යාසයන් හි නිරත වන කිත්සිරි කොතලාවල, රංජිත් මල්ලියාවඩු, අනිල් නිශාන්ත ලොකු ගමරාල, තනූජා ධර්මපාල, ප‍්‍රදීප් සාරංග කුමාර, ගැමුණු පී. දසනායක, ඉසුරු ප‍්‍රසංග, රණතුංග මල්ලවාරච්ච ආදී කවි කිවිඳියන් අතරින් මේ තිදෙන පමණක් නවදැල්ල ලෙස සැලැකීමට තරම් ඉමහත් ප‍්‍රතිභාවත් ඔවුන් පළ කොට ඇද්ද? යන්න යළි සිතා බැලිය යුත්තකි.

 මතු දැක්වෙන්නේ නව පරපුරේ ප‍්‍රතිභාපූර්ණ කවීන් දෙදෙනකු ගේ රචනා ය. ඒ ඔවුන් ගේ විපුල උත්සාහයට උපහාර පිණිස ය. “ටොපි හදන පැක්ටරිය” යන හිසින් යුතු මේ කවිය ගැමුණු පී. දසනායක කවියා ගේ නිමැවුමකි.

“පුතුනි අර
උස ම උස
බිල්ඩිම
රස කැවිලි
වෙළෙන්දෙකි
කිරිපැණි තැටිය ද
ස්ටාර් ටොපි පිරි
බන්දේසිය ද
හිස තබාගෙන
සිටින
පඩි නැති වන්
ගෙදර එන
මගෙ
සාක්කු පතුල
අවුස්සා
ටොපියක් සොයන
නුඹ
දැක දැකත්
හිස පාත් නොකරන”

(උපුටා ගැනීම - සිළුමිණ කවිතා ලතා)

විසල් නිෂ්පාදනයක යෙදෙන කර්මාන්ත කරුවන් අහිංසක දුගී දරු දැරියන් ගේ අවශ්‍යතාවන්ට සංවේදී නොවන අයුරු ගැමුණු අප ගේ අවධානයට ලක් කරන්නේ රූපකාර්ථවත් බසක හැඩතල කෙතරම් ආස්වාදජනක දැ යි පෙන්නා දෙමින් නො වේ ද?

ප‍්‍රදීප් සාරංග කුමාර නම් නව පරපුරේ ප‍්‍රතිභාපූර්ණ කවියා ගේ මතු දැක්වෙන රචනය බලනු මැනව.

පිළිරුව
ඈත සිට පැමිණියෙමි
ඔබේ කුටියේ රන් පිළිමය බලන්නට
දුටුවෙමි මායාවක් විලස ඈතට
එහි ගන රැස් කඳ විහිද යනු ඉහළට

ඔබේ නිවසට පැමිණ
කුටියට ඇතුළු ව
රැඳී ඉන්නෙමි ඔබ අබියස

රන් රුවක් වෙනුවට
හිඳියි ඔබ දිරාපත් පිළිමයක් අතැති ව
මා ඉදිරිපිට දී කඩා හැළෙතැ යි බියෙන්
තදින් අල්ලා ගෙන”

(සාරංග ගේ කුසුමක් හා සුසුමක් කාව්‍ය සංග‍්‍රහයෙනි)

සැබැවින් ම රූපාකාර්ථවත් බස ඇසුරින් අප ඉදිරියට ප‍්‍රදීප් සාරංග කැඳවන මේ පිළිරුව ඇතැම් ප‍්‍රවීණයන් ගේ රූපයක් ම යැයි සිතන්නට අප පොලඹවාලන්නේ නො වේ ද?

යට දක්වන ලද අදහස් අපේ කාව්‍යයේ අභිවර්ධනයට මහත් කැපවීමක් කළ ප‍්‍රවීණයකු ලඝු කොට තකන්නට දැක්වූ බොළඳ උත්සාහයක් ලෙස කෙනෙකුට පෙනෙන්නට ඉඩ ඇත. එහෙත් මේ අදහස් කවිය පිළිබඳ ව විමැසිල්ලෙන් සිටින රසිකයකු ලෙස මා තුළ හටගත් අවංක හැඟීම් ලෙස දක්වනු කැමැත්තෙමි.