අමයුරු සුව ඔසු රකිනා රූමස්සල රුවැත්තියේ

අමයුරු සුව ඔසු රකිනා රූමස්සල රුවැත්තියේ

පමිත ආර්. ලියනගේ ලියූ මහින්ද බණ්ඩාර සංගීතය නිමැවූ ප‍්‍රදීපා ධර්මදාස ගයන ගීයක්

ප‍්‍රදීපා ධර්මදාස

පද රචනයෙහි සාහිත්‍යයික ගුණය අතින් අපූර්ව වූ ගීතයක් ගැන මෙවර මම ඔබට කියමි. ඉර, හඳ, තරු, තුරුලතා, කෙත්වතු ගංගා ඇළ දොළ හා නොමක කඳුවැටි ආදි ස්වභාවික නිර්මිතයන් පිළිබඳ ගී බොහොමයක් ලියැවී ඇත ද මේ ගීය ඒ සියල්ලෙන් වෙනස් මුහුණුවරක් ගනී.

හුදු පරිසර වර්ණනයකින් තොර ව සංක්ෂිප්ත භාවය හා ප‍්‍රමුඛ රූපකාර්ථයකින් ද යුතු ව නිමැවුණු මේ පැබැඳුම සැබැවින් ම වර්තමානයේ ගී පදමාලා යැයි නිසරු වචන ගොඩගසන ඇතැමුනට පරමාදර්ශයෙකි.

ප‍්‍රදීපා ධර්මදාස නමැති ප‍්‍රකට, කුසලතාපූර්ණ ගායන ශිල්පිනිය ගේ ‘සත්‍යංගනා’ සංයුක්ත තැටියේ ඇතුළත් මේ ගීතය මා රසවින්දේ වරක් දෙවරක් නො වේ. එහි ගායනයේ පදමාලාවේ මෙන් ම සංගීතයේ ද ඇති සුභාවිත ගුණය රසාත්මක අත්දැකීමක් ම විය.

කන්දක් රුවැති ළඳක ලෙස රූපකයකට නඟා ලියැවුණු මේ ගීතයේ රචකයා අප තුළ මහත් අපේක්ෂා ඇති කරන ප‍්‍රතිභානයකින් යුත් පමිත ආර්. ලියනගේ යි.

“ගිරා නිලට පෙම් බඳිනා
සිහිලැල් පණනල වඩනා
අමයුරු සුව ඔසු රකිනා
රූමස්සල රුවැත්තියේ

ගාලු කොටු පවුර නැඟ එන
ලවණ පිරි කඳුළු සුළඟට
හැමදාමත් ළෙන්ගතු වන
රූමස්සල රුවැත්තියේ

ගිං ගඟටත් කිරි එරවන
සිංහරාජ මෑණියන්ට
කවදාවත් වින නො කටින
රූමස්සල රුවැත්තියේ

ඉතා කෙටි, සරල, නිරවුල්, වැඩි සැරැසිලිවලින් තොර ප‍්‍රබන්ධයෙකින් රූමස්සල කන්ද පිළිබඳ අර්ථපූර්ණ අනුභූතියක් අප හදෙහි මැවීමට සමත්වූ පමිත ආර්. ලියනගේ ගීත රචකයා සමඟ මම පළමු ව මේ ගීතය පිළිබඳ ව විමැසීමි.

“ගාලු නගරයට ආසන්නයේ පිහිටි රූමස්සල කන්ද සොබාදහමේ අපූරු දායාදයක්. ගාලු මාතර මහාමාර්ගයට ඉහළින් මුහුදට බෑවුම් වන පරිද්දෙන් පිහිටා ඇති මේ කන්ද පුරාම පැතිරිලා තියෙන්නෙ ඖෂධීය ශාකවර්ගයි.

 ජනප‍්‍රවාදයේ සඳහන් වන පරිදි රූමස්සල හිමාලය කන්දේ කොටසක් ලෙස සැලැකෙනවා. රාමායණයේ සඳහන් වන රාම රාවණ යුද්ධයේ දී තුවාල ලද රාම ගේ පක්ෂයේ සෙබළුන් සුවපත් කිරීමට අවශ්‍ය බෙහෙත් පැළැටි ගෙන ඒම සඳහා රාම විසින් හිමාලයට පිටත් කොට යැවුණු හනුමන්තාට ඒ බෙහෙත් පැළෑටියේ නම අමතක වුණා.

මහින්ද බණ්ඩාර

ඒ නිසා ඔහු කෙළේ හිමාලයේ ඒ ඔසුව ඇති මුළු බිම් කොටසම ගලවාගෙන ඒමයි. එය ගෙන එද්දී “උනා වැටුණු ස්ථානය” උණවටුනයි. ඒ රූමස්සල කන්දයි. මේ ජනප‍්‍රවාදයේ ඇත්ත නැත්ත කුමක් වුවත් රූමස්සල ඖෂධීය වටිනාකමින් යුත් විරල ගණයේ ඖෂධවලින් යුත් මහා බෙහෙත් ධනයක්.

මේ බෙහෙත් වර්ගවල වටිනාකම අපේ පැරැන්නන් දැන සිටියා. එහෙව් රූමස්සල කන්ද කොළඹ සිට ගෙදර යන හැම අවස්ථාවකම මට දකින්නට ලැබුණා. තාමත් දකිනවා. ඉතින් මට මේ රූමස්සල කන්ද පෙනුණේ රුවැති අඟනක් හෙවත් රුවැත්තියක් ලෙසයි.

අනතුරුව මට මේ පිළිබඳව ගීතයක් ලියන්නට සිතුණා. ඒත් එය හුදෙක් පරිසරය පාදක කොට ගෙන ලියූ තවත් ගීයක් නොවිය යුතු බව මගේ සිත මට කීවා.

මෙහි දී වෙනස් ආකාරයකින් රූමස්සල කන්ද ගැන ගීයක් ලියන්නට මං මගේ කවි සිතට ආරාධනා කළා. එය හුදු පරිසර වර්ණනාවකින් තොරව ලියන්නට මට අවශ්‍ය වුණා. එහි දී රූමස්සල කන්ද මා දුටුවේ රුවැති කාන්තාවක විදිහටයි.

මං ගීතය ලියන්නට පටන් ගත්තා.

ගිරානිලට පෙම් බඳිනා
සිහිලැල් පණනල වඩනා
අමයුරු සුව ඔසු රකිනා
රූමස්සල රුවැත්තියේ...

රූමස්සල රුවැත්තිය එසේ මෙසේ රූමතියක් නොවෙයි. ඇය “අමයුරු ඖෂධ රකින්නියක්” නිලට නිලේ නිලට පෙම් බඳින්නියක්. ගීතය අපූරුවට ලියැවුණා. සුන්දර ගාලු කොටු පවුරට ඉහළින් හමා යන මුහුදු සුළඟේ ලවණ වගේම මිනිසුන් ගේ කඳුළුත් මුසු වෙලා ඇතැයි මට සිතෙනවා. මේ ලවණ සුළඟට නිරන්තරයෙන් මුහුණදෙන රූමස්සල කන්ද නොසැලී සිටිනවා.

මුහුදේ ලවණ බලපෑමට හසු නොවී එයට අනුවර්තනය වෙමින් හා ඊට ඔරොත්තු දෙමින් පවතින ලංකාවේ එකම ඖෂධීය පරිසර පද්ධතියත් රූමස්සල ඇති බවයි පරිසර විද්‍යාඥයන් ගේ අදහස.

ඒ වගේම ගිංගඟෙන් පෝෂණය ලබන අපේ මිනිසුන් ගිංගඟට වගේම, ගිංගඟට පෝෂණය දෙන සිංහරාජ වනාන්තරයටත් අපමණ කෙනහිලිකම් කරනවා. එහෙත් රූමස්සල කන්ද කවරදාවත් එසේ පරිසරයට විණ කටින්නේ නැහැ.

පරිසරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ රතු ඉන්දීය නායකයකු වන ‘සියැටල්’ විසින් ලියන ලද ඉතා ප‍්‍රකට රමණීය හා සාරවත් ලිපිය කියැවීමෙනුත් මේ සඳහා තවත් උත්තේජනයක් මට ලැබුණා.”

ගීත රචක පමිත සිය රචනයට පාදක වූ පසුබිම් කරුණු එසේ ගෙන හැර පෑවේ ය. තවදුරටත් කතා කළ පමිත සිය ගී පැබැඳුම අර්ථවත් සංගීත නිර්මාණයකින් හැඩ ගැන්වූ මහින්ද බණ්ඩාරයන් මෙන් ම, සිය රසභාවපූර්ණ හඩින් ඊට ජීවය දුන් ගායිකා ප‍්‍රදීපා ධර්මදාස ශිල්පිනිය ද සිය ගීත ප‍්‍රබන්ධයේ අදහස තව ද උද්වහනය වන ලෙස කටයුතු කළ බව පැවැසී ය.

ඉක්බිති මම ප‍්‍රදීපා ධර්මදාස ගායන ශිල්පිනිය හමුවීමි. ඇය ද කුඩා කල සිට ම සොබාදහම සමඟ ජීවත් වූ සොබාදහමට ඇලුම්වත් වූ සොබාදහමේ සදාකාල සුරක්ෂිත භාවය පැතූ සොබාදම් රසිකාවකි.

“මා කුඩා කල සිටම සොබාදහමට මහත් සේ ඇලුම් කරනවා. සොබාදහම මිනිසා ගේ වර්ධනයට, භෞතික හා මානසික වශයෙන් මිනිසා ගේ සුබ සිද්ධියට සුව සහනයට සියයට දහස් ගුණයකින් හේතු වන බව මගේ විශ්වාසයයි.

 මම කොළඹ ඉපැදුණත්, මගේ මාපියන් මාතර හද්දා පිටිසර ගැමියන්. ඔවුන් සොබාදහමට මහත් සේ අලුම් කළ ගැමියන්. මා ඔවුන් සමඟ කුඩා කල සිටම කොළඹ සිට මාතර ගියා. ඒ ගියේ දුම්රියෙන්.

දුම්රියේ මාතර යද්දී මේ ගීතයෙන් පමිත චිත‍්‍රණය කරන රූමස්සල නම් වූ රූමත් කන්ද මං සිය දහස්වාරයක් දකින්නට ඇති. ඒත් පමිත ගේ මේ ගීත පදමාලාව කියෙව්වාම මටත් රූමස්සල කන්ද පිළිබඳව නවමු කෝණයකින් දකින්නට සිතන්නට පෙලැඹීමක් ඇති වුණා.

විශේෂයෙන්ම මුහුද අද්දර ඇති ගස්වැල්වලට මුහුදේ ඇති ‘ලවණ’ ගතිය හෙවත් ලුණුවලින් අහිතකර බලපෑම් ඇති වෙනවා. එහෙත් රූමස්සල කන්දේ ඇති බෙහෙත් වර්ගවලට ඒ ලවණ ගතියෙන් කිසිදු හානියක් නැහැ.

“ගාලු කොටු පවුර නැඟ එන
ලවණ පිරි කඳුළු සුළඟට
හැමදාමත් ළෙන්ගතු වන
රූමස්සල රුවැත්තියේ

පමිත ආර්. ලියනගේ

ඒ කරුණු පමිත මෙයින් කොතරම් අපූර්වාකාරයෙන් පවසා තිබෙනවද? මං මේ පදමාලාවට අලුම්වත් වුණේ එනිසයි.

ගීතය පුරාම තියෙන්නේ රූමස්සල කන්දේ පරිසර හිතකාමී සෞන්දර්යයයි.

“ගිං ගඟටත් කිරි එරවන
සිංහරාජ මෑණියන්ට
කවදාවත් විණ නොකටින
රූමස්සල රුවැත්තියේ

රූමස්සල කන්ද පරිසරයට බලපාන අයුරු මින් අපූරුවට කියා තිබෙනවා. මං මේ පදමාලාව මගේ හිතෙන් සෑහෙන වරක් කියවලා වටහාගෙනයි මේ ගීතය ගයන්නට තෝරාගත්තේ. කවදත් මම මට ලැබෙන කිසිම ගීතයක් හිතවත්කමට යාළුකමට ගයන්නේ නැහැ.

මට ලැබෙන පදමාලාවන් ලියූ රචකයන් ආධුනිකද ප‍්‍රවීණද යන ප‍්‍රශ්නයත් මට නැහැ. මට ගැළැපෙන මගේ අදහස්වලට ගරුකරන නව පද නිර්මාණ පමණයි මා ගයන්නට තෝරා ගන්නේ. මෙය දුටුව ගමන් මං කීවා “පමිත මල්ලි මේ ගීතය කාටවත් දෙන්න එපා.

මං ගායනා කරනවා කියලා.” මට මතක හැටියට මේ ගීතය මට ලැබුණේ 1991 දී. පමිත එතකොට මීටත් වඩා ළාබාල අයෙක්. ඊට පසු 1997 දී මා එළිදැක්වූ මගේ සංයුක්ත තැටියටත් මේ ගීතය ගන්නට බැරිවුණා.

ඒත් පමිත මල්ලි මගෙන් මේ ගීතය ගන්නෙ නැත්තෙ ඇයි කියලවත් ඇසුවෙ නැහැ. මං මගේ තුන් වන ගීත නිර්මාණ එකතුවට මේ ගීය ගන්නාතුරුත් ඔහු නිහඬව සිටියා. මං පමිත ගෙ දකින හොඳ ගුණයක් ඒක. ඒ ගැන මා කිය යුතුමයි.

ඒ වගේම සිංහරාජ වනය පිළිබඳව මේ ගීතයෙන් කියැවෙන ‘ලවණ ගුණයට ඔරොත්තු දීමේ ශක්තිය පිළිබඳව අලවත්තාගොඩ පේ‍්‍රමදාස මහතා ලියූ ලිපියක් කියැවීමෙන් පසුව මේ ගීතය ගැන මගේ උනන්දුව තවත් වැඩිවුණා. මං හිතනවා මගේ ගායනයෙන් මේ ගීත පදමාලාවේ අරුත් කුලුගැන්වීමට උපරිම මෙහෙයක් සිදුවුණා කියලා.

මේ අවස්ථාවේදී ගීතයට සංගීතය නිර්මාණය කළ මහින්ද බණ්ඩාරයන් ගැන නොකියාම බැහැ. මේ ගීතයට පණදුන්නේ ඔහුයි කීවොත් නිවැරැදියි. මේ පදමාලාවට උචිත පරිසර හිතවාදී සියුම් සංගීත නිර්මාණය ඔහු ගේ සංගීත නිර්මාණ ප‍්‍රතිභාව පළ කරන්නට සමත් වෙනවා.”

ගීතයක් සාර්ථක වීමට නම් එහි පදමාලාව මෙන් ම ගායකයාට හෝ ගායිකාවට සාර්ථක ලෙස ගායනා කළ හැකි මියුරු තනුවක් ද අවශ්‍ය ය. ‘ගිරානිලට පෙම් බඳන ගීතයට ගැළැපෙන මධුර තනුව නිර්මාණය කළ සංගීතඥ මහින්ද බණ්ඩාර සිය නිමැවුම ගැන මෙසේ පැවැසී ය.

මට ලැබුණු මේ පදමාලාව හරිම සරලයි. පරිසරය ගැන කියැවෙන අපූරු ගීයක්. ප‍්‍රදීපා ධර්මදාස ශිල්පිනිය ගේ ස්වර පරාසයට ගැළැපෙන පරිදි සරල තනුවක් නිර්මාණය කිරීමේ කටයුත්තට මං අත ගැසුවේ පහන් හැඟීමකින් යුතුවයි.

මං ඒ සඳහා ඇත්තටම වැඩිය බරට කල්පනා කළේ නැහැ. ගීතයේ සරල බව රැකෙන්න, රසිකයන් අතරට යා හැකි ජනතාව ගේ සිත්සතන් තුළ ගැවැසිය හැකි සරල තනුවකට මං මගේ හැකියාව මෙහෙයවූවා.

පරිසරය ඇසුරු කිරීමේ දී දැනෙන සිහිලස සතුට මේ ගීතයෙන් කියැවෙන නිසා ඊට ගැළැපෙන, ඒ හැඟුම් උද්දීපනය වන තනුවක් මං යොදාගත්තා. එහි සංගීතයත්, ස්වර පරාසයනුත් වැඩිය සංකීර්ණ කරන්නට මං උත්සාහ ගත්තේ නැහැ. පරිසරය පිළිබඳව මේ ගීතයෙන් කියැවෙන පණිවිඩය සරලව වින්දනය කරන්නට සැලැස්සුවා පමණයි.

ඒ ප‍්‍රයත්නය සාර්ථක වී තිබෙන බව සතුටින් කියන්නට පුළුවන්. ප‍්‍රදීපා ගේ ගායනයේ කන්කලු බව හා සුවිශේෂී බව ගීතයේ සාර්ථකත්වයට හේතු වුණා.