පාන් වෙනුවට බත් කෑවොත් වසරකට අපේ රටට රු.කෝටි 8000ක වාසියක් | සිළුමිණ

පාන් වෙනුවට බත් කෑවොත් වසරකට අපේ රටට රු.කෝටි 8000ක වාසියක්

“බුදු හාමුදුරුවොත් දේශනා කළා තම රටේ නොවැවෙන ජාති කෑවොත් ඒවා පත්තියන් වෙන්නේ නෑ කියලා. එහෙනම් අපි තිරිඟු පිටිවල රොඩ්ඩෙන් හදන පාන් පිටි කන්නේ ඇයි?

අපි තුන්වේලටම බත් කාපු ජාතියක්.

මොන දුර්භික්ෂ තිබුණත් අපි කෑවේ අපේ රටේ වවාගත්ත දේවල්.

පාන් පිටි නැතිවට අපිට කන්න ඕන තරම් දේවල් තිබෙනවා. අල වර්ග, කොස්, දෙල්, බතල ඒ අතර ප්‍රමුඛයි. බනිස් - බිස්කට් - පාන් - හාල් පිටිවලින්ම හදන්න පුළුවන්. එහෙම නම් අපි වසරකට ‍කෝටි 8000ක් ඇමෙරිකාවට දීලා ලෙඩ ගොඩක් හදන පාන් පිටි ගෙන්වන්නේ ඇයි? පාන්පිටි වෙනුවට බත් කෑවොත් ඒ රුපියල් කෝටි 8000 අපේ රටේ නතර කර ගන්න පුළුවන්. අපි ඒක නතර කරන්න ඒකාබද්ධ වැඩපිළිවෙළකට යා යුතුයි.”

මේ අදහස් අපේ නොවේ. මෙරට දේශීය දේ හැමදාම අගය කරන මව්බිම ලංකා පදනමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතාගේයි.

අද අපේ මේ හාල් පිටි පරිභෝජනය අඩුවී පාන් පිටි පරිභෝජනය දෙගුණ තෙගුණ වී තිබේ. ඒකාබද්ධ ගොවි සංවර්ධන හා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය වසර ඇතුළත මෙරට ඒක පුද්ගල වාර්ෂික පාන් පිටි පරිභෝජනය කිලෝග්රෑම් 35 සිට 60 දක්වා ඉහළ ගොස් ඇත. සහල් පරිභෝජනය වසරකට කිලෝ ග්රෑම් 140 සිට 106 දක්වා අඩු වී ඇත. ‘චූන් පාන් වෑන්’ වැනි උපක්‍රම මඟින් පාන් පිටි නිපැයුම් ජනප්‍රිය කරවමින් හාල් පිටි නිපැයුම් ජනප්‍රිය කිරීමට ආරම්භ වූ සියලු වැඩසටහන් අකර්මන්‍ය වීමත් නිසා අද කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හා හාල් මිටි මෝල් 6000 ක් පමණ වසා දමා තිබේ.

මව්බිම ලංකා පදනමේ සාමාජික අරුණ කාන්ත බණ්ඩාර මහතා වරක් අපට පැවසුවේ 2013 - 2017 වසර අතරදි මෙරට පාන් පිටි කෑම 15 ගුණයකින් ඉහළට ගොස් ඇති බවයි. 2013 දී මෙරටට ගෙන්වා ඇත්තේ තිරිඟු පිටි ටොන් 75,000කි. නමුත් 2016 වසර්දි ඒ ප්‍රමාණය පාන් මිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 16ක් මෙරටට ගෙන්වා ඇතැයි මහ බැංකු වාර්තා පෙන්වා දී ඇතැයිද අරුණ බණ්ඩාර මහතා පවසයි.

“අද පාන් හා චූන් පාන් වසංගතය රට පුරාම රජ වෙලා. පරාක්‍රම සමුද්‍රයේ බැම්මෙත් අද චූන් පාන් කාරයෝ 4 ක් 5 ක් යනවා. මේ තත්ත්වය වෙනස් කර බත් ජනප්‍රිය කරවන්න අදාළ අංශ පියවර ගත යුතුයි.” ඔහු කීය.

මේ හේතුව නිසා සහල් කර්මාන්තය හා වී ගොවිතැන ආශ්‍රිතව කටයුතු කළ පුද්ගලයන් ලක්ෂ 2කට වැඩි පිරිසකට ආදායම් අහිමි වී ඇත. ඊට අමතරව රජය පසුගිය වසරවලදි වී මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක් මෙරටට ගෙන්වීම නිසා මෙන්ම පාන් පිටි ආහාර ජනප්‍රිය වීම නිසා මෙරට වී ගොවීන්ට නියමිත නිෂ්පාදන වියදමවත් නොලැබෙන බව සමස්ත ලංකා ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි මහතා පවසයි.

‘මෙරට දිස්ත්‍රික්ක 11ක් පුරා ඇති ඒකාබද්ධ ගොවි සංවිධාන තිබෙනවා. එහි සාමාජිකයෝ ලක්ෂ 10කට වැඩියි. අපි සියලු දෙනා දැන් අපේ බලය පෙන්වනවා. අපි සියලුම අය පාන්පිටිවලට බදු ගහනවාට කැමැතියි. පාන් පිටි වැඩි කරපු එකත් හොඳයි. හාල් මිලත් අඩු කරන්න ඕනෑ බව රජයට අපි බල කරනවා. ඒකට තියෙන නීතිය හාල් මිල පාලන නීතිය ක්‍රියාවට නංවන්න ඕනෑ.

හාල් මිල අඩු කරන්න බැරි මේ රටේ ඒ සඳහා විධිමත් කළමනාකරණ ක්‍රමවේදයක් නැතිකම නිසයි. අද වී මිල පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. නාඩු වී කිලෝවක් රාජාංගණයේ පැත්තේ ගන්නේ 35 - 40ට. නමුත් හාල් කිලෝවක් රුපියල් 80 - 100යි. සාමාන්‍ය විධියට වී කිලෝ 1.6ක් විතර එන හාල් කිලෝවක් හදන්න. ඒ අනුව හාල් කිලෝව රු. 60 ට විතර දෙන්න පුළුවන්. හාල් මිල ඉහළ යන්නේ අතරමැදියන්ගේ හා මහා මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය නිසා. මේවා වළක්වන්න රජය පියවර ගත යුතුයි.’ නිහාල් වන්නිආරච්චි මහතා පවසයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ හිඟුරක්ගොඩ ගොවි නායකය කවුඩුල්ලේ එම්.කේ. ජයතිස්ස මහතා පැවසුවේ පාන් වැඩි කිරීම වගේම හාල් මිල අඩු කර බත් ජනප්‍රිය කිරීමට රජය ඉදිරියටත් පියවර ගත යුතු බවයි. “පාන් හා පාන් පිටි ආශ්‍රිත ආහාර අපිට ලෙඩ ගොඩක් හදනවා. එහෙත් අපේ දේශීය හාල් පාවිච්චි කරන අයට දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. තිබෙන ලෙඩත් අඩු වෙනවා.” ඔහු කීය.

වී අලෙවි මණ්ඩලය වී ගන්න එන්නේ ගොයම් කැපුවාට පස්සේ. එතකොට අපේ වී ටික තුට්ටු දෙකට කළුකඩකාරයා අරන් ඉවරයි. වී අලෙවි මණ්ඩලය ගොයම් කපන්න පෙර වී මිලදී ගන්න බවට දැන්වීම් ගැසිය යුතුයි.

මෙරට සියලු ඒකාබද්ධ ‍ගොවි සංවිධාන එකාවන්ව පවසන්නේ පාන් පිටි ජනප්‍රිය වීම වළකා හාල් පරිභෝජනය වැඩි කළ යුතු බවයි. ඒ සඳහා රජය ගොවි සංවිධාන, සුළු හා මධ්‍යම පරිමාණයේ හාල් මෝල් හිමියන්, පර්යේෂණ ආයතන හා ව්‍යාපාරිකයන් සමඟ එකඟව දිගුකාලීන සහල් හා වී කළමනාකරණ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් රාජාංගණය ජල අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ටෙරන්ස් ගාමිණි මහතා පවසයි.

“අපි දැන් වී විකුණන්නේ නාඩු කිලෝවක් රුපියල් 32ට විතර. රජය වී අලෙවි මණ්ඩලය යටතේ වී මිලදී ගන්නා බව රට පුරා ප්‍රචාරය කළ යුතුයි. එවිට වී මිල අඩු වෙන්නේ නැහැ. දිස්ත්‍රික්ක 10ක අපේ ඒකාබද්ධ ගොවි සංවිධාන 54ක් තිබෙනවා. ඒවායේ එක් එක් සංවිධාන අනු ශාඛා 80 - 70ක් තිබෙනවා. ගොවි නියෝජිතයන් ලක්ෂ 10ක් අප සමඟ ඉන්නවා. ඒ අය සියලුදෙනා කියන්නේ හාල් වලට ඇති සහතික මිල ක්‍රියාත්මක කරන ලෙස ද පාන්පිටි වලට බදු දමා එය ඉහළ නංවන ලෙසයි. අපි දැන් වී මුදලාලිලාට දෙන්නේ රු. 30.32ට නමුත් හාල් කිලෝ 80 - 90 විකුණනවා. ‍ෙම් තත්වය පාලනය කිරීමට සහතික මිල නීතිය තිබුණත් එය 2016 ඉඳන් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නීතිය අනුව රුපියල් 90ට වැඩිය හාල් විකුණන්න බැහැ. අඩුවට හාල් විකුණුවොත් ජනතාව මීට වඩා බත් කයි.” ඔහු කීය.

‍ මේ පිළිබඳව අපට කරුණු දැක්වූ සමස්ත ලංකා සුළු හා මධ්‍යම වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.ඒ.බී. අභයකීර්ති මහතා පැවසුවේ මෙවර යල කන්නයේදි සුළු හා මධ්‍යම පරිමාණයේ වී මෝල් හිමියන්ට වී ටිකක් ලැබුණු විට ඔවුන්ටත් අඩු මිලට හාල් නිපදවීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

අපිට පසුගිය අවුරුදු 2 - 3 ඇතුළත අපිට වැඩිය වී මිලදී ගන්න ලැබුණේ නැහැ. මහ මෝහල් හිමියෝ වී වලින් සියයට 90 - 45 විතර අරන් ගබඩා කරගත්තා. ඒ අය පසුව ගංවතුර නිසා වී නිපයුම අඩුවූ විට ඒ වී හාල් රුපියල් 100 - 110 අතර මිලට විකුණුවා. ඒ මිල වැඩිවීම නම් අඩු වූයේ නැහැ. ඒ නිසා තමයි අද පොදු ජනතාවට හාල් 100 ට කන්න වෙලා තියෙන්නේ. 2015 සිටම මිල පාලන අංශ හාල් සහතික කළ මිල හා පාලන මිල ක්‍රියාවට නැංවූයේ නැහැ. අද හාල් කන අය අඩුවෙලා. අපේ හාල් මෝල් 3000ක් විතර වැහිලා. පවුල් ලක්ෂයක් විතර අනාථයි. අපි අවධාරණය කරන්නේ පාන්වලට නව බදු අයකරන ගමන් හාල් පිටි නිපැයුම් හා හාල් පිටි බේකරි නිෂ්පාදන වැඩියෙන් නිපදවිය යුතු බවයි. අභය කීර්ති මහතා කියයි.

වී අලෙවි මණ්ඩලය 2016 දි වී ටික සත්ව ආහාර වලට කියලා විකුණුවා. ඒත් ඒවා අර පොලොන්නරුවේ මහ මෝල් හිමියෝ ලාබෙට ගත්තා. වී මිල අඩුයි. ඒත් හාල් මිල වැඩියි. මේ පිළිබඳව රටින් යම් කළමනාකරණ ක්‍රමවේදයක් ඇති කර අතරමැදියන්ගෙන් තොරව ඒ ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.‍‍ ඔහු කීය

පොලොන්නරුව ප්‍රගතිශීලී එකමුතු ගොවිජන සංවිධානයේ ප්‍රධාන සංවිධායක ඩබ්.එන්.එන්. විනාධිපති මහතා පැවසුවේ පාන්පිටි වෙනුවට කෑමට මේ රටේ බත්, කොස්, අල, බතල ඕනෑ තරම් ඇති බවයි.

ජී.එල්. 480 ගිවිසුම අවලංගු කිරීමට දැන් කාලය ඇවිල්ලා. පාන් පිටි වෙනුවට වෙන දේවලට යමු. අපි ඉස්සර කාපු කුරක්කන්, මෙනේරි, අල, බතල, වැල් අල දකින්න අමාරුයි. නැහැ ඒවා වවන්න ජනතාව උනන්දු කළ යුතුයි. ඒ වැල් අල වර්ග හුඟක් බේත් වර්ග. නමුත් අද චූන් පාන් කාරයෝ පරාක්‍රම සමුද්‍රයේ වේල්ලෙත් රවුම් ගහනවා. අඩු බරට හැදූ පාන්පිටි බේකරි නිපැයුම් අපට හිටු කියලා කවනවා. මේ නිසා ඊට පස්සේ තුන්වේල බත් කාපු ගමේ අයත් පාන් පිටි කෑමවලට පුරුදුවෙලා. හොයන්න බැරි ලෙඩ හැදෙනවා. රටට වූ මහා විපතක් මේක. ඉවක් බවක් නැතිව පාන් පිටි නිපැයුම් අනුභව කිරීමයි මේකට හේතුව. විනාධිපති මහතා පවසයි. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මේ හාල් හා පාන් පිටි අර්බුදය පිළිබඳව ඉහළින් කථා කරයි. එහි කැඳවුම්කරු චින්තක රාජපක්ෂ පැවසුවේ මේ අර්බුදය විසඳීමට හා වී අලෙවි මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අලෙවි අංශ වී මෝල් හිමියන් එක්ව සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කළ යුතු බවයි. වී අලෙවි මණ්ඩලය සහතික මිලට වී මිලදී ගැනීම දැන් සිටම රට පුරා ක්‍රියාත්මක කළ යුතුයි. ඊට පසු පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හාල්වලට පාලන මිලක් ක්‍රියාවට නැංවිය යුතුයි. පාලන මිලට වැඩියෙන් අලෙවි කරන වෙළෙඳසල් වැටලීම් කළ යුතුයි.

මේ දේ හරියට ක්‍රියාත්මක වුවහොත් අපේ ලක්ෂ 15ක් වන ගොවි පරපුරට ලොකු සෙතක් ලැබේවි. අපේ රටේ අද වැව් හදන ව්‍යාපෘති ආවත් තරුණ පරපුර කෘෂිකර්මයෙන් ඈත් වීම හා හාල් පිටි නිපැයුම් ජනප්‍රිය කිරීමට රජය තම ආයතන මඟින් පියවර නොගැනීම වැනි කරුණු නිසා අපේ රටේ කෘෂිකර්මයේ අනාගතය සැක සහිතයි. වී මිලදී ගන්න දැන් ණය දෙන්නේ මහා පරිමාණ හාල් මෝල් හිමියන්ට විතරයි. ඒ ණය මුදල් පොඩි හාල් මෝල් හිමියන්ටත් ලබාදිය යුතුයි.

මහ මෝල් හිමියන්, තැරැව්කරුවන්, අතරමැදියන් හා දේශපාලන හිතවතුන් එක්ව කරන සහල් ඒකාධිකාරිය හා සහල් මාෆියාව නැති කිරීමත් රජයේ යුතුකමක්. එවිට හාල් මිල අඩු කරන්න පුළුවන්. පාන් පිටිවල හා හාල් පිටිවල ඇති පෝෂණ ගුණ වෙනස පිළිබඳව ජනතාව හා සිසු පරපුර දැනුම්වත් කළ යුතුයි. හාල් පිටි වලින් බේකරි ද්‍රව්‍ය නිපදවීමට ඇති තාක්ෂණය රට පුරා ව්‍යාප්ත කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පියවර ගත යුතුයි. කාර්මික තාක්ෂණ ආයතනය සතු තාක්ෂණය රට පුරා ප්‍රාදේශිකව ව්‍යාප්ත කර බේකරි හිමියන් දැනුම්වත් කළ යුතුයි. කොත්තු රොටි ඇතුළු පාන් පිටි කෑම ඉල්ලුම අඩු කිරීමට හාල් කෑම අඩු මුදලට ලබාදී ඒවා ජනප්‍රිය කළ යුතුයි.

මේ පිළිබඳව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ පුහුණු ආයතනයේ අලෙවි ආහාර හා ප්‍රතිපත්ති අංශ ප්‍රධානී දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ හාල් මිල ඉතා ඉහළ මට්ටමක පවතින මේ කාලයේ පාන් පිටි වලට බද්දක් දැම්මොත් තවත් ජීවන බර වැඩි වනු ඇති බවයි. එවිට වතුකරයේ ජනතාවට ගැටලු ඇති වන බවද ඔහු කීය.

යල කන්නයේ වී අස්වනු නිසා ඉදිරියේදි නාඩු හා කැකුළු හාල් මිල අඩුවීමට ඉඩ ඇති බවත් ඔහු කීය.

මේ පිළිබඳව පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් විමසූ විට එහි ඉහළ නිලධාරියෙකු පැවසුවේ සම්බා හාල් මිල උපරිම මිල රුපියල් 90 ක් බවට පාලන මිලක් වරින් වර පැනවූවත් දැනට ක්‍රියාත්මක නොමැති බවයි. කෙසේ වුවත් දැන් සම්බා මිල රුපියල් 100 - 115 අතර බැවින් ඉදිරියේදි සම්බාවලට පාලන මිල ක්‍රියාවට නැංවීමට ඉඩ ඇති බවත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පවසයි.

මේ අතර අනුරාධපුර පශ්චාද් අස්වැන්න පිළිබඳ තාක්ෂණික ආයතනයේ සහල් පිටි නිෂ්පාදන අංශයේ යාන්ත්‍රික ඉංජිනේරු බණ්ඩාර දිසානායක මහතා පැවසුවේ හාල්වලින් පාන්, බිස්කට්, කේක් නිපදවීමට අවශ්‍ය තාක්ෂණය ඕනෑම අයෙකුට ලබාදීමට සූදානම් බවයි.

මේ අනුව හාල්පිටි සියයට 30 ක් 40 ක් දමා සාර්ථකව පාන් නිපදවීමට හැකි බවත් ඔහු කීය. වැඩි විස්තර 0252222344 මඟින් දැන ගත හැකිය.

කාර්මික තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් හා කොළඹ විශ්වවිද්‍යාලයේ හෙද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතා කළ පර්යේෂණ අනුව අපේ රට පාරම්පරික වී වලින් සකස් කර ගන්නා බත් අනුභවයෙන් පිළිකා, අධික රුධිර පීඩනය වැළැක්වීමත් දියවැඩියාව පාලනය කිරීමේ හැකියාවත් ඇති බව හෙළිවී තිබේ.

එමෙන්ම පාන් පිටි කෑම නිසා ඉහත රෝග වැඩිවන බවද පැහැදිලි වී ඇතැයි ආචාර්ය ප්‍රේමකුමාර පවසයි.

පසුගිය සමයේ මෙරට ආයු‍ර්වේද වෛද්‍යවරුන් විසින් හා බටහිර විශේෂඥ වෛද්‍යවරුන් කරන ලද පර්යේෂණ අනුව අපේ දේශීය හාල්වල ගුණ හා පාන් පිටිවල අගුණ ගැන පෙන්වා දී ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි 2018 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය විසින් රු.මි. 4900ක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ.

මේ වනවිටත් යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී ගබඩා සියල්ල විවෘතව තබා ඇති අතර ගොවීන් අපහසුතාවයට පත් නොකර වී මිලදී ගැනීමේ කටයුතු විධිමත්ව සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතාට උපදෙස් දී ඇත. එක් ගොවියෙක්ගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය ද කිලෝග්රෑම් 3000 දක්වා වැඩි කිරීමට ද ඇමැතිවරයා උපදෙස් දී ඇත. එමෙන්ම අපේ රට තුළ සහල් ආශ්‍රිත නිපැයුම් තවත් ජනප්‍රිය කරවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය ඉදිරියේදී පියවර රැසක් ගැනීමට බලාපොරොත්තු වෙයි.

සමස්ත ලෙස ගත්විට ‍මේ හාල් හා පාන් පිටි ගැටලුව විසඳීමට ‍රජය, තිරසාර සංවර්ධන සෞඛ්‍ය, කෘෂිකර්ම වෙළෙඳ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශ එක්වී දිගුකාලීන හා කෙටිකාලීන විසඳුම් සෙවිය යුතුයි. රටින් ‍එතෙරට පාන් පිටි සඳහා වාර්ෂිකව සහ රුපියල් කෝටි 7500ක් 5000ක් වත් මෙරට ඉතිරි කර ගැනීමට කටයුතු කිරීම කාලීනව රටේ ආර්ථිකයට ඉතා වැදගත් බවත් දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග වැළැක්වීමටත් පාන් පිටිවලට වැට බැඳීම අවශ්‍ය බවත් ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි.

මේ සියලු තොරතුරු යෝජනා චෝදනා අනුව කටයුතු කළහොත් රජයේත් උදව් ඇතිව රටට යළින් පැරකුම් යුගයක් බිහි කිරීමට අප සියලු දෙනාටම හැකි බව කිව යුතුය.

 

අදහස්