සිංහලයේ පද බෙදීම

සිංහලයේ පද බෙදීම

වෙන් කොට එක් කොට ලියමු ද?

නිවැරැදි බස් වහර හඳුනා ගන්නටත්, විශේෂයෙන් ම - ලියන බස පිළිගත් සම්මතයකට අනු ව හසුරුවන්නටත් අවශ්‍ය දැනුම හා හුරු ව දරුවනට හිමි වන්නේ පාසලේ දී ලැබෙන භාෂා අධ්‍යාපනය කෙරෙනි. ඒ දැනුම මත නිවැරැදි ව බස හසුරුවන දරුවනට එහි තිරසර ව පිහිටන්නට සෙසු වියතුන් ගේ භාෂා භාවිතය ද නිරායාසයෙන් ම බලපාන බව පිළිගත යුතු වෙයි.

පාසලේ දී උගන්නා භාෂා දැනුමත්, ඉන් බැහැර ව තමන්ට අසන්නට කියවන්නට ලැබෙන භාෂා ව්‍යවහාරයත් අතර නො සමතාවන් ඇති වන විට, එය භාෂා භාවිතයට පිවිසෙන දරුවන් / නවකයන් අවුලකට හෙළනු නිසැක ය. භාෂා භාවිතය සඳහා පිළිගත් සම්මතයක් අවශ්‍ය වන්නේ එ බැවිනි.

භාෂාවකින් අදහස් පළ කැරෙනුයේ වැකි මගිනි. පද ගැලැපීමෙන් වැකි සැකැසෙන අතර, පද ලියා දැක්වීමට අකුරු නිර්මාණය වී ඇත. ඒ අනු ව, ලියන බස, අකුරු, පද හා වැකි යන අංග තුනකින් සමන්විත වෙයි.

”වාක්‍යයට යෝග්‍ය වැ සිටි අක්ෂර රචනය පද නමින් හැඳින්වේ.” (ව්‍යාකරණ විවරණය) ඉහත වැකිය ලියා ඇති සැටියට එහි පද නවයක් දැක්ක හැකි ය. එහි එක් අකුරකින් සැදි පදයක් ද ඇත.

එයින් හෙළි වන්නේ පදයක් වීමේ මූල සාධකය, ඊට අයත් අකුරු ගණන නො ව, වාක්‍යයට යෝග්‍ය වැ අරුතක් ගෙන දෙන පරිදි එය සැකැසී ඇති බව ය. ඒ අනු ව එක අකුරකින් පමණක් සැදි පද ද සෑහෙන සංඛ්‍යාවක් සිංහලයෙහි ඇති බව නො රහසෙකි.

මේ අන්දමින් වාක්‍යයට යෝග්‍ය වැ සැකැසී ඇති පද අර්ථ වශයෙන් වර්ග තුනකට බෙදා දැක්වෙයි. නාම, ආඛ්‍යාත, නිපාත වශයෙනි. සිංහල වාක්‍යයක් ලියන විට එහි ඇති එක් එක් පදය තවත් පදයෙකින් වෙන් කොට ලිවීම පිළිගත් රීතිය යි.

වැකියෙක පද වෙන් නොකොට ලිවීම මෙන් ම, පදයෙක අකුරු වැරැදි ලෙස එක් කොට ලිවීම ද පදයේ අරුත විකෘති කරන, වාක්‍යයේ අදහස අවුල් කරන දූෂිත ව්‍යවහාරයක් ලෙස සැලැකෙයි.

නිදසුනක් ලෙස මෙහි යෙදුණු “වාක්‍යයට යෝග්‍ය වැ සිටි” යන වැකිය ම ගෙන බලමු. එය ඉහත දැක්වුණේ නිවැරැදි පද බෙදීම් සහිත ව ය. එහෙත් එය පද බෙදීමකින් තොර ව, ”වාක්‍යයට යෝග්‍යවැ සිටි අක්ෂර රචනය පද නමින් හැඳින්වේ.

” ලෙසින් හෝ, ”වාක්‍යයට යෝග්‍යවැ සිටි අක්ෂර රචනය පද නමින් හැඳින්වේ.” ලෙස වැරැදි අයුරින් අකුරු ගොතා හෝ ලිවීමෙන් වාක්‍යයෙහි අර්ථය තේරුම් ගත නොහැකි තරමට දූෂණය වන සැටි පෙනී යයි.

එ බැවින්, නිසි ලෙස පද බෙදා ලිවීම, සිංහලයේ නිවැරැදි ලේඛන රීතිය යි.

සිංහල ව්‍යාකරණයට අනු ව, ඉතා පැහැදිලි ලෙස සිංහලයේ පද වර්ග හඳුන්වා දී ඇත. ඒ අනු ව, සිංහලයේ පද බෙදීම යනු, ඒ ඒ වර්ගවලට අයත් පද වෙන් වෙන් වශයෙන් ඈත් කොට ලිවීම යි.

එ නම්, නාම පද, ආඛ්‍යාත පද හා නිපාත පද වෙන් වෙන් ව ලිවීම යි. පද බෙදීමට අදාළ ව මෙ තරම් පැහැදිලි සරල රීතියක් තිබියදීත්, නූතන ව්‍යවහාරයේ සිංහලයේ පද බෙදා ලිවීම කොතරම් අවුල් තත්ත්වයකට පත් කැර ඇද්ද යන්නත්, ඒ පිළිබඳ ව කොතෙක් මත වාද ඇද්ද යන්නත් ඉකුත් දශක කීපය තුළ ඒ වෙනුවෙන් වියතුන් කි‍්‍රයා කර ඇති ආකාරයෙන් පැහැදිලි වෙයි.

හරි හැටි සිය බස උගන්වන්නටත්, ඉගෙන ගන්නටත් ඇති මහත් ම බාධාව සම්මත වියරණ රීති මාලාවක් ලේඛනගත ව නො තිබීම බව දුටු - සිංහලය පිළිබඳ ව සැබෑ උනන්දුවකුත්, උසස් දැනුමකුත් ඇති වියත් ගත් කතුවරයකු වූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මැතිතුමා 1965 දී - අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු ඇමති ධූරයට පත්වීමෙන් අනතුරු ව, තමන් විසින් සිය බස වෙනුවෙන් කරනු ලැබිය යුතු මුල් ම සේවය සේ සලකා, සම්මත වියරණ රීති මාලාවක් රටට දෙන්නට ගත් කි‍්‍රයා මාර්ගය සිංහල භාෂාවේ අභිවෘද්ධිය පතන කිසිවකුටත් පහසුවෙන් අමතක නොවනු ඇත.

සිංහල භාෂාව ලිවීමේ දී භාවිත වන විශේෂ කරුණු හයක් පිළිබඳ ව පැවැති අවිනිශ්චිත තත්ත්වය මඟහරවා ලීම සඳහා සම්මත නීති මාලාවක් නිර්දේශ කිරීම එහි අරමුණ විය. එහි දී සලකා බැලුණු කරුණු හයෙන් වැදගත් කරුණක් ලෙස, සිංහලයේ පද බෙදීම ද ඇතුළත් විය.

එහි දී - ”සන්ධි හෝ සමාස හෝ නොවූ නාම පද ද, ආඛ්‍යාත ද, නිපාත ද වෙන් වෙන් ව සිටින සේ ලිවිය යුතු යි.” යනුවෙන් බෙදා වෙන් කොට ලිවිය යුතු පද පිළිබඳ ව නිශ්චිත මඟ පෙන්වීමක් කර ඇති අතර, ඊට අදාළ සැක තැන් කීපයක් විසඳ්‍ර ලීම සඳහා නිදසුන් ද සහිත ව විශේෂ පැහැදිලි කිරීමක් ද කර ඇත. ඒ අනු ව,

* නාම පද මෙන් ම සර්ව නාම පද ද,

* ඒ මැ, ඒ ලෙස, ඊ ළඟ, මී ළඟ ඈ තන්හි ඒ, ඊ, මී ඈ පද ද,

* මැ, ම යන අවධාරණාර්ථයෙහි නිපාතය ද,

* ‘කර’ කිරීමේ ධාතුවෙන් ලැබෙන, සිදු කරන, සඳහන් කොට, වැඩි කළ, නැති කෙළේ ය ඈ තන්හි යෙදෙන කරන, කොට, කළ, කළේ ඈ පද ද,

* කරන ලද, කියන ලදී, බලනු ලබයි ඈ තන්හි යෙදෙන ‘ලබ’ ධාතුවෙන් සිද්ධ පද ද,

* ‘ව‘ (වීමෙහි) ධාතුවෙන් ලැබෙන කි‍්‍රයා රූප ඊට ඉදිරියෙන් ඇති නාම, නිපාත ආදී පදවලින් වෙන් කොට ලිවිය යුතු ය.

උදා. :- සඳහන් වූ, සුදුසු වන, පහළ වුණු, සිදු වූ, ඇති වීමෙන්, නිරතුරු වැ, අනු ව

* ශුද්ධ කි‍්‍රයා පදයකට හෝ නිපාතයකට හෝ මුලින් සිටි ‘නො’ පාතය ද

උදා. :- නො දිටි, නො බලයි, නො කොටැ, නො ගොස්, නො රැකෙමි. නො ද මැරෙමි

* ‘ද’ යන සමුච්චයාර්ථ නිපාතය ද,

* වාක්‍ය සමාප්තියට යෙදෙන ‘යැ, යි, ය’ යන නිපාත හා බහු අර්ථය ඇඟැවීම පිණිස යෙදෙන ‘හ, හු’ යන නිපාත ද වෙන් කොට ම ලිවිය යුතු ය. (මේවා විකල්ප වශයෙන් එක් කොට ලිවීමට ද හැකි ය.)

එ සේ ම, එක් කොට ලිවිය යුතු යෙදුම් ද එහි නිදසුන් සහිත ව පැහැදිලි කර ඇත.

එහෙත්, විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක ගේ බලපෑම මත, ඉන් අනතුරු ව බලයට පත් රජයේ ගරු අධ්‍යාපන අමාත්‍ය බද්යුද්දීන් මහමුද් මැතිතුමා ලවා එක් පෑන් පහරකින් ඒ සිංහල කමිටු වාර්තාව ම අහෝසි කළ හැටි ද රහසෙක් නො වේ.

ඉන් පසු - 1989 දී, ජාතික අධ්‍යාපන ආයතනයේ මෙහෙයවීමෙන් සැකැසුණු ‘සිංහල ලේඛන රීතිය’ මඟින් ද සිංහලයේ පද බෙදීම පිළිබඳ ව විශේෂ අවධානය යොමු කොට තිබිණි.

 එහි තත්ත්වඥ මණ්ඩලයට හා ශාස්තී‍්‍රය පර්ශදයට මහාචාර්යවරුන් හත් දෙනකුත්, පිරිවෙන, හෙළ හවුල හා ප‍්‍රවීණ භාෂාඥයන් නියෝජනය කරන පිරිසකුත් ඇතුළු ව 28 දෙනෙක් වූහ.

සිංහල ලේඛන රීතියෙහි ඇතුළත් - පද බෙදීම පිළිබඳ පරිච්ඡේදයේ දී - “නාම, කි‍්‍රයා, නිපාත යනුවෙන් පද වර්ග තුනක් වෙයි.

මෙයින් සමහරක් තනි අකුරකින් පමණක් යුක්ත වෙතත්, සියලු පද ලිවිය යුත්තේ එකිනෙක අතර පරතරය ඇති ව ය. එනම් පද බෙදා ය.” යනුවෙන් ඉතා පැහැදිලි ලෙස පද බෙදා ලිවිය යුතු රීතිය දක්වා, එතැන් සිට අකුරු එක් කොට ලිවිය යුතු අවස්ථා නිදසුන් සහිත ව පැහැදිලි කර ඇත.

ඒ කරුණු බොහොමයක් ම කලින් අහෝසි කැරුණු සම්මත සිංහල කමිටු වාර්තාවේ නිර්දේශ හා සම විය.

එහෙත් - සිංහල ලේඛන රීතියට සමගාමී ව - 1991 දී ම ප‍්‍රකාශයට පත්, ‘සිංහල භාෂාභිවර්ධන සංවිධානයේ - ‘නිර්දේශිත භාෂා රීති’ කෘතිය ද, ‘ශ‍්‍රී ලංකා සංස්කාරකවරුන් ගේ සංගමයේ - ‘සිංහලයේ වචන වෙන් කිරීම’ කෘතිය ද සිංහලයේ පද බෙදීම පිළිබඳ ඉහත දැක්වුණු කරුණුවලට වඩා හාත් පසින් ම වෙනස් වූ සම්මතයක් ඉදිරිපත් කැර තිබිණි.

 මෙයින් සිංහලයේ වචන වෙන් කිරීම සම්පාදනය කිරිමට, සිංහල ලේඛන රීතිය සම්පාදනයට සම්බන්ධ වූ මහාචාර්යවරුන් දෙදෙනකු ඇතුළු ව විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන් නව දෙනකුත්, තවත් ප‍්‍රවීණ ගත්කරුවන් ඇතුළු විද්වතුන් පිරිසකුත්, “කීප වතාවක් රැස් වී තර්ක විතර්ක ඉදිරිපත් කොට සාකච්ඡා කිරීමෙන් පසු ව ම සම්මතයකට එළැඹි බව“ ප‍්‍රකාශ කර ඇත. එසේ ම එහි පූර්විකාවෙන් විවෘත යෝජනාවක් ද කර ඇත.

“සිංහලයේ වචන වෙන් කිරීම පිළිබඳ ගැටලුව මතුවන්නේ ආධුනික ලේඛකයන්ට හා පාසල් ශිෂ්‍යාවන්ට පමණක් නො වේ.

ප‍්‍රවීණ ලේඛකයන්, ග‍්‍රන්ථ සංස්කාරකයන් සහ ප‍්‍රකාශකයන් ඇතුළු කාහටත් එය ගැටලුවක් වන්නේ මෙහිලා තර්කානුකූල වූත්, පිළිගත හැකි වූත් සම්මතයක් නොමැති නිසා ය. - දැන් කාගේත් පහසුව සඳහා සම්මතයක් සම්පාදනය වී ඇත්තේ ය.

සිංහල සාහිත්‍යයේ අභිවෘද්ධිය තකා කතා කළ යුතු වන්නේ මින් මතුවට මේ සම්මතයෙහි පිහිටීමයි.” ඉන් අනතුරු ව මේ පති‍්‍රකාව සම්පාදනය කිරීමේ අරමුණ ද මෙ සේ පැහැදිලි කරයි.

”නාම, කි‍්‍රයා, නිපාත යනුවෙන් පද තුන් වර්ගයක් සිංහලයේ ඇති බව සැලකෙන නිසා ඒ එක් එක් පදය වෙන් කර ලිවීමට ඇතැම් අය පෙලඹෙතත් ඒ මගින් ගැටලු මතු වන අවස්ථා ද ඇත. පද බෙදීම යන ව්‍යවහාරය පවා ඇතැම් විට ලේඛකයා අවුලට පත් කිරීමට හේතු විය හැකි ය.

එබැවින් ‘පද බෙදී’ යන සාම්ප‍්‍රදායික යෙදුම වෙනුවට සිංහලයේ වචන වෙන් කිරීම යන්න මෙහි දී භාවිත කරනු ලැබේ.”

මේ අන්දමින් නව මතයක් මත ඉදිරිපත් කර ඇති සිංහලයේ වචන වෙන් කිරීම පිළිබඳ සම්මතයේත්, ඉහත දැක්වුණු පද බෙදීමේ සම්මත රීති මාලාවේත් පැහැදිලි ව දක්නට ලැබෙන වෙනස්කම් කීපයක් සලකා බැලීම මෙහි දී වැදගත් වෙයි. මේ යෙදුම්වල වඩාත් ගැටලුවක් වී ඇත්තේ, නිපාත පද භාවිතය සම්බන්ධයෙන් බව ද පෙනේ.

සිංහලයේ වචන වෙන් කිරීම - ඉදිරිපත් කරන නව නිර්දේශ.

1. ප‍්‍රකෘති හා විභක්ති

(අ) ගේ - ගෙන් - හට - ට යන විභක්ති ප‍්‍රත්‍යය පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- ඔහුගේ, මිනිසාගේ, ඔවුන්ගෙන්, ගැහැනුන්ගෙන්

(ඇ) විසින්, කරා, කෙරෙන්,, කෙරෙහි, වෙත, වෙතින් ආදී විභක්ති සූචක රූප පෙර පදයෙන් වෙන් කොට ලිවීම.

උදා. :- අප විසින්, මා කරා, කාන්තාවන් කෙරෙන්

(ඉ) සම්බන්ධාර්ථයෙහි හා කාලාර්ථයෙහි යොදන, දී - ලා යන රූප පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- ගෙදරදී, බැංකොක්හිදී, ලන්ඩන්වලදී

(උ) කරණ විභක්ති සූචක ‘කරනකොටගෙන’ යන්න තනි වචනයක් සේ ලිවීම.

2. නිපාත

(අ) තනිව යෙදෙන අර්ථයක් ප‍්‍රකාශ කරන නිපාත තනි පද සේ ලිවීම.

උදා. :- එහෙත්, තරා, තරම්, තාක්, තුරු, තෙක්, දක්වා - වැනි, විනා, සහ, සේ, හා

(ඇ) ‘නො’ නිපාතය පසු පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :– නොකරන්නේය, නොකළ, නොගොස්, නොයයි, නොවූ,

(ඈ) ‘ම’ නිපාතය පෙර පදය හා එක් කොට ලිවීම. අදම, අවස්ථාවේදීම, කොළඹටම

(ඉ) සමුච්චයාර්ථයේ හා ප‍්‍රශ්නාර්ථයේ ‘ද, දෝ’ යන නිපාත පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- අඹද, පොල්ද, ඔහුද, මමද, අපහසුද?, යනවාද?, කවදාදෝ

(ඊ) වාක්‍යාවසානයේ ය, යි, හ, සේක, දෑය යන නිපාත පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- කළාහුය, ගියේය, යන්නේය, දැන්වූසේක, වදාළසේක, ගියදෑය, වදාළදෑය

3. ආඛ්‍යාත

(අ) ‘ව‘ වීමේ ධාතුව හා සම්බන්ධ වන ‘ව‘ කාරය පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- අනුව, ගුරුවරයකුව, නොවෙනස්ව, පැහැදිලිව, පිළිබඳව

ලේඛන ව්‍යවහාරයේ දී භාවිත වන යෙදුම් පිළිබඳ ව උගතුන් අතර මෙ බඳු මත වාද පවත්නා විට, ඒ විෂයය හදාරන පාසල් දරුවන්, නවකයන් ප‍්‍රගුණ කළ යුත්තේ කුමන රීතියක් දැයි ගැටලුවක් මතුවීම සාධාරණ ය.

 විභාග ඇගැයීම් කටයුතුවල දී තැන ලැබෙන්නේ මෙයින් කුමන රීතියකට ද? ඇත්ත යුක්ත කුමක් වුවත් මහාචාර්යවරයන් කී පමණින් සියල්ල නිවැරැදි ද? පිළිගත යුතු ද? වැනි ප‍්‍රශ්න මතුවීම ද සාධාරණ ය.

මේවා සිතින් මවා ගත් සිතලු නො ව, සැබැවින් ම කෙනකුට ඇති විය හැකි ප‍්‍රශ්න බවට නිදසුන් ද ඇත. මේ එක් නිදසුනෙකි.

”සිංහල පිළිබඳ පර්යේෂණ කර, එහි අඩුපාඩු තිබේ නම්, අදට ගැලපෙන ලෙසට එය සකස් කර ගන්නට යෝජනා කරන්නේ ලංකාවේ සහ පිටරට විශේෂයෙන් ම එංගලන්තය, අමෙරිකාව, ප‍්‍රංශය, ජර්මනිය වැනි රටවල මහා විශ්ව විද්‍යාලවල ඉතා ගැඹුරට ශාස්ත‍්‍ර හදාරා පර්යේෂණ පුරුදු පුහුණු වී තිබෙන, විශාරද දැනුමක් ඇති පඩිවරුනුයි. උදාහරණ ලෙස මහාචාර්ය ජේ. බී. දිසානායක සහ මහාචාර්ය එම්. බී. ආරියපාල මහතුන් ඉදිරිපත් කළ හැකි ය.

’ඊලියන් සිල්වා මහතා යෝජනා කරන්නේ සාමාන්‍ය උපාධියක්වත් නැති, විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොලද, නියම විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ පුහුණුවක් හෝ පළපුරුද්දක් නො තිබූ මුනිදාස කුමාරතුංග මහතා ලියා තිබෙන ව්‍යාකරණ විවරණය හා කි‍්‍රයා විවරණය සිංහල භාෂා සාහිත්‍යයේ සම්භාවනීය ව්‍යාකරණය ලෙස සැලකීමයි. මෙය කිසි දාක හරි නොයන වැඩකි.

කිසි කලක මේ රටේ විශ්ව විද්‍යාලවල සිංහල අංශවල විශාරදයෝ කුමාරතුංග මහතාවත් ඔහුගේ මේ ව්‍යාකරණ දෙකවත් නියම විද්‍යාත්මක පර්යේෂණ ග‍්‍රන්ථ ලෙසවත් හරයක් ඇති කටයුතු ලෙසවත් පිළිනොගත්හ. දැනුදු පිළි නොගනිති.

එබඳු පර්යේෂණ කර උසස් ග‍්‍රන්ථ නිපදවීමේ දැනුමක් හෝ සුදුසුකමක් කුමාරතුංග මහතා සතුව තිබුණ බවක් ඔවුන්ගේ පිළිගැනීම නොවේ.”

මේ, සිංහලයට සම්මතයක් සකසා ගැනීමට කි‍්‍රයා කරමින් සිටි සමයේ, එනම් 1990 ගණන්වල බන්දුසේන ජයවර්ධන නමැත්තකු විසින් ‘දිනමිණ’ පුවත්පතට සපයන ලද ලිපියකින් උපුටා ගත් කොටසෙකි.

මේ මානසිකත්වය පාසල් දරුවනට, නවකයනට පමණක් නොව මහාචාර්යවරුනට ද බලපාන අභියෝගයක් බවට ද නිදසුනක් දක්වමු.

පහත දැක්වෙන්නේ මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන් ගේ පුවත් පත් ලිපියෙකින් කොටසෙකි.

”සමකාලීන සිංහල ලේඛන ව්‍යාකරණය” නමැති පොත අළලා වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා සැපයූ විචාරයෙහි ඔහුගේ විශේෂ අවධානයට යොමු වූ එක් කරුණක් වූයේ පද බෙදීම සම්බන්ධයෙන් මා අනුදුටු පිළිවෙතයි.

 ‘මෙතෙක් තමා අනුගමනය කළ පද බෙදීමේ පිළිවෙළින් පිට පැන, පද එක් කිරීමේ අලුත් ක‍්‍රමයක් ද මේ පොතින් බිහි කරන නිසා’ එය කොතෙක් දුරට යුක්තිසහගත දැයි ලොකු බණ්ඩාර මහතා අසයි.

පද බෙදීම ව්‍යාකරණාංගයක් නොවූවත් ලේඛන ව්‍යවහාරයට අදාළ ලක්ෂණයක් වෙයි. මේ සම්බන්ධයෙන් මා මෙතෙක් අනුගමනය කළ ක‍්‍රමයට වඩා වෙනස් පිළිවෙතක් මගේ අලුත් පොත ලිවීමෙහිදී අනුගමනය කළ බව ඇත්තය.

ඒ වෙනස සිදු කරන ලද්දේ වුවමනාවෙන්ම බවද සඳහන් කරනු කැමැත්තෙමි.

පද බෙදීම සම්බන්ධයෙන් අලුත් පියවරක් ගැනීමට මා කල්පනා කළේ වියතුන් පිරිසක් විසින් මෑතක දී ගන්නා ලද තීරණයකට එකඟ වනු පිණිස ය.

”මේ නව සම්මතය බිහි කිරීමෙහිලා විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පමණක් නොව සුප‍්‍රකට ලේඛක ලේඛිකාවෝ රාශියක්ද දායක වූහ.

”සිංහලයේ වචන වෙන් කිරීම” නමැති අත්පොතේ එන සම්මතයට අත්සන් තැබූ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අතුරෙහි පහත දැක්වෙන ලේඛයෝද වූහ.

(අ) ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - මහාචාර්ය විමල් බලගල්ලේ, මහාචාර්ය ඒ. වී. සුරවීර, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය මැන්දිස් රෝහණධීර, මහාචාර්ය රත්න විජේතුංග.

(ආ) කැලණිය විශ්ව විද්‍යාලය - මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ආචාර්ය අශෝක පෙ‍්‍ර්මරත්න,

(ඇ) පේරාදෙණිය විශ්ව විද්‍යාලය - මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, මහාචාර්ය පී. බී. මීගස්කුඹුරේ, මහාචාර්ය පියසීලි විජේමාන්න.

(ඈ) කොළඹ විශ්ව විද්‍යාලය - මහාචාර්ය ජේ. බී. දිසානායක, සරත් විජේසූරිය.”