ලකේගල ඇසුරෙහි ඉපැරැණි ගම්බිම් සොයා...

ලකේගල ඇසුරෙහි ඉපැරැණි ගම්බිම් සොයා...

මේ දිවයින මත මා දකින අසමසම සෞන්දර්යය, මීදුම් බැඳුණු නකල්ස් කඳු අතරෙහි ය. මාතලේ රත්තොට පිටවලපතන භූමියෙහි සිට හාත්පස නරඹන කල මහ පවුරක් සේ එක් ව නැඟ සිටින මේ අසිරිමත් කඳු දෝතළුගල, ගොම්බානියගල, කළුපහණ, වමාරාපුගල, හිස්තුන්ගල, දුම්බානියගල හා ලකේගල යනුවෙන් නම් ලැබ සිටියි.

 මේ අතුරෙන් ලකේගල, අන් කඳු අතර සැඟැවී, එහෙත් පිටවලපතනේ සිට විමැසිල්ලෙන් බලන කල ති‍්‍රකෝණාකාර හැඩයකින්, සිය අතීත පුරාවත ගිලගෙන හුදෙකලාව සිටිනු පෙනෙයි.

පිටවලපතන් බිම් පෙදෙසින් නික්ම ලග්ගල පල්ලේගම දෙසට ගමන් කළ අපි අනතුරු ව ලකේගල පාමුල ප‍්‍රදේශයේ රණමුරේ ගම හා නාරංගමුව යන ඉපැරැණි ගම් පියෙස් වෙත පිවිසුණෙමු.

මහා “රාවණා” රජු සිය වාස භවනය කරගත්තේ මේ “ලකේගල” ප‍්‍රදේශය බව පුරාවෘත්තවලින් කියැවේ. සීතා කුමරිය සඟවාගෙන සිටි ගල්ලෙන, රජු ගේ රාජකීය උයන, දිය නෑ ඇල්ල ආදිය සම්බන්ධ ව ගෙතී ඇති කතා රැසක් වන අතර, ඒවායේ නෂ්ටාවශේෂ යැයි සැලැකිය හැකි දෑ අදත් දක්නට ඇත.

පතනේ දී දුටු ති‍්‍රකෝණාකාර හැඩයෙන් නො ව දැන් “පෙට්ටිය”ක හැඩයෙන් පෙනෙන “ලකේගල” මහා පර්වත ප‍්‍රාන්තයෙකි. එහි පාමුල ඉපැරැණි ගම්මාන රැසක් වෙයි. නාරංගමුව, රණමුරේ, වැනි ගම් මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් වන අතර, කඳුවැටියෙන් එහා ඇත්තේ ඉපැරැණි “මීමුරේ” ගම්මානය යි.

ලග්ගල පල්ලේගම නගරයේ සිට “රණමුරේ”ට පැමිණීමට ඇත්තේ දුෂ්කර මාර්ගයෙකි. පඩිපෙළක් සේ සැදි පාත්ති කුඹුරු, මහා වන ලැහැබ්, කුඩා කඳුගැට රැසක් පසුකරමින් සිළුමිණ කර්තෘ මාණ්ඩලිකයන් තිදෙනකු ද සමඟ මම ඒ පියසට පිවිසුණෙමි.

සංවර්ධනයේ සේයාවන් මේ ඉපැරැණි ගම්වලින් දිස්වුණ ද, කාලාන්තරයක් පුරා මේ ගම්වල මිනිසුන් ඇද-බැඳ සිටි ගුණාංග, සහජීවනය, උපකාරක ලක්ෂණ, මහඟු සිරිත් හා චාරිත‍්‍ර-වාරිත‍්‍ර තවමත් දැක්ක හැකි ය.

මීදුම බැඳුණු නකල්ස් කඳු වැටිය...

“බයේ බැරිය මේ ගල වට දුවන්නට
සැකේ බැරිය ඇස් ඇරලා බලන්නට
දුකේ බැරිය පද කරලා කියන්නට
‘ලකේගල’ හොඳයි දාගැබ බදින්නට”

ඒ ලග්ගල ප‍්‍රදේශයේ ප‍්‍රචලිත කවියකි.

“එපිට පැත්ත ලග්ගල මී මුර්යා
මෙපිට පැත්ත ‘කළුපානා’ කැලේයා
දෙසිය දෙකක් උස ඇති ගෝමෙර්යා
හොඳයි බරකාස ලක මී මුෙර්යා”

“කළු පහනේ නොවෙද නිසි දූවිලි ඇල්ල
ඇටන්වල නොවෙද වැද්දා පැනි ඇල්ල
ඟඟල නමුත් පොත්තටවෙල සේ රැල්ල
ලග්ගල ගම් නවය හරි මැද හංවැල්ල”

ඉපැරැණි රජදවස ‘මුරපොළක්’ තිබු හෙයින් මේ ගම “රණමුරේ” වූ බව කියැවේ. එදවස විවිධ වැරැදිවලට අසු වූ අය පිටමංකර සිටි ගමක් ලෙස “මීමුරේ” සැලැකේ. මේ ගම්මාන දෙක අතර ඇති “කළුපහණ” කඳුවැටිය දශක ගණනාවක් පුරා ඒ ප‍්‍රදේශවල ජනතාව ගේ ආදායම් සරු කරදීමට ඉවහල් විය.

මේ කඳුවැටිය පුරා ඇත්තේ “එනසාල්” වගාව ය. ලංකාවේ ඇති විශාලතම ‘එනසාල්’ වගාවන් ඇත්තේ මෙහි ය.

මහවැලි ජල පෝෂක ප‍්‍රදේශයක් ද වන මේ කඳුවැටිවලින් අනෙක් පැත්ත අයත් වන්නේ දුම්බර ප‍්‍රදේශයට ය; මහනුවර දිස්ති‍්‍රක්කයට ය. බුදුරජාණන් වහන්සේ යක්ෂ - නාග ගෝති‍්‍රකයන් ගේ යුදය සංසිදවීමට ‘මහියංගණයට’ වැඩිය බවත්, ඉන්පසු යක්ෂයන් ලකේගලින් මෙපිටට යැවූ බවත්, බෞද්ධ සාහිත්‍යයේ කියැවෙයි.

ඒ එසේ නම් අදත් අපූරු සංස්කෘතියකට උරුමකම් කියන ‘ලග්ගල’ ජනතාව ඒ යක්ෂ ගෝති‍්‍රකයන් විය හැකි ය. ලග්ගල ප‍්‍රදේශයේ ඉපැරැණි ගම් ඇත්තේ ද මේ ‘ලකේගල’ පාමුල ය. ඔවුන් ගේ භාෂාව, චාරිත‍්‍ර - වාරිත‍්‍ර, හා දේව ඇදහීම්වලින් ද මේ බව පසක් වේ.

මේ ගම්මානවල ජනතාව තවමත් දෙවියන් යදිති. දෙවියන් යකුන් සඳහා පුද පූජා පවත්වති. ලෙඩට දුකට බලතොවිල් ඇපනූල් බඳිති. ගමනක් යන විට කොළ අත්තක් කඩා ගසක එල්ලා දෙවියන් ගෙන් ආරක්ෂාව ඉල්ලති. සිය වගාවන් සතා සිවුපාවා ගෙන් ආරක්ෂාකර දෙන ලෙස ද ඔවුන් කන්නලව් කරන්නේ දෙවියන්ට ය.

ලංකාවේ අන් කිසිදු ප‍්‍රදේශයක අසන්නට දකින්නට නොලැබෙන “දෙවිවරු” පිරිසක් මේ ප‍්‍රදේශවල ජනතාව අදහති. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු පමණක් නොව කැප්පෙටිපොළ නිලමේ වැනි අය පවා දෙවිවරුන් ලෙස සැලැකේ. ගලේබණ්ඩාර, කළුකුමාර, ගණදෙවි, ආදි විවිධාකාර වූ දෙවිවරුන් රැසක් පිළිබඳ ව මේ පෙදෙස්හි ජනතාව විශ්වාස කරති.

අතීතයේ එක්තරා ප‍්‍රාදේශික නායකයෙක් සිය කුඹුරු අස්වැන්න කැපීම සඳහා ඇඹුල සෑදීමට සූදානම් වෙද්දී හදිසියේ විශාල ගෝනකු නිවස තුළට ම පැමිණි බව කියැවේ. එහි වී කොටමින් සිටි ගැහැනු මෝල් ගස්වලින් පහර දී “ගෝනා” මරා ඇත.

ලකේගල ඈතට දිස්වන අයුරු..

ප‍්‍රදේශික අධිපතියා ඇඹුල සඳහා ‘ගෝනමස්’ ද උයා අවට ගම්මානවල ජනතාවට ගොයම් කැපීමට එන ලෙස පණිවිඩ යවා තිබේ. ‘ගෝනමස්වල’ට සිය සේවය ලබා දීම ප‍්‍රතික්ෂේප කළ ඒ ගම්වල මිනිසුන් ගොයම් කැපීමට ගොස් නැත.

කෝපයෙන් වියරු වූ අධිපතියා ඒ ‘ගෝනමස්’ කා අසනීප ව මිය ගිය බවත්, ගම්වැසියන් කෙරෙහි උපන් ක්‍රෝධය නිසා යක්ෂයකු වී ඉපිද, ගොයම් කැපීමට නොගිය ගම්වැසියන්ට ලෙඩදුක් අපල උපද්‍රව කරන බවත්, මේ ගම්මානවල වැසියෝ අදත් විශ්වාස කරති.

සිය අස්වනුවලින් පළමු පංගුවෙන් “අඩුක්කු” පුදා තමන් හා වගාවන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින අය මෙහි අදත් වෙති.

“1925 විතර වෙන තුරු මේ ගම්වල සාසනයක් තිබ්බෙ නෑ”යි අප සමඟ පැවැසුවේ නාරංගමුවේ මුදියන්සේ කපු මහතා ය. “ගැමියො යක්කු ඇදහුවා, දෙවිවරු ඇදහුවා ඔවුන්ට අදත් ‘අඩුක්කුව‘ දෙනවා”යි ඔහු කී ය.

අලුත් සහලින් සෑදූ කැවුම්, අතිරස, ආදි කැවිලි වර්ග, පලතුරු වර්ග, සහල්පිටිවලින් සාදන “කී රොටී” ඇඹුලක්, මැල්ලුමක්, මල් බුලත් ආදී දෑ මේ අඩුක්කුවට අයත් වේ. මේ පැරැණි ගම්මානවල ජනතාව ගේ ප‍්‍රධාන ජීවනෝපායය වන්නේ ද වී ගොවිතැන ය. ඊට අමතර ව “හේනක්” කොටාගැනීම, එළවළු ටිකක් වවාගැනීම, කිරි හරක් කීපදෙනකු ඇතිකිරීම ආදිය ආදායම් මාර්ග වෙයි.

ප‍්‍රදේශය පුරා සරුවට වැඩෙන ‘කිතුල්ගස’ ද ඔවුන් ගේ අතමිට සරු කරයි. අනවශ්‍ය තරගකාරි ලෝකයෙන් මිදී සිටීමට තවමත් ඔවුනට හැකියාව ලැබී ඇති සෙයකි. බත බුලතේ තවමත් මේ ගම්මාන සශී‍්‍රක ය; ඇඳුම් පැලැඳුම් සංවර ය; කතාබහ ශීලාචාර ය; ළෙන්ගතු ය.

වයස අවුරුදු අසූ පහක් වුව ද තවමත් ඉංගි‍්‍රසි බෙහෙතක් කටේ නොතැබූ, අපූරු ගැමියෙකි, නාරංගමුවේ අයි.ජී. මුදියන්සේ කපු මහතා. ගල් කුලක එල්ලී ‘මීයක්’ කඩන්නට තරම් ඔහු ශක්තිමත් ය. ඔහුට තවමත් සිය යටගියාව පිළිබඳ විස්මිත මතකයක් ඇත. ඔහු පවසන්නේ නාරානන්ධ නම් ‘මුත්තා’ ගේ ප‍්‍රධානත්වයෙන් නාරංගමුව ඇතිවූ බව යි.

“නාරා නන්ද යන නම කිව් අපෙ මුත්තා
මේ අතු කපා ගේ හදලා බැඳගත්තා
සත්තකින් ම මේ කියමන හරි ඇත්තා
“නාරංගමුව“ ගම හැදුවේ ඒ මුත්තා”

ලකේගල ඇසුරෙහි ඇති නාරංගමුව නම් ඉපැරැණි ගමේ නිරෝගී ජීවිතයක් ගෙවන මුදියන්සේ මහතා කිසි දිනෙක මත්වතුර පොදක් කටේ තබා නැත. මස් අනුභව කර නැත. ඔහු සිය අතීතය, ගැන ගම්මානවල සිය ඥාති සමූහයා ගැන කතා කරන්නේ මහත් අභිමානයෙනි.

උඹ - වරෙන් - පලයං - ගිහිං වරෙන් ආදී ආමන්ත‍්‍රණ ආදරයෙන් කරන ඇමැතීම් ය. මස්සිනාට ‘වහජ්ජා’ ද නෑනාට ‘බැදවි’ යනුවෙන් ද අමතන්නේ මේ ඉපැරැණි ගම්මානවල ය.

ආගන්තුක සත්කාරයට මේ වැසියන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි. බතින්, බුලතින් සංග‍්‍රහ කිරීමට ඔවුහු රුසියෝ ය. අපේ රටේ ඉපැරැණි ශිෂ්ටාචාරය රකිමින්, රටට බත සැපැයූ මේ ගම්වල ජනතාව, සංවර්ධනයේ ඇතැම් අංගයන් නිසා අසරණ ව සිටිති.

නකල්ස් කඳු වැටිය හා ඒ ආශි‍්‍රත වනාන්තර සංවේදී කලාප ලෙස සලකා දැඩි රක්ෂිත බවට පත් කර තිබේ. ‘කළුපහණ’ කඳුවැටිය දැඩි රක්ෂිත ලෙස සංරක්ෂණය වෙද්දි, මේ ගම්වල මිනිසුන් ගේ අතමිට සරුකළ ‘එනසල්’ වගාවට තහංචි වැටී ඇත.

සංවේදී වනාන්තර ලෙස මායිම් සලකුණු කර ඇත්තේ ගම්මාන ආසන්නයෙනි. ඔවුන්ට හේනට, කොටුවට, ඇවැසි ලීයක්, කෝටුවක්, පැලකට ඉන්නක් කපා ගැනීමට බාධක පැනැවී ඇත. වන සංරක්ෂණ නීති-රීති නිසා “හේන් ගොවිතැන” ද තහනම් ය.

ගම්වල පහළ මායිමේ පල්ලේගම නගරය යටකරගෙන “කළුගඟ ජලාශ යෝජනා ක‍්‍රමය” කි‍්‍රයාත්මක කිරීමට යෝජිත ය. හවසට ඇඟේපතේ අමාරුවට ‘කිතුල් මලක්’ මැද ‘මල්පැණි පොදක්’ බීමට තිබු අවස්ථාවට ද පොලිසිය හරස් වී සිටියි. ඒ නිසා ම හකුරු, පැණි කර්මාන්තය ද අතහැරෙන සෙයකි.

මොන බාධක පැමිණිය ද, මේ අහිංසක ජනතාව සිය ගම්මානවල ම ජීවත්වෙමින් ස්වශක්තියෙන් නැඟී සිටීමට උත්සාහ දරති. ගම්මාන ගල්වැටෙන්, දඬුවැටෙන් ආරක්ෂා වී තිබුණ ද, අලියන් ගෙන්, වගාවලට වන හානි ද විශාල ය. අලි රංචුපිටින් පැමිණ බවභෝග විනාශකර දමති.

හේන්වල පැල්වල හිඳිමින් ගස් අතුවිටප මත සැදු මැසි උඩ නිදිවරමින්, අතිදුෂ්කර ලෙස දිවි ගැටගසා ගැනීමට නිරන්තරයෙන් ඔව්හු හුරුවී සිටිති.

මහා සංවර්ධන ක‍්‍රමෝපායයන් ගැන අපි මුරගාමින් සිටිමු. පරිගණක ලෝක ගැන සිහින මවමු. දියුණුවන ලෝකයත් සමඟ ඉදිරියට යෑමට කැස කවමු. එහෙත් අපේ අනභිභවනීය සංස්කෘතිය, සදාචාරය, ජීවනෝපායයන් රකිමින්, මිනිස් ගුණදම් රකිමින්, රටට බත සපයමින් නිහඬ ව ඉපැදී නිහඬ ව මිය යන මේ පෙ‍්‍රෟඪ මිනිසුන් වෙනුවෙන් කර ඇති මෙහෙය කුමක් දැ යි අප අප ගෙන් ම අසා ගත යුතු ව ඇත.

මේ සංචාරයේදී මඟපෙන්වූ “කඳුරට සොබාදහම” සභාපති පරිසරවේදී ජිනදාස ඒකනායක මහතාට අප ගේ ස්තුතිය.