තෙහෙට්ටුව

තෙහෙට්ටුව

අක්කරෙයිපත්තු, කෝලාවිල්, පනංකාඩු, තම්පට්ටෛ වැනි ප‍්‍රදේශවල සිට අනාථව සංක‍්‍රමණය වූ ජනයාගෙන් තිරුක්කෝවිල් හා තම්පට්ටෛ ප‍්‍රදේශවල පාසැල් හා දේවාල පිරිඉතිරී යමින් තිබිණි.

අනාථව පැමිණ සිටි ජනයාගේ උවමනා එපාකම් පිරිමසාලීම සඳහා තිරුක්කෝවිල් තම්පිළුවිල් ජනතාව යුහුසුළුව කි‍්‍රයාකාරී වෙමින් සිටියහ.

පියාගේ වයසට ඒ අනථාගාරවල තදබදය ඔරොත්තු නොදෙන බැවින්, දුර නෑදෑ ගෙදරක ඔහු නවතනු ලැබිණි.

අසල අනාථාගාරයක නැවතී සිටි ඔහු ගේ දියණියෝ සිය පියා ගෙන හැරලූ මධ්‍යස්ථානයට මධ්‍යම රාති‍්‍ර දොළහ පමණ වනතෙක් විටින් විට පැමිණ තොරතුරු සොයා බැලුවාය.

ඒ නිවසේ තරුණ කාන්තාව විසින් සැපැයූ රාති‍්‍ර ආහාරය ප‍්‍රතික්ෂේප කළ ඔහු, ඇය සාදා දුන් තේ කෝප්පය පමණක් බීමෙන් පසු ඉස්තෝප්පුවේ එළා තිබුණ පැදුරේ වැතිර ගත්තේය. නිදි නොලබා විටින් විට ඒ මේ අතට පෙරළෙමින් සිටි ඔහු දුටු නිවසේ තරුණ කාන්තාව ‘ඇයි සීයේ නින්ද යන්නෙ නැද්ද, ගෙයි දාඩිය නම් මිදුලේ නිදාගන්නකෝ. අපි නිදාගන්නෙත් මෙතන. මොනවහා හරි උවමනා නම් කථා කරන්න’ යැයි පැවසූ විට පැදුර හකුලා ගත් ඔහු එය දොරකඩ වැල්ලේ එළා වැතිර ගත්තේය.

තිරුක්කෝවිල් මුහුද ගේ අසලටම ගලා එන්නාක් සේ රළ බිදෙමින් හඬ නැඟිණි. මහ මුහුද දෙසින් හමා ආ සුළඟ ගතේ දැවටෙන විට තද සීතලක් දැනිණි. නින්ද ඔහු වෙත ළං නොවී මුරණ්ඩු වන්නට විය.

උඩුබැල්ලෙන් නිදා සිටි ඔහුට පාවී යන වලාකුළු තුළ සැඟව සිට තාරකා ඔච්චම් කරන්නාක් සේ විටින් විට දැල්වෙමින් හැංගිමුත්තන් කරන්නට විය.

කිසිම ආකාරයක වේදනාවක් දුකක් හෝ කනස්සල්ලක් නොමැති මේ මහලු වියේ නින්ද පමණක් තමන් වෙත ළංවන්නට අකැමැති වන හේතුව කුමක් දැයි ඔහු කල්පනා කරන්නට විය. කුමන හෝ දෙයක් රැගෙන එන්නට අමතක වූවාක් සේ, කුමන හෝ දෙයක් තමන්ගෙන් ගිලිහී ගියාක් සේ ඔහුගේ සිතුවිලි කැළැඹී ගොස් තිබිණි.

තමන් ගැටයකුව සිටිද්දී පියාත් සමග ඈත කැළයට ගොස් කපාගෙන ආ තේක්ක ලීවලින් තැනූ නිවස ඔහුගේ මතකයට නැඟිණි. තම ලොකු පුතා ඉපැදුණු මොහොතේ තම දෑතින්ම තැනූ ;තාටිල්ල ගෙයි වහලය මුදුණේ ලනුපොටකින් බැඳ එල්ලා තිබීම පිළිබඳවත්, දරුමුණුබරන් ඇතුළු බොහෝ දරුවන් නැළැවුණු ඒ තොටිල්ල ඈත අහසේ ඒ මේ අතට පැද්දෙමින් තිබෙනවාත් ඔහු මනසින් දුටුවේය.

ළිඳ අසල කුකුළු කූඩුව තුළ කූඩු වී සිටි කුකුළන් තටු ගසා දමා උදාසීන බව මඟ හැරගන්නවා ඔහුගේ දෙසවනට ඇසෙමින් තිබිණි. නින්දට පෙර ජීවිතයේ කිසිම දිනෙක “තිරුප්පුගල්” හෝ “තිරුවාසගම්” (හින්දු ආගමික පාඨ) නොගයා ඔහු නින්දට ගොස් නැත.

ඒ කාලයේ ඔහු විසින් පද රචනා කර නිර්මාණය කර තම අතින්ම පිටපත් කරන ලද, ගම් රාශියකම වේදිකා ගතවූ “පාංචාලි සපදම්”, “මයාන කාණ්ඩම්”, වැනි ගැමි නාඩගම් පොත් සියල්ල පැරැණි ලී පෙට්ටියක් තුළ දමා ආරක්ෂාවක් නොමැතිව තබා ඒම පිළිබඳව ඔහුගේ යටි හිත නිතර ඔහුව පෙළන්නට විය.

ඒ නිහඬ මැදියම් රැය තුළ පවා ගමේ ඈත අහුමුළුවලින් මිනිස් කටහඬවල් හා මෝටර් බයිසිකල්වල ශබ්ද ඇසෙමින් තිබිණි. අනාථව සංක‍්‍රමණයව සිටි ජනයාට තාවකාලික නවාතැන් පහසුකම් සපයා දීම සඳහාත් ඔවුන්ගේ උපන්ගම් යථා තත්ත්වයට පත් වන තුරු ඔවුන් සඳහා ස්ථාවර නවාතැන් හා ආහාර පාන සපයා දීම සඳහාත් තිරුක්කෝවිල් ගමේ තරුණයෝ රෑ තිස්සේ දිව ඇවිදිමින් සිටින බව ඔහුට සිතාගත හැකි විය.

“මොකද සීයේ? නින්ද යන්නෙම නැද්ද? අලුත් තැනක්නෙ ඒකයි නිද්ද යන්නෙ නැත්තෙ” මැද සාලයේ නිදාගෙන සිටි තරුණ කාන්තාව කතා කළාය. ඔහුගේ සිත තුළ වද දෙන හැඟුම් මොනවා දැයි ඇය වටහාගෙන සිටියාය.

තම පැරැණි මතකයන් හා පෞරාණික බඩුභාණ්ඩ තුළ ගැලී සිටි ඔහුගේ දෙසවනට තිරුක්කෝවිල් පෙදෙසින් ඇසුණු කලබලකාරී බව, දවස උදාවුණු බව ඇඟවීය. පැදුරෙන් නැගිට්ට ඔහු කොට්ටය යට තිබුණ සළුව ගෙන ගසා දමා උරහිස මත දමා ගෙන පැදුර හකුලා බිත්තිය මුල්ලක හේත්තුකර ළිඳ අසලට ගියේය.

මුහුණ කට සෝදා පිරිසුදු වූ ඔහු සමුදුර යටින් කිමිද එන සූර්ය දිව්‍යරාජයාට දොහොත් මුදුන් දී නමස්කාර කර ගෙයි ඉස්තෝප්පුවට ගොස් නිවසේ කාන්තාව විසින් සැපැයුණු තේ කෝප්පය ගෙන බීවේය.

“පොඩ්ඩක් ඉවසන්න සීයේ. ඉඳිආප්ප තම්බල දෙන්නම්” තරුණ කාන්තාව පැවසූ ඒ වදන් සවනට නොගත්තකු සේ ඔහු ගෙයින් පිටතට බැස තිරුක්කෝවිල් දේවාල වීදිය ඔස්සේ ගමන් කරන්නට විය.

“තාත්තේ කොහෙද යන්නෙ?” හඬ ඇසී හැරී බැලූ විට, කෝවිල් මිදුලේ ළිඳ අසළ රංචු ගැසී සිටි ගැහැණුන් අතර වූ තම දියණියන් කතා කරගෙනම තමන් වෙත එනවා පෙනිණි.

“වතුර කළගෙඩිය ගෙනිහින් තියලා තාත්තා බලන්න එන්නයි හිටියේ. තාත්තා කොහෙද යන්නෙ?”

“කොහෙවත් නෑ. නිකං පාර පැත්තට ආව“ එසේ කියමින් ඔහු ඉදිරියට ගමන් කළේය.

“ඈතට ගිහින් අතරමං වෙන්නෙ එහෙම නෑ. ඉක්මනට එන්ට ඕනෑ” ගමන් කරමින් සිටි ඔහුගේ දෙසවනට දියණියන් ගේ වදන් ඇසෙමින් තිබිණි.

මඳ දුරක් ගමන් කොට තිරුක්කෝවිල් ප‍්‍රධාන වීදිය වෙත පැමිණි විට වීදිය ජනයාගෙන් පිරී තිබෙනවා පෙනිණි. අක්කරෙයි පත්තු, කෝලාවිල්, තම්පට්ටෛ ප‍්‍රදේශවල ජනතාව එක්තැනකට රැස්ව සිටීම හේතුවෙන් ඒ ගම වාර්ෂික උත්සව ස්වභාවයක් ගෙන තිබිණි.

එතැනින් ගමන් කොට ‘තම්බිලුපිල්’ තුංමංහන්දිය වෙත පැමිණි විට එහි සති පොළද ජනයාගෙන් පිරී ඉතිරී යමින් තිබිණි. එහි එළවළු, මාළු වැනි ද්‍රව්‍යයන් විකිණෙනවා මොහොතක් බලා හිඳිමින් සිටින විට “මොකද සීයේ මේ පැත්තෙ? යන හඬ ඇසී හේ හැරී බැලුවේය. ‘මේකලා’ සිනමාහල ඉදිරි දොරකඩ සිටගෙන සිටි තැනැත්තා දෙස ඔහු මොහොතක් බලා සිටියේය. ඔහු සංගරපිල්ලෙයි වඩුබාස්ගෙ මුණුබුරාය.

“නිකං... ටවුම බලන්න ආව පුතේ..” එසේ පවසමින් ඔහු තම්බිලුවිල් දිසාවට ගමන් කරන්නට විය.

මඳ දුරක් ගොස් තමන් ආ මඟ දෙස හැරී බලන විට එතෙක් පිරී සිටි ජනයා තමන් තනිකර කොහාටදෝ නොපෙනී ගොස් සිටි අතර වීදිය ශුන්‍ය වී තිබෙනු පෙනිණි.

“ඇයි මිනිහෝ.. උඹට පිස්සුද? තවත් මොකටද ඒ පැත්තට යන්නේ...?” ඔහුගේ පසු පසින් බයිසිකලයෙන් පැමිණි මාළු වෙළෙන්දෙක් ඔහුට බැන වදිමින් වේගයෙන් පැදගෙන ගියේය. එය ගණන් නොගත් ඔහු ඉදිරියටම ගමන් කරන්නට විය.

“මේ ළමයෝ... කොහෙද යන්නේ..?” හඬ ඇසී ආපසු හැරී බැලූ විට වීදිය අයිනේ පැලක ඉස්තෝප්පුවේ බිම ඇන තියාගෙන සිටි තම වයසේම මැහැල්ලක් සානුකම්පිකව ප‍්‍රශ්න කළාය. නැවතී මඳ වේලාවක් ඈ දෙස බලා සිටි ඔහු “නිකං.. මේ පැත්තට යනවා...” යැයි කියන්නාක් මෙන් අතින් සංඥා කර ඉදිරියටම පියවර මැන්නේය.

“තවත් ඉස්සරහට යන්න එපා, තම්පට්ටෛ වෙනකම් ආමි එක ඇවිල්ලා...” තවත් මාළු වෙළෙන්දෙක් ඔහු පසුකරමින් වේගයෙන් බයිසිකලය පදිමින් සිටියේය.

තම්බිලුවිල් සීමාව පසුකොට ‘කලුතාවිල්’ පුල්ලෙයාර් කෝවිල් පෙදෙසට සේන්දු වූ විට ඔහුට හැඟුණේ ජනශුන්‍ය වූ දූපතකට පැමිණ ඇතිවාක් මෙනි.

කලුතාවිල් කෝවිල් මිදුලේ මඳක් නැවති ගිමන් නිවූ ඔහු නැවත නැඟිට ගමන් කරන්නට විය. කලුනාවිල් කැළේ පාරින් මෝදර වෙත පැමිණි විට හිරු මුදුන්ව තිබිණි. තද හිරු රශ්මිය රැළි ගැසුණ සිරුර පුළුස්සා දමන්නට විය. උරහිසෙහි තිබුණ සළුව ගෙන හිසේ දමා හිරුට සාමයේ ධජය පෙන්වා ඉදිරියට ගමන්කර මෝදර පසු කරමින් තම්පට්ටෛ වෙත සේන්දු වන විට උගුර වියළී ඔහු දැඩි පිපාසයක් දැනෙමින් තිබිණි.

මඳ දුරක් ගමන් කළ ඔහුට තම්පට්ටෛහි වීදිය අයිනේ අත්තික්කා ගසක් යට සෙවණේ පොල් කොටයක් උඩ මුට්ටියක් මත ‘පිංතාලිය’ යැයි ලියා තිබෙනවා පෙනිණි. එයින් පැන් බිඳක් බිව් ඔහු ඒ සෙවණේ ඇන තියා ගත්තේය. දින කීයක් පැරැණි වතුර යැයි ඔහු දැන සිටියේ නැත. එහෙත් දැඩි පිපාසය නිසා එය ඔහුට අමෘතයක් විය.

නැවත නැඟිට පියවර මැන්න ඔහු කම්පට්ටෛ පසුකර කුඩා මෝදර වෙත පැමිණි විට පාරේ තාර උණු වෙමින් තිබිණි. ගිනියම් වූ තාර පාරේ පාද ස්පර්ශ කරන විට වේදනාව ඉවසා ගත නොහැකිව ඔහු පොඩි දරුවකු සේ උඩ පනිමින් දිව යන්නට විය.

පාර දෙපසේම කලපුවය. පාලමක් බඳු වීදිය, ගිනියම් වූ තාර පාරෙන් බේරී ගමන් කරන්නට සොලොප්පුවක් නැත. ඔහු ඉකිමනින් දුවමින් ගමන් කර මෝදර සීමාව පසුකර සතළිස් වන සැතපුම් ප‍්‍රදේශයට ඇතුළු විය.

ගිනියම් වූ තාර පාරින් බේරි සොලොප්පුවේ පය තැබූ විට තණ පඳුරු අතරෙහි සැඟව සිිට නෙරෙංචි කටු පාද රිදවන්නට විය. වේදනාව ඉවසා ගත නොහැකිව නැමී යටි පතුලේ ඇනුණ නෙරෙංචි කටුව ඇද විසිකර පහත්ව හිඳ ඈත බැලුවේය.

සතළිස් වන සැතැපුම් කණුවේ සීමාවෙන් වෙන් වූ තම ගං පෙදෙස පෙනිණි. උස් වූ තෘණ යායක් සේ ඈත හරිත වර්ණයෙන් පෙනෙන තම උපන් ගම් පියස දකින විට ඔහුගේ ගතට ප‍්‍රබෝධයක් දැනෙන්නට විය.

තවත් මඳ දුරක් ගොස් සතළිස් වන සැතැපුම පසු කළොත් එතිනින් ගඟ ;පදෙසට බැස අතුරු පාරකින් ගමට සේන්දු විය හැකිය යන බලාපොරොත්තුවෙන් හේ පය ඉක්මන් කෙළේය.

“ඒයි... නැවතියන් යකෝ...” තිගැස්සී ඔහු හැරී බැලුවේය. සතළිස්වන සැතැපුම් ප‍්‍රදේශයේ ඇති සෑම පාළු නිවසක් තුළින්ම එකවිටම මතුව පිටතට පැනගත් සෙබළ පිරිසක් ඔහු වට කරගනිමින් සිටියහ.

“ඒයි නාකියා උඹ කොහෙද යන්නේ...?”

ඔහු කිසිවක් කතා කරගත නොහැකව තුෂ්නිම්භූත විය.

“උඹට පිස්සුද නාකියා? උඹට අපි අඬගහන්නත් ඕනෑද?” යි තුවක්කුවක් මානාගෙන පහර දෙන්නට ආ සෙබළකුට තවත් සෙබළෙක් බාධා කළේය.

“එපා ගහන්න එපා.” මහල්ලා තම මුහුණ වැසෙන සේ දෑත් එකතුකර වැඳගනිමින් බිම හිඳ ගත්තේය.

‘කියපන් යකෝ උඹ කොහෙද යන්නේ?’ ඔහු කිසිවක් කියා ගත නොහැකිව සිටියේය. පළමු සෙබළා නැවත පහර දෙන්නට උත්සාහ කරන විට දෙවැන්නා නැවත බාධා කළේය.

“ගහන්න එපා”... තවත් එකෙක් කීය. මේ අතරතුර කොහෙදෝ සිට දිව ආ හමුදා නිලධාරියෙක් දෙමළෙන් ප‍්‍රශ්න කෙළේය.

“වංගෙඩිය ගේන්න අමතක වුනා මහත්තයා. ඒක ගේන්න යනවා.” එය ලොක්කාට නොවැටහිණි. දෙමළ දන්නා සෙබළකු එය පහදා දුන් විට අනෙක් සෙබළු කොක් හඬලා සිනා සෙන්නට වූහ. නැවත ඔවුන් තම මුහුණ රළු කර ගත්හ.

“ඒයි නාකියා... ඉක්මනට ගිහින් උඹේ වංගෙඩිය අරගෙන ඉක්මනට මේ පාරෙන්ම ආපහු එන්න ඕන. ආවේ නැත්නම් හොයාගෙන ඇවිදින් අපි උඹව මරලා දානවා” ලොක්කා එසේ පවසන විට ගුරුවරයාට අවනත වූ සිසුවකු සේ හිස සොලවමින් ඔහු ඉදිරියට ගමන් කළේය.

සතළිස් වන සැතැපුම පසුකර ගං පෙදෙසට බැස්ස විට වියළි පිදුරු බවට හැරී තිබුණ උස් තණ පඳුරු ඔහුගේ දෙපාවලට සට සට ගා කැඩී පයේ ඇනිණි.

වියළී ගොස් තිබුණු තණබිම පසුකර යද්දී තද ගිම්හාන රශ්මිය නිසා පැළී ඉරී තැළී ගොස් තිබුණ බිමේ හිඩැසක පය හිර වී ඔහු ඇද වැටුණේය. නැවත නැඟී සිට ඍජුව හිඳ ඈත බැලුවේය. පිළිවෙළකට වගා කැරුණු හේන් ගොවි බිමක් සේ ඈතින් පෙනුණු තම උපන් ගමේ පේළියට වැවුණ පොල් ගස් තම නෙත ගැටෙන විට දෙපාවල වේදනාව අමතකව ගොස් දෙපා ඉදිරියටම ඇදෙන්නට විය.

වියළී ඉරිතැළී තිබුණ ගං බිම් තීරුව පසුකර බාගෙට වියැළුණ රොන් මඩ තට්ටුවක පය තැබුණ විට සපත්තුවක් සේ එහි මඩ තැවරී උස්සා තැබිය නොහැකි තරමට බරක් දැනිණි. ඒ රොන් මඩ පෙදෙස පසුකර ගං එගොඩට ගොස් තම ගම් සීමාව වෙත ඇතුළු වූ විට ගම නිද්‍රාවට පත් වූවාක් සේ නිසොල්මන්ව සිටියේය.

ගමට ඇතුළු වූ ඔහු තම නිවස වෙත ගොස් දෙපා සෝදා ගැනීම සඳහා ළිඳ වෙත එබී බැලූ විට, පොල් මල් හා පුවක් මල්, ළිං දිය දැලක් සේ වසා ගෙන තිබිණි. තුලාව ළිඳ තුළට බා, බාල්දියෙන් මල් ඇට මෑත් කර වතුර බාල්දියක් ඇද දෙපා සෝදා ගත් ඔහු ඉනේ තිබුණ යතුරු කැරැල්ල ගෙන නිවසේ දොර ඇරියේය.

යතුර රිංගවා දොරගුළු හැරිය විට ‘මා තනිකර කොහෙද ගියේ?” යැයි අසනවාක් මෙන් ‘කී‍්‍රං’ හඬ නගමින් දොර ඇරුණේය.

නිවස තුළට ගිය ඔහු තම පැරැණි ලී පෙට්ටිය හැර බැලුවේය. “කම්බ රාමායණය”, “කම්බ පුරාණය”, පොත් සමඟ තමන් විසින් ලියා තනු නිර්මාණය කර වේදිකා ගත කරන ලද ගැමි නාඩගම් පොත් පත හා “මයාන කාණ්ඩම්”, “පංචාලි සබදම්”, පොත්ද පිටතට ගෙන එළියට ඇද බලන විට “සර සර” හඬ නඟා කුමක් හෝ දෙයක් පෙට්ටියේ මුල්ලට වැටුණි. ඔහු අත ගා බැලීය.

සල්ලාරි ජෝඩුවක් අත ගැටුණි. එය පනස් වසරකටත් වඩා පැරැණිය. දැනුදු දිස්නෙ දෙමින් තිබිණි. පොත්පත් සමඟ එයද අතට ගෙන රෙදි මල්ලේ දමා පෙට්ටිය අයින් කර වහලය දෙස බැලීය. තම ජීවිතයේ දරුවන් බොහෝ දෙනකු නැළැවූ තොටිල්ල වහලය මුදුණේ එල්ලෙමින් තිබෙනවා පෙනිණි. නොදැනීම දිගු සුසුමක් ඔහුගේ ප‍්‍රාණ කූඩුවෙන් පිටවිණි.

දාර වසා දමා යතුර පොත් මල්ලේ දමා ගෙන දොරකඩ වෙත ආ විට පැරැණි සෙරෙප්පු ජෝඩුවක් නෙත ගැටිණි. දෙපාවල ඇනුණු නෙරෙංචි කටු ඔහුගේ සිහියට නැඟිණි. සෙරෙප්පු ජෝඩුව ගෙන අඹ ගස මුල තබා ඔහු මුළුතැන්ගෙට ගියේය.

මුළුතැන් ගෙයි ළිප් ගැට්ටේ තිබුණ පෙට්ටිය දැක කුමන හෝ දෙයක් සිහියට නැගුණාක් සේ දර කෑලි කීපයක් ගෙන ළිප දල්වා ළිඳ අසලට ගොස් අසල ඇති මයියොක්කා ගස ඇද බැලුවේය.

ඔහුගේ මහලු බවත් සමඟ එකඟ වන්නට අකැමැතිව මයියොක්කා ගස මුරණ්ඩු බවක් පෙන්වීය. ළිඳෙන් වතුර බාල්දි කීපයක් ඇද මයියොක්කා ගස මුලට හැලුවේය. ගස මුල වාඩිගත් ඔහු කුඩා ළමයින් සෙල්ලම් කරන්නාක් සේ ගස මුල දෑත්වලින් හාරා පස් ඉවත ලන විට තඩි අල ගෙඩියක් තම මුහුණත පෙන්වන්නට විය. ඔහු එය ‘ටක්’ ගා අඹරා කඩා ඇද එළියට ගෙන ගස මුලට පස් රොක් කළේය.

මුළුතැන් ගෙට ගොස් ළිපේ ගිනි අඟුරු තුළ අලය හංඟා පිටතට පැමිණ නිවසට වටා රවුමක් ගැසුවේය. අල්ලපු වත්තේ බැඳ සිටි එළුවකුට අසල බල්ලන් කීප දෙනකු බුරමින් සිටිනු දුටු ඔහු කම්බි වැටෙන් රිංගා ගොස් බල්ලන් එලවා ලණුපටින් එළුවා ඇදගෙන විත් මයියොක්කා අතු කන්නට හැරියේය. කොටන්න ආ කපුටකුගෙන් බේරි අඹ ගසේ මුදුනට නැඟගත් ලේනකු දැක ඔහුගේ තොලගට සිනහවක් නැඟිණි.

දිය නා අවසන් වූ ඔහු වෙට්ටිය හැඳ අමුඩය ලිහා මිරිකා වැලේ වනා සළුවෙන් ඇඟපත පිස දමා ගෙන ගස මුදුන බැලුවේය. ගස මුදුනේ සිටි ලේනා ඔහු දෙසම බලා සිටිනවා පෙනිණි. මිනිසා තමන් දෙස බලා සිටිනවා දුටු ලේනා තවත් අත්තකට පනින විට නැඟුණ ‘සර සර’ හඬ මේ දිවා කාලය තුළ පවා තම ගම කොතරම් නිසොල්මන් දැයි ඔහුට සිතා ගත හැකි විය.

ළිඳ වටේ තණ කොළ වැවී තිබිණි. ඇන තබා ගෙන හිඳිමින් ඔහු ඒවා උදුරා විසි කළේය. පෙරදා රාති‍්‍රය පුරා නින්දක් නැත. දහවල් පුරා ඇවිද්දේය. හිස් බඩත් සමග දිය නෑවේය. මේ සියල්ල එකතු වී කුසගින්න තවත් වැඩිකරමින් තිබිණි.

ළිපෙන් නැඟුණ අල තැම්බෙන සුවඳ බඩගින්න තවත් වැඩි කළේය. මුළුතැන් ගෙට ගොස් ගිනි අඟුරු තුළ සැඟව තැබූ අලය පිටතට ගෙන වතුර ඉස ළිප නිවාදමා අලයත් රැගෙන පිටතට ආවේය.

අඹ ගස් සෙවණේ සළුව එළුවේය. රැගෙන යන්නට සූදානම් කළ පොත් මල්ල තමන් අසලින් තබා ගත්තේය. සළුව මත අලය පොතුහැර කුඩා කෑල්ලෙන් කෑල්ල මුව තුළට ඔබා ගන්නට විය. තැම්බුම් සුවඳද සමඟ අලයේ රසය ඔහුගේ මුහුණේ ඉරියව්වෙන් පිටතට දිස්විණි. කුස ගින්නේ දැඩි බව නිසා මුළු අලයම ඔහු ගිල දැම්මේය. ළිඳෙන් වතුර බාල්දියක් ඇද බඩ පුරා වතුර බී අහස දෙස බලන විට හිරු අවරට යමින් තිබිණි.

“ඉක්මනට ආපසු එන්න ඕන. ආවෙ නැත්නම් සොයාගෙන ඇවිල්ලා අපි උඹව මරලා දානවා.” හමුදා සෙබළා කී වදන් සිහියට නැඟෙත්ම සැණින් නැඟිට ගොස් වැලේ තිබුණු අමුඩ ලේන්සුව අතගා බැලුවේය. තෙත නිසා එය තාමත් එකට ඇලී තිබිණි.

නැවත ඔහු එළා තිබුණු සළුවේ වාඩි විය. පෙර දින රාති‍්‍රයේ නිදි වැරීම, දවස පුරා ඇවිද්ද මහන්සිය, බඩපුරා ආහාර ගැනීම, මේ සියල් හේතුවෙන් ගතට දැඩි තෙහෙට්ටුවක් තිබිණි. සිරුර සළුව මත නිදැල්ලේ වැතිර වූ පසු ඔහුටත් නොදැනී අවසරයක් නොමැතිවම දෙනෙත් පියවෙමින් තිබිණි.

සූර්යයා සැඟවී ගොස් අන්ධකාරය පැතිරෙන්නට විය. මල්ල අනාථව ඔහු අසලම තිබුණේය. වැලේ වනා තිබුණු අමුඩ ලේන්දුව සුළඟට පාවී අවුත් ඔහුගේ දෙපා අසළ වැටී තිබිණි. සියල්ල අමතක ඔහු...

විමල් කුලන්දෙයි වේල් ගේ “අසදි” කෙටිකතා සංග‍්‍රහයෙනි