තොප කර ඇත්තේසමාව දිය නොහැකි වරදක්!
  තොප කර ඇත්තේසමාව දිය නොහැකි වරදක්!  

නූතන ජපන් නවකතාකරු ඉජියොෂිකාව ගේ

23 - කොටස

ජපානයේ පමණක් කෝටි සංඛ්‍යාත පිටපත් ගණනක් අලෙවි වූ සත් වරක් ම සිනමාවට නැඟුණු විශිෂ්ට නවකතාව ...

මෙතෙක් කතාව

මියාමෝතෝ ගමෙහි වෙසෙන ෂිම්මෙන් සමුරායි රණවිරු පරම්පරාවට අයත් තකේෂෝ හා හොනිදන් රණවිරු පරම්පරාවට අයත් මතහාචි නමැති තරුණයෝ දෙදෙන මිතුරෝ ය. සෙකිගහරා නම් ස්ථානයේ පැවැත්වෙන මහා යුදයකින් ඔවුන්ගේ පිල පරාජයට පත් වුව ද දෙදෙන දිවි ගලවා ගනිති.

කඳුකරයේ වූ හුදෙකලා නිවසක් කරා ඔවුන් ඇදෙන්නේ තම තුවාල සුවපත් කරගත් පසු ගමට යෑමේ අදහසිනි. එහි වසන ඔකෝ නමැති වැන්දඹුව හා අකේමි නමැති ඇගේ දියණියන් හා සුහද වන ඔවුහු සැඟැවී හිඳ තුවාල සුවපත් කර ගනිති.

 ඔකෝ ගේ ස්වාමියා මරා දැමූ තෙම්මා නමැති මැරයා ඔවුන් දෙදෙනගෙන් මැරුම් කයි. තකේෂෝ තමා කෙරෙහි පොලඹවා ගැනීමට ඔකෝ ගන්නා උත්සාහය අසාර්ථක වෙයි. මතහාචි පොලඹවා ගැනීමට සමත් වන ඇය ඔහුත් සිය දුවත් කැටුව වෙනත් පෙදෙසකට පලා යයි.

ෂිපොජි ආරාමයේ ඇති දැඩි වූ අනාථ තරුණියක වන ඔත්සු තම පෙම්වතා වන මතහාචි ගමට පැමිණෙන තෙක් බලා හිඳියි. තකේෂෝ සියලු විස්තර පැවසීම පිණිස රහසේ ගමට පැමිණෙයි.

 

පරිවර්තක සේනාරත්නවීරසිංහ

සිතුවම් - කුමුදු පීරිස්

ඒ වන විට මතහාචි ගේ මව ඔසුගි ඔහු ගෙන් පළිගැනීමට බලා සිටියි. ඔහු අල්ලා ගැනීමට රජයෙන් එවන ලද කිසයිමොන් නමැති සමුරායිවරයාට ඔත්තු සපයයි. භට පිරිස් තකේෂෝ ගෙන් මැරුම් කති. ඔසුගි ගේ උපදෙස් අනුව තකේෂෝ ගේ එක ම සහෝදරිය සිරභාරයට ගැනෙයි. තකේෂෝ තව තවත් දරුණු බවට පත් වෙයි.

යුද කලාව පිළිබඳ දැනුමක් ඇති තකුවාන් නමැති සෙන් බෞද්ධ භික්‍ෂුව තකේෂෝ අල්ලා දීමට ඉදිරිපත් වෙයි. ඒ තකේෂෝට දඬුවම් පැවරීම තමා සතු විය යුතු ය යන පොරොන්දුව පිට ය. ඔත්සු සමඟ කඳුකරයට යන තකුවාන් භික්‍ෂුව උපාය මාර්ගයෙන් තකේෂෝ අල්ලා ගනියි. තකේෂෝ ගේ හිස ගෙනැවිත් දෙන ලෙස සඳහන් ලියුමක් ඔත්සු අතට දී සමුරායිවරයා ගමෙන් පලා යයි.

තකේෂෝ ඕක් ගසක එල්ලා තැබෙයි. සැබෑ ජයග‍්‍රහණය පිණිස ශාරීරික ශක්තිය පමණක් නො ව ආධ්‍යාත්මික ශක්තිය ද එක සේ වැදගත් වන බව පවසන භික්‍ෂුව තකේෂෝ දැඩි පීඩනයට ලක් කරයි. ඔසුගි මැහැල්ල ඔහු මිය යන තෙක් බලා හිඳියි. කම්පාවට පත් ඔත්සු, තකේෂෝ ලිහා හරින ලෙස හෝ එසේ නැත්නම් වද නො දී එකවර මරා දමන ලෙස තකුවාන් ගෙන් අයැද සිටියි.

ඔත්සු ගේ උදව්වෙන් ඔත්සුත් සමඟ බේරී පලා යන තකේෂෝ මඟ දී ඇය ගෙන් සමුගෙන තම සහෝදරිය වන ඔගින් බේරා ගැනීම සඳහා පිටත් ව යයි. ඒ අතර තකේෂෝ හා ඔත්සු අල්ලා ගැනීමට ලුහුබැඳ යන ඔසුගි මැහැල්ල හා ගෝන් මාමාට ඔත්සු ඔත්පල ව වැටී සිටිනා අවන්හල හමු වේ. ඔත්සු ගෙන් සමුගෙන ගිය තකේෂෝ හිනාගුරා කඳවුර වෙත ගොස් තම සොයුරිය පිළිබඳ ව විපරම් කරයි.

එහි දී සොල්දාදුවන් සමඟ දැඩි සටනක යෙදෙන තකේෂෝ, සිය සොහොයුරිය රජ වාසල නියෝගයක් යටතේ කඳවුරෙන් රැගෙන ගිය බව දැන ගනී. ආපසු රජවාසලට එන අතර ඔහු තකුවාන් භික්‍ෂුවට හසුවේ. තකුවාන්ට අවනත වන තකේෂෝට හිමෙජි මාලිගාවේ පාලකයා වෙත යෑමට සිදු වේ.

අද එතැන් සිට...

හිමෙජි මාලිගාව තකේෂෝ ගේ නෙත ගැටුණේ ය. එය කිරිකොක් මාලිගය ලෙසින් හඳුන්වන්නේ මන්දැ යි ඔහුට වටහාගත නො හැකි විය. සුරලොව සිට සුවිශාල පර්වතයක් මත වූ දැවැන්ත ධවල පක්ෂියකු මෙන් එය විරාජමාන විය.

මාලිගාවේ පිටත දිය අගල ඔස්සේ වැටුණු විසිතුරු ආරුක්කු පේලි මැදින් තකුවාන් භික්ෂුව ඔහු රැගෙන ගියේ ය. සන්නද්ධ භට පිරිසක් අයෝමය දොරටුව ඉදිරිපසෙහි රැකවලෙහි යෙදී සිටියහ. හිරුඑළිය ඒ අවි මතට වැටුණු හෙයින් ඇති වූ දීප්තිය තකේෂෝ තුල මොහොතක චකිතයක් ඇති කළ හෙයින් එය පියමං කිරීමේ අපහසුතාවක් ඔහු තුළ ඇති විය.

 පසුපස හැරී නොබැලු ව ද, තකුවාන් භික්ෂුවට එය හැඟී ගියෙන් තකේෂෝට තමා පසුපස ඉදිරියට එන ලෙස සන් කෙළේ ය. දොරටු අට්ටාලය යටින් ගමන් කළ ඔවුහු කුමන මොහොතක හෝ පහර දීමට සූදානම් ව හිඳිනා සොල්දාදුවන් ගෙන් ආරක්ෂිත දෙවැනි දොරටුව වෙත සමීප වූහ.

 ඉන් අනතුරු ව දක්නට ලැබුණේ චියැම්යෝවරුන් ගේ මාලිගාව යි. රට සාර්ථක ව එක්සත් කළ පාලකයෝ මාලිගාව තුළ නිදහස් සුවයෙන් වෙසෙති. එකල පැවැති අනෙකුත් රාජ මාලිගාවල වෙසෙන්නෝ මෙන් ම මෙහි වසන්නෝ ද නොයෙකුත් ඉසුරු සිරියෙන් විරාජමාන ව ජීවත් වූහ.

තකුවාන් භික්ෂුව සේනාධිපතිවරයකු කැඳවූයේ ය. "මම මිනිහව රැගෙන ආවා."

සේනාධිපතිවරයා වෙත තකේෂෝ භාර දෙමින්, පෙර දී සඳහන් කළාක් මෙන් තකේෂෝ හොඳින් රැකගන්නා ලෙස පවසා අනතුරු ව මේ වචන කීපය ද එක් කෙළේ ය.

"පරිස්සමින්! මේ ඉන්නේ තියුණු දත් සහිත සිංහ පැටියෙක්. තවම හීලෑ නැහැ. කවටකම් කරන්ඩ ගියොත් හපා කයි."

තකුවාන් භික්ෂුව දෙවැනි ද්වාරය ඔස්සේ මාලිගාවේ මැද මිදුල දක්වා ගමන් කෙළේ ය. ඩියෙම්වරුන් ගේ වාසල පිහිටියේ එහි ය. ඔහු මාලිගාව තුළ සියල්ල දැන සිටි බව පෙනිණ. ඔහුට ආරක්ෂකයන් මඟ පෙන්වීමට අවශ්‍ය නො වී ය. ඔහු ධ්‍යානයකට සමවැදුණාක් මෙන් හිස බිමට නැඹුරු කරගෙන ගමන් කෙළේ ය.

තකුවාන් භික්ෂුව ගේ උපදෙස් ලද සේනාධිපතිවරයා, එයට කීකරු වෙමින් තකේෂෝ හට තමා පසුපස ඒමට සැලැස්වී ය. තකේෂෝ නිහඬ ව ඔහුට කීකරු විය. ස්නානාගාරය කරා සමීප වූ කෙනෙහි සේනාධිපතිවරයා තකේෂෝට ජල ස්නානාය කොට පිරිසිඵදු වන ලෙස පැවසුවේ ය.

ඒ සමඟ ම තකේෂෝ ගේ කොඳු නාරටිය ඔස්සේ කිසියම් සලිතවීමක් ඇති විය. ඔසුගි ගේ නිවෙසේ දී අවසන්වරට ඔහු සතුරන්ට කොටුවූයේ මෙසේ ස්නානය පිණිස යෑමේ දී ය. ඔහු දෑත් එක් කොටගෙන කල්පනාවේ ගැලෙමින් හාත්පස නිරීක්ෂණය කෙළේ ය

 අවට බෙහෙවින් සාමකාමී ය. රට සාමකාමී ය. කුමන්ත‍්‍රණ කිසිවක් සිදු නොවෙයි. පාලකයා සුඛෝපභෝගී ලෙසින් ජීවිතය ගෙන යයි. ඒ සමඟ ම සේවකයෙක් පිරිසුදු කපු පිළියෙන් කළ කිමෝනාවක් ඇතුළු රෙදිපිළි රැගෙන ආවේ ය.

“මේවා මෙතන තියන්නම්. ඔබ ස්නානය කිරීමෙන් පසු ව මෙය ගන්න.” ඔහු හිස නමා ගෞරවයෙන් පැවසුවේ ය.

තකේෂෝට හැඬුම් යන්ට ආවේ ය. ඔහු වෙත ගෙනැවිත් තිබුණු භාණ්ඩ අතර ඇඟ පිස දැමීමට අවශ්‍ය රෙදිපිළි පමණක් නො ව, කොට හා දිගු සමුරායි අසිපත් දෙකක් ද විය. සියල්ල සරල ය. ඔහුට නැවතත් මනුෂ්‍යයකුට මෙන් සලකා තිබේ. ඔහු ඇඟ පිසීම සඳහා එවා තිබුණ පිරිසුදු රෙදිකඩ මුහුණේ ඇතිල්ලුවේ ය. ඉන් සඳුන් සුවඳක් වහනය විය. ඔහු ස්නාන කුටිය කරා ගියේ ය.

ඉකේඩා තෙරුමුසා නමැති රාජ්‍ය පාලක තෙමේ සුවපහසු අසුනක වාඩිවී උද්‍යානය දෙස බලා සිටියේ ය. තෙරුමුසා වනාහි මිටි පුද්ගලයෙකි. ඔහු ගේ මුහුණෙහි ලප කැළැල් දෙකක් දක්නට ලැබිණි. ඔහු පූර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරැසී නොසිටිය ද ඔහු තුළ පවත්නා තේජස හා ධෛර්යය ඔහු රුව වෙතින් දෘශ්‍යමාන විය.

“ඒ ඉන්නේ මිනිහද?” තම විජිනිපත මිනිසා දෙසට දිගු කරමින් ඔහු තකුවාන් ගෙන් විමසුවේ ය.

“එසේය රජතුමනි, භික්ෂුව එකත්පස් ව හිඳිමින් ගෞරවපූර්වක ව පිළිතුරු දුන්නේ ය.

“මිනිහගේ මුහුණ නම් නරක නැහැ. ඔබ ඔහු මුදාගත් එක හොඳ්‍ර.”

“ඔහු ණයගැති විය යුත්තේ මට නොවෙයි. ඔබතුමාටයි රජතුමනි.”

“එසේ නොකියනු භික්ෂුව. තොප එය දනියි. මාගේ අණසක යටතේ් තොප වැන්නන් අතළොස්සක් සිටියහොත් වටිනා මිනිසුන් රැසක ගේ ජීවිත බේරෙන බවට සැකයක් නැහැ. එසේම ඒ නිසාම මේ ලෝකය යහපත් වන බවට සැකයක් නැහැ.”

ඩියැම්යෝ තෙරුමුසා රජ සුසුමක් හෙළුවේ ය.

“එහෙත් ප‍්‍රශ්නය තිබෙන්නේ එය නොවෙයි. මගේ මිනිසුන් සිතන්නේ ඔවුන්ගේ පුර්ණ රාජකාරිය වන්නේ මිනිසුන් බැඳ දැමීම හා ඔවුන්ගේ හිස ගසා දැමීම පමණයි කියා.”

හෝරාවකට පසු ව තකේෂෝ රජ වාසල බරාඳය ඉදිරිපසින් වූ උද්‍යානයේ වාඩිවී සිටියේ ය. ඔහු දණගසා ගෙන රජු වෙත ගෞරව නමස්කාරපූර්වකව හුන්නේ ය.

“තොපගේ නම ෂිම්මෙන් තකේෂෝ නොවේද?” තෙරුමුසා රජ තෙමේ විමසුවේ ය.

තකේෂෝ මේ සුප‍්‍රකට මිනිසා ගේ මුහුණ දෙස වහා බැලුවේ ය. ඉක්බිති බිමට නෙත් හෙළාගෙන ගෞරව පූර්වකව උත්තර දුන්නේ ය.

“එසේය ස්වාමීනි.”

“ෂිම්මේන් පරම්පරාව කියන්නේ අකමස්තු ගුරුකුලයේ ශාඛාවක්. අකමස්තු මසානෝරී මේ මාලිගාවේ පාලකයා වෙලා සිටි බව තොප හොඳින් දන්නව ඇති.”

“තකේෂෝ ගේ උගුර කට වියැළී ගියේ ය. ඔහු ගේ මුවට වචන නාවේ ය. ඩියෙම්යෝ රජ පරම්පරාව ගැන කිසිමාකාර ගෞරවයක් නොදැක්වූ ෂිම්මේන් පවුලේ සාමාජිකයකු වූ ඔහු ඉදිරියේ, තම පවුලේ නාමය හා මුතුන් මිත්තන් ගේ නාමය අගෞරවයට පත්වනු දුටු ඔහු ගේ මුහුණ රතු වි ගියේ ය.

“තොප සිදුකර ඇත්තේ සමාව දිය නොහැකි අන්දමේ වරදක්.”

තෙරුමුසා රජ තෙමේ ගැඹුරු හඩින් පැවැසී ය.

“එසේය ස්වාමීනි.”

“ඒ නිසා මම තොපට ඒ සඳහා දඬුවම් නියම කරනව.” කියමින් ඔහු තකුවාන් භික්ෂුව දෙසට හැරුණේ ය.

“මගේ රැඳවුම් නිලධාරියා අඹකි තෙන්සිමන් මගෙන් අවසරයක් නොමැතිව ඔබට පොරොන්දු වූවාද, ඔබ විසින් මේ තැනැත්තා අල්ලා ගනු ලැබුවහොත් මේ තැනැත්තාට දඬුවම් දීමේ තීරණය ඔබ සතු කරන බව?”

“ඔබ තුමාත් මේ ගැන තෙන්සිමන් සමුරායි වරයා ගෙන් විමසුවොත් යහපත් යයි මා හිතනවා.”

“මා දැනටමත් ඔහු ගෙන් ප‍්‍රශ්න කර තියෙනවා.”

“එසේ නම් ඔබතුමන් සිතන්නේ මා පැවසුවේ මුසාවක් බව ද?”

“නැහැ. ඇත්ත වශයෙන්ම නැහැ. තෙන්සිමන් ඒ ගැන මට පාපොච්චාරණය කළා. එහෙත් මට එය ස්ථිර කර ගැනීමටයි අවශ්‍ය. ඔහු මගේ සෘජු කීකරු සේවකයෙක් නිසා ඔහු ගේ ප‍්‍රතිඥාවෙහි මගේ අණසක ගැබ්ව තිබෙනවා.

එසේම මම මේ නිලධාරින්ගේ ස්වාමියා වන හෙයින් තකේෂෝට මට සුදුසු අන්දමේ දඬුවම් පැමිණවීමේ අවස්ථාව නැතිව යනව. එසේ වුවත් මම ඔහුට දඬුවම් දීමේ අවසරය නොදී හිඳින්නේ නැහැ. ඒ අනුව ඔහුට හිමි දඬවම් දීමේ අයිතිය ඔබට හිමි වෙනව.”

“එහෙනම් මා බලාපොරොත්තු වෙනව මේ ගැන ඔබ කිසියම් අදහසක් ලබා දෙයි කියල. ඔව් අප මොහුට කළ යුත්තේ කුමක්ද?”

“මා හිතන්නේ සිරකරුට කළ යුතු හොඳම දෙය අප කියන ආකාරයට ‘බරපතළ තත්ත්වයක්’ යටතේ රඳවා තබා ගැනීම.”

“එය කළ යුත්තේ කෙසේද?”

“මා විශ්වාස කරනවා මාලිගාවට යාබදව හොල්මන් තියෙන බවට කට කතා පැතිර ගිය කුටියක් තිබෙන බව?”

“ආ... ඔව්. මම දන්නව. හැබැයි සේවකයන් එහි යෑම ප‍්‍රතික්ෂේප කරනව. මගේ නිලධාරීන් එය අතහැර දාල තියෙන්නේ. ඒ නිසා මාත් එය භාවිතයට ගැනීම අතහැර දාලයි තිබෙන්නේ.”

“තොකුගාවා රාජ්‍යයට අතිදක්ෂ රණශූරයෙක් සිටිතැ යි පැවසීම ගෞරවයට කාරණයක් නොවේ ද?”

“ඉකිඩා තෙරුමුසා වන ඔබතුමා සතුව මාලිගාවේ අඳුරු කාමරයක් තිබීම නරක ද?”

“නැහැ. මම ඒ ආකාරයෙන් සිතා තිබුණේ නැහැ.”

“නමුත් මිනිස්සු හිතන්නේ ඒ වගේ දේවල්. එයින් ඔබතුමාගේ ආධිපත්‍ය, ගෞරවය හා තේජස පැතිරෙනව. මා හිතන්නේ අපි එය ආලෝකවත් කළ යුතුයි.”

“හ්ම්ම්...”

ඔබතුමාගේ අවසරය ලැබෙනව නම් මට ඒ කුටිය ලබා දෙන්ඩ තකේෂෝට මා සමාව ලබා දෙන්ඩ සූදානම් වන තෙක් රඳවා ගන්ඩ. ඔහුට අන්ධකාරයේ ඉඳල සෑහෙන්ඩ පළපුරුද්ද තිබෙනව. තොපට මා කියන දෙය ඇහෙනව නොවෙද තකේෂෝ?”

තකේෂෝ වෙතින් හ්ම් හඬක්වත් නිකුත් නො වී ය. “හොඳයි, හොඳයි” කියමින් තෙරුමුෂා රජ තෙමේ සිනාසෙන්ට පටන් ගත්තේ ය.

තකුවාන් භික්ෂුව අවොකි තත්සිමන් හමුදා නිලධාරියා සමඟ ආරාමයේ දී එදා ø පැවසූ දෙයෙහි සත්‍යයක් ඇති බව පැහැදිලි ය. තකුවාන් භික්ෂුව හා තෙරුමුසා රජ ධර්මය අදහන මිතුරන් දෙදෙනෙකි. ඔවුහු සහෝදරත්වයෙන් බැඳී සිටිති.

“ඔබ ඔහු අලුත් නවාතැන සඳහා රැගෙන ගොස් මා සමඟ තේ පානයට එකතු වනු ඇතැ යි මා බලාපොරොත්තු වෙනවා.”

තෙරුමුෂා පාලකයා ඉවත්ව යෑමට නැඟී සිටිමින් පැවසුවේ ය.

“අහා... එහෙනම් නැවත වරක් තේ පානයේ දී ඔබතුමා කෙතරම් අදක්ෂදැයි පෙන්නන්ඩ හදනවා වගේ?”

“එහෙම කියන්ඩ එපා තකුවාන්. ඒ දවස්වල මට එය මැනැවින් කිරීමේ සූරතාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ වෙනකොට මට පුළුවන් ඔබට මා දරදඬු සොල්දාදුවෙක් නොවන බව පෙන්නන්ඩ. මා ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නව.”

ඒ සමඟ ම තෙරුමුෂා රජ තෙමේ මැදුරේ ඇතුළු ගැබ කරා ගමන් කරන්ට වන්නේ ය. අඩි පහක් පමණ උසැති ඔහු ගේ රුවින් මාලිගාවේ මහල් කීපයක් පිරී තිබෙන බව පෙනිණි.

හොල්මන් කුටිය නමින් ප‍්‍රකට ව තිබු සිර කුටියෙහි ආලෝකයක් දක්නට නො වී ය. එහි තුළ සිටින්නකුට දවස ගෙවෙන සැටි, සෘතු වෙනස් වන සැටි දැකගන්ට නොහැකි වූවාක් මෙන් ම මිනිස් කටහඬකුදු අසාගත නොහැකි විය. එහි වූයේ මඳ ආලෝකයක් විහිදන කුඩා පහනක් පමණකි. එහි ආලෝකය තකේෂෝ ගේ මුහුණ මත පතිත ව තිබුණේ ය.

සුන්ත්සු තුමා විසින් ලියන ලද යුද කලාව කෘතියේ භූමි ලක්ෂණ නමැති පරිච්ඡේදය ඔහු ඉදිරිපිට වූ මිටි මේසයක් මත දිග හැරී තිබිණ.

සුන්ත්සු තුමා මෙසේ පවසා ඇත. “භූමි ලක්ෂණයන් අතර විශේෂතා මෙසේ ය.

බාධා රහිත භූමි භාගය

බාධා සහිත භූමි භාගය

පල රහිත භූමි භාගය,

වංගු පල්ලම් සහිත භූමි භාගය

බොහෝ ඈතින් තිබෙන භූමි භාගය.

මෙසේ තමන්ට බෙහෙවින් යෝග්‍ය වන විස්තර වෙත පැමිණි කල්හි ඔහු ඒ කෘතියේ එන විස්තර උස් හඩින් නැවත නැවතත් කියවන්ට වන්නේ ය.

“යුද කලාව දන්නා තැනැත්තා සටනේ දී ව්‍යාකූලත්වයට පත්වන්නේ නැත. ඔහු සටන් කරයි. පසුබට වන්නේ නැත.”

එහෙයින් සුන්ත්සු තුමා මෙසේ කියයි.

“අන් අය ගැන මෙන්ම තමන් ගැනද දන්නා තැනැත්තා උපද්‍රවයකින් තොරව සතුරා ජයග‍්‍රහණය කරයි. මෝක්ෂය සහ මිහිකත ගැන දන්නා තැනැත්තේ සියල්ලම ජයග‍්‍රහණය කරයි.”

අධික වෙහෙසට පත්වීම නිසා දෑස් කකියන්ට වූ විට ඔහු අසල ඇති කළයෙන් සිසිල් පැන් ටිකක් ගෙන දෑස් මත වත්කර ගනියි. පහනෙහි තෙල් සිඳී ආලෝකය අඩු වන විට ඔහු පහන නිමා දමයි. ඔහු ගේ මේසය මත පොත් කඳු ගොඩ ගසා ඇත.

සමහරක් ජර්මන් බසින් ලියවුණ පොත් ය. තවත් සමහරක් චීන පොත් ය. සොබා දහම ගැන, ජපන් ඉතිහාසය ගැන ලියැවුණු පොත් රැසකි. තකේෂෝ ප‍්‍රායෝගික ලෙසින් බුද්ධි විෂයක කාර්යයක නියැලී හිඳින්නේ ය. මේ සියලු පොතපත ඉකේඩා තෙරුමුසා තුමන් ගේ පුස්තකාලයෙන් ලබාගත් ඒවා ය.

තකුවාන් භික්ෂුව ඔහු රඳවා තැබීමට නියෝග කරමින් තවදුරටත් මෙසේ පැවසුවේ ය.

“තොපට පුළුවන් හැකිතරම් පොත පත කියවන්ට. පුරාණයේ ජීවත් වුණු සුප‍්‍රකට භික්ෂුවක මෙසේ පවසා තිබේ. මා ආගමික කෘතීන්ගේ ඇලී ගැලී දහස් ගණන් කෘති කියවීමි. දැන් මට හැඟෙන්නේ පෙරට වඩා මට මගේ හදවත පැහැදිලිව දැකිය හැකි බවයි.”

“ඉතින් තොප මේ කුටිය මවු කුස ලෙසින් සිතිය යුතුයි. තමන් අලුත බිහිවන දරුවකු ලෙසින් සිතිය යුතුයි. තොප මේ කුටිය ඇසින් පමණක් දකින්ට උත්සාහ කරන්නේ නම් මෙය අඳුරු සිර කුටියකට වඩා වෙනසක් නොදකිනු ඇත. එහෙයින් නැවත වරක් සමීපව බලන්න.

තොපගේ මනසින් බලා මේ ගැන සිතන්න. මේ කුටිය ප‍්‍රඥාවේ උල්පතක් වැනි ය. අතීතයේ ශ්‍රේෂ්ඨ ශාස්තෘන් ලබා දුන් දැනුම මේ උල්පත ඔස්සේ ලබා ගත හැකි වන්නේ ය. එතුළින් තොපට මේ කුටිය අඳුරු කුටියක්ද ආලෝකවත් කුටියක්ද යන්න විස්තර කරගත හැකි වන්නේය.”

මතු සම්බන්ධයි