බංග්ලාදේශයටත් වඩා නොදියුණුඅපේ සිනමා සංස්කෘතිය
| |
බංග්ලාදේශයටත් වඩා නොදියුණුඅපේ සිනමා සංස්කෘතිය |
|

ගෙවුණු මාස තුන ඇතුළත දී විදේශීය චිත‍්‍රපට
උත්සව තුනක් අපේ රටේ පැවැත්වුණා. එකක් ප‍්‍රංශ
බස කතා කරන රටවල චිත‍්‍රපට උලෙළ. දෙවැන්න
අන්තර්ජාතික කාන්තා දිනය නිමිත්තෙන් පැවැත්වූ
චිත‍්‍රපට උලෙළ. තුන්වැන්න තමයි චීන චිත‍්‍රපට
උලෙළ.
එයින් චීන චිත‍්‍රපට උලෙළ පැවැත්වුණේ ජාතික
චිත‍්‍රපට සංස්ථාවේ සංවිධායකත්වයෙන්. ඒ උලෙළ
පවත්වන්ට යෙදුණේ ශ‍්‍රී ලංකාව චීනය සමඟ අස්සන්
කළ ‘සිනමාව සම්බන්ධ අන්තර්ජාතික අවබෝධතා
ගිවිසුම’ කි‍්‍රයාත්මක කිරීමට අදාළවයි.
එහි
සංවිධාන කටයුතු ඇරැඹුණේ ජාතික චිත‍්‍රපට
සංස්ථාවේ හිටපු සභාපති අශෝක සේරසිංහ මහතාගේ
කාලවකවානුවේදී. එහෙයින් එහි සාර්ථකත්වය සඳහා
ලැබෙන ගෞරවයෙන් හරි අඩක් ඔහුටද හිමි කරදීම අපේ
යුතුකමක්.
ජාතික චිත‍්‍රපට සංස්ථාව හැරුණුකොට අද කිසිම
ආයතනයක් විදේශීය චිත‍්‍රපට උත්සව පවත්වන බවක්
පේන්න නැහැ. එක්තරා කාලයකදී ආසියානු සිනමා
කේන්ද්‍රය, ස්වර්ණ සංඛ සිනමා පදනම, වින්සර්
ෆිල්ම් ඉන්ටර්නැෂනල් ආයතනය විදේශීය චිත‍්‍රපට
උත්සව ගණනාවක්ම මේ රටේ පැවැත්වූවා.
ආසියානු සිනමා කේන්ද්‍රය ස්විස්, ඉරාන හා
ප‍්‍රංශ චිත‍්‍රපට උත්සවයනට අමතරව රිත්වික්
ඝටක්, බුද්ධදේව් දාස් ගුප්ත, රාජ් කපූර්,
ගිරිෂ් කසරවල්ලි ප‍්‍රත්‍යාවලෝකන චිත‍්‍රපට
උත්සව කීපයක්ම පැවැත්වූවා. එසේම ඔවුන්
ආසියාතික චිත‍්‍රපට උලෙළකුත් සංවිධාන කළ ආකාරය
මට මතකයි. ස්වර්ණ සංඛ සිනමා පදනම ඉංග්මාර්
බර්ග්මාන්, ප‍්‍රැන්ශුවා ටෲෆෝ චිත‍්‍රපට උත්සව
දෙකක් ඉතා සාර්ථකව පවත්වන්ට යෙදුණා.
අද වීඩියෝ සංගත තැටි (VCD)
ඩිජිටල් සංගත
තැටි (VCD)හා අන්තර්ජාල පහසුකම් නිසා ලෝකයේ
උසස්ම සිනමා කෘති නැරඹීමේ පහසුකම් ශ‍්‍රී
ලාංකේය පේර්ක්ෂකයන්ට තිබෙනවා. නමුත් ඒ
පහසුකම් කිසිවක් නොතිබුණු එක්තරා යුගයකදී
විශ්ව සම්භාව්‍ය සිනමා නිර්මාණ දැකගන්න අපේ
සිනමාකරුවන්ට පවා අවස්ථාව ලැබුණේ මෙහි
පැවැත්වූ විදේශීය චිත‍්‍රපට උත්සව මාර්ගයෙන්.
ඒ චිත‍්‍රපට උත්සවවලදී දුටු ඇලන් රෙනේගේ
‘ලාස්ට් ඉයර් ඉන් මාරියන්බාද්’ වැනි
චිත‍්‍රපටයක් ධර්මසේන පතිරාජටද ආන්ෙද්‍ර්
මුන්ක්ගේ ‘පැසේන්ජර්’ වැනි චිත‍්‍රපටයක්
ධර්මසිරි බණ්ඩාරනායකටද බර්ග්මාන්ගේ චිත‍්‍රපට
ප‍්‍රසන්න විතානගේ ගේට ද බලපෑ බව සඳහන් වී
තිබෙනවා. එයින් සාක්ෂාත් වන දේ තමයි සිංහල
සිනමාව පෝෂණය වීමට මේ විදේශීය චිත‍්‍රපට උත්සව
නොමඳව බලපාලා තිබෙනවයි කියන එක.
එදා චිත‍්‍රපට
විචාරක හා ලේඛක සංගමය අපේ රටේ විදේශීය
චිත‍්‍රපට උත්සව සංවිධාන කිරීමෙහි ලා මූලික වූ
ප‍්‍රබලම සංගමයක්. එහි ප‍්‍රධාන ලේකම් වූ නීල්
අයි.පෙරේරාගේ අතිමහත් කැපවීම නිසා තමයි ඒ
චිත‍්‍රපට උත්සව සාර්ථකව පැවැත්වුණේ. ඔහුගේ
මැදිහත්වීම නොවන්නට එදා අපේ පේර්ක්ෂකයන්ට
නැඟෙනහිර යුරෝපීය රටවල (පෝලන්ත, චෙක් වැනි)
සිනමාව දැන හඳුනාගන්න ඉඩ ප‍්‍රස්ථා නොලැබෙන්න
පවා ඉඩ තිබුණා.
නීල්.අයි පෝලන්ත සිනමාව අපේ
රටට හඳුන්වාදීමට පුරෝගාමී වූවෙක්. ඒ සඳහා ඔහුට
1978 දී ‘පෝලන්ත මිතුරා’ නම් වූ සම්මානය පවා
පෝලන්තයෙන් පිරිනැමුණා. ඒවගේ කැපවීමක් මං ඊළඟට
දැක්කේ ආසියානු සිනමා කේන්ද්‍රයේ සභාපති ඈෂ්ලි
රත්න විභූෂණගේ.
මෙවර චීන චිත‍්‍රපට උලෙළට ඇතුළත් වුණේ
අලුතෙන්ම නිපැයුණු චීන චිත‍්‍රපට හයක්. චීන
සංස්කෘතික විප්ලවය අසාර්ථක වුණායින් පස්සේ
විශේෂයෙන් ඩෙන්ෂියාඕ පෙන්ගේ පාලන සමයේ (එය
‘බෙයිජිං වසන්තය’ යනුවෙන්ද හැඳින්වෙනවා)
බෙයිජිං චිත‍්‍රපට ඇකඩමියෙන් බිහිවෙච්ච පරපුර
(ඔවුන් පස්වැනි පරම්පරාව ලෙස හැඳින්වෙනවා)
අතින් නව අත්දැකීම්වලින් හා නව මාදිලිවලියකින්
යුතු චිත‍්‍රපට සම්ප‍්‍රදායයක් බිහි වුණා. මේ
චිත‍්‍රපට එහිම තවත් වර්ධනීය අවස්ථාවක් ලෙස
හඳුන්වන්ට පුළුවන්.
මෙවර චීන චිත‍්‍රපට උලෙළ කොළඹින් බැහැරව
පැවැත්වීමත් වැදගත්. එහි සමාප්ති උලෙළ
පැවැත්වුණේ කටුගස්තොට සීගිරි සිනමා ශාලාවේ. ඒ
සඳහා මැදිහත්වී ඇත්තේ ප‍්‍රවීණ සිනමා නළු සනත්
ගුණතිලක බව අපට දැනගන්ට ලැබුණා.
තනතුරක්
තිබුණත් නැතත් සනත් තමන්ට හැකි සෑම
අවස්ථාවකදීම අපේ සිනමාව වෙනුවෙන්, මෙරට සිනමා
ශිල්පීන් මෙන්ම පේර්ක්ෂකයන් වෙනුවෙන්
කරන්නා වූ තුටු මෙහෙවරට අපි කෘතඥතාපූර්වක
වෙන්න ඕනෑ.
අපේ රටේ විදේශීය චිත‍්‍රපට උත්සව පැවැත්වීම
ජාතික චිත‍්‍රපට සංස්ථාව පිහිටුවීමෙහිලා
බලපැවැත්වුණු ප‍්‍රධාන පරමාර්ථ දහයෙන් එකක්.
1971 අංක 47 දරන චිත‍්‍රපට සංස්ථා ආඥාපනතේ ඒ
බව පැහැදිලිවම සඳහන් වෙනවා. ඒත් සංස්ථාවට
ඉටුකරන්න තව පරමාර්ථ නවයක්ම තිබෙන බවත් අපි
මෙහිදී අමතක කරන්න නරකයි.
අද ආසියානු සිනමා කේන්ද්‍රය වැනි පෞද්ගලික
සංවිධාන විදෙස් චිත‍්‍රපට උත්සව සංවිධාන
නොකරන්නේ ඔවුන්ට ප‍්‍රතිපාදන නොමැතිවීම නිසාය
කියලා හිතන්න පුළුවන්. ඔවුන්ට දැන් ඉස්සර තරම්
විදේශීය අරමුදල් නොලැබෙනවා ඇති.
මෙහිදී
චිත‍්‍රපට සංස්ථාවට චිත‍්‍රපට සංවර්ධන අරමුදල
හරහා කිසියම් ප‍්‍රතිපාදනයක් මෙබඳු සංවිධානවලට
දෙන්න පුළුවන් නම් වටිනවා. මුදල් ආයෝජනය කිරීම
කෙසේ වෙතත් අඩුම ගණනේ චිත‍්‍රපට සංස්ථා
සිනමාහල (තරංගනී) නොමිලේ ලබාදීමෙන්, පුවත්පත්
සාකච්ඡා පැවැත්වීම සඳහා සංස්ථාවේ විවේකාගාරය
නොමිලේ ලබාදීමෙන් එක්තරා මට්ටමක සහයෝගයක්
දක්වන්න පුළුවන්. දැන් නම් අපිට පේන්නේ සිනමා
සංස්කෘතිය නැංවීම සඳහා චිත‍්‍රපට සංවර්ධන
අරමුදලින් මොනම දෙයක් වත් සිද්ධ නොවන
ආකාරයකුයි.
විදේශීය චිත‍්‍රපට උත්සවවලට සමගාමීව සිනමා වැඩ
මුළු සංවිධාන කිරීමත් ඉතා වැදගත්
කි‍්‍රයාකාරකමක්. ඉස්සර ආසියානු සිනමා
කේන්ද්‍රය විදේශීය සිනමාකරුවන් හා සිනමා
විද්වතුන් මෙරටට ගෙන්වලා ඒ විදිහේ සිනමා වැඩ
මුළු කීපයක් සංවිධාන කළා.
ඒ වැඩමුළු ඉදිරිපත්
කළේ අදූර් ගෝපාල කි‍්‍රෂ්ණන්, සාජි එස්.කරූන්,
බුද්ධදේව් දාස් ගුප්ත, ශ්‍යාම් බෙනගාල්,
ගිරිෂ් කසරවල්ලි වැනි සිනමාකරුවන් හා ඩෙරික්
මැල්කම්, ක්ලවුස් ඊඩර්, අරුණා වාසුදේව්, ශෝමා
චැටර්ජි, පිලිප් චෙයා, ඊව්ස් තොරවාල් වැනි
සිනමා ප‍්‍රාමාණිකයන්.
විදේශීය චිත‍්‍රපට මේ රටේ උත්සවයක් විදියට
ප‍්‍රදර්ශනය කරනවා වගේම අපේ චිත‍්‍රපට විදේශීය
රටවල උත්සව විදියට සංවිධානය කිරීමත් වැදගත්
කටයුත්තක්. මේ ළඟදි වියට්නාමයේ හැනෝයි නගරයේ
සිංහල චිත‍්‍රපට උලෙළක් පැවැත්වුණු බව
පුවත්පත්වල සඳහන්ව තිබුණා.
එසේම තවමත් අපේ රටේ
අන්තර්ජාතික චිත‍්‍රපට උලෙළක්
(International Film
Festival) නොපැවැත්වීම කනගාටුවට
කාරණයක්. අපේ තරම්වත් සිනමා කලාව හා කර්මාන්තය
දියුණු නැති බංග්ලාදේශයේ පවා වාර්ෂිකව
අන්තර්ජාතික චිත‍්‍රපට උත්සව දෙකක් (ඩකා හා
බංග්ලාදේශ්) පැවැත්වෙනවා. එසේම ඉන්දියාවේ හැම
ප‍්‍රාන්තයකම වගේ අන්තර්ජාතික චිත‍්‍රපට උත්සව
තියෙනවා.
දකුණු ආසියාතික රටවල් අතරින් අපේ රටේ
තවමත් එවැනි චිත‍්‍රපට උලෙළක් නොපැවැත්වීම එක
අතකට ලජ්ජාවට කාරණයක්. එක් කාලයක චිත‍්‍රපට
විචාරක හා ලේඛක සංගමය අන්තර්ජාතිත මට්ටමේ
චිත‍්‍රපට උලෙළක් පැවැත්වීමට මුල් පියවර
තැබුවත් ඒක සාර්ථක වුණේ නැහැ. එය හැඳින්වුණේ
‘ඉන්ටර්නැෂනල් ෆිල්ම් රිවීව් කලම්බු’ යනුවෙන්.
එසේම සුනිල් එස්.සිරිසේන චිත‍්‍රපට සංස්ථාවේ
සභාපතිව සිටි යුගයේ ‘කලම්බු ඉන්ටර්නැෂනල්
ෆිල්ම් ෆෙස්ටිවල්’ නමින් උලෙළක් සංවිධාන කළා.
ඊට ප‍්‍රංශය, ස්වීඩනය, ඉන්දියාව, ජර්මනිය,
ඉරානය හා කොරියාව වැනි රටවල චිත‍්‍රපට නියෝජනය
වුණා. ඒත් රටවල් කීපයක චිත‍්‍රපට එකට පෙන්වූ
පමණින් එය අන්තර්ජාතික චිත‍්‍රපට උලෙළක් වන්නේ
නැහැ.
අද ලෝකයේ අන්තර්ජාතික මට්ටමේ චිත‍්‍රපට උත්සව
හත්අටසීයක් පමණ පැවැත්වෙනවා. ප‍්‍රංශයේ විතරක්
තිහක් විතර පැවැත්වෙනවා. එහෙත් ඉහළ ම
ප‍්‍රමිතියකින් යුතු අන්තර්ජාතික චිත‍්‍රපට
උත්සව තියෙන්නේ දහතුනක් පමණයි. ඒ දහතුන නම්,
බර්ලින් චිත‍්‍රපට උලෙළ (ජර්මනිය) වැනිස්
(ඉතාලිය) කාන් (ප‍්‍රංශය) මොස්කව් (රුසියාව)
ලන්ඩන් (එංගලන්තය) කයිරෝ (ඊජිප්තුව), කාර්ලෝ
විවාරි (චෙකොස්ලොවැකියාව) මාඩෙල් ප්ලාටා
(ආර්ජෙන්ටිනාව) මොන්ටි‍්‍රයෙල් (කැනඩාව)
සෙන්ට් සෙබස්තියන් (ස්පාඤ්ඤය) ෂැංහයි (චීනය)
ටෝකියෝ (ජපානය) හා ලොකාර්නෝ (ස්විට්සර්ලන්තය)
ඒවා අතරින්ද මුලින්ම සඳහන් කළ චිත‍්‍රපට උත්සව
පහ ලෝකයේ සුපිරිම අන්තර්ජාතික චිත‍්‍රපට උත්සව
පහ ලෙස සැලකෙනවා.
සු.මි.
|