|
අලුත් බිරිය
හමුදා ට‍්‍රක් රථය ආවේ ගුරු පාරේ දූලි
අවුස්සමිනි. ඛණිජ තෙල් සුවඳ අලුත් සුවඳක් සේ
පාර දිගේ පැතිරිණි. ඒ ට‍්‍රක් රථයෙන්
සොල්දාදුවා නිවාඩුවට ගෙදර පැමිණ සිටියේ ය.
විවාහයෙන් සතියකට පසු සේවයට ගොස් සිටි ඔහු ගේ
සිතේ නැවුම් සිතිවිලි බොහොමයක් තිබිණි.
මද්දහන හෝරාවකින් ගෙවී ගිය ද හිරු එළිය දැඩි
ය. ජීවිතයේ ප‍්‍රථම වතාවට හමුදා ට‍්‍රක් රථයක්
ගමට පැමිණෙනු දුටු කොලු නඩය ට‍්‍රක් රථය පසු
පස දිව ආවෝ ය. සුව නො වූ තුවාල කකුල් සහිත
ඔවුන් බොහොමයක ගේ ජංගිවල ඉලාස්ටික් පටි බුරුල්
ය. ඔවුහු තරුණ සොල්දාදුවා හඳුනති.
විශාල සහ කුඩා ඇඳුම් බෑග දෙකක් ගෙයින් තැබූ
සොල්දාදුවා තම සගයන් ගෙන් සමු ගත්තේ ය. ඔවුන්
වෙනත් රාජකාරි කටයුත්තකට යමින් ගමන සොල්දාදුවා
හැරලීමට පැමිණ තිබිණි. අලුත් බිරිය ඔහු සමඟ ම
විය.
‘ටූ වීක්ස්වලින් රත්මලානෙන් ප්ලයි කරනව‘
සගයන් හොඳින් ම දන්නා දේ සොල්දාදුවා යළිත්
වරක් කීවේ ය. ඔහු තම අලුත් බිරිය ගේ නොතේරුම්
සහගත විස්මිත දෑස් දෙස බලා සිනාසුණේ ය.
අලුත් බිරිය තම ස්වාමියා දෙස බැලුවේ
සාඩම්බරයෙනි. ඔහු ආයුධ රහිත ව නිල ඇඳුමෙන්
පැමිණ තිබේ. ඔහු ගේ මාංශ පේශීන් ශක්තිමත් ය.
ඔහු ගේ පාවහන් හඬ ගැඹුරු ය. ඒ බරැති
සපත්තුවලින් ගෙදර සිමෙන්ති පොළොවේ වැලි කැට
පිපිරිණි. ඔහු ගමන් කෙළේ හැබෑ සොල්දාදුවකු ලෙස
ය. ඔහු ගේ සිරුරින් නැඟෙන දහදිය මිශ‍්‍ර
සිගරැට් සුවඳ පි‍්‍රය මනාප ය.
තම මහලු මව ගේ හිස අත ගෑ සොල්දාදුවා පැමිණි
ගමන ගැන වාර්තා කරමින් බෑගයේ තිබූ ටින් කෑම සහ
චොක්ලට් පෙති පාර්සලයක් අලුත් බිරියට දුන්නේ
ය.
පැමිණ සිටි පොඩි එවුන්ටත් රස කැවිලි බෙදාදුන්
සොල්දාදුවා, උන් ඇසූ ප‍්‍රශ්න ගණනාවක
ප‍්‍රතිඵලයක් වශයෙන් ඒ හදිසියේ යුද්ධය පිළිබඳ
කෙටි සිදුවීම් දෙකක් කීවේ ය. හමුදාවේ භාවිත වන
ඉංගී‍්‍රසි වචන බෙහෙවින් භාවිත කිරීම නිසා ඒ
කතා කොලු පිරිසට නොපැහැදිලි විය. එහෙත් ඔවුන්
ආපසු ගියේ වැටේ ඉණි කඩා තුවක්කු සේ භාවිතයට
ගෙන හතරදිග් බාගයේ වෙඩි තබමිනි.
“හරි අමාරුවෙන් නිවාඩු ගත්තෙ. තාම අපි ඉන්න
පැත්තෙ ඔපරේෂන්”
අලුත් බිරිය තාමත් එසේ ය. ඇය සිහින් ය.
කම්මුලේ උපන් ලපයකි. ඇගේ නිකට උල් ය. පියයුරු
කුඩා ම නැත. අවදියෙන් යුතු හැම විට ම ඇගේ
දෙනෙත් පුළුල් ය.
“මං බයේ හිටියෙ” ඇය නොතේරුම් කටින් ම කීවා ය.
“උන්ගෙ දහ අටක් බ්ලාස්ට්. අපේ ඩැමේජ් නෑ.”
ඒ සියල්ල නිරවුල් ව දැන ගන්නට හැකි නම් මැනවැ
යි ඇය සිතුවා ය. එහෙත් ස්වාමියා ගෙන් ප‍්‍රශ්න
කිරීම නො ගැළැපේ. ඔහු සිටින්නේ බරපතළ කාර්යයක
ය. ඔහු සොල්දාදුවෙකි. ඔහු ගමන් බිමන් යන්නේ
අවිගත් සොල්දාදුවන් සහිත ට‍්‍රක් රථයෙනි. ඔහු
ආපසු යන්නේ හත්මුතු පරම්පරාවේ එකෙකුවත් නොගිය
ලෙස ගුවන් යානයෙනි.
රාති‍්‍රය දෙගොඩහරියක් වන තුරු සොල්දාදුවා තම
ගමේ මිතුරන් සමඟ යුද්ධය ගැන කතා කෙළේ ය. ඒ කතා
බහේ දී සිනා හඬ පැතිරිණි. මත්පැන් සමඟ
දුම්වැටි ද එක් විය. අලුත් බිරියත් හැම දෙනට ම
කෑම සකස් කළා ය.
“නිකන් ඉන්න හැම වෙලාවෙම ගෙදර මතක් වෙනව. ඒත්
ඔපරේෂන් හින්ද ගෙදර ගැනවත් හිතන්න වෙලාවක්
නෑ.” යහනේ ඇලවෙමින් සොල්දාදුවා කීවේ ය.
ති‍්‍රකුණාමලය දක්වා මුහුදින් ද ඉන්පසු හමුදා
රියකින් ද ගෙදර පැමිණි සොල්දාදුවා ඉක්මනින්
නින්දට වැටුණේ ය. දෙ අත් එක්කරගෙන උඩුබැලි අතට
හැරී ඔහු සුවපත් නින්දක ය. ඔහුට සුවපත්
නින්දක් අවශ්‍යය ය. ඔහු සතුරන් ගෙන් තොර ව
සිටින්නේ මේ මොහොතේ ය.
යහනින් නැඟී සිටිය අලුත් බිරිය ජනේලය හැර
දැම්මා ය. සඳ එළිය ගස් අතු ඉතිවලත් පඳුරු
බිම්වලත් දිලිහේ. එහි තෙත් හීතලක් තිබිණි.
මත්වන තරම් වූ රුක් අත්තන මල් සුවඳක්
දෙසැම්බරයේ ගම්මානයට උරුම ය.
සතියක විවාහ දිවියකට පෙර අලුත් මනාලිය
සොල්දාදුවා ආශ‍්‍රය කර තිබුණේ සති දෙකක් පමණි.
ගම් දෙකේ දුර කිලෝමීටර් හතරක් පමණ විය. විවාහ
යෝජනාව ඉක්මන් වූයේ සොල්දාදුවා සේවයට යා යුතු
වූ හෙයිනි.
දෙදෙන ම ඔවුනොවුන් පිළිබඳ ව තැතිගත් කුලෑටි
සිත් ඇති ව සිටියෝ ය. සොල්දාදුවා බැටෑලීනයේ
යහපත් ම සොල්දාදුවා විය. ඔහු මිතුරන් සමඟ
ගැහැනුන් පිළිබඳ ව කතා නො කෙළේ ය. ස්ති‍්‍රයක
ගේ සෙළු කයක් දැකීම පිළිබඳ ව ඔහු සිතුවේ දුර
ඈත සදාචාරයට පටහැනි සුන්දර පාප කර්මයක් ලෙස ය.
ඔවුන් ගේ ප‍්‍රථම සිප ගැනීම පවා දෙදෙන ම තුළ
බියපත් හැඟීමක් උපදවා තිබිණි. සොල්දාදුවා
එවැන්නක් සිදු කෙළේ එය එසේ අසා තිබුණු බැවිනි.
ඇය විස්මිත ආසාවකින් මඳ අඳුරට තම පුළුල්
දෙනෙත් යොමු කර සිටියා ය.
විවාහයේ දින හතේ ම කිසිවක් සිදු නො විණි. යහනේ
දිගෑදෙන්නට පෙරත් සිගරැට්ටුවක් පානය කළ ඔහු,
වෙවුලන අතින් ඇය ගේ සීතල යටිකය ස්පර්ශ කෙළේ ය.
අලුත් මනාලියට ආදරය කළ සොල්දාදුවා තම ප‍්‍රථම
කෝඩුකාර පේර්මයට ගැහැනියක අත්පත් කර සිටියේ
ය.
එහෙත් ඔහු කෙටියෙන් ඇය සමඟ කතා කෙළේ ය. ඔහු තම
හිතවතුන්ට නොමසුරු විය. ඔහු තමා යුද බිමේ
ලොක්කන් ගේ සිත් දිනාගෙන ඇති ආකාරය විස්තර
කෙළේ ය.
“කැප්ටන් මට තමයි කියන්නෙ සෝල්ජර්ස් විමලෙ
ක්වාටර්ස්වලට ගෙහුං මේ බඩු ටික තියල එන්න
කියල. මං ඩ‍්‍රැයිවින් පුරුදු උනෙත් ඒ හින්ද
තමයි.”
සොල්දාදුවකු වූ තම ස්වාමියා බොහෝ දැනුම්
තේරුම් ඇති උගතකු යැයි අලුත් බිරිය සිතුවා ය.
හතේ පන්තියෙන් එහාට නොගිය ඇය ඉඩකඩම් හරක බාන
ඇති පවුලක පියාටත් මවටත් උදව් කළ පවුලේ
තුන්වැන්නිය වූවා ය. මෙතෙක් ඇයට හමු වූ දැනුම්
තේරුම් සහිත වගකීම් ඇති එක ම පිරිමියා
සොල්දාදුවා විය.
විවාහයේ ප‍්‍රථම දින හත පුරා ඇය සිටියේ
උණුසුම් හැඟීමෙනි. ඔවුන් දෙදෙන නිහඬ ව
නිශ්ශබ්ද ව එහෙත් ගරු ගම්භීර ලෙස ආදරය කිරීම
ආරම්භ කර තිබිණි. එහි කෝළ සිතක් තිබිණි.
සොල්දාදුවා තමා ගේ පිරිමි මහේශාක්‍ය බව තම
බිරියට ඔප්පු කෙළේ තම රැකියාවේ වග කියයුතු බව
සඳහන් කරමිනි. පසුගිය කාලය පුරා ඔහු ගෙදරට එවූ
ලියුම් හතරේම සඳහන් කෙළේ යුද්ධයේ ඇති බැøරුම්
කාර්යාවලිය යි.
සොල්දාදුවා දැන් නිවසට පැමිණ තිබේ. ඔහු ටින්
කෑම චොක්ලට් එක් රැස්කර තිබුණේ තමාට ගෙනැවිත්
දීම සඳහා ය. ඔහු තමාට ආදරය කරන්නේ ය.
ජනේලය වසා දැමූ අලුත් බිරිය තම ස්වාමියාට
නෑහෙන්නට හෙමිහිට අල්මාරිය අස්පස් කළා ය.
පසුගිය කාලයේ ඇගේ තනියට හිටියේ නැන්දම්මා ය. ඒ
කාලයේ මහා පාළුවක් තිබිණි. දැන් ඔහු සති දෙකක්
තමා සමඟ සිටිනු ඇත. ඉන්පසු යුද්ධය විසින් ඔහු
බොහෝ ඈත ප‍්‍රදේශයකට කැඳවාගෙන යනු ඇත.
අලුත් බිරිය ඇඳේ වාඩි වූවා ය. කුඩා කාලයේ
හැදුණු පැපොල් ලප කැළලින් යුතු ස්වාමියා ගේ
මුහුණ තරුණ පිරිමිකමින් යුතු ය. ඔහු ගේ හිස
කෙස් කෙටි ය. මුහුණේ රවුළු කොට ය. අධික ලෙස
දුම්පානය කිරීම නිසා ඔහු ගේ දෙතොල් කළු ය.
ඇගේ සීතල වෙවුලන ඇඟිලි තුඩු සොල්දාදුවාගේ
හිසකෙස් අතර ගමන් කරන්නට විය. දුර ඈත ගමනක්
ගොස් ආපසු ආවා සේ සොල්දාදුවා මොහොතක් තම අලුත්
බිරිය දෙස බලා සිටියේ ය. තිගැස්සෙන සුලු යුද
බිමේ නින්දට වඩා වෙනස් වූ සුවැති නින්දක මෘදු
වූ පිබිදීමක තමා සමීපයේ වාඩි වී සිටින්නේ
අලුත් බිරිය ය.
සොල්දාදුවා මඳ සිනා නැඟුවේ ය.
“ඔයා නිදිනෙ” ඇය හෙමිහිට කීවා ය.
“ø වෙලාද?” සොල්දාදුවා ගේ් හඬ ගොරෝසු ය.
“එළිවෙලා. දෙකට විතර ඇති”
“නිදාගන්නෙ නැද්ද?”
“නෑ. ඔයාගෙ රෙදි අස් කළා”
විවාහ වෙන තුරු කිසිදු ගැහැනියක සමඟ ඇයි
හොඳයිකම් නො කී සොල්දාදුවා ඇය ප‍්‍රථම වරට
බුලත් හෙප්පුව තමා වෙත පිරි නැමූ ආකාරය සිහි
කෙළේ ය. තමන්ට ආදරය කරනවා වැනි උදාර සිතක් ඔහු
තුළ ඇති විය. පියා මිය ගිය ඔහු ගේ මහලු මව,
මියෑදෙන්නට පෙර තම පුතාට මනාලියක සොයා දුන්නා
ය. ඔහු ඇය ගේ ගැහැනු කම හෙමිහිට වටහා ගනිමින්
සිටියේ ය.
අලුත් බිරිය ගේ සිතේ නන්නාඳුනන දැඩි බවක්
එඩිතර බවක් ඇති වී තිබිණි. ඇය හෙමිහිට බිරියක
ගේ සීමා මායිම් හඳුනාගනිමින් සිටියා ය. ඒ තුළ
ගං තුලානේ හැදී වැඩුණු කෝල සිත බැහැර වෙමින්
තිබිණි. එය පි‍්‍රය මනාප ය. ආස්වාදජනක ය.
“ලාම්පුවෙ එළිය වැඩියි” සොල්දාදුවා ගේ වචන
වෙවුලන සුලු ය.
“කමක් නෑ.” රාතී‍්‍ර ඇඳුම උරහිස ළඟින් පහත
හෙළමින් දුර ඈත සිට කොඳුරන්නා සේ අලුත් බිරිය
කීවා ය.
අරුණෝදය සොයා යන රාති‍්‍රය උණුසුම් නො වී ය.
අඳුරේ ගස් අතු ඉති සිපගත් පිනිබිඳු රූරා
වැටෙමින් තිබිණි. සුළඟ නිශ්ශබ්ද ව කොළ අතු ඉති
මල් සුවඳින් යුතුවිය.
“මං අස්වෙනව නං තව කල් තියෙනව“ අලුත් බිරියට
සොල්දාදුවා ගේ රැවුළු කොටවල වේදනාව නො දැනේ.
“නෑ. යුද්ධය ඉක්මනින් ඉවරවේවි.”
ප‍්‍රාර්ථනාත්මක ශෝකී ස්වරයක් ඇගේ හෙ¾ඩ් විය.
අරුණෝදයේ හිරු එළිය උස් කඳු මුදුන්වලට එහා
ගැඹුරු සමුදුරු තීරයේ තවමත් නිසල ය.
සුනන්ද
එරංග පෙරේරා
|