කොළඹ විගඩම | සිළුමිණ

කොළඹ විගඩම

පසුගිය 5 වෙනි බදාදා මහින්ද රාජපක්‍ෂ කොළඹදී පෑමට ගිය ප්‍රාතිහාර්ය හිටි ගමන් නතර විය. පොලිසිය බලා සිටියේ ‘කෂ්ඨිය’කොල්ලුපිටි පාරෙන් ආණ්ඩුව අල්ලා ගන්නට එනතෙක්ය. ආණ්ඩුව කීවේ ඔන්න ඔහේ එන්න අරින්න කියාය. එය බරපතළ කතාවකි. පොලිසියට එහෙම බැරිකලය. මොකුත් වුණොත් කෝට් තරු ගැලවෙන්නේ පොලිසියේ නිසාය. පොලිසිය ආණ්ඩුව කියන දේ නාහා උසාවි ගියේ ඒ නිසාය. අධිකරණය පොලිසියේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.

හලාවතදී ඝාතනය කළ ධීවරයාගේ ගෙදරට රුපියල් ලක්‍ෂ දෙකක් මහින්ද පිටත් කළේ පූජිත් ජයසුන්දර අතේය. තමන් අසරණ වුණා කියා පොලිස්පතිට හිතෙන්න ඇත. ඒ මහින්ද විරෝධතාවලට සැලකූ හැටි දන්නා නිසාය. ආවා වෙඩි තිබ්බා ගියා. 5 වෙනිදා කොළඹ විගඩම රාජ්‍ය ආරක්‍ෂාව මැද දියත් විය. ඒත් 5 වෙනිදා මහ රෑ වෙන්න කලින් රට අල්ලන්න ආ කොළඹ විගඩම නතර විය. ඇල්ලූ ආණ්ඩුවක් නැත. මේ තත්ත්වය මරණයක් නම් මිනිය කපා බලනවාය. එය අධිකරණ භාෂාවෙන් නම් වෝහාරික Forensic පරීක්‍ෂණයකි. උද්ඝෝෂණයට පැමිණ මියගිය බවට වාර්තා වූ හැටන් තරුණයාගේ මරණයට හේතුව ගැස්ට්‍රයිටිස් ය.

කොළඹ විගඩම හදිසියේ අවසන් වුණේ ඇයි? අධික බීමත්කම සහ ඒ නිසාම ඇතිවූ සිහි මද ගතියෙන් නන්නත්තාරවීම නිසාය. බොන පාටි අවසන් වන්නේ මරාගෙනය. ගහ බැණගෙනය. අධික බීමත්කමෙන් අතර මඟ නතරවූ මහින්දගේ කොළඹ විගඩම අතර ගහ බැණ ගැනීමක් සිදු වුණේ නැත. ඒ ආණ්ඩුව සිහියෙන් සිටි නිසාය. රටේම සිටින බේබද්දන් වරෙන්තුකාරයන් පගාකාරයන් කප්පම්කාරයන් මිනීමරුවන් කොළඹට ආවේ තුවක්කුවෙන් පාලනය කරන රටක් නිර්මාණය කිරීමටය. මහින්ද කොහොමටත් කෙළිලොල්ය. ජොලිපිට්ය. කළොත් අප්සට් වැඩකි. මහින්ද වැඩක් කළොත් රුවිතෙටය. 2005 මහින්ද ජනාධිපතිවීම පසුපස ඇත්තේ වෙනම කතාවකි. 2010 මහින්ද දිනුවේ ප්‍රභාකරන්ගේ මිනිය පෙන්නලාය. මහින්ද කොළඹ විගඩමෙන් අපේක්‍ෂා කළේ මිනියක්ය. ඔහු එසේ කියා තිබුණු බව සමාජ මාධ්‍යවල පළවිය. මරණයක් සිදුවිය. එහෙත් මහින්ද අපේක්‍ෂා කළේ ස්වභාවික මරණයක් නොවේ. රතුපස්වල කටුනායක හලාවත ජාතියේ එකකි. එහෙම නොවුණේ මෛත්‍රි රනිල් ආණ්ඩුව බලයෙන් ඩෝප් වී නැති නිසාය. නීතිපති තමන් යටතට ගෙන අග විනිසකරු පහකොට නීතියට ගිනි තැබුවේ මහින්දය. මැතිවරණ නීති කඩමින් රාජ්‍ය මුදල් ඡන්ද අල්ලස් ලෙස බෙදුවේ මහින්දය. ත්‍රිවිධ හමුදාව ලවා පෝස්ටර් ගැස්සවීම, අමාත්‍යංශ ලේකම්වරුන් හා දිසාපතිවරුන් පවා ඡන්ද වැඩට යෙදවීම මහින්දගේ ක්‍රමය විය. සියලු තුරුම්පු අවසන් වී 2015දී මෛත්‍රිපාල සිරිසේනට පරාද විය. ගෙවුණු 5 වෙනිදා දක්වා මහින්ද ආපසු බලයට ඒම පිණිස බොහෝ දේ කළේය. නුගේගොඩ රැස්වීම එහි පළමුවැන්නය. එදා විමල් වීරවංශ කීවේ පනස් හත් ලක්‍ෂයම නුගේගොඩට ගෙන්වන බවය. ඉන්පසුව අගෝස්තු ඡන්දය උදාවිය. ඒ ඡන්දයේදී මෛත්‍රිත් මහින්දත් සිටියේ එකම පිලේය. මහින්ද අගමැති කරවන බවට විමල් වීරවංශලා කයිවාරු ගැසූහ. එදා ශ්‍රීලනිපය ආසන සීයක් ගත්තත් අගමැතිකම මහින්දට නොදෙන බව මෛත්‍රි ප්‍රසිද්ධියේ කීය. නැවත මහින්ද මෛත්‍රිට පරාද විය. අවුරුදු තුනක් ඉක්ම ගොසිනුත් මහින්දට අගමැතිකම තබා පක්‍ෂ නායකයා වෙන්නවත් බැරිවිය. රටම කලබලවූ ගෙවුණු පෙබරවාරි ඡන්දයෙන් ඔහු ලැබුවේ 49 ලක්‍ෂයකි. ඔහු සමග රේස් ගිය එජාපය ලක්‍ෂ 38කි. මෛත්‍රි ලක්‍ෂ 14කි. ජවිපෙය 07ලක්‍ෂයකි. උතුරු නැගෙනහිර නැතිව එතනම මහින්ද එපා කී පිරිස 59 ලක්‍ෂයකි. 2015 ජනවාරියේ මෛත්‍රි සහ මහින්ද අතර පරතරය පන් ලක්‍ෂයකි. 2018 පෙබරවාරියේ පරතරය දස ලක්‍ෂයකි. ඒ උතුරු නැගෙනහිර නැතිව ය. මහින්ද කොළඹ කෝලම නැටුවේ දිනන්න නොවේ. අධිකරණය බය කරන්නටය. 5 වෙනිදා අරලිය ගහ මන්දිරය වටලා ආණ්ඩුව අල්ලන කොළඹ කෝලම දූෂණ වංචා චෝදනා නිසා අධිකරණ ඇප මත සිටින ගම්මන්පිලලා, වීරවංශලා කප්පම් පගා චෝදනා නැගුණු ප්‍රසන්න රණතුංගලා වෙනුවෙනි. කොළඹ කෝලම ගිලෙන එකා පිදුරු ගහේත් එල්ලෙන ජාතියේ එකකි.

විශේෂ අධිකරණ පිහිටුවා නඩු ඉක්මන් කිරීම ඇරඹිණ. ගිය සඳුදා නඩුව අසා අවසන් වනතෙක් ජොන්ස්ටන් රිමාන්ඩ් කෙරිණ. නාමල්ලාගේ යෝෂිතලාගේ ශිරන්තිලාගේ විරවංශලාගේ මහින්දානන්දලාගේ ගාමිණි සෙනරත්ගේ ගම්න්පිලලාගේ නඩු කඩිනමින් ඇසෙනු ඇත. ගම්මන්පිල කී පරිදි ආණ්ඩුව අල්ලා ගෙන මහින්ද අගමැති කළා නම් තමන්ට එරෙහි නඩු සෙන්සෙබස්තියන් ඇළට විසිවන බව මේ පල් හොරු දනිති. කිත්තම්පහුව නඩුවෙන් එල්ලුම් ගස් යන්න සිටි එවුන් බේරුවේ මහින්ද බව රටම දනී. එහෙත් 5 වෙනිදා දහවල් වනවිට අරලිය ගහ මන්දිරය බලා ගිය පිරිස ලේක් හවුස් වට රවුමෙන් නතර විය. වීරවංශ ගම්මන්පිල නාමල් යෝෂිත ගාමිණි සෙනරත් ආදිහු කලබල වූහ. සවස හය හත පසුවී රාත්‍රි 7 උදා විය.

“අපි අරහෙ යන්නේ නැද්ද?” එකෙක් මහින්ද ගෙන් ඇසීය.

“පිස්සුද යකෝ ආපු එවුන්ට හුලිජ්ජ බර හැදිලා. යන්නේ කොහාටද කියලා මගෙන් අහනවා. බම්බුව. ආණ්ඩුව පාරේ ඇවිදින්ට ඉඩ දුන්නාට කක්කා දාන්න හුලිජ්ජ දාන්න ඉඩ දෙන්නෑ.” මහින්ද සිටියේත් කට්ට පැනලාය. එහෙම වෙලාවට ශිරන්තිවත් මහින්දට ළං වෙන්නේ නැත. තිත්ත කතාවක් කියාගෙන විරවංශ ගම්මන්පිල ළඟට ගියේය. “යමන් යකෝ මේක අණ්ඩරයක්. ”එළා ගන්න කොළයක් හෝ නැතිව මහින්ද වෙනුවෙන් ආ සෙනඟ මහ පාරේ පේමන්ට්වල දපා ගත්හ. මහින්ද සැප්තැම්බර් 5 වෙනිදා ආණ්ඩුව ඇල්ලුවේ එහෙමය. වැඩක් අප්සෙට් කරන්න දෙදෙනකු ඇතිය. 5 වෙනිදා දාස් ගාණක් සිටියේ බඹර පදම්වෙලාය. මේ නන්නත්තාරවීම ගෝඨාභය රාජපක්‍ෂ රටට ඇත්ත කියන ලේක් හවුසියේ කොට බිත්තියකට නැඟ බලා සිටියේය.

මාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර කොළඹ විගඩම හොරුන්ගේ රස්තියාදුව ලෙස නම් කළේය. බිය නොවි කොළඹ එන ලෙස මංගල කීය. පවත්නේ යහපාලනයකි. නිරායුධ මිනිසුන්ට ආණ්ඩුව වෙඩි තියන්නේ නැත. ආණ්ඩුව අවශ්‍ය ආරක්‍ෂාව සැලසුවේ ඒ නිසාය. මහින්ද සහ මෛත්‍රි අතර වෙනස කොළඹ විගඩම හරහා රටට සහතික විය. වෙරි සිඳුණු පසු ආපසු ගම් බලා ගිය මිනිසුන් තවම පාරට බසින්නේ නැත. ඒ කියන්න දෙයක් නැති නිසාය. කොළඹ විගඩම එසේ නිම විය.

කොළඹ විගඩම හරහා මහින්ද රටට කරුණු කිහිපයක් තහවුරු කළේය.

පළමුවැන්න නාමල් මුහුකුරා යන තෙක් එනම් 2025 තෙක් ආණ්ඩුව ගැනීමට මහින්දට අවශ්‍ය නැති බවය. දෙවැන්න මහින්දට කඩේ යන මාධ්‍ය මහ සෙනඟක් රටට පෙන්වූ රූප රාමුවල තිබුණේ හිස් ගෙඩි පමණක් බවය. ආණ්ඩුව අල්ලා ගැනීමට දස දෙසින් ගෙන්වූ සෙනඟ පාර දිගේ කානු ගාණේ ඩෝප්වී වැටී සිටි ආකාරය සමාජ මාධ්‍ය නොවන්නට අදටත් රටට රහසකි.

5 වෙනිදා මහින්ද රට ඇල්ලවා නම්......? ඩී. වී. උපුල් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට ගල් ගසා මරනවාය. වීරසේකරලා කමල් ගුණරත්නලා දැනටම දීපිකා උඩගම ඇතුළු හතුරන්ගේ මරණ ලැයිස්තු සකස්කර හමාරය. ගැමියන් තුළ පවත්නා විනය හා සංවරබව මහින්ද අනුගාමිකයන්ට නැත. --පොහොට්ටුවෙන් දිනූ එවුන් පවා සතියට එකා දෙන්නා උසාවි දාන්නේ ඒ නිසාය. 2015 පශ්චාත් මැතිවරණ හිංසන නො තිබිණ. ඊට මුල්වූ යහ පාලන කතිකාව සහ ශික්‍ෂණය සැප්තැම්බර් 5 වෙනිදාත් පැවතිණ. මහින්ද නැති හෙටත් එය පවතිනු ඇත.

රතුපස්වල ජනතාවට වෙඩි තැබුවේ හිතවත් ව්‍යාපාරිකයෙකුගේ කර්මාන්ත ශාලාවක් රැකීමටය. 5 වෙනිදා මහින්ද කොළඹ ආවේ අරලිය ගහ මන්දිරය වටකොට අගමැති රනිල් එළවීමටය. එදා කොළඹ වඩාත් සන්සුන්ව පැවතිණ. සාමාන්‍ය ජනතාව කොළඹ නාවේ ප්‍රාණ බය නිසාය. දැන් රටේ නීතිය ශක්තිමත්ය. පාරට පැන වෙඩි තියන බලු අබරාගේ යුගය අවසන් කර ඇත. රටේ අඩුපාඩු නැතිවා නොවේ. එහෙත් මහින්දට රට දී කෙළවා ගන්න තරමට අඩුපාඩු නැත. එහෙත් ඩීල් නිසා ගෝඨාභයලා හා ශිරන්තිලා ආරක්‍ෂා කරන්නේ කවුද කියා ජනවාරි පුරෝගාමින් දන්නා බව මෛත්‍රි රනිල් දෙදෙනා සිහි තබාගත යුතුව ඇත.

අදහස්