පලබර වූ විට...
පලබර වූ විට... |
ලියනාඩෝ ඩාවින්චි ගේ උපමා කතා
උද්‍යානයක එකිනෙක හා සමීප ව වැඩුණු ගස් දෙකකි.
මෙයින් එක් ගසක් අතිශයින් පලබර ය. අනෙක් ගස පල
හීන ය. පල හීන ගස මෙසේ සිතන්නේ ය: ‘මෙයාට මේ හැටි
ගෙඩි මොකටද? මට ඒ හැටි නොඑන්නෙ ඇයි? මං මොකද
නරකද? එයාට මට වඩා හොඳ වෙන්න හේතුවක් නෑ.’ දැන් ඒ ගස ඊර්ෂ්‍යාවෙන් දැවෙයි. තමා ගේ අතු
වැසී යන සේ පල උපද්දවන්නට දැන් ගසට හරි
හදිසිය! පල පුරවා ගත් ගස තමාට වඩා ඉතා ශක්තිමත් බවත්,
එහි අතු හොඳින් වැඩී ඇති බවත් මේ ගස නො දකියි.
තම අතු, පලවලින් පුරවන්නට පමණි ගසේ වුවමනාව. වහ වහා පොළොවින් පොහොර උරන්නැයි ගස සිය
මුල්වලට අණ දුනි. මල්වලට අණ ලැබුණේ් වහා පල
බවට හැරෙන්නට යි. ඒ අණ පිළිපැදිණි. සියලු අතු
පල බරින් නැවිණි. එහෙත් මල් පල දැරීම
නොනැවතිණි. කෙසේ හෝ සිය අසල්වැසියා පරදවන්නට
මේ ගසට තිබුණේ පුදුමාකාර වුවමනාවක්! සියලු අතු පල බර නිසා වෙව්ලුම් කෑවේ ය.
අවසානයේ තවදුරටත් බර දරන්නට අතු අපොහොසත් වූ
විට ඒවා එකින් එක කැඩී හැළී යෑම ඇරැඹිණි. කෙසේ හෝ අන්තිමේ දී ගසේ එක අත්තක්වත් ඉතිරි ව
නො තිබිණි.
පරිවර්තනය තනූජා ධර්මපාල
|