සරුසාර ජීවිතයකට බෝසත් උපමා කතා I, II
 

සරුසාර ජීවිතයකට බෝසත් උපමා කතා I, II

 

 

සිංහල උපදේශන සාහිත්‍යයට අදාළ අභිනව කෘති දෙකක් කියවන්නට ලැබිණි. “සරුසාර ජීවිතයකට - බෝසත් උපමා කතා I“ හා “සරුසාර ජීවිතයකට – උපමා කතා II” එම කෘති දෙක ය. පුවත්පත් කලාවේදියකු සේ ම පුරාතන සාහිත්‍යය හා ඉතිහාසය පිළිබඳ ප‍්‍රවීණ රචකයකු වන හලලීයේ කරුණාතිලක එහි කතුවරයාය.

පළමු කෘතියට උපමා කතා හතළිස් හතක් ඇතුළත් ය. දෙවන කෘතිය උපමා කතා විසිපහකින් සමන්විත ය. සියලු කෘතිවලට අදාළ තේමා උකහාගෙන ඇත්තේ බෞද්ධ සාහිත්‍යයෙනි.

උපදේශනය (councelling) මනෝ විද්‍යාත්මක විෂයයක් ලෙස හා වෘත්තීය තත්ත්වයක් බවට ප‍්‍රවර්ධනය නො වූ ඈත අතීතයෙහි ප‍්‍රධාන ප‍්‍රවාහ දෙකක් ඔස්සේ එම සමාජ අවශ්‍යතාව ඉටු කැරිණි. පළමු ප‍්‍රවාහය ආගම වේ. දෙවන ප‍්‍රවාහය උපදේශන සාහිත්‍යය වේ. ඉන් කරුණාතිලක මහතා ගේ අවධානයට ලක්ව ඇත්තේ උපදේශන සාහිත්‍යයයි.

ලොව බොහෝ සාහිත්‍යයන්හි උපදේශනය දක්නට ලැබේ. එයිනුදු ග‍්‍රීක, සංස්කෘත, මාගධී, ප‍්‍රාකෘත, ද්‍රවිඩ යන සාහිත්‍යයන්හි උපදේශන කතා බහුල වේ. ඇරිස්ටෝටල් පඩිවරයා ගේ සෑම කෘතියක ම පාහේ උපදේශන ඇතුළත්වීමෙන් ග‍්‍රීක සාහිත්‍යය ඊට දැක් වූ නැඹුරුතාව පැහැදිලි ය.

පුරාණ මහා භාරතයෙහි උපදේශන කතා අටදහසක් ඇතුළත් බව ප‍්‍රකට කරුණකි. “පඤ්ච තන්ත‍්‍රය”, “බෝධිචය¸වතාරය” භාරතයේ උපදේශන සාහිත්‍යයට තවත් නිදසුන් ය. පැරැණි සාහිත්‍ය කෘතිවල පරමාර්ථය උපදෙස් දීම නො වූවද එහි ද්විතීයික අංගයක් ලෙස උපදේශනයට වැදගත් තැනක් හිමි ව තිබේ.

සමාජ කාර්යයක් ලෙස ගත්කළ උපදේශනයෙහි පරමාර්ථය වන්නේ ජනතාව ගේ යහපත් පැවැත්මට අදාළ ඉගැන්වීම් රාශියක් ඉදිරිපත් කිරීම ය. එම උපදේශ ඉදිරිපත් කරනුයේ සාහිත්‍යයෙහි ප‍්‍රබල ලක්ෂණ වන නිරූපණය හා රසවින්දනය මුල්කරගෙන ය.

මේ නිසා ම ප‍්‍රජාව ගේ් සිත් කම්පනයට පත් කරමින්ම ආකර්ෂණීය ලෙස සමාජ හර පද්ධතීන් ගොඩනැඟිය හැකි වේ. සමස්තයක් හැටියට ගත් කළ උපදේශන සාහිත්‍යයෙහි ඉලක්ක කිහිපයකි.

(I) චරිත සංවර්ධනය, (II) ව්‍යවහාරික ඥානය දියුණු කිරීම, (III) ආගමික හැඟීම් පුබුදු කිරීම, (IV) රස වින්දනය

සිංහල සාහිත්‍යය ද හැමවිට ම පාහේ උක්ත ආදර්ශයන් ලබාගෙන තිබේ. මුල්ම සිංහල උපදේශන ග‍්‍රන්ථය ලෙස සැලකෙන්නේ ධර්මසේන හිමියන් ගේ “දහම්ගැටමාලය”යි. දෙවැන්න වීදාගම මෛතී‍්‍ර හිමියන් ගේ “දහම්ගැටමාලාව“යි ඉක්බිති සිංහල උපදේශන සාහිත්‍යයට අගනා කෘති ගණනාවක් එක්ව තිබේ.

අලගියවන්න මුකවැටිතුමාගේ “සුභාෂිතය”, රණස්ගල්ලේ හිමියන් ගේ “ලෝකෝපකාරය”, පියදාස සිරිසේන සූරීන් ගේ “ඔවදන් මුතුවැල” නිදසුන් කිහිපයක් පමණි. මේ පුරුකට අයත් අලුත් ම කෘති දෙක ලෙස “බෝසත් උපමා කතා” ධ් හා ධ්ධ් හඳුන්වාදීම නිවැරැදි ය.

ජාතක කතා පදනම් කරගනිමින් සරල එහෙත් ආදර්ශවත් කතා සම්ප‍්‍රදායක් ගොඩනැඟීමට කරුණාතිලක මහතා සමත් ව තිබේ. මේ කතා ආකෘතිය විසින් අප වඩාත් සමීප කරනු ලබන්නේ ගමකතාවල කථාන්දර කීමේ ශෛලියට ය.

 ජාතික කතාවල දක්නට ලැබෙන ගැඹුරු ජීවිත විවරණ, වර්ණනා, තියුණු සංවාද බෝසත් උපමා කතාවල නැත. ඒ වෙනුවට වේගවත් කියැවීමක් සහිත ලුහුඬු කතා ගොන්නක් කතුවරයා අතින් නිර්මාණය වී තිබේ.

ඒ සියල්ල දුරා’වබෝධයකින් තොරව එක දිගට කියවාගෙන යා හැකි ය. ජාතක කතා නූතන සමාජයට ගැළපෙන සේ නැවත ලියැවීමක් හැටියට ද මේ වෑයම හැඳින්විය හැකි ය. එහෙත් ජාතක කතාවලින් සේ ගැඹුරු ජීවිත විවරණයක් හෝ චරිත නිරූපණයක් හෝ මේ කතාවලින් අපේක්ෂා කළ නො හැකි ය.

ජාතක කතා නැවත නිර්මාණය කිරීමත්, ඒ ආශ‍්‍රයෙන් වෙනත් ප‍්‍රබන්ධ කෘතියක් ඉදිරිපත් කිරීමත් ඉතා දුෂ්කර කාර්යයෙකි. ජාතක කතා පාදක කරගනිමින් ප‍්‍රති නිර්මාණය වූ වේදිකා නාට්‍ය, ප‍්‍රබන්ධ කථා, කාව්‍ය, මහා කාව්‍ය, වැනි දැවැන්ත නිර්මාණ දෙස බලන විට ඒ බව මනා ව පැහැදිලි වේ.

එම දුෂ්කර අභියෝගය බාර ගෙන සූක්ෂ්ම නිර්මාණයක් කිරීමට කතුවරයා උත්සාහ නො කරයි. ඒ වෙනුවට ඔහු තෝරාගෙන ඇත්තේ ජාතක කතාවල සාරය ගෙන සරල උපදේශක කතාවක් කීමය.

යහපත් දිවි පැවැත්මකට අවශ්‍ය වීර්යය, නිර්භීතකම, උපායේ දක්ෂකම, නුවණැතිබව, ආචාරශීලී බව මේ කතාවලින් හුවා දක්වයි. එලෙස ම අධික කාමා’ශාව, ලෝභය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, උඩඟුකම, මෝඩකම නිසා මිනිසා අගතියට ගමන් ගන්නා අයුරු ද මේ කතාවලින් නිරූපිත ය. යහපත හුවා දැක්වීමත්, අයහපත ප‍්‍රතික්ෂේප කිරීමත් කතුවරයා ගේ ධර්ම – මාර්ගය වී තිබේ. එහිලා පැතලි හා ඒකපාර්ශ්වීය චරිත නිරූපණයකට කරුණාතිලක මහතා යොමුවී ඇත.

මෙහි ලා කතුවරයා භාවිත කරනුයේ ඉතා සරල භාවික ගුණයෙන් හීන වාර්තාමය භාෂාවෙකි. එහෙත් උපයුක්ත බස අතිශයින් නූතන ය. කටවහරට හුරු ය. පහත උද්ධෘතය ඊට කදිම නිදසුනෙකි.

”නරියා දැන් හොඳ පදමකට ඇවිත් ය. නැගිට ගන්නත් බැරි තරම් ය. මත්වෙලා ය. බඩගාගෙන යාන්තමින් මුලුතැන්ගෙයින් පිට විය. ළඟ ම තිබූ පඳුරකට රිංගා ගත්තේ ය. ඌට එතැන නින්ද ගියේ ය.”

කාටත් වැටහෙන සරල බණ කතාවක් කීම මේ කෘති දෙක මඟින් සිදු කෙරේ. එහෙත් බෞද්ධ උපදේශනයෙහි අරමුණ වන්නේ සමාජ කි‍්‍රයාකාරකම්වල පවත්නා යහපත – අයහපත සමඟ ජීවිතයෙහි ගැඹුරු යථාර්ථයන් පැහැදිලි කිරීමය. සිංහලයේ මහා කාව්‍ය ද්විත්වයෙන් එකක් සේ සලකනු ලබන කාව්‍යශේඛරය ගෘහ ජීවිතය සම්බන්ධයෙන් වටිනා උපදෙස් රැසක් සංගෘහිත කළ කාව්‍යයෙකි. එහි ගැහැනිය නිරූපණය කරන්නේ පොදු සමාජ යථාර්ථයක් ද හුවා දක්වමිනි.

”පිරිමිය නුදු පතන
අවසර කල් රහස් තැන
මිස නොලැබෙන බැවින
ගැහැනු කව්රුද වරදෙ නොබැඳෙන”

එබඳු පුළුල් විවරණයකට නොගිය ද හලලීයේ කරුණාතිලක මහතා ගේ බෝසත් උපමා කතා I හා බෝසක් උපමා කතා IIයන කෘති දෙක පාඨක සමාජයට වැඩදායක ය. හේතුව නම් නූතන තරගකාරිත්වය තුළ වේගවත් ධාවනයක යෙදී සිටින සමාජයට ඒ මඟින් ක්ෂණික හා තාවකාලික ආස්වාදයක් සමඟ සෘජු ආදර්ශයක් ද ලබා ගත හැකි බැවින් ය.