ලන්ඩන් නුවර උත්සව ශ‍්‍රීයෙන් ඇලැළෙයි
| |
ලන්ඩන් නුවර උත්සව ශ‍්‍රීයෙන් ඇලැළෙයි |
|

අජන්ත ගමආරච්චි

මහාචාර්ය ගුණපාල
මලලසේකරයන් ගේ
දිවිමඟ තතු පෙළගැස්ම |
සර්වඥධාතු ප‍්‍රදර්ශනය කිරීමේ අපූර්ව
සංස්කෘතික සංදර්ශණය ගැන ලන්ඩනය, සමස්ත
එංගලන්තය පුරා පමණක් නො ව ලොව බෞද්ධ රටවල මෙන්
ම ලෝකයේ අලුතෙන් ම බුදු දහම පැතිරෙමින් ඇති
රටවල ද මහත් සේ ප‍්‍රචාරයට ලක්වී තිබිණි.
මලලසේකර බලාපොරොත්තු වූ පරිදි සර්වඥධාතුන්
වහන්සේ වැඩමවා ගෙන යෑම සඳහා සිරිමාවෝ
බණ්ඩාරනායක මැතිනිය ද නිසි වේලාව බලා ලන්ඩනයට
සැපත් වූවා ය.
මෙයත් ලන්ඩන් වැසියන් ගේ අමන්දානන්දයට හේතුවක්
ම විය. ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය දැක ගැනීමේ
දුර්ලභ අවස්ථාව ද ඔවුනට උදාවිය. මැතිනිය
සුපුරුදු පරිදි උඩරට ඔසරියකින් සැරැසී ලන්ඩන්
අගනුවරට පැමිණියා ය. එතැන සියල්ලක් ම පිළියෙල
වී තිබුණේ සිංහල විදියට ය.
උඩ, පහත දෙරට බෙර වාදක කණ්ඩායම්, වෙස් නැටුම්,
පහතරට නැටුම්, සබරගමු නැටුම්, ජයමංගල ගාථා යන
සියල්ලක් ම මැතිනිය පිළිගැනීම සඳහා මලලසේකර
කල් ඇති ව ම පිළියෙල කර තිබිණි.
මේවා දැකීමෙන් එංගලන්තවාසීහු මෙතැන මේ තරම්
අපූරු සුන්දරත්වයක් ඇත්නම් ශ‍්‍රී ලංකාවේ
මොනතරම් සුන්දරත්වයක් ඇත් දැයි නිකමට සිතූහ.
ඔව්හු ඇසිපිය නොහෙළා ඒ දෙස බලා සිටියා විනා
මුවින් නොබිනූහ.
මැතිනිය ලන්ඩනයට සැපත්වූ වහා ම ඉදිරියට
පැමිණියේ මහ රැජන ගේ විශේෂ නියෝජිතයා ය. ඔහු
මැතිනිය ඉදිරියට ගොස් හිස නමා අතට අත දීමට
මැතිනියට අත දිගු කළ විට මැතිනිය කළේ දෑත්
නෙළුම් පොට්ටුවක් මෙන් එකට එක්කර පෙරදිග
සිිරිතට අනුව ආචාර කිරීම් ය.
මේ අපූරු පිළිවෙතින් රැජන ගේ නියෝජිතයා මහත්
මවිතයට පත්විය. ඔහු සමීපයට ගිය අපේ මලලසේකර
පෙරදිග සිරිතට අනුව කෙනෙකුට ආචාර කරන උසස් ම
විධිය එය බව පෙන්වා දුන්නේ ය.
මෙයින් ඉතාමත් සතුටට පත් රැජනගේ නියෝජිතයා ද
තමා දන්නා තරමින් උත්සාහ ගෙන දොහොත් එකට එක්කර
මැතිනියට ආචාර කෙළේ ය. සතුටට පත් මැතිනිය
පෙරදිග සිරිතට අනුව ආචාර කිරීමෙන් අනතුරු ව මහ
රැජනට කරන ගෞරවයක් වශයෙන් යළි රැජිනගේ විශේෂ
නියෝජිතයාට අතට අත දුන්නා ය.
“පෙරදිග සිරිතට ආචාර කර යළිත් වරක් අපේ සිරිතට
අනුව අතට අත දුන්නේ ඇයි දැයි රැජන ගේ
නියෝජිතයා ආපසු බලමින් මලලසේකර ගෙන් ඇසූයේ
සතුටු සිනාවක් මුවඟට නඟා ගනිමිනි.
“අපේ මැතිනිය අපේ පෙරදිග සිරිත් විරිත්වලට වගේ
ම ඔබේ සිරිත් විරිත්වලටත් ගරු කරන ශ්‍රේෂ්ඨ
කාන්තාවක්” යැයි මලලසේකර කියන විට මාත් බොහෝ
ඉක්මනින් ඔබේ සුන්දර ලංකාව බලාගන්න එනවා” යැයි
රැජනගේ නියෝජිතයා පිළිතුරු වශයෙන් කීවේ ය.
මේ වනවිට ලන්ඩන් ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්
ගෙන් මෙන් ම සාමාන්‍ය ලන්ඩන්වාසීන් ගෙන් ද
පිරී ඉතිරී තිබිණි. එක් පෙදෙසක් කසාවතින්
බැබැළිණිි.
මෙය ලන්ඩන්වාසීන්ට ඉතා සුන්දර මනස්කාන්ත, සිත්
සනසාලන අපූරු දසුනක් වූ බව හැඟී ගියේ ඔවුන්
කසාවතින් බැබලෙන දිසාව දෙස බොහෝ වේලාවක් ඇසි
පිය නොහෙළා බලා සිටිනු දැකීමෙනි.
විවිධ ආගමික නායකයෝ මේ අරුම සිද්ධිය බලා
ගැනීමට පුල පුලා හිස් ඔසවමින් බලා සිටියහ. එක්
පැත්තක කැන්ටබරියේ ආච්බිෂොප් ප‍්‍රමුඛ සියලු ම
කි‍්‍රස්තියානි නිකායවල සිය ගුණයක් පෙළ ගැසී
සිටියහ.
එපමණක් ද නො ව, යුදෙව් ආගමේ සියලු ම නිකායවල
වැදගත් පියතුමන්ලා තවත් පසෙක වූහ. ඔවුහු මේ වන
තෙක් මෙවැනි සර්වඥ ධාතුන් වහන්සේ නමක් තබා කහ
සිවුරක් පවා නොදුටු අය වූහ. මොවුන් එක ම තැනකට
ගෙන්වා, ලංකාවේ අභිමානයත් බුදු දහමේ
ශ්‍රේෂ්ඨත්වයක් ප‍්‍රදර්ශනය කරවීම සඳහා
මලලසේකර කළ උත්සාහය සිය ගුණයෙන් වැඩි වී
තිබිණි.
මේ අවස්ථාවට වැඩම කර සිටියේ ලංකාවේ ථෙරවාද
භික්ෂුන් වහන්සේ පමණක් නොවේ.
චීන දේශයෙන්, ටිබෙටයේ ලාමාවරුන්, ජපන්
දේශයෙන්, තායිලන්තයෙන්, බුරුමයෙන්, කොරියාවෙන්
නායක මට්ටමේ හිමිවරු සිය දහස් ගණනක් වැඩම කර
සිටියහ.
ලන්ඩන් ගුවන් තොටුපළේ පමණක් නොව ලන්ඩනය පුරා
ඇති මහ වීථි, කුඩා වීථි හා පටු මංවල පවා බෞද්ධ
ධජ පතාක ඔසවා තිබිණි. සර්වඥ ධාතුන් වහන්සේ
වැඩම වන වීථිය කොළඹ නගරයේ වෙසඟ සිරි පරාජය
කෙළේ ය. රන් රසු දැල් පෙරහර ගමන් මාර්ගයේ
ඉහළින් බැඳ තිබිණි. විදුලි බුබුළුවලින් ඒකාලෝක
කර තිබිණි. හැම තැනම ඇල්බට් එදිරිසිංහ මහතා
යැවූ වෙසක් පහන් ය.
ලංකාවෙන් ගෙන් වූ පොල් තෙල් පහන්වලට පොල් තෙල්
පුරවා වැටි දමා පිළියෙල කළ පහන් වැටවල්, දෙපස
සිරිය තවත් වැඩි කෙළේ ය.
තවත් පසෙක එක් එක් රටින් පැමිණි ගිහි බෞද්ධ
නායකයෝ ය. තවත් පසෙක මුළු ලන්ඩනය පුරා සිටි
එක් එක් රටවල තානාපතිවරු ය.
ඔවුහු වැඩි දෙනෙකු විවිධ ආගමිකයෝ වූහ. මේ
සියල්ලන්ට අවශ්‍ය ආසන, භික්ෂුන්ට ගිලන් පස,
පැමිණි සියලු දෙනට රස ම ලංකා තේ කෝප්පයක් වැනි
දෑ මොහොතින් ලැබීමට තරම් මලලසේකරගේ සංවිධාන
ශක්තිය ප‍්‍රබල විය.
ලන්ඩන් ගුවන් තොටුපළ වෙත සර්වඥ ධාතූන් වහන්සේ
වැඩමවන ගුවන් යානය පැමිණෙත් ම මහත් වූ
සාධුකාරයකින් ලන්ඩන් නගරය ම ගිගුම් දෙන්නට
විය. මුළු දිවියට ම සාධුකාරයක් අසා නොතිබුණු
සුද්දෝ මේ අපූරු සුන්දර ළයාන්විත හඩින්
අමන්දානන්දයට පත් වූහ.
ලන්ඩන් තොටුපළට ගුවන් යානය පැමිණි විගස එතැනට
ගිය මැතිනිය සුදෝසුදු සේද සළුවක් හිස මත
තබාගෙන ධාතු කරඬුව හිස මතට ගත්තා ය. එවිට සෑම
රටකින්ම පැමිණි භික්ෂුන් වහන්සේ සෙත් පිරිත්
සජ්ජායනා කළහ.
මුළු ලන්ඩනය ට ම සෙත් පිරිත් කියූ පළමු දවස එය
විය.
එය ද මලලසේකර ගේ ‘දිවිමංතලාවේ’ තවත් එක්
වැදගත් සටහනකි.
කැන්ටබරියේ ආච් බිෂොප් ගෙන් කි‍්‍රස්තියානි
පූජකවරුන් ගෙන්, යුදෙව් පූජකවරුන් ගෙන්
මලලසේකරට බේරීමක් නැත.
“ඒ මොකක්ද” ඔවුන් ගේ එකම ප‍්‍රශ්නය එය විය.
“එය ඔබේ රටට ශාන්තිය, ලබා දී අපල උපද්‍රව
නැතිකර දැමීමේ මහා බලසම්පන්න පිරිතක්” යැයි
මලලසේකර කියන විට ම කටට නුහුරු වුවත් කලින්
අසා තිබූ සාධු හඬ ඇතැම් සුද්දන් ගේ කටින් පිට
විය.
මේ අවස්ථාවේදී එතැන සිටි මහ සඟරුවන සහ දහස්
ගණන් බෞද්ධයෝ සුවඳ මලින් සර්වඥ ධාතූන් වහන්සේ
පිදූහ.
ලංකාවෙන් විශේෂයෙන් ගෙන්වන ලද සමන් පිච්ච මල්
සලමින් ලංකා යුවතියෝ ධාතූන් වහන්සේ වෙත
උත්තමාචාර දැක්වූහ.
මැතිනියට පෙරටුව ගමන් කළේ මලලසේකර යි.
තව කොටසක් ලබන සතියේ
|