සිත සන්සුන් වුණා ම සියල්ල හරියාවි
| |
සිත සන්සුන් වුණා ම සියල්ල හරියාවි
|
|
අජන්ත ගමආරච්චි
 |
|
මහාචාර්ය ගුණපාල මලලසේකරයන් ගේ
දිවිමඟ තතු පෙළගැස්ම |
මලලසේකර යම්කිසි බරපතළ තීන්දුවක් ගැනීමේ දී
තනිව ම මොන තර්ක විතර්ක කළත් අවසානයේ ඒ ගැන
සිය බිරිය වන ලයිලි සමඟ සාකච්ඡා කිරීම සිරිතක්
කොට ගෙන තිබුණේ ය. විශේෂයෙන් ම පෞද්ගලික
ජීවිතය සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ දී ඔහු
ලයිලි අමතක නො කෙළේ ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගන්නැයි
මැතිනිය ගේ ආරාධනාව සම්බන්ධයෙන් ද මලලසේකර
ලයිලි සමඟ බොහෝ වේලා සාකච්ඡා කෙළේ ය. ලයිලි ගේ ද මතය වූයේ සිය සැමියා ඉපිද ඇත්තේ
බුද්ධි බලයෙන් ජනතාවට සේවයක් කිරීමට මිස
නොයෙක් මතවාදවලට පැටැලී රාජ්‍ය පාලනයට යෑමට
නොවන බවයි. අන්තිමට මැතිනිය එවූ දූතයා ඇමැතූ මලලසේකර
“මැතිනියට බොහොම කරුණාවෙන් කියන්න මට මේ
ආරාධනාව පිළිගන්න බෑ කියල. අනික් ඕනෑම උදව්වක්
කරන්න ලෑස්තියි කියලත් කියන්න” කියමින් ඒ
ආරාධනාව කාරුණිකව ප‍්‍රතික්‍ෂේප කෙළේ ය.
මලලසේකර මේ ආරාධනාව පිළිගත්තේ නම් නියත වශයෙන්
ම ඔහුට ලංකාවේ අගමැතිවරයා වීමේ වාසනාව
උදාවන්නට ඉඩ තිබිණි. මලලසේකර කිසි දිනෙක පදවි තණ්හාවෙන් මඬනා
ලද්දෙක් නොවේ. ඔහු මහා පදවිවලට වඩා අගය කොට
සැලැකූයේ ලෝකය පුරා බුදු සසුන බැබැළවීමටය.
මලලසේකර බණ්ඩාරනායක මහතා මෙන් ම බණ්ඩාරනායක
මැතිනිය ද බොහෝ ගෞරවයෙන් සැලැකූූ ප‍්‍රාඥයෙකි. ඒ දේශපාලන මතිමතාන්තර මත නො වේ. හුදෙක් ඔවුන්
ගේ බෞද්ධ ප‍්‍රතිපත්තීන්ට හා මැදහත් පිළිවෙත
ගැන ඇති වූ පැහැදීම නිසා ය. එනිසා මැතිනිය ගේ
ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීම ගැන මලලසේකර ගේ
හදවතට දැනුණේ ඉවසිය නොහැකි වේදනාවකි. මේ සිද්ධියේ දී අසරණ වී සිටින මැතිනියට උපකාර
කිරීමට නොහැකි වීම ගැන කම්පනයට පත් මලලසේකර
ආරාධනාව ප‍්‍රතික්‍ෂේප කිරීම දූතයා මඟින්
දන්වා යැවීමෙන් පමණක් නතර නොවූයේ ය. එයින් තම
සංවේගයට පත් සිත සනසා ගැනීමට නොහැකි බව ඔහුට
වැටැහිණි. ”කොහොම හරි මැතිනිය හමුවෙලාම ආරාධනාව
පිළිගැනීමට නොහැකි හේතු කියන්න ඕනෑ” ලයිලි
නිස්කලංකයේ සිටින අවස්ථාවක් බලා මලලසේකර යෝජනා
කෙළේ ය. ”මහත්තයා ඒ අදහස ඉතාමත් හොඳයි. මැතිනිය අපිට
දක්වන්නේ අම්මා කෙනකු වගේ ආදරයක්... ඇගේ සිත්
රිදවීමෙන් අපිට මහත් වේදනාවක් දැනෙනවා” යැයි
ලයිලි කීවා ය. ”අපි එහෙනම් ඉක්මනින් එන නිවාඩුවෙදි ලංකාවට
ගිහින් දෙන්න එක්කම මැතිනිය බැහැදකිමු” යැයි
මලලසේකර යෝජනා කෙළේ ය. එසේම ඊළඟ නිවාඩුව ලද විගස ලයිලි හා මලලසේකර
ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවට විත් පසු දිනම
ගියේ මැතිනිය මුණගැසීම සඳහා ය. තමා හමුවට ආ
සැණින් ඔහු ගේ මුහුනින්ම මලලසේකර කුමන තීරණයකට
පැමිණ ඇද්ද යන්න ගැන මැතිනිය අවබෝධ කර ගත්තා
ය. ”මහාචාර්යතුමා මම දැනටම දන්නවා ඔබේ තීරණය
මොකක්ද කියල” ආ ගිය තොරතුරු කතා කිරීමෙන් පසුව
මැතිනිය කීවේ තරමක් වේදනා සහගත ස්වරූපයෙනි. ”මැතිනියනි! මම ඔබතුමියගේවත්, බණ්ඩාරනායක
මහතාගේවත් ඉල්ලීමක් කවදාවක්වත් පැහැර හැරලවත්
ප‍්‍රතික්‍ෂේප කරලවත් නැති බව ඔබතුමිය දන්නව
නේ?” ”ඔව් මහාචාර්යතුමා මම ඒ ගැන ඔබතුමාට ගරුකරනව.” ”නමුත් ඔබතුමිය ගේ මේ ඉල්ලීම මා බැහැර කරන්නේ
ඔබතුමිය කෙරේ ඇති වූ අබමල් රේණුවක හෝ
අකැමැත්තකින් නෙමේ.” ”ඒක මට තේරෙනවා.” ”මම කවදාවක්වත් ඔබතුමිය හෝ සමාජවාදී පිළිවෙත
අතහරින්නේ නෑ... ඒත් මේ භාරදූර වගකීම මම
භාරගත්තොත් මේ රටටත් සමස්ත ලෝකයටත් මගෙන්
කෙරෙන්න ඕන මූලික කාර්යය අතපසුවෙනවා...” ”මගේ අමනාපයක් නෑ මහාචාර්යතුමා... ප‍්‍රශ්නය
අපේ පක්‍ෂය අනාථවීමයි.” ”ඒක වෙන්න මම ඉඩ තියෙන්නෙ නෑ. අපි හොඳ
නායකයෙක් පත් කරමු.” ”මට හිතාගන්න බෑ මලලසේකර මහත්තයා” ”අපි ඔහොම තව ටිකක් යන්න ඉඩදෙමු... කාලය
ඔබතුමිය යා යුතු මාර්ගයට අවතීර්ණ කරාවි” ”ඒ කිව්වෙ මහාචාර්ය තුමා” ”අපි තාවකාලිකව කෙනෙක් නම් කරල ඉදිරි කටයුතු
කරමු... සුළු පසු බැසීමක් වේවි... ඊට පසුව
ඔබතුමියට තීන්දුවක් අරන් පක්‍ෂය ශෛලස්ථම්භයක්
වගේ ශක්තිමත් කරන්න පුළුවන්.” ”ඒ කියන්නෙ පක්‍ෂ නායකත්වය මට ගන්න කියන එක
ද?” ”කිසි දේකට කලබල වෙන්න එපා. සියල්ල කාලය
විසින් විසඳ්‍රවි. ඔබතුමිය මේ වේලාවේ බොහොම බුද්ධිමත් විධියට
කටයුතු කරන්න ඕනෑ. පක්‍ෂයේ කටයුතු අවුල්
වියවුල් කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. ඔබ දිවංගත
අගමැතිතුමා සමග සිටීමෙන් ලොකු දේශපාලන පරිචයක්
තියෙනවා. ඒක තියෙන්නෙ සැඟවිලා.
දැන් ඔබතුමිය
දැඩි ශෝකයට පත් වී ඇති නිසා ඒ පරිචය මතුවෙන්නෙ
නෑ... ඒක මනුෂ්‍ය ස්වභාවය. සිත සන්සුන් වූ
වහාම සියල්ල හරියාවි... ඒක තමයි බුදු දහමේ
මූලික තේමාව... සිත සන්සුන් කරගන්න...” ”මලලසේකර උන්නැහෙ කොහොමත් බණ දහම් කියන්න
දක්‍ෂයි නෙ?” ”මම කීවේ පරම සත්‍යය” මලලසේකර බොහෝම උපායශීලී අන්දමින් මැතිනිය ගේ
සිත් නොරිදවා පක්‍ෂ නායකත්වය ගන්න යැයි ඈ කළ
යෝජනාව ඇඟට නොදැනෙන සේ ප‍්‍රතික්‍ෂේප කළ අතර
ඇයට නොතේරෙන්නටම පක්‍ෂ නායකත්වය ඔබතුමිය භාර
ගත යුතුය යන අදහස හීන් සීරුවේ හිතට රිංගවීය. මේ ගැන මලලසේකර හේන්පිටගෙදර ඥානසීහ, බඹරැන්දේ
සිරිසීවලී යන ස්වාමින් වහන්සේ සමඟ පමණක් නොව
ශ‍්‍රී. ල. නි. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ ද කීප
විටක් ම කතා බහ කෙළේ ය. 1960 මාර්තු මැතිවරණයේ දී සී. පී. ද සිල්වා ගේ
නායකත්වයෙන් ශ‍්‍රී. ල. නි. පක්‍ෂය තරග වැදුණු
අතර බණ්ඩාරනායක රජයේ ප‍්‍රබලයකුව සිට අගමැති
ධූරයට පත් වූ විජයානන්ද දහනායක ‘ලංකා
ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂය’ යනුවෙන් අලුත්
පක්‍ෂයක් ගොඩනංවා ගෙන සමහර කැබිනට් සගයන් සමඟ
තරග වැදුණහ. මෙය පක්‍ෂයේ දුර්භාග්‍ය කාලයක් වුවත් ජනතාව
පක්‍ෂය අතහැර නොගිය බව මැතිවරණ ප‍්‍රතිඵලවලින්
පෙනිණි. පක්‍ෂය මැතිවරණයෙන් පරාජය වුවත්
එ.ජා.ප.යට වඩා අඩු වූයේ සුළු ආසන සංඛ්‍යාවක්
පමණි. පක්‍ෂයෙහි සිටි සී. පී. ද සිල්වා, ශ‍්‍රී. ල.
නි. පක්‍ෂය තුළ තරමක් දක්‍ෂිණාංශයට බර
නායකයෙකැයි යන හැඟීම නිසාත් වාමාංශික පක්‍ෂ
බෙදී කැඩී ගිය නිසාත් පක්‍ෂය පරාජයට පත් වූ බව
කාටත් හැඟී ගියේ ය. දක්‍ෂිණාංශයට බර නායකයකුට
කැඩී ගිය වාමාංශය එක් කිරීමේ ශක්තියක් නොමැති
බව ද බොහෝ දෙනෙක් අවබෝධ කළහ. මලලසේකර මහතා මුල දී ම ඉදිරිපත් කළ බුද්ධිමත්
ඉදිරිදැක්ම ගැන කාටත් පෙනී ගියේ මේ අවස්ථාවේ
දී ය. හේන්පිටගෙදර ඥානසීහ හිමි පෙරටු කොට ගත්
මහා සංඝයා හා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෝ යළි එක්රැස්
වී කතා කළහ. ඔව්හු මලලසේකර ගේ උපදෙස් විශේෂයෙන් සැලැකිල්ලට
ගත්හ. මැතිනිය හමුවීමට ගිය පිරිස පක්‍ෂ නායකත්වය
භාරගන්නැයි බල කළහ. මේ බලකිරීම පිටුපස යෝධයකු
සේ නැඟී සිටියේ මලලසේකරයි. අන්තිමට 1960 ජූලි මාසයේ දී යළිත් පැවැති මහා
මැතිවරණයේ දී මැතිනියට ශ‍්‍රී. ල. නි. පක්‍ෂයේ
නායකත්වය ගන්නට සිදු විය.
තව කොටසක් ලබන සතියේ
|