බලේ දෙන්ට හොඳටම ඇති මේ අය ගේ මොළේ

එදා සීපද - බලේ දෙන්ට හොඳටම ඇති මේ අය ගේ මොළේ

බුලත් විටෙන් පදම් වැටුණු අපේ ගම් කොටුවල අත්තලා - මුත්තලා දෙසාබාපු කතාලතා හා සීපද බොහෝය. ඒ හැම දෙසාබෑමක ගැබ්ගෙන තිබුණේ, එදාට මෙන් අදටත්, අදට මෙන් හෙටටත් ගැලපෙන කරුණු කාරණායි. ඇතැම් විට ඒවා සැඟවී ගත් අරුතකින් කලඑළි බැස්ස අතර ඇතැම් විට ‘ඉද්ද ගැසූ’ සෙයින් සෘජුවම එළිබැසිණි. කෙසේ නමුත් ඔවුන් එළිදැක්වූ කරුණු කාරණා බහුතරයක්ම තීක්ෂණව සිතාමතා අදාළ පුද්ගලයාට හෝ තැනට සරිලන පරිදි ස්ථානෝචිතව මුදහළ බව නම් සැබෑය. එමෙන්ම ඒවා සැම කලටම කාලීන වෙයි.

එවකට ඡන්ද පැවතුණේ ගම් සභාවට සභාපතිවරයකු තෝරා පත් කර ගැනීම අරබයායි. ගම් සභාපතිවරයකු ගේ නිල කාලය නිමාවෙද්දී නව ගම්සභාපතිවරයකු වැඩි ඡන්ද ගණනකින් පත් කර ගැනීමට එදා ඡන්දයක් පැවැතිණි. ඒවා අද මෙන් කුලල් කා ගන්නා, ගහ මරාගන්නා යුද පොර පිටි බවට පත්ව තිබුණේ නැති. මේ නිසාම සභාපති ධූරයට තරග කරන අපේක්ෂකයන් කීප දෙනා සාමුහිකව ගමින් ගමට ගොස් ගැමියන් රැස් කරවාගෙන, එක එකා ගමේ බිමේ සංවර්ධන කටයුතු කරනාකාරය ගැමියන්ට පහදන්නේ එකම ස්ථානයක සිටය. ගැමියෝද ඔවුන් සියලු දෙනා ඉතා බුහුමනින් පිළිගෙන අදාළ ස්ථානය කරා කැඳවාගෙන යති. ගමේ විහාරස්ථානයේ හිමියෝද මේ රැස්වීමට වැඩම කර ආගමික කටයුතු නිම කර දෙති. රැස්වීමේ කටයුතු සමාරම්භ වෙන්නේ ඉනික්බිතිවය.

බොහෝ සෙයින් එදා මේ ඡන්ද රැස්වීම් සඳහා තෝරා ගැනුණේ ‘ඉපනැලි’ කුඹුරක හෝ ‘වැව් තාවල්ලකි.’ එහි අපේක්ෂකයන්ට දේශන පැවැත්වීමට ගොඩැලි පතක් (කමත් ගොඩැල්ලක් හෝ පැල ගොඩැල්ලක්) යොදා ගත් අතර, ඒ ගොඩැල්ල මත අසුන්වල විහාරස්ථානයේ හිමියන් ප‍්‍රධාන කොට ගත් අපේක්ෂකයෝ අසුන් ගනිති. ආගමික වතාවත්වලින් අනතුරුව හිමපාණන්ගේ ඇරියුම් අනුව අපේක්ෂකයන්, එක එකා ගේ ‘ගම් සංවර්ධන සැලැසුම්’ ප‍්‍රකාශ කිරීම පටන් ගැනේ. තමාට සභාපති බලය ලැබුණහොත්, ගමේ පොදු පාර, පොදු ළිඳ, පොදු සොහොන් බිම මෙන්ම පාලම්, බෝක්කු, සොරොව්, ආදිය සංවර්ධනය කර දෙන බවට අපේක්ෂකයන් ප‍්‍රතිඥා දීම මෙහිදී ඔවුන් ගේ දෙසුම් කෙරෙන් ඉස්මතු වේ. අපේක්ෂකයකු ගෙන් ගැමියන් ප‍්‍රශ්නයක් ඇසූ විට ඔහු දුන් පිළිතුර වන්නේ පසුගිය වාරයේ තමුන්නාන්සේලා පත් කර ගෙන ඇත්තේ මොළේ පාවිච්චි කරලා සංවර්ධන කටයුතු කරන්නට බැරි සභාපතිවරයකු බවයි. තව අපේක්ෂකයකු පැවැසුවේ තමුන්නාන්සේලා මේ වතාවේ මොළේ කල්පනා කරලා ‘බලේ’ මොළේ ඇත්තෙකුට ලබා දිය යුතුයි යන්නයි.

මෙසේ වූ ප‍්‍රශ්නවලට පිළිතුරු බැලීමේ කාලය නිමා වෙද්දී ගමේ ප‍්‍රධානයකුටද කතාවක් කිරීමට අපේක්ෂකයෝ ආරාධනා කළහ. ඒ ඇරියුම පිළිගත් ගැමි ඇත්තකු පැල්ගොඩැල්ලට නැඟී හිමිපාණන්ට නමස්කාර කරමින් ‘උගුරු බටේ’ රැල් බුරුල් හැර කතාව ආරම්භ කළේ මේ සීපදයෙනි.

“පැල්ගොඩැල්ලේ ඇදී මීරි කතා කළේ

මොළේ කුලප්පුව හැදිලා වගෙයි ගන්ඩ බලේ

බලේ දෙන්ට හොඳටම ඇති මේ අයගේ මොළේ

පලේ කිම්ද බලේ, මොළේ ඇතිවුන් ගෙන් බොලේ?”

මේ සීපදය කන් බෙරේ බැඳුණු රැස්ව සිටි ගැමියෝ ඔල්වරසන් දෙමින් අත්පුඩි තැළුෑ අතර, අපේක්ෂකයෝ එකෙකාගේ මුහුණු දෙස යටැසින් බැලූහ. හිමිනම වටාපතින් මුව වසාගෙන නිහඬ සිනාවකින් මුහුණ සරසාගත් බවකි අපේක්ෂකයන්ටද පසක් වූයේ.

උක්ත කතාව මගින් තමාට තව තවත් වාග් ප‍්‍රහාර එල්ල වන බව දත් නිසාදෝ අපේක්ෂකයෝ ඒ මේ අතට ඇඹරෙන්නට වූහ. අපේක්ෂකයන් ගේ කතාවලට වඩා තම ගමේ කථිකයා ගේ කතාවේ ඇති යථාර්ථවාදී හරය ගැමියන් ගේ සිත් සතන් ප‍්‍රබුද්ධ කළේය. කෙටියෙන් කළ ඒ කතාව මගින් ඔහු ගෙන හැර දැක්වූයේ ‘ගමේ පොදු ළිඳ වැසී ගියෙත්, ගමේ මහපාර වල් බිහි වුණේත්, බෝක්කු හැදුවත් ඒවා ටික දිනකින් ‘දෙබුක්කු’ බවට පත් වූයේත්, මීට පෙර තමුන්නැහැලා වාගේ මොළේ, බලේ දෙකම තිබ්බ ඇත්තෝ නිසයි. ඒ නිසා මොළේ ඇති බව කියන මේ ඇත්තෝ, බලේ ගන්නට කරන උත්සාහයට මං ‘බොටුව නමන’ අතර තමුන්නැහැලා මොළේ කල්පනා කරලා දෙසාබාන හෑලි අහගෙන සිටින විට පැලේ පිළේ ඉන්න අපිට ‘දෙකොනින්ම’ පිටවන හිනාව අපි කොහොම වාවා ගන්නද දෙයියනේ.?

මෙසේ ප‍්‍රකාශ කරමින් කථිකයා, පැමිණ සිටි අපේක්ෂකයනට ස්තුති කළේ රැස්වීමේ සිටියවුන් ගේ අත්පොළසන් හඬ මධ්‍යයේය.

මේ සීපදය කෙරෙන් ඉල්පී එන සංසිද්ධීන් එදා ගම් සභාපති අපේක්ෂකයන්ට වඩා මෙදා ‘මනාප’ පොරේට පේවෙන ඇත්තන්ට නම් කදිමට ගැළැපේ යැයි හඟිමි. එහෙත් එවැන්නක් වත්මන් අපේක්ෂක ඇත්තන් හමුවේ කියන්නට හැකි ඇත්තෝ අප අතර සිටියත්, ඔවුහු “බලේ ඇත්තන් කොළේ” කද්දී “මොළේ” ඇත්තන් “පොළේ” යද්දී, ගොළුවත රකිති. ඊට සහේතුක වන්නේ “කොළේ” ගොස් හෝ “පොළේ” ගොස් හෝ කට හැරියොත් මහ උළු ගෙදර උරුම වන හෙයින් විය හැකිය. නැති නම් “කොළේ” කන්නන්ට හෝ “පොළේ” යන්නන්ට හෝ ඇත්ත යුත්ත පහදා දීමට යෑම තම විචක්ෂණ බුද්ධියට කැරෙන අවලාදය කැයි හැඟෙන නිසා විය හැකිය. එසේත් නැතිනම් ‘කොළේ’ කන්නවුන්ගේ ‘ගොම්පස්’ අල්ලන්ට යෑම හෝ ‘පොළේ’ යන්නවුන්ගෙන් ‘හාති’ ගැනීමට යෑම තරම් ‘තකතීරු’ කමක් මිහිපිට තවත් නැතැයි පසක් වන හෙයිනැයි ද අනුමාන කළ හැකිය. කෙසේ වෙතත් කොළේ හෝ පොළේ ඇත්තන් පැලේ පිළේ ඉන්න අපි ගාවට දන බඩ ගාන වකවානුව අතේ දුර සේ යැයි හඟිමි.

කොළේ කෑම යනු කමතේ කොළ පාගන හරකුන් කමත වටේ කැරැකෙද්දී එහා ඇති හොඳ හොඳ වී කරල් කාහටත් නොපෙනෙන සේ කෑමයි. ඇතැම් හරකුන් කොළේ හෙවත් කමතේ ගොයම් පෑගී වැටෙන බැත හොරෙන් කෑමට පුරුදුව සිටින නිසා ඔවුනට ද කියන්නේ කොළේ කන්නන් කියායි.

කේ. බී. මානෑව