ජනදිවිය හා බැඳි හෙළ රජ කල සිට පැවතෙන දළදා සිරිත | සිළුමිණ

ජනදිවිය හා බැඳි හෙළ රජ කල සිට පැවතෙන දළදා සිරිත

උතුම් දළදා වහන්සේ මෙරට රාජ්‍යත්වයේ සංකේතය ලෙසට පත් වීමත් සමඟම උන්වහන්සේ උදෙසා මැනවින් සංවිධානය කරන ලද පූජෝපහාර විධික්‍රම ගණනාවක් ම‍ෙරට සංස්කෘතියට මෙන්ම බෞද්ධ අනන්‍යතාවට එක් විය. ඉන්දීය බෞද්ධ සමාජයේ හෝ නොමැති ආකාරයට එක් වූ එම සම්ප්‍රදායන්, විධික්‍රම දළදා මාලිගාවේ වත්මන් චාරිත්‍ර, වාරිත්‍ර, හා සම්ප්‍රදායන් අතර අද ද ශේෂව ඇති වටිනාමය විධික්‍රමයන් ලෙස සැලකේ.

දළදා වහන්සේගේ භාරකාරත්වය එවක රජුන්ට පැවරීමත් සමග රජ මාලිගයේ වතාවත් දළදා මාලිගාව කෙර‍ෙහි බලපාන්නට විය. දළදා මාලිගයේ අද ද දක්නට ඇති ව්‍යංජන 32ක් හා හාල් සේරු 32කින් සමන්විතව සියලුම කැවුම් ආදී කැවිලි වර්ග පහක් හා පලතුරු ආදියෙන් යුක්තව රාජ භෝජනයටත් වඩා ඉහළින් පැවැත්වෙන පූජාව ‍මේ මහා සම්ප්‍රදායන් අතර ඉහළ චාරිත්‍රයකි. කවිකාර මඩුවේ කවි ගායනය, අලුයම් දුරේ සැන්දෑ දුරේ , ආදී කොට ඇති පංච තූර්ය නාදය, ආලත්ති අම්මලාගේ වතාවත්ද දළදා මාලිගයේ එවනි සම්ප්‍රදායන් කිහිපයකි.

දළදා පෙරහර පැවැත්වීමත් සමඟ තවත් වත් පිළිවෙත් සංස්කෘතික අංග, චාරිත්‍ර වාරිත්‍ර රැසක් දළදා මාලිගාව හා බැදිණි. ඒම චාරිත්‍ර වාරිත්‍ර අතර වාර්ෂිකව පැවැත්වෙන උත්සව මංගල්‍යයන් හතරක් සතර මහා මංගල්‍යයන් ලෙසින් අද දක්වාම පත්වාගෙන එයි.

අලුත් සහල් මංගල්‍යය

කෘෂිකාර්මික ජීවනෝපාය මිනිසා පටන්ගත් යුගයේ පටන් එහි අග්‍රශස්‍ය පූජාව ද පෙරදිග බොහෝ රටවල් ද විවධාකාර අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි. වප් මඟුල් උත්සව ඈත අතීතයේ රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ සහභාගිත්වෙයන් උත්සවශ්‍රීයෙන් පැවැත්වූ අයුරු ඉතිහාසයේ කියවේ.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස දක්වා දිව යයි. සෑම වර්ෂයකම දුරුතු පුරපසෙළාස්වක පොහෝ දින අලුත් සහලින් බුදුන් හා දෙවියන් පිදීම සුවිශේෂි මංගල සම්මත සිරිතක් ලෙස ඇරැඹණි. ඒ සඳහා අවශ්‍ය සහල් ලබා ගැනීමට ඒ ඒ රජවරු කුඹුරු ඉඩම් පමණක් නොව, රාජකාරි නිල පංගුකරුවන්ද ශ්‍රි දළදා මාළිගාවට වෙන් කැර පවරා දෙන ලදී.

එම කුඹුරු ඉඩම්හි අස්වැන්න ගබඩා කැර තැබීම සඳහා ගම්මට්ටමින් අටු කොටු ද සැකසිණි. දළදා මාලිගයේ ඉපැරැණි වී අටුව පිහිටා තිබුණේ වී අමුණු දහ අටකින් යුක්ත ගුරුදෙණිය කෙත සමඟය . දැනට මෙම වී ගබඩාව පල්ලේකැලේ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබයි. සෑම වර්ෂයකම අලුත් සහල් මංගල්‍යට අදාළ නැකැත් වට්ටෝරුවක් නැකැත් මොහොට්ටාල විසින් දියවඩන නිලමේ වරයාගේ නියමය පරිදි සකසන අතර ඒ සඳහා සුදුසු දින, තිථි, මුහුරත යොදා ගනී. නැකැත් පත්‍රය අනූව සුබ නැකතින් දියවඩන නිලමේවරයා බස්නායක නිලමේවරුන් , කාරියකරවන කොරලේ ආදී පිරිස් මෙන්ම දේවාල කපුවන් ද කැටුව වී ගබඩාව වෙත යයි. එහිදී චාරිත්‍ර අනූව දියවඩන නිලමේවරයා ඇතුළු පිරිස විදානේ, මනන්නා ඇතුළු රාජකාරිකරුවන් විසින් පිළිගන්නා අතර ඉන්පසු එහි බෝධින් වහන්සේ හා බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පහන් පූජා කෙරේ.

එහිදී ගමරාලලා හත් දෙනෙක් ආහාර නැළි හතක් ද, ව්‍යංජන 30කින් ද සමන්විත ආහාර වලින් අමුත්තනට සංග්‍රහ කරති. අනතුරුව ගමරාලලා හත් දෙනක් බුළත් හුරුලු පිළිගන්වා සහල් ගබඩාව වෙත දියවඩන නිලමේවරයා කැඳවාගෙන යති. එහිදී රිදි නැළියකින් සංකේතවත් ලෙස සහල් හා වී සුළු වශයෙන් දළදා මාලිගය වෙත මැනීම සිදු වේ. එහිදී මනන්නා පැදුරක් දිග හැර සුදු රෙද්දක් එහි එළා ඉතිරි වී සහල් පුරවා දෙපා දෙපසට දිගු කැර පැදුරේ හිඳ ගනී. ඔහුගේ සහයකයෝද ඔහුට මුහුණපා එලෙසම හිඳගනිති.

අනතුරුව දළදා මාලිගයේ ලේකම්වරයා විසින් අලුත් සහල් මංගල්‍යයට හිමිකම් ඇති විහාර , දේවාල ලේඛනය කියවනු ලබයි. පසුව පළමුව දළදා මාලිගය අනතුරුව සතර මහා දේවාල පිටිසර දේවාල මෙන්ම රජමහා විහාර සඳහා සහල් බෙදා දේ. මෙහිදි ලැයිස්තු තුනක් ඔස්සේ හාල් සේරු 689ක් බෙදා දෙන අතර දළදා මාලිගයේ හා සතර දේවාලයන්හි වී සහල් ගංගාරාම විහාරය වෙත ගෙන ගොස් පසුදා අලුයම පෙරහරින් දළදා මාලිගය හා සතර මහා දේවාල වෙත රැගෙන ගොස් ගබඩාවල තැන්පත් කරයි. ඒ අනූව එම වී සහලින් දුරුතු පුර පසළොස්වක පොහෝ දින අලුයම දළදා මාලිගාවේ හා සෙසු විහාරවල බුද්ධ පූජාවද දේවාලයන්හි මුළුතැන් පුජාවද පවත්වනු ලබයි.

අලුත් සහල් මංගල්‍යයන්හිදී වෙනත් විහාරස්ථානවල පූජා කරනු ලබන්නේ නොපිසූ සහල් වුව ද දළදා මාලිගයට හා සතර මහා දේවාල සඳහා පුජා කරනු ලබන්නේ පිසින ලද සහල්ය. එම මංගල්‍ය මඟින් කලට වැසි ලැබී නිසි පරිදි අස්වැන්නත්, රටට සමෘද්ධියත් සෞභාග්‍යයත් අපේක්ෂා කරයි.

අලුත් අවුරුදු මංගල්‍යය

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒ් හා සම්බන්ධ කරමින් මෙම මංගල්‍ය පැවැත්වේ. නැකැත් මොහොට්ටාල විසින් සකසා දුන් නැකත් පත්‍රය අනුව දළදා මාලිගාවේ මල්වතු අස්ගිරි ඇතුළු ඒ හා සම්බන්ධ විහාරස්ථාන හා සතර මහා දේවාලයන්හි එම මංගල්‍ය පැවත්වනු ලබයි.

එම නැකැත් පත්‍රය අනුව මුල්තැන් පූජා කිරීම ,පිළියෙළ කිරීම, නානුමුර මංගල්‍ය හා හිස තෙල් ගෑම, නානු බෙදා දීම ආදිය ද සඳහන්ව තිබේ. මෙම නැකත් නානු සෑදීමට ගන්නා ඖෂධ පිළිබඳ ද සඳහන්වේ. මෙම ඖෂධවලින් සකසන නානු කුඩා මුට්ටි දෙසීයකට වැඩි ප්‍රමාණයකට සකසා කාරිය කෝරාල ඇතුළු නිලධර පිරිස අප්‍රේල් 12 දින පස්වරු 2.00ට නාථ දේවාලය වෙත ගෙන යෑම චාරිත්‍රයානුකූලව සිදු කරයි. එහිදී බෙදා දෙන නානු හා තෙල් දළදා මාලිගාව හා වෙනත් විහාරස්ථාන මෙන්ම දේවාල කරාද ගෙන යයි.

මෙම මංගල්‍යයේ ඉතා වැදගත් චාරිත්‍රයක් වන්නේ දළදා මාලිගාවේ හා සතර මහා දේවාලයන්හි රාජකාරිකරුවන් තම නිලයට සරිලන පරිදි තෑගි බෝග සහිත බුලත් හුරුල්ලක් ගෙන නියම කැරගත් එක් දිනයක දියවඩන නිලමේවරයා හා බස්නායක නිලමේවරුන් බැහැ දැකීමය.

එහිදි දියවඩන නිලමේවරයා මෙන්ම බස්නායක නිලමේවරුන්ද ඔවුන් සංග්‍රහ කැර තෑගි බෝග දෙයි. අනතුරුව දියවඩන නිලමේවරයා ප්‍රමුඛ මාලිගාවේ රාජකාරිකරුවෝ මල්වතු අස්ගිරි මහා විහාර වෙත ගොස් ඒවයේ මහා නාහිමිවරුන් හමු වී අභිනව වර්ෂයට ආශිර්වාද ලබා ගනිති.

අලුත් අවුරුද්ද සඳහා දළදා මාලිගාවේ හා සෙසු විහාර වල අභිනව වර්ෂය සඳහා සුභ ප්‍රාර්ථනය කරමින් අලුතින් ලිප් බැද කිරි උතුරුවනු ලැබේ.

දළදා මාලිගයේ හේවිසි මණ්ඩපයේ ප්‍රධාන දොරටුව අබියසද , පලලේමාලේ පියගැට පෙළ අබියසද තාවකාලිකව ලිප් බැඳ කිරි උතුරවනු ලැබේ. නානුමුර මංගල්‍ය සිදු කෙරෙන බදාදා දිනය හැර වෙනත් දිනයක අවුරුදු දිනය උදා වුවහොත් එහිදී කන්ඨස්නානය නමින් හැදින්වෙන විශේෂ චාරිත්‍රයක් සිදුකෙරේ.

එදින රුව සම්ප්‍රදායික නානුමුර කරවනු වෙනුවට උන් වහන්සේගේ බෙල්ල ප්‍රදේශයේ සිට පහළට ඇඟ සේදීම සිදු කරනු ලැබේ. අලුත් අවුරුදු දිනයේ දළදා මාලිගයේ මහා බුද්ධ පුජාවට අතිරේකව නැකැත් පත්‍රය අනූව තල හා හකුර මිශ්‍ර කිරි බතක්ද පූජා කෙරේ. ශ්‍රී දළදා මාලිගාවේ අලුත් අවුරුදු චාරිත්‍ර අවසන් වනනේ අලුත් අවුරුද්දට පසු ඉතාම කිට්ටු බදදා දිනක සිදු කරන නානු මුර මංගල්‍යයෙනි.

ඇසළ පෙරහර මංගල්‍යය

මෙරටට ඇසළ මාසය වැදගත් වනනේ දළදා මාලිගය කේන්ද්‍ර කැර ගනිමින් පවත්වනු ලබන මහා මංගල්‍ය නිසාය. මෙරට දළදා පෙරහර සඳහා ඉතා ඈත ඉතිහාසයක් පවතී. එහෙත් එය ක්‍රමානුකූලව පැවැත්වීම ඇරඹෙන්නේ සියම් උපසම්පදාව මෙරටට වැඩම කරවීමෙන් අනතුරුවය. අනෙකුත් නැකත් සේම මෙම ඇසළ පෙරහර මංගල්‍යයේද නැකත් පත්‍රය සකසන්නේ නැකැත් මොහොට්ටාල විසිනි. එහිදී මූලිකව කප් සිටුවිමේ චාරිත්‍රය සිදු කරනු ලබයි. ඉන්පසු දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වයි. කප් සිටුවීම සතර මහා දේවාලයන්හි පමණක් සිදු කෙරේ. දේවාල අභ්‍යන්තර පෙරහර දින පහක් පැවැත්වීමෙන් පසු දින පහක් කුඹල් පෙරහරද දින පහක් රන්දෝලි පෙරහරද පැවැත්වේ. කුඹල් පෙරහරේ රන්දෝලි ගෙන නොයන අතර දේවාලයට අදාළ බස්නායක නිලමේවරයා එහි ගමන් නොකරයි. දියවඩන නිලමේවරයා සුදු ඇදුමෙන් සැරසී පළමු කුඹල් පෙරහරේ ගමන් කරන අතර අනෙක් පෙරහැර හතරෙහි නාථ, විෂ්ණු, කතරගම , පත්තිනි යන දේවාලයන්හි බස්නායක නිලමේවරු ගමන් කරති. රන්දෝලි පෙරහැර කුඹල් පෙරහරට වඩා අලි , ඇතුන් හේවිසි ,වෙස් නැටුම් ආදියෙන් අංග සම්පූර්ණව දේවාභරණ බහන ලද රන්දෝලි සහිතව ගමන් කරනු ලැබේ. මෙහි පස්වන පෙරහර රජ පෙරමර මහ පෙරහර ලෙසින් හැදින්වෙන අතර අතීත රජ දවස පටන් රාජ රාජ මහාමාත්‍යාදීන් නැරඹූ මෙම පෙරහර අතිශය අලංකාරවත් ලෙස පැවැත්වේ. එම පෙරහරට පසු දිය කැපුම් පෙරහර ගමන් කරන අතර අනතුරුව දිය කැපීමේ මංගල්‍ය පැවැත්වේ.

එම අවස්ථාව දැක බලා ගැනීම සඳහා බොහෝ පිරිසක් දිය කැපුම් තොට අසලට එක් වන අතර එම වතුර නෑමට හා ඉස ගැනීමටත් ක්‍රියා කරන එම පිරිස් එමඟින් රෝග සුව වීම හා ආශීර්වාද අපේක්ෂා කරති. එමෙන්ම ගඟ පහළ සිටින පිරිස් එම කප ගෙන කෑලිවලට කපා තම කුඹුරු ඇතුළු වගාවන්ට ඉසති .

පෙරහර මංගල්‍යයේ දහවල් පෙරමර අවසන් රන්දෝලි මහ පෙරහරට පසු දින දහවල් කාලයේදී පැවැත්වේ. දහවල් පෙරහර දළදා චතුරශ්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිණා කෙරේ. එම පෙරහරින් අනතුරුව දියවඩන නිලමේවරයා රාජ්‍ය නායකයාට පෙරහර සාර්ථකව නිම කළ බව දැක්වෙන සංදේශය භාර දීමෙන් පසු මෙම පෙරහර මංගල්‍ය නිමා වේ.

කාර්තික මංගල්‍යය

ඉල්මස පුන් පොහෝ දින කැති නැකැත මුල් කැර ගෙන පවත්වන ප්‍රදීප පුජාවක් ලෙස කාර්තික මංගල්‍ය පැවැත්වේ. සුමන සාමණේරයන් වහන්සේ ධාතු ගෙන ඒමට දඹදිවට වැඩම කළ අවස්ථාවේ ධරමාශෝක රජු මහා බෝධියට කාර්තික පූජාව පවත්වමින් සිටි බව ඉතිහාසයේ සඳහන්ය. හින්දූහුද ආලෝකය දෙවියන්ගේ ප්‍රතිමුර්තියක් ලෙස සලකති. බෞද්ධ හා හින්දු ආගමික චාරිත්‍ර විධි ක්‍රමයන්හි සමීපත්වයද මේ තුළ ගැබ්ව ඇතැයිද සැලකිය හැකිය. මේ ආකාරයට දළදා මාලිගාවේද පහන් දැල්වීම සිදු කෙරේ. දළදා මාලිගාව, මල්වතු අස්ගිරි මහා විහාර, සතර මහා දේවාල, සෙසු විහාරස්ථාන සඳහාද නැකැත් මොහොට්ටාල සාදන සුබ නැකැත් පත්‍රය අනූව කාර්තික මංගල්‍ය සිදු කෙරේ. මෙම ප්‍රදිප පූජාව සඳහා තෙල් බෙදා දීම ඉල් පුර පසළොස්වක පොහෝ දිනට දින දෙකකට පෙර නාථ දේවාලයේදී සිදු කෙරේ.

දෙවියන් කෝප විමෙන් ජලයෙන්, ගින්නෙන්, ස්වභාව ධර්මයෙන් ඇති වන නොයෙක් කරදර විපත් මෙන්ම රෝග අමනුෂ්‍ය, දුරභික්ෂ ආදී උවදුරු වලින් බේරීම සඳහා ශාන්තියක් ප්‍රාර්ථනා කරමින් කාර්තික මංගල්‍ය සිදු කැර ආශිර්වාද ලබා ගැනීමට උඩරට ගැමියෝ අතීතයේ පුරුදුව සිටියහ.

ශ්‍රී දළදා මාලිගාවේ සතර මංගල්‍යයන් සඳහා ඉහළම ප්‍රමුඛස්ථානයක් ලබා දෙන අතර එම සිවු මහා මංගල්‍යන් සියල්ල පුරාතන චාරිත්‍ර , වාරිත්‍ර නැකැත් අනුවම සිදු කෙරේ. මෙම මංගල්‍යයන්ට සමගම වෙසක්, පොසොන් වාහල නාග උපසම්පදා ආදී පෙරහර මංගල්‍ය දහයක්ද දළදා මාලිගාව කේන්ද්‍ර කරගෙන පැවැත්වේ

 

අදහස්