නුවන් නාලක ගේ සිතුවම් දැක්ම
  නුවන් නාලක ගේ සිතුවම් දැක්ම
Portrait of Sri Lanka
 

පසුගිය දෙවසරෙහි ස්වකීය සිතුවම් සඳහා කල්කටා නගරය විෂය කොට ගත් එස්. නුවන් නාලක එහි පෞරාණිකත්වය හා ගෘහ නිර්මාණ ශිල්පය මතු නො ව ජනදිවිය හා සංස්කෘතිය ද තෙලි තුඩින් නිරූපණය කිරීමට ප‍්‍රයත්න දැරී ය.

 කල්කටාව නමැති ජනාධික නගරය, එහි සංකීර්ණත්වය, එහි මොහොතින් මොහොත වෙනස්වන ආලෝකයේ විචිත‍්‍රත්වය සිය සිතුවමින් හසුකොට ගැනීමට නුවන් නාලක සමත් විය.

මෙවර නුවන් කල්කටාවෙන් බැහැර ව, ස්වකීය මවු බිම වන ශී‍්‍ර ලංකාවේ ඉපැරැණි ගෘහ නිර්මාණ, ආගමික සංස්කෘතික පසුබිම, ඒ හා බැඳුණු අපේ සරල ජීවන රටාව සිය සිත්කම් කරා කැඳවයි. “Portrait of Sri Lanka”මෙවර ඔහු ගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයට තබා ඇති නමයි.

දිය සායම් මාධ්‍යයෙන් නිර්මිත මේ සිතුවම් ඇසුරෙන් කළු, රතු සහ දුඹුරු වර්ණ භාවිතයෙන් ආලෝකයේ තීව‍්‍රත්වය මතු කොට ගන්නා අයුරු දැක්ක හැකි ය.

නුවන් ගේ මෙවර සිතුවම් හුදෙක් භූමි දර්ශන නො වේ. නිරන්තර ව වෙනස් වන ආලෝකය මෙන් ම සිය සිත ද පිළිබිඹු කිරීම මෙවර ඔහු ගේ ප‍්‍රයත්නය වෙයි.

සිත සතුටින් පවත්නා විට තමා දිදුලන විචිත‍්‍ර වර්ණ භාවිත කළ බවත්, කලබලකාරී හා ආතතියෙන් යුත් මානසිකත්වයක් පවත්නා කල තමා අඳුරු වර්ණ භාවිත කළ බවත් නුවන් පවසයි. සිය පින්සල් පහරවල් වේගවත් යැයි හැඟෙන මුත්, ඒ ඇසුරෙහි පාලනයක් ඇති බවත් ඔහු අවධාරණය කරයි.

මහනුවර පේරාදෙණිය පාරේ ප‍්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී 18 වන දා ඇරැඹුණු මේ චිත‍්‍ර ප‍්‍රදර්ශනය ලබන 25 වන දා තෙක් පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා නැරැඹිය හැකි ය.