ලොව අවුල් සහගත, කුහක, පශ්චාත් නූතන රචනා ලියුවෝලංකාවේ පශ්චාත් නූතනවාදීහු ය

ලොව අවුල් සහගත, කුහක, පශ්චාත් නූතන රචනා ලියුවෝලංකාවේ පශ්චාත් නූතනවාදීහු ය

කතිකා අධ්‍යයන කවය, “දේශපාලන, සංස්කෘතික, සමාජ විචාර පති‍්‍රකා අංක 1” (ඔක්තෝබර් 15) පුවත්පත්වලට යවමින් කාලෝචිත ප‍්‍රශ්නයක් නඟයි. අදාළ ප‍්‍රශ්නය ගැන තම මතය සෘජුව ඉදිරිපත් නොකරන ඒ පති‍්‍රකාව ඇමරිකානු සංස්කෘතික විචාරිකා සහ මහාචාර්ය කැමිල් පාග්ලියගේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් සමාලෝචනය කරයි. එහිදී ඇය මෙසේ කියයි. පශ්චාත් - ව්‍යූහවාදය සහ පශ්චාත් නූතනවාදය ප‍්‍රධාන වශයෙන් ඇමරිකාවේද, එහි ආනුභාවය යටතේ සෙසු ලෝකයේද සාහිත්‍ය විචාරය විනාශ කර ඇත.

පශ්චාත් - ව්‍යුහවාදය සහ පශ්චාත් - නූතනවාදය ඇමරිකාවට හඳුන්වා දුන් ධනවත් අයිව් ලීග් විශ්ව විද්‍යාලය සම්භාව්‍ය, ශස්තී‍්‍රය අධ්‍යයනය විනාශ කළ බව ඇය කියයි.

ඇමරිකානු විශ්ව විද්‍යාල පශ්චාත් නූතනවාදීන්ගේ ග‍්‍රහණයට යටත් වීම නිසා සාහිත්‍ය රසවින්දනය විනාශ වූ බවත් ඇය කියයි. මේ අදහස සාරාංශ කරන කතිකා අධ්‍යයන කවයේ පති‍්‍රකාව ඈ නඟන කිසිදු ප‍්‍රශ්නයක පසුබිම් සවිස්තරව විස්තර කරන්නටත්, ඒ ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන්නටත් ඉදිරිපත් නොවීම විශාල අඩුවකි.

අනික පාග්ලියා ඇමරිකානු සාහිත්‍ය අධ්‍යයනය ගැන කරන තක්සේරුව සිංහලයෙන් සාරාංශ කර පති‍්‍රකාවක් වශයෙන් ඉදිරිපත් කිරීම කොතෙක් ප‍්‍රයෝජනවත්ද යන්නත් ප‍්‍රශ්නයකි.

ඇමරිකානු අයිව් ලීග් විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් ඇය කරන චෝදනාවෙහි සත්‍යයක් ඇත. අයිව් ලීග් විශ්ව විද්‍යාලයක් වන කෝර්නෙල් වැඩ කරන, එහි න්‍යාය සහ විචාරය පාසලෙහි ආදි ශිෂ්‍යයකු වන මම මේ චෝදනාව ආශි‍්‍රත විවාදය කාලයක සිට දැක ඇත්තෙමි.

පා(ග්)ලියා

ඇමරිකාවෙහි විසංයෝජන ක‍්‍රමය සහ පශ්චාත් ව්‍යූහවාදය ජනපි‍්‍රය කරවීමෙහි මූලික වූ කොර්නෙල් විශ්ව විද්‍යාලයෙහි ජොනතන් කලර් (සහ ඔහුගේ බිරිඳ සින්නියා වේස්) සම්බන්ධයෙන් පාග්ලියා කරන චෝදනාව කල තවත් අය ඇත.

එහි ඇත්තක් ද ඇත. සාමාන්‍යයෙන් වාමාංශිකයයි තමන් හඳුන්වා ගන්නා මේ මහාචාර්යවරුන් ඉතා සැපවත් ඉහළ මධ්‍යම පාන්තික ජීවිත ගෙවන්නන් බවද ඇත්තය.

 යුරෝපයේදී පශ්චාත් ව්‍යූහවාදයට තිබූ දේශපාලනික මුවහත නිර්දේශපාලනික පඨිත සෙල්ලමක් බවට ඌනනය කරන කෘතියක් ලෙස ජොනතන් කලර්ගේ Structuralist Poetics කෘතියට විවේචන එල්ල වූයේ එය පළවූ කාලයේදීමය. ටෙරී ඊගල්ටන් එම කෘතිය එසේ විචාරය කළේ අසූව දශකයේදීමය.

අසූව දශකය යනු පශ්චාත් - ව්‍යූහවාදයේ ජනපි‍්‍රයම අවදියයි. (බලන්න, ඊගල්ටන්ගේ Against the Grain එහෙත්, පශ්චාත් ව්‍යූහවාදී න්‍යාය සාහිත්‍ය වඩා හොඳින් කියවීම පිළිබඳ සපයන ලද න්‍යායික මෙවලම් අඩු තක්සේරු කළ නොහැකිය.

එසේම ෆෙඩ්රික් ජෙම්සන් වැනි අය පශ්චාත් ව්‍යූහවාදය සහ පශ්චාත් නූතනවාදය වර්තමාන දියුණු ධනවාදය තේරුම් ගැනීමට සමත් පශ්චාත් මාක්ස්වාදයක් නිර්මාණය කිරීමට භාවිත කළ බව ද අමතක කළ යුතු නැත.

ලියොතාද්

ඇමරිකානු සාහිත්‍ය පාඨමාලාවලදී සාහිත්‍ය හදාරන්නට ගත කරන කාලයට වැඩි කාලයක් න්‍යායන් කියවන්නට ගත කරන බවද ඇත්තකි. උදාහරණයක් ලෙස, ශාක් ඩෙරීඩාග් පොතක් කියවීමට ගත වන කාලය හොඳ නවකතා තුන හතරක් කියවීමට ගත වන කාලයට වඩා වැඩිය.

ඊළඟට ඩෙරීඩා වැන්නකු අදහස් සාරාංශ කර ලිඛිත සහ කථන මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමට ගත වන කාලය ඊටත් වඩා වැඩිය. මේ අදහස් සිංහලෙන් සාරාංශ කරන්නට ගත වන කාලය හොඳ නවකතා දහයක් කියවීමට ගත වන තරම් කාලයකි. ඒ නිසා න්‍යායික අධ්‍යයනයෙහි යෙදීම සාහිත්‍ය සමීපව කියවා රස විඳීමට ගත කළ හැකි කාලය අවම කිරීමකි.

 එසේම න්‍යායික අධ්‍යයනය සාහිත්‍ය පඨිතමය ස්වභාවය, සාහිත්‍යයෙහි දේශපාලනිකත්වය, සාහිත්‍ය නම් යන්ත‍්‍රණය අර්ථ සම්පාදනය කරන ආකාරය ආදිය විස්තර කිරීමට දක්වන සමත්කම සාහිත්‍ය රස වින්දනය කෙරෙහි නොදක්වයි.

එය පශ්චාත් ව්‍යූහවාදයේ සහ පශ්චාත් නූතනවාදයේ දුර්වලකමකි. මේ ආදි හේතු නිසාත්, මෙම න්‍යායන් දෙස සැකයෙන් බලන ගැඹුරු මානව ශාස්ත‍්‍ර විෂයක් ලෙස සාහිත්‍ය අධ්‍යයනය ආරක්ෂා කර ගැනීමට කටයුතු කර ගෙන ගිය නිරන්තර සටන නිසාත් හුදු න්‍යායික හරඹවලට එතරම් ආකර්ෂණයක් දැන් ඇත්තේ නැත. ළඟදීම පළ වීමට නියමිත මගේ සහෘද සාක්ෂිය: “ආඛ්‍යාන කලාව සහ මිනිස් සමාජය” නම් කෘතියෙහිදී මම මෙසේ ලිව්වෙමි.

“හැටේ දශකයේ අවසානයේ පමණ සිට ඇමරිකානු විශ්ව විද්‍යාල සාහිත්‍ය අධ්‍යයනය යුරෝපීය මහාද්වීපික න්‍යායධරයන්ගේ බලෑමට යටත් විය. ව්‍යූහවාදය, පශ්චාත් ව්‍යූහවාදය ඇමරිකානු විශ්ව විද්‍යාලවලට ආවේ එකවරටය.

ඉන් පසු රෝලන්ඩ් බාත්, ශාක් ඩෙරිඩා, ශාක් ලකාන්, මිචෙල් ෆුකෝ, පියරේ බෝඩියෝ ආදීන්ගේ රචනා වේගයෙන් ඉංගී‍්‍රසියට පරිවර්තය විය. එම පරිවර්තනය ව්‍යාපාරයට නායකත්වය දුන්නේ ඇමරිකානු විශ්ව විද්‍යාලවල සිටි විද්‍යාර්ථීන්ය. යට කී යුරෝපීය න්‍යායධරයන් නිතර නිතර ඇමරිකානු විශ්ව විද්‍යාලවල ආරාධිත මහාචාර්ය පදවි ලදහ. ව්‍යූහවාදය, පශ්චාත් ව්‍යූහවාදය, ෂසංයෝජනය, මනෝ විශ්ලේෂණය ආදිය ගැන තොග ගණන් ලේඛන පළ විය.

ඇමරිකානු න්‍යායධරයෝද පහළ වන්නට විය. හැරල්ඩ් බ්ලූම්, ස්ටැන්ලි ෆිස්, පෝල් ඩිමාන්, ජේ. හිලිස් මිලර්, ෆෙ‍්‍රඩ්රික් ජේම්සන්, ජොනතන් කලර්. ගයාති‍්‍ර ස්පිවැක් ආදිහු ඇමරිකාවේ ප‍්‍රධාන විශ්ව විද්‍යාලවල සිට න්‍යායික කතිකාවට දායක වූහ. ඔවුන්ගේ ගෝලයෝද නව මහාචාර්ය පදවි ලැබ න්‍යායික රචනයේ යෙදෙන්නට වූහ.

1980 දශකය වන විට න්‍යාය සාහිත්‍ය පාඨමාලාවල ආධිපත්‍ය දරන්නට වූහ. න්‍යාය සඳහාම වන ගිම්හාන පාසලක් 1976 දී ඇරඹිණ. න්‍යායධරයන්ට ඊට පෙර පරම්පරාවේ විද්‍යාර්ථීන්ට, එනම් තියඩෝර් අඩෝර්නෝ, පෝල් රිකුවර්, හර්බට් මාකුස් ආදින්ට නොලැබුණ ‘තාරකා ප‍්‍රසිද්ධියක්’ න්‍යායධරයන්ට ලැබිණ. සාහිත්‍ය න්‍යායේ මෙම අධිවර්ධනය හෙවත් න්‍යාය අතිරික්තය ගැන ඒ අවදියේම ප‍්‍රශ්න කළ අය සිටියහ.

සාහිත්‍ය සඳහා න්‍යාය නොව න්‍යාය සඳහා සාහිත්‍ය බවට සාහිත්‍ය කණපිට පෙරලීම ගැන ඔවුහු අවධානය යොමු කළහ. සාහිත්‍යයේ කලාමය වැදගත්කම දෙවන තැනට වැටී සාහිත්‍ය පඨිතය න්‍යායික පඨිතයේ රඟබිම බවට පත්වී තිබීම කීප ආකාරයකින් ගැටලු සහගත විය. සාහිත්‍ය කෘතිය න්‍යායෙහි කරණම් වේදිකාව බවට පත් වූයේ අන්තර්ඥානයෙන්ද, ශික්ෂණයෙන්ද, සූක්ෂ්මාත්මතාවෙන්ද තොර රචකයන් අතය.

 න්‍යායික කිමිදුම්කරුවා න්‍යාය තටාකයට පනින ආරම්භක ලෑල්ල පමණක් බවට පත් වී තිබීම ගැන මුලින්ම කරදර වූවෝ සම්භාව්‍ය සාහිත්‍ය විද්‍යාර්ථීහුය. න්‍යාය ද්වීතියික බවත්, සාහිත්‍යයම ප‍්‍රාථමික බවත් ඇරිස්ටෝටල්ගේ සිටම පවතින සම්ප‍්‍රදාය බව ඔවුන් දැන සිටි බැවිනි. කතුවර අභිප‍්‍රාය, සාහිත්‍යයේ අරමුණ, පමණක් නොව කර්තෘ යන සංකල්පයම පවා තහනම් වචන බවට පත් විය. හැම්ලට් නාට්‍යයද, තට්ටමේ කෙටූ පච්චයද එකම තරමේ “පඨිත” බව තර්ක කරන්නෝ බිහි වූහ.

සාහිත්‍යය මෙසේ සමාජමය අරමුණුවලින් ඈත්වීම, ඉතා පුද්ගලවාදී පරිභෝජනවාදී ඇමරිකානු සංස්කෘතිය හා මැනවින් ගැලපිණ. අහුලාගත් තියරි කෑල්ලක් දමා රියලිටි ෂෝ එකක් ගැන මොනවා හෝ ලිවීම සාහිත්‍ය විචාරය යැයි සලකන යොවුන් ශිෂ්‍යයෝද බිහි වූහ. මිනිස් කි‍්‍රයාකාරකමක් ලෙස කලාවෙහිද, සාහිත්‍යයෙහි පමණක් නොව භාෂාවෙහිද ‘අසමත්කම’,

 ‘නොහැකි බව‘, ‘ලෝගෝ කේන්ද්‍රිතාව‘, ‘ශිශ්නකේන්ද්‍රතාව‘ ද ගැන වැදගත් ප‍්‍රශ්න අසන්නට තිබුණ පශ්චාත් නූතනවාදය, විශේෂයෙන්ද එහි සීමාන්තික ගුරුකුල, සාහිත්‍ය කලා අධ්‍යයනය පිරිහෙළන්නට දායක විය. ඒ නිසා එඩ්මන්ඩ් විල්සන්, ලයනල් ටි‍්‍රලිං හෝ රේමන්ඩ් විලියම්ස් හා සමාන ‘පශ්චාත් නූතන’ විචාරකයෙක් ඉංගී‍්‍රසි සාහිත්‍ය විචාරයට නැතිව ගියේය.

එහෙත් ජෝර්ජ් ස්ටයිනර්, හැරල්ඩ් බ්ලූම්, ෆ්øන්ක් කර්මෝඩ්, ටෙරී ඊගල්ටන්, රොබර්ට් ස්කෝල්ස්, ජෝර්ජ් ලෙවින්, ඇමන්ඩා ඇන්ඩර්සන් යනාදී බි‍්‍රතාන්‍ය සහ ඇමරිකානු විද්‍යාර්ථීහු නව සාහිත්‍ය න්‍යායන් සහ සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය එකට මුසු කරමින් සාහිත්‍ය විචාරය හුදු ආකෘතික සෙල්ලමක් බවට පත්වීම වැලැක්වීමට උත්සාහ කළහ.

ව්‍යූහවාදය, පශ්චාත් ව්‍යූහවාදය සංඥාර්ථවේදය සහ විසංයෝජනය යනාදී න්‍යායික ප‍්‍රවේශවලට සාහිත්යික පඨිතයකයක සංඥා කරන කාර්ය සිද්ධවීමේ යන්ත‍්‍රණය ඉතා සියුම්ව විස්තර කරන්නට හැකි වුවද මනුෂ්‍ය සන්නිවේදන කාර්යයක් ලෙසත්, කලා මාධ්‍යයක් ලෙසත්, භාෂා කි‍්‍රයාකාරකමක් ලෙසත් සාහිත්‍යයෙහි සමාජීය වැදගත්කම සාකච්ඡා කරන්නට ඒ ප‍්‍රවේශයන්ට හැකියාවක් නොවීය.

විශේෂයෙන්ම සාහිත්‍ය නම් සංකීර්ණ කලා මාධ්‍යයෙහි සංකීර්ණ සාමාජික කාර්ය විස්තර කරන්නට සංඥාර්ථවේදය වැන්නක් අසමත් වන සැටි වහා වැටහිණ. මේ නිසා එම න්‍යායික ප‍්‍රවේශ මානවවාදී මාක්ස්වාදී, ආචාර ධාර්මික ආදි තවත් ප‍්‍රවේශ හා මුසු කරන්නට අවශ්‍ය බව වටහා ගනු ලැබිණ. එසේම, පශ්චාත් නූතනවාදය මානව ශාස්ත‍්‍ර අධ්‍යයන්ට කරන හොඳද නරකද දෙකම ගැන අවදියෙන් සිටි පිරිසක්ද, පශ්චාත්නූතනවාදය වාමාංශික දේශපාලනයට කරන හානිය ගැන අවදියෙන් සිටි පිරිසක්ද නිසා ඉංගී‍්‍රසි සාහිත්‍ය විචාරය පශ්චාත්නූතන පඨිත සෙල්ලමක්ව පැවතියේ ඉතා කෙටි කාලයකි. ඒ නිසා දැන් භාෂාවෙන් සන්නිවේදනය කළ හැකිය යන්න එළිපිට කීම මදිපුංචිකමක් නොවේ.

එසේම පශ්චාත්නූතන ඝෝෂාව අතර මැදම පවා භාෂාව ගැන යථාර්ථවත් විශ්වාසයක් තබාගෙන ලේඛනයේ යෙදුණ අය සිටියහ. ‘සාමාන්‍ය භාෂා දාර්ශනිකයෝ’ එවැන්නෝහ. 1990 දශකය වන විට න්‍යායියෙහි වු මෙම අතිරික්තය - ප‍්‍රමාණාත්මක සේම ගුණාත්මක අතිරික්තය - විද්‍යාර්ථීන්ගේ අවධානයට යොමු විය. න්‍යායෙහි තාරකා දිලිසුමද ප‍්‍රවණතාත්මක බවද, ‘සෙක්සි’ ගතියද ක‍්‍රමයෙන් අඩු වී නැවත වරක් සාහිත්‍ය සහ මිනිස් සමාජය අතර සබඳතාව අවධාරණය කරන විද්‍යාර්ථීහු හඬ නගා කතා කරන්නට පටන් ගත්හ. භාෂා අධ්‍යයනය, සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය, ආචාර ධාර්මික සාහිත්‍ය අධ්‍යයන යළි මතු වී ආවේය.

වොනෙගට්

(මා අමුතු කතාව යන පොත ලිව්වේද මෙම නව ප‍්‍රවණතාවේ ආනුභාව ලද්දෙකු ලෙසින.) සාහිත්‍ය පඨිතයමය සෙල්ලමක් වීමට අනුබල දුන් රෝලන්ඩ් බාත්ගේ බලපෑම ඔහුගේ මරණයෙන් පසු ක‍්‍රමයෙන් හීනවන්නට වූ අතර සිය මුල් කාලීන කෘති ‘පඨිත’ සෙල්ලමට’ මග පාදා තිබීම ගැන ඩෙරීඩාද උරණ වූයේය.

එතෙක් බහුල වශයෙන්ම දර්ශනවාදයේ එක් කොටසක් වන ඥාන විභාගය ගැන ලියමින් සිටි ඔහු දර්ශනවාදයේම තවත් කොටසක් වන ආචාර ධර්ම ගැන ලියන්නට වූයේය. එසේම ඉමෑනුවෙල් ලැවීනාස් ආදි දාර්ශනිකයන්ගේ ආචාර ධර්ම විෂයක රචනා බටහිර මානව ශාස්ත‍්‍ර අධ්‍යයන වෙත බලපෑම් කරන්නට විය.”

කතිකා අධ්‍යයන කවය තම පති‍්‍රකාව නිකුත් කරමින් ප‍්‍රතිචාර දක්වන්නේ මෑතකදී ලංකාවේ ඇති වූ න්‍යාය සෙල්ලමට විය යුතුය. පශ්චාත් නූතනවාදය, මනෝ විශ්ලේෂණවාදය ආදි නම් වලින් ඉදිරිපත් කෙරෙන සෑම සිංහල ලේඛනයක්ම මට කියවන්නට නොලැබුණත් ලෝකයේ ඉතා අවුල් සහගත, කුහක, විකාර පශ්චාත් නූතන රචනා ලියවී ඇත්තේ ලංකාවේ පශ්චාත් නූතනවාදීන් අතිනි.

මෙයට හේතුව සියුම් කියවීමත්, රස වින්දනයත්, සියුම් සිතීමත් නොකරන අඩුව වසා ගන්නට න්‍යායික වචන සෙල්ලම් කරන බොරු ඇඟවුම් කාරයන්ගේ රචනා යැයි මම සිතමි. සාමාන්‍යයෙන් තමන්ම යමක් කියවා වටහා ගන්නට උත්සාහ දරන පත්තර පිටු සංස්කාරකයන් දුර්වල රචනා වුවද ‘පොස්ට්මොඩර්න්’ යන වචනයද, වරහන් ඇතුළේ ඉංගී‍්‍රසි වචනද ඇති නම් වැදගත් එකකියි බාරගෙන පළ කිරීම නිසා මේවා කෙටි කාලයකට ජනපි‍්‍රය විය.

එහෙත් බොරු ඇඟවුම්කාරයන්ට කල් පැවැත්මක් නැත. ඔවුන්ට පැවැත්ම සඳහා කෆ්කාගෙන්, කුන්දේරාටත්, කුන්දේරාගෙන් බාත්ටත්, බාත්ගෙන් ලකාන්ටත් නිරන්තරව පනින්නට සිදු වෙයි. මෙම පැන පැන යාම කරන්නට සිදු වන්නේ යම් තෝරාගත් විෂය ක්ෂේත‍්‍රයක ප‍්‍රාමාණික ශාස්තී‍්‍රය අධ්‍යයනයක් නැති විටය. කැමිල් පාග්ලියා ප‍්‍රාමාණික ශාස්තී‍්‍රය සාහිත්‍ය අධ්‍යයනය අවධාරණය කරන්නේ ඒ නිසාය.

ලංකාවේ සිද්ධ වෙන පශ්චාත් නූතන විදුලි සරඹ ඉතා තාවකාලිකය. ඒවා ජනපි‍්‍රය වී ඇත්තේ එක්තරා සංස්කෘතික අර්බුදයක් නිසාය. ඒ අර්බුදය එකමානිත්වය යැයි මම මීට ඉහත පුන්කලසට ලියූ ලිපියකදී කිව්වෙමි. එනම් සමාජීය ප‍්‍රපංචයන්, සාහිත්යික හෝ නිර්සාහිත්යික පඨිතයන් විවිධාකාර කියවීම්වලට ලක් කරන්නට ඇති නොහැකියාවයි. කිසිම පඨිතයක් ගැන බහුමානිත ප‍්‍රවේශයකින් එළඹෙන්නට ඇති සාමාජික නොහැකියාවයි.

 අනෙක් අතට පශ්චාත් නූතන නමින් හැඳින්වෙන ලේඛන කාට හෝ කෙනෙකුට පහර දෙන නිසා ඒවායේ සන්ත‍්‍රාස රසයක් ඇත. අපි කාට හෝ පහර දෙන සැටි බලා සන්තෝෂ වෙන සමාජයක් වෙමු. මෙම ගැටලුවේම අනෙක් පැත්තද සංස්කෘතික ගැටලුවකි.

එය නම් කිසිවෙකු කට පුරා අගය කරන්නට අපට ඇති අසමත්කමයි. තමන් වාසියක් නොලැබෙන දෙයක් අගය කිරීමට යම්කිසි මිනිස් පූර්ණ බවක් අවශ්‍ය වෙයි. අප රට අධ්‍යාපනයත්, සංස්කෘතියත් මේ මිනිස් පූර්ණ බව ලබා දෙන්නට සමත් වන්නේද යන අප විසින් ඇසිය යුතු ප‍්‍රශ්නයකි. ඉතා මහලු වයසේදී පවා මහාචාර්ය සරච්චන්ද්‍රට අනුන් අගය කරන්නට තිබුණ ශක්තිය පුදුමාකාර බව ඔහු යටතේ වැඩ කළ වසර දෙකේදී මම දුටුවෙමි.

 අද වසන ප‍්‍රවීණයන් අතර අනුන්ගේ දෙයක් අගය කරන කී දෙනෙක් නම් සිටිත් ද? දැනට සිංහලයෙන් ලියන උසස්ම ලේඛකයකු වන එරික් ඉලයප්ආරච්චි සහෝදර ලේඛකයකුගේ කෘතියක් ප‍්‍රසිද්ධියේ අගය කරනු කීදෙනෙක් දැක ඇත්ද? ඒ අතින් දයාසේන ගුණසිංහ විශිෂ්ට මිනිසෙක් විය.

 ඔහු නැති අඩුව පිරිමහන්නට සමත් පුවත්පත් කලාවේදියෙක් තවම බිහි වී නැත. අනෙක් අතට, අතිශයින්ම දේශපාලනීකරණය වී ඇති අප සමාජයේ කාගේ හෝ ද්‍රෝහියකු හෝ හතුරක් නොවී කිසිම ලේඛනයක් කරන්නටත් තව කාවවත් අගය කරන්නටත් බැරිය! මෙම තත්වය නිසා අදහස් ප‍්‍රකාශ කිරීමේ අවංකකම එන්න එන්නම අඩු වෙමින් තිබේ. මෙම තත්වය තව කාලයක් පැවතුණහොත් අජිත් තිලකසේන දුටු සංස්කෘතික කාන්තාරය වෙත අප එළඹෙන්නට පුළුවන. මෙවැනි සංස්කෘතියක උසස් සාහිත්‍ය විචාරයක් පහළ වන්නේ නැත.

කතිකා අධ්‍යයන කවය පශ්චාත් - ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය යන න්‍යායික ප‍්‍රවේශ ප‍්‍රශ්න කළද ඒවා වෙනුවෙන් ලංකාවේදී ආරක්‍ෂා කරන සම්භාව්‍ය, මානව ශාස්තී‍්‍රය සාහිත්‍ය අධ්‍යයනය කුමක්ද? ලංකාවේ විශ්ව විද්‍යාලවල ඇමරිකානු විශ්ව විද්‍යාලවල සේ සම්භාව්‍ය ශාස්තී‍්‍රය අධ්‍යනය කරන්නට සමත් කීදෙනෙක් සිටිත්ද? ඒ සඳහා අවශ්‍ය භාෂා දැනුමත්, න්‍යායික දැනුමත් බොහෝ දෙනකුට නැත.

සම්භාව්‍ය, ලිබරල්, මානවාදී ප‍්‍රවේශයකින් සාහිත්‍ය අධ්‍යයනය කිරීම ආරම්භ කළ කල්පනා ලෝකය සහ සාහිත්‍ය විද්‍යාව කෘතිවලට දැන් අවුරුදු පනහක් තරම් වයසය. ඒ. වී. සුරවීරගේ (විචාර විලාසය) අර පොත් දෙකට වඩා තීරණාත්මකව වෙනස් නැත. මහාචාර්ය සුරවීර සම්පාදනය කළ සාමාජීය සාහිත්‍ය අධ්‍යයනය, ඔහු පරිවර්තනය කළ කාව්‍ය ශාස්ත‍්‍රය, කලාව යනු කුමක්ද යන කෘති සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය පිළිබඳ ක‍්‍රමවේදයක් ඇති කරන ආනුභාව සම්පන්න ශාස්තී‍්‍රය ප‍්‍රතිපදාන වූයේ නැත.

මේ තත්වයට හේතුව පශ්චාත් උපාධි පාඨශාලාවක් අපට නොමැති වීම බව මම මීට ඉහත ලියූ ලිපි කීපයකදීම තර්ක කළෙමි. ප‍්‍රථම උපාධිවලට ඉගැන්වීම මගින් ප‍්‍රාමාණික ශාස්තී‍්‍රය විද්‍යාර්ථියා බිහි කළ නොහැකි ය. උසස් පශ්චාත් උපාධි පාඨශාලාවක් නැති කලද, තරුණ කථිකාචාර්යවරුන්ට විදේශීය පශ්චාත් උපාධි පාඨමාලා කරා යන්නට නොහැකි කලද බිහිවන්නේ ටියුෂන්කාරයන්, විහිලුකාරයන්, ධනාත්මක චින්තනකාරයන්, ටෙලිබණකාරයන් ආදීන් බව මම මීට ඉහතද ලිව්වෙමි.

ලිබරල් මානවවාදී ශාස්තී‍්‍රය අධ්‍යයනය පමණක් නොව සම්භාව්‍ය මාක්ස්වාදී සාහිත්‍ය අධ්‍යයනද දැන් පිරිහී ඇත. පියසීලි විජේගුණසිංහ මහලු වියට එළඹ සිටියි. සුචරිත ගම්ලත් මාක්ස්වාදය සිංදු විමසන සරල සමීකරණයක් බවට පෙරලා ඇත.

ඔහු සරල “විචාර” මිස “අධ්‍යයන” කරන්නේ නැත. මෙම පසුබිමේ දී පශ්චාත් නූතන බොරු ඇඟවුම්කාරයන් ජනප‍්‍රියවීම වටහා ගත හැක්කකි. අනෙක් අතට විශ්ව විද්‍යාලවල ඉන්න අය තමන්ටත් වඩා බොරුකාරයන් බව ඔවුහු පෙන්නා දුන්හ.

පශ්චාත් නූතනවාදය වෙත ආකර්ෂණය වූ පිරිස අතර සම්ප‍්‍රදායික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉගැන්වීම් එපා වූ, අලුත් යමක් ඉගෙනගන්නට අවංක ආසාවක් සහ කැපවීමක් දැක් වූ අය කොතෙකුත් සිටියහ.

මේ නිසා මෙය ඇමරිකාවේ සිදු වූ තත්ත්වයට වෙනස් දෙයකි. ඇමරිකාවේ දී සිදු වූයේ ලිබරල් මානවවාදී සාහිත්‍ය අධ්‍යයනට වඩා රැඩිකල් යමක් සොයා යන තරුණ පිරිසක් පශ්චාත් - ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය සොයා යෑමයි.

ලංකාවේදී සිදුවූයේ නීරස, නිසරු, හරයක් නැති, කිසිම න්‍යායික පදනමක් නැති ශාස්ත‍්‍රාලයටය සාහිත්‍ය අධ්‍යයනයට විකල්පයක් සොයා යන පිරිසකට පශ්චාත් නූතනවාදය මුණගැසීමයි.

ඔවුන්ගේ පසුකාලීන භාවිතය කවරක් වුව ද ඔවුන්ගේ “සොයා යෑම” අගය කළ යුතු නොවේද? නැති නම් සිදුවන්නේ ශාස්ත‍්‍රාලය තුළ සිටින ප‍්‍රකට නිකමුන් ලෙස ජාතික ධනයෙන් දශක ගණනාවක් පඩි කෑ අනුර වික‍්‍රමසිංහ, ජේ. බී. දිසානායක ආදීන්ද ඔවුන්ගේ සුවච කීකරු ගෝලයන්ද තමන් කර කර ඉන්නේ “හරි දෙය” යැයි ‘චූන්’ වීමයි.

මේ හොර අහින එක පසෙකත්, පශ්චාත් නූතන න්‍යායික හරඹකාරයන් තව පසෙකත් තබා වඩා කැමති කොයි ගොඩදැයි මගෙන් ඇසූව හොත් මා ඈත සිට පෙන්වන්නේ දෙවැනි ගොඩයි.

ඇමරිකානු සාහිත්‍ය අධ්‍යයනයේ දී පවා පශ්චාත් - ව්‍යුහවාදයද, පශ්චාත් නූතනවාදයද සපයන ලද අන්තර් දෘෂ්ටීන් මුළුමනින්ම අමතක කර සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනයක් ගැන දැන් සිතන්නට බැරිය. නිව්යෝර්ක්හි, කලම්බියා විශ්ව විද්‍යාලයෙහි මහාචාර්ය ශෙල්ඩන් පොලොක් වැනි කෙනෙකු පුරාණ සංස්කෘත සාහිත්‍ය ගැන ලියන දේ පවා පශ්චාත් - ව්‍යුහවාදයේ ආනුභාවය ලද ලේඛනයන්ය.

විශේෂයෙන්ම ෆුකෝ, ඩෙරීඩා දෙදෙනාගේ රචනා නිසා පශ්චාත් යටත් විජිත සාහිත්‍ය අධ්‍යයන ලද එළිය පසු ගිය සියවසේ මැද වන තෙක් යටත් විජිත වශයෙන් පැවති රටවල ජනයාට චින්තන නිදහසක් ලබා දීමට හේතු වී ඇති බව එඩ්වඩ් සයිද්, ගයාති‍්‍ර චක‍්‍රබර්ති වැනි අයගේ ලේඛනවලින් පෙනේ.

වරද එම න්‍යායන්හි නොව ඒවා ප‍්‍රාමාණිකවද, නිර්මාණශීලීවද භාවිත කරන්නට පිරිසක් නොසිටීමයි. ඉන්දියාවේ සබ්ඕල්ටන් ස්ටඩඩීස් කොලෙක්ටිව්හි විද්‍යාර්ථින්, (ග්යානේන්ද්‍ර පාන්ඩේ, රනජිත් ගුහා, පාර්තා චැටර්ජි, දිපේෂ් චක‍්‍රබර්ති ආදීන්) එම න්‍යායන් නිර්මාණශීලීව භාවිත කළහ.

ලංකාවේ අපට සිටිය් කවුරුද? එම නිසා කැමිල් පාග්ලියා වැනි ජනප‍්‍රිය විචාරිකාවන් ලංකාවට හඳුන්වා දෙන කතිකා අධ්‍යයන කවය යම් ඓතිහාසික අවබෝධයකින් එය නොකරන්නේ නම් සිද්ධවීමට ඉඩ ඇත්තේ ලංකාවේ කුන්දෙරා, බාත්, ලකාන්, සිලසෙක් ආදීන්ට සිදුවන දේමය.

 එය කෙනෙකුගේ හෝ කණ්ඩායමක කුහකකම, හීනමානය, උඩඟුකම වඩා වසා ගන්නා වෙස් මූණක් ලෙස කාලයක් භාවිත කර ඉවත දැමීමයි.

ප‍්‍රාමාණික සාහිත්‍ය අධ්‍යයනයට පවා සාහිත්‍ය රස වින්දනය වර්ධනය කිරීම කළ හැකි යැයි සහතික විය හැකි දැයි මම නොදනිමි. සාහිත්‍ය රස වින්දනය නිර්මාණශීලි කාර්යයකි. ඒ සඳහා වාසනා ගුණය අවශ්‍ය වෙයි.

කවියකු වීම සඳහා අවශ්‍ය කාරණා තුනෙන් එකක් ලෙස ගුප්ත, අතාර්කික, කොහි සිට එන්නක් දැයි කිව නොහැකි “ප‍්‍රතිභා” යන ගුණය සඳහන් කළ පෙරදිග පඬුවන් නිවැරදි යයි මට සිතෙයි. ප‍්‍රතිභා වැනි අතාර්කිකත්වය, ගුප්තමයත්වය, අඩංගු කර ගැනීමෙහිලා ඇතැම් පශ්චාත් - නූතන ගුරුකුල දක්වන සමත්කමද ප‍්‍රතික්‍ෂේප කළ නොහැකිය.