ලෝ පසිඳු සිත්තරු XI
  ලෝ පසිඳු සිත්තරු XI  

ලොරෙන්සෝ ෆයිබර්ට්

ලොරෙන්සෝ ෆයිබර්ට් ෆ්ලෝරන්ස් නුවර නැඟී ආ කලා පුනර්ජීවයට බෙහෙවින් දායක වූ මුල්පෙළේ චිත‍්‍ර ශිල්පියෙකි. මොහු ෆ්ලෝරන්ස් නුවර සිටි රන්කරුවෙකි. ඔහු 1401 දී එනුවර බැප්ටිස්ටි‍්‍ර දෙව් මැදුරේ රන් සහිත ලෝකඩ දොර කට්ටලයක් තනා දීමේ අභියෝගය බාර ගත් අයෙකි.

 මෙහි දී ප‍්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී, ෆ්ලිෂ්පෝ බ‍්‍රනෙලවිෂි සහ මූර්ති ශිල්පී ජැකොපෝ ක්වර්ෂියා පරාජය කරමින් ඒ කාර්යය කිරීම සඳහා සුදුස්සා බවට පත් විය. තෙස්තමේන්තුවේ වන කතා දහයක් තෝරා ඒවා තනිතලයක ති‍්‍රමාණ ලක්ෂණ පෙන්වමින් නිර්මාණය කිරීමට සමත් විය. මෙහි එක් පනේලයක ජොසෆ් ගේ කතාවේ පුවත් හතරක් දර්ශනීය ලෙස ඉදිරිපත් කිරීමට මේ චිත‍්‍ර ශිල්පියාට හැකි විය.

ඔහු 1425 - 29 අතර කාලයේ ඒ දොර කට්ටලයේ උතුරු දොරවල් නිර්මාණය කෙළේ ය. ඔහු ඒ සඳහා භාවිත කළේ ඩොනටෙලෝ නම් ශිල්පියා ගේ පැතැලි ප‍්‍රලම්භතාව (FLAT RELIEF) නම් ශිල්පීය ක‍්‍රමය යි.

මේ දොර කට්ටල කොතරම් උසස් ලෙස සැලැකී ද කිවහොත් ඒවා නැඟෙනහිර දිගින් සවිකරන ලද්දේ කලින් ඇන්ඩි‍්‍රයා පීසානෝ විසින් එහි තනා තිබූ දොරවල් ද ඉවත් කිරීමෙනි.

ලොරෙන්සෝ ගේ අපූරු දොර කට්ටලය ඒ අවදියේ වෙනත් ශිල්පීන්ට මහත් උද්දාමයක් (INSPIRATION) ඇති වූ බව ද වාර්තා වේ.

පසු ව මොහු ඇති කළ ආයතනයෙන් විශාල නිර්මාණ ශිල්පීන් රැසක් බිහි වී ඇත. ඩොනටෙලෝ, මැසෝලිනෝ සහ පාඕලෝ උස්සෙලෝ ඒ අය අතරින් ප‍්‍රධාන වූහ.

ඔහු ලේඛන කලාවේ ද නිරත වූ ශිල්පියෙකි. ඔහු ගේ රන් කළ කරඬු සහ වර්ණ වීදුරු (STAINED GLASS) සැරැසිලි ආදිය ඉතා බෙහෙවින් උසස් විය. චිත‍්‍ර ශිල්පියකු විසින් ලියන ලද ප‍්‍රථම ස්වයං චරිතාපදානය ඔහු ගේ කෘතියකි.

අයිසැක් බිලි දීම, සාන්ත බැප්තිස්ත, සාන්ත සැනෝබියස් සඳහා ධාතු කරඬුව ඔහු ගේ නිර්මාණ අතර ප‍්‍රකට ඒවා ය.