සැබෑ ජනබලය හෑල්ලු වන සැටි | සිළුමිණ

සැබෑ ජනබලය හෑල්ලු වන සැටි

ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින සැබෑ මහජන බලය නිසි ලෙස පාවිච්චි කරන්නට නම් ආණ්ඩුවේ ඉහළම තැන්වලට පත් කළ යුත්තේ රජවරුන්, සාමිවරුන් නොව; සාමාන්‍ය මහජනතාව බව මෑතකදී මහජන බලය පිළිබඳ ‘Peoples Power’ යනුවෙන් පොතක් ලියූ බ්‍රිතාන්‍ය‍යේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පතේ දේශපාලන කර්තෘ රිචඩ් ආස්ක්විත් ප්‍රකාශ කළේ මෑතකදීය. බ්‍රිතාන්‍යයේ සාමි මන්ත්‍රී මණ්ඩලය ඉලක්ක කරගෙන ඔහු සිදු කළ ඒ ප්‍රකාශ‍යේ බරපතළකම අපට සිහිගන්වන සිදුවීම් දෙකක් පසුගිය සතියේ අප රට තුළින් අසන්නට ලැබිණි. එකක් මහා සද්දයක් නඟමින්, ජන ජීවිතය අවුල් කරමින් සිදු කළ ඒකාබද්ධයේ කොළඹ ක්‍රියාකාරකමයි. ඒ සැප්තැම්බර් මාසයේ පස්වැනිදාය. දෙවැන්න එදිනට පසුදා එවැනි සද්දයක් නැතිව දියවන්නා මැතිසබයේ වූ සිදුවීමයි. ඒ ගණ පූර්ණය නැතිව පාර්ලිමේන්තු සභාව කල් තැබීමට සිදු වීමය. පාර්ලිමේන්තු සභාවාරයක් පැවැත්වීමට ප්‍රමාණවත් අවම මන්ත්‍රී සංඛ්‍යාව වන 20 දෙනකු වත් මන්ත්‍රීවරුන් 225 දෙනා අතුරින් අතරින් රඳවාගන්නට නොහැකි වීම ඛේදවාචකයකි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, රට වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කරන්නට සිදුව ඇත්තේ මහජනතාවටමය.

එහිදී පළමු සිදුවීම පිළිබඳ මඳක් විමසුව හොත්: පසුගිය බදාදා පැවැති ජනබල පාගමනින් කොළඹට පැමිණියවුන්ට හොඳටම අවබෝධ වන්නට ඇති කරුණක් ඇත. ඒ ඔවුන් දුර බැහැර පෙදෙස්වල සිට දුක් විඳගෙන කොළඹට ආවේ ඔවුන් අපේක්ෂා කළ ආණ්ඩු පෙරළියක් බලාපොරොතතුවෙන්ද? එසේ නැති නම් යම් පුද්ගලයකුගේ දේශපාලන අනාගතය විසඳීමේ දරදිය අදින්නද? යන්නය. මේ පැමිණි පිරිසට ශක්තිමත් සටන් පාඨයක් තිබුණේ නැත. අලුත් ආණ්ඩුවක් අවශ්‍ය බව, තිබෙන ආණ්ඩුව ගෙදර යා යුතු බව, එෆ්සීඅයිඩීය, විශේෂ අධිකරණය ගැන කියවුණද; රටේ සමස්ත ජනතාවට දැනෙන ජීවන වියදම, රටේ ප්‍රවාහන ප්‍රශ්නය, ආර්ථිකය වැනි සංවේදි කරුණු-කාරණා ගැන ඔවුන්ගේ සටන් පාඨ අතර තිබුණේ නැත. ඒ වෙනුවට මේ ජනබල සටන සටන්කාමි මුහුණුවරකට වඩා ඉතා විනෝදකාමි සැණකෙළියක සිරියක් ගත්තේය. එහි එක් අතකට නගරයේ පාසලක බිග් මැච් එකක් බැලීමට පැමිණි පිරිසකට වඩා වෙනසක් දකින්නට හැකි වූයේ නැත. සාමාන්‍යයෙන් පාසලක මහා ක්‍රිකට් තරගයකදී ඒ පිළිබඳ උනන්දු වන නරඹන්නන් බහුතරය පිටියට හෝ ක්‍රීඩාගාරයට එන්නේ තම පාසල් වියේ සමකාලීනයන් සමඟ කා-බී ගීත ගයා විනෝද වන්නටය. ඔවුන් අඩුම තරමින් තරගයේ ලකුණු, දිනුම්-පැරදුම් ගැන පවා වැඩි උනන්දුවක් දක්වන්නේ නැත. මේ ජනබලය හැසිරුණේද එවැනිම වූ උමතුවකිනි. ඔවුන්ටද තමන් ආවේ කුමකටද? සිදු වුණේ කුමක්ද? කියා එදා තේරුණේ නැත. එහෙත් අද එය ඔවුන්ට දැනෙනවා විය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් තුළ සාමකාමිව රැස් වී, සාමකාමිව විසිර යා හැකි වුවද; එහි සැබෑ අරමුණු තේරුම් ගත යුත්තේ මහජනතාවය. හේතුව: අප මුලින් හඳුන්වා දුන් ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ ලේඛකයා කියන ආකාරයට, ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක බලවත්ම පිරිස මහජනතාව වන නිසාය. ඔවුන් සිටිනුයේ හුදෙක් තමන් ජීවත් වන රට - සමාජය නිසි ලෙස රකින, තම අයිතිවාසිකම් රකින ජනතා නායකයන්ගේ පැවැත්ම තහවුරු කිරීමට මිස, පරම්පරාවෙන් රජකම උරුමයැයි සිතන ඊනියා හාමුලාගේ හෝ බේබිලාගේ රජකම තහවුරු කරන්නට නොවන බවට වූ රිචඩ් ආස්ක්විත්ගේ ප්‍රකාශය මේ ජනබලය තුළ අපට සමීප කරවයි.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජනතාවට ලැබෙන මේ බලය රාජ්‍යකරණයේදී යොදන බල කේන්ද්‍රය වන්නේ රටේ පාර්ලිමේන්තුවයි. ව්‍යවස්ථාදායකය සමඟ එකටම බැඳුණු පාර්ලිමේන්තුව සැදුම් ලබන්නේ මහජනතාවගේ නියෝජිතයන්ගෙනි. රටේ අධිකරණයට අදාළ නීති සකසන්නේද විධායකයට යම් බලපෑමක් කරවන්නේද මේ ව්‍යවස්ථාදායකය තුළය. එහෙත් ඔය කියන ජනබලයට පසු දිනම පාර්ලි‍මේන්තුව තුළ රටේ සැබෑ ජනබලය ඔස්සේ එහි පිවිසි මන්ත්‍රීවරුන්ගෙන් දිස් වූ අලස පිළිවෙත මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ පා පහරකි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු දිනයක් වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 45කි. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මේ පාර්ලිමේන්තු කටයුතු වෙනුවෙන්ද විශාල මුදලක් වියදම් කෙරේ. ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ පෞද්ගලිකවත්, ජාතික වශයෙනුත් මහත් වූ වගකීමක් පැවරෙයි. එහෙත් එය ඉටු කරන්නට ඇතැම් මන්ත්‍රීවරුන්ට කිසිදු වගක් නැති අතර, ඔවුන් විශ්වාස කරන්නේ තමන්ගේ ප්‍රදේශයේ මළ ගෙදරකට ගොස්, පැමිණ සිටින්නන්ගේ පිටට තට්ටුවක් දැමීම මහජන සේවයක් ලෙස හොඳටම ප්‍රමාණවත් බවය.

ඒ අනුව අර තරම් මුදලක් වැය කරමින්, රටේත් ජනතාවගේත් අතිශයින්ම වැදගත් තීන්දු-තීරණ සඳහා මඟ කියන පාර්ලිමේන්තුව මඟහැරීම කොතරම් ප්‍රජාතන්ත්‍ර විරෝධි, වගකීම් විරහිත ක්‍රියාවක්ද යන්න මේ මහජන නියෝජිතයන් තේරුම් ගත යුතුය.

අදහස්