දියවැඩියා-කොලෙස්ටරෝල් නැසීමට කුරුඳු කොළේ ඇති බලේ | සිළුමිණ

දියවැඩියා-කොලෙස්ටරෝල් නැසීමට කුරුඳු කොළේ ඇති බලේ

අපරදිගින් ආ සුදු පැහැ සමක් ඇත්තන් ඉන්දියන් සාගරයේ තිබුණු පුංචි දිවයිනක් ගැන වූ ආරංචි කලෙක පටන් අසා සිටියේ මහත් වූ ලෝබකමිනි.”‍ ඒ දූපතේ වෙරළ දිගේ ම ඒ මහා වටිනා දේ තියෙනවා. ඒ දූපත පැත්තෙන් එන සුළගේ පවා තියෙන්නේ ඒ සුවඳ”‍ලන්දේසි නැවක කපිතාන්වරයකු තමන්ගේ පාලකයන්ට දන්වා යවා තිබුණේ ය. ඔහු ඒ ආරංචිය යවන කාලය වන විටත් ඒ පුංචි දූපතේ නැතිනම් ලංකාවේ වෙරළ තීරය පෘතුගීසීන්ගේ පාලනයට යටත් වී තිබුණේ ය. පෘතුගීසීන් පවා ඒ දූපතට පැමිණ තිබුණේ ලන්දේසි කපිතාන්වරයාට දැනුණු සුවඳ දිගේ ම ය. ඒ සුවඳ ගෙනවිත් තිබුණේ එදා පටන් ම ලංකාවේ වෙරළ කලාපය ආශ්‍රිත ව වැවී තිබුණු කුරුදු ය.එදා 16 වන 17වන සියවස්වල හැදුණු කුරුඳුවල ඒ වටිනාකම අදටත් වැඩිවී ඇත්තා මිස අඩුවී නැත. අද වන විට ලෝකයේ පස්වැනි තැනට ඉහළ ම වටිනාකමක් ලැබෙන්නේ කුරුඳුවලටයි.

ලොව පුරා රටවල් කිහිපයක ම කුරුඳු දැක ගත හැක්කා සේම කුරුඳුවල වටිනාකම් සහ ගුණ ගැන ද ලෝකයා වරින් වර නොයෙක් සොයා බැලීම් කර ඇත්තා හ. සිනමෝමම් නම් ගණ නාමයට අයත් කුරුඳු විශේෂ 250ක් පමණ ලෝකයේ නොයෙක් කලාප වලින් හඳුනාගෙන ඇත. මේ අතරින් වාණිජමය වටිනාකමක් ඇත්තේ නම් කුරුඳු විශේෂ හතරකට පමණ ය. ලංකාවේ හදුනාගත හැකි සිනමෝමම් සිලේනිකම් නැතහොත් වේරම්, සිනමෝමම් ඇරෝමැටිකා නැතහොත් කැසියා නැතින්ම චීන කුරුඳු, සිනමෝමම් බර්මානි නැතිනම් ඉන්දුනීසියන් කුරුඳු සහ සිනමෝමන් ලොරේරි නැතිනම් වියට්නාම් කුරුඳු මෙකී වාණිජ වටිනාකමක් ඇති කුරුඳු විශේෂයන් ය. ලෝක වෙළදපොළේ කුරුඳු අවශ්‍යතාවෙන් සියයට අසූ අටක් ම සපුරන්නේ මේ කුරුඳු විශේෂ හතර ය. එසේ වුව සිනමෝමම් සිලේනිකම් නැතිනම් අපේ කුරුඳු වලට වෙළදපොලේදී ලැබෙනා වටිනාකම අනෙක් විශේෂ තුන හා සැසඳීමේදී ඉතා ඉහළ අගයකි. එ් වටිනාකමේ අගය කුරුඳු වෙනුවෙන් ලෝක වෙළදපොළේදී ලැබෙනා වටිනාකමෙන් තුනෙන් එකකටත් වඩා වැඩිය. ලෝක වෙළඳපොළේ සිනමෝමම් සිලේනිකම් දන්නේ ‘සැබෑ කුරුඳු‘ ලෙසයි. අනෙක් විශේෂ තුනම අඩු මිල ගණන් යටතේ අලෙවි වන ‘කැසියා කුරුඳු‘ ලෙස ලෝක වෙළදපොලේ හැඳින්වෙයි.

ලෝකයාට අපේ කුරුඳු සැබෑ කුරුඳු වන්නේ ඒවායේ තිබෙනා ගුණය නිසාමැයි වචනයෙන් කියා තැබීම පහසු ය. ගුණ සැබෑ ලෙසට ම සොයා බලා නිශ්චිතව දැන සිටීම ඊටත් වඩා අගනේ ය. කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ කෞශල්‍යා අබේසේකරට අපේ කුරුඳු ගැන සොයා බලන්නට සිත් වන්නට ඇත්තේ ද මේ කියැවෙනා වටිනාකම් ය. ”කුරුඳු ගැන කියද්දි අපේ රටේ තියෙන කුරුඳු විශේෂ ගැන දැනගෙන ඉන්න එක පහසුවක් වේවි කියලා මම හිතනවා. මොකද අපි පර්යේෂණ වලට අරගෙන තියෙන්නේ දැනට ඉහළ වටිනාකමක් ලැබෙන අපිට නිතර දකින්න ලැබෙන එක කුරුඳු විශේෂයක් විතරක් වෙන නිසා. සිනමෝමම් සිලෙනිකා කියන විශේෂය ඇතුළුව අපේ රටේ කුරුදු විශේෂ අටක් හඳුනාගෙන තියෙනවා. එයින් හතක්ම අපේ රටට ආවේණිකයි. දැනට අපේ රටේ වගා කෙරෙන්නේ ලෝක වෙළදපොළේ ‘සැබෑ කුරුඳු‘ කියල හැඳින්වෙන සිනමෝමම් සෙලෙනිකම් කියන වර්ගය තමයි. අපි අපේ පර්යේෂණයට යොදා ගත්තේ ඒ කුරුඳු වර්ගයමයි.

ලෝකයේ තියෙන සෑම කුරුඳු වර්ගයක ම පාහේ ඖෂධීය වටිනාකමක් තියෙන බව ඒ ඒ රටවල පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍ර වල කියැවෙනවා. අපේ රටේ පාරම්පරික වෙදකමේ කුරුඳු වලට තියෙන්නෙත් ඉහළ තැනක්. කුරුඳු පොත්තට වාණිජ වශයෙන් ලොකු වටිනාකමක් තිබුණට , වෙදකමේදී ඒ හා සමාන වටිනාකමක් කුරුඳු කොළයටත් ලබලා දීලා තියෙනවා. ලංකාවේ කුරුදු වලට තියෙන වටිනාකම නිසාම ලෝකයේ ඇතැම් රටවලදී ලංකාවෙ කුරුඳු ගැන පර්යේෂණ කරලා තියෙනවා. නමුත් ඒ කරලා තියෙන පර්යේෂණ වල තියෙන ගැටලු‍ව වෙන්නේ ඒ පර්යේෂණ කරලා තියෙන්නේ සතුන් යොදාගෙන පමණක් වීම. මිනිසුන් යොදාගෙන ලංකාවේ කුරුඳු මෙතෙක් පරීක්ෂාවට ලක්වෙලා නැහැ. මේ වගේ පසුබිමක් එක්ක තමයි මම 2012 අවුරුද්දේ අපේ කුරුඳු වල ඖෂධීය වටිනාකම් ගැන පර්යේෂණය පටන් ගත්තේ.”‍

කුරුඳු වල ඔසු ගුණ ගැන සොයා තහවුරු කර ගන්නට දියවැඩියාව, ඉදිමුම් රෝග පාලනය, ප්‍රතිඔක්සිකාරක ගුණ, මේද පාලනය කිරීමේ හැකියාව, සමේ වයසට යෑම පාලනය කිරීම යන රෝග තත්ත්වයන්ට කුරුඳු වලින් සිදුකළ හැකි බලපෑම ගැන සොයා බලන්නට මේ පර්යේෂණයේදී අවධානය යොමු වූ බව ද කියැවෙයි.

”‍මේ පර්යේෂණයේ තියෙන විශේෂම දෙය තමයි මේ පර්යෙෂණයට කුරුඳු කොළත් යොදා ගැනීම. මෙතෙක් ලංකාවෙ කුරුඳු ගැන ලෝකයේ නොයෙක් තැන්වල කෙරිලා තියෙන පර්යේෂණ වලදි පරීක්ෂාවට ලක්වෙලා තියෙන්නේ කුරුඳු ගහේ පොත්ත විතරයි. කුරුඳු කොළ පරීක්ෂාවට ලක්වෙලා තියෙන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණ සම්බන්ධයෙන් විතරයි. අපිත් ප්‍රතිඔක්සිකාරක ගුණ ගැන පර්යේෂණ කළා. අපේ ශරීරයේ ඔක්සිකාරක සංයෝග හැදෙනවා. අපි වයස්ගත වෙන විට සහ අපි ලෙඩ රෝග වලට ගොදුරුවුණාම මේ ඔක්සිකාරක සංයෝග හැදෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ නිසා ඒවට පිළියමක් විදියට අපේ ශරීරයේ එන්සයිම හැදෙනවා. ඊට අමතරව ශරීරය ඇතුළත හැදෙන ඔක්සිකාරක වලට ප්‍රතිකර්මයක් විදියට අපිට පිටතින් ප්‍රතිඔක්සිකාරක ලබා ගන්නත් පුළුවන්.

ප්‍රතිඔක්සිකාරක ශරීරයට උවමනා වෙන්නෙ ,බෝනොවන රෝග අවධානම අවම කරන්න ප්‍රතිඔක්සිකාරක දායක වෙන නිසා. අපි කරපු පරීක්ෂණ වලින් අපිට දැක ගන්න ලැබුණා කුරුඳු පොත්තේ සහ කොළ වල මේ ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙනවා කියලා. මේ නිසා බෝ නොවන රෝග පාලනය කරන්න ලොකු හැකියාවක් කුරුදු සතුයි.”‍

අද අපේ රටට සේම ලෝකයට ම ගැටලු‍වක් වී ඇති දියවැඩියාවට ද අපේ කුරුඳු සතුව විසදුම් ඇති බව මේ අලු‍ත් සොයාගැනීම් වලින් කියැවෙයි.

“‍දියවැඩියාවෙන් වැළකෙන්න කුරුදු සතුව තියෙන ගුණ පරීක්ෂා කරන්න අපිට යොදා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි ශරීරයේ ග්ලූකෝස් වැඩිවීමට හේතුවන එන්සයිම තාවකාලිකව යටපත් කිරීමක් කරන්න තියෙන හැකියාව කොයිතරම් ද කියන කාරණාව. අපේ ආහාර වල තියෙන කාබෝහයිඩ්‍රේට ග්ලූකෝස් බවට ජීරණය කරවන්නට හැකියාව තියෙන ඇල්ෆා ඇමයිලේස් සහ ඇල්ෆාග්ලූකොසිඩේට් කියන එන්සයිම වල ක්‍රියාකාරීත්වය තාවකාලිකව යටපත් කරන්න හැකියාව යම් සංයෝගයකට තියෙනවා නම් ඒ සංයෝගයට දිය වැඩියාව පාලනය කරන්න හැකියාව තියෙනවා.

මේ අතරින් ඇල්ෆාඇමයිලේස් කියන එන්සයිමය පාලනය කිරීමේ හැකියාව කුරුඳු පොත්තේ සහ කොළයේ කියන දෙකේම තියෙනවා. නමුත් පොත්තේ මේ ඔසු ගුණ කොළයට වඩා වැඩියි. ඒ වගේම දියවැඩියාවේ අතුරුඵල නැති පාලනය කරන්නත් කුරුඳු වලට හැකියාව තියෙනවා. දියවැඩියාවෙන් අතුරුඵල විදියට ඇස් නොපෙනීම, වකුගඩු සම්බන්ධ රෝග, රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග කියන තත්තවයන්ට හේතු වෙන්නෙ ශරීරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙද්දි ශරීරයේ ඇතිවෙන ප්‍රෝටීන ප්‍රතික්‍රියාවන්. මෙවැනි තත්ත්ව වළක්වන්න තියෙන හැකියාවට අපි කියන්නෙ ඇන්ටි ග්ලයිකේෂන් කියලා.

මේ ඇන්ටිග්ලයිකෙෂන් කියන හැකියාව කුරුඳු කොලයේ සහ පොත්තේ හොඳට ම තියෙනවා. මේ රෝග වළක්වන්න තියෙන හැකියාව වගේම මේ රෝග හැදිලා තියෙන අයට යම් සහනයක් ලබාදෙන්න කුරුදු වලට පුළුවන් ද කියන එක ගැනත් අපි හොයලා බැලු‍වා. හරියටම කිව්වොත් අපිට දැනගන්න ඕන වුණේ ශරීරයේ ග්ලූකෝස් වැඩිවීම නිසා ඇතිවන ප්‍රෝටීන ප්‍රතික්‍රියා ආපසු හරවන්න පුළුවන් ද කියලයි.

අපි තහවුරු කරගත්තා ඒ හැකියාව කුරුදු වලට ඉතා හොඳින් ම තියෙන බව. මේ සොයා ගැනීමේ වැදගත්කම තමයි මේ ප්‍රතික්‍රියා ආපසු හරවන්න හැකියාව තියෙන ඖෂධ, දැනට ප්‍රතිකාර වලට යොදා ගන්න ඖෂධ අතර නොතිබීම. හරියටම සිනමෝමම් සෙලනිකම් බව තහවුරු කරගත් සාම්පල වලින් පර්යේෂණ කරලා කුරුදු වලට තියෙන මේ හැකියාව මුල් වරට වාර්තා කරන්නේ මේ පරීක්ෂණයෙන්.”‍

“‍දියවැඩියාව හැරුණම බොහෝ බෝනොවන රෝගවලට හේතු වෙන ශරීරයේ ලිපිඩ තැන්පත් වීම පාලනය කරන්නත් කුරුඳු වලට හැකියාව තියෙනවා. ඒ හැකියාව කුරුදු පොත්තට සහ කොළයට ලැබෙන්නේ ශරීරය තුළ ලිපිඩ තැන්පත්වීමේ ක්‍රියාවලිය යටපත් කරන්න හැකියාව තියෙන සංයෝග කුරුඳු කොළවල සහ පොත්තේ තියෙන නිසයි. ඒ වගේම ලිපිඩ ජීරණය ප්‍රමාද කරවන්න ලිපිඩ ජීරක එන්සයිමය වන ලයිපේස් ක්‍රියාකාරීත්වය පාලනය කරවන්නත් කුරුදු වලට හැකියාව තියෙනවා.ඊට අමතරව ලිපිඩ ශරීරයට උරාගැනීමේ හැකියාව පාලනය කරන්නත් කුරුදු වලට පුළුවන්. මේ රෝගවලට අමතරව සමේ වයස්ගත වීම පාලනය කිරීමේ හැකියාවකුත් කුරුඳු වලට තියෙනවා. සමේ වයස් ගතවීමට බලපෑම් ඇතිකරන ඉලාස්ටේස්, කොලජන් වගේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම මගින් තමයි සමේ වයස්ගත වීම පාලනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ පර්යේෂණ වලින් තහවුරු වුණු විදියට මේ සමේ වයස්ගත වීමට හේතුවෙන එන්සයිම පාලනය කිරීමේ හැකියාව කුරුඳු පොත්තේ සහ කොළවල තියෙනවා. මීට අමතරව ඉදිමුම් රෝග පාලනය කරන්නත් කුරුදුවලට හැකියාව තියෙනවා.

ලෝකයේ වෛද්‍ය පර්යේෂණ වලින් තහවුරුවෙලා තියෙන අලු‍ත්ම තොරතුරු වලට අනුව බෝනොවන රෝග රැසකට මේ ඉදිමුම් රෝග හේතුවෙනවා. ඒ නිසා කුරුදු වලට තියෙන ඉදිමුම් රෝග පාලනය කිරීමේ හැකියාව වැඩි වැදගත්කමක් ලැබෙනවා. ඉදිමුම් රෝග මර්දනයට කුරුදුවලට තියෙන හැකියාව මීයන් යොදාගෙනත් අපි තහවුරු කරගත්තා.”‍ නිමක් නැති තරමේ වටිනාකම් සඟවාගෙන සිටිනා අපේ කුරුඳු කුළුබඩුවක් ලෙස නිතර අපේ මුළුතැන්ගෙට පැමිණියද මේ වටිනාකම් ජීවිතයට ලබා ගන්නට කුරුදු අපට කිට්ටු කරගන්නේ කෙසේදැයි දැන ගැනීමද වටින්නේය.

“‍‍අපි මේ පර්යේෂණ වලට පාවිච්චි කළේ පොත්තෙන් සහ කොළයෙන් ලබා ගත් නිස්සාරක. මේ නිස්සාරක රත් කරලයි අපි පර්යේෂණ වලට යොදා ගත්තේ. ඒ නිසා රත් කිරීමෙන් කුරුඳු වල තියෙන මේ ගුණ නැතිවෙන්නේ නැහැ.

ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සායනික පර්යේෂණ මගින් තහවුරු කරලා තියෙන විදියට දවසකට කුරුදු ග්‍රෑම් 5ක් පමණ තමන්ගේ ආහාර වලට එකතු කරගැනීමේ වරදක් නැහැ. මේ ප්‍රමාණය කෑමවලට එකතු කරන රසකාරකයක් විදියට වගේම තේ වගේ පානයක් එක්කත් ලබා ගන්න පුළුවන්.”‍

“‍මේ පර්යේෂණ වලින් කුරුඳු කොළය ගැන කළ සොයා ගැනීම් ලෝකයෙන් ම පළමු වතාවටයි සිදු කෙරුණේ. ඊට අමතරව පොත්ත සම්බන්ධව සොයාගත්ත බොහෝ දේවලු‍ත් අලු‍ත්ම සොයා ගැනීම්. මේ හැම සංයෝගයක් ම පොත්තේ අඩංගු ප්‍රමාණ කොළයේ අඩංගු ප්‍රමාණ වලට වඩා වැඩියි. නමුත් කොළයේ තියෙන වටිනා ගුණත් විශේෂයි.”‍ “‍මම මේ පර්යේෂණය කළේ මගේ ආචාර්ය උපාධි පර්යේෂණය විදියට. මගේ පර්යේෂණය අධීක්ෂණය කළේ කාර්මික තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂක ආචාර්ය ජී.ඒ.එස්.ප්‍රේමකුමාර සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.රත්නසූරිය. මේ පර්යේෂණයට මූල්‍යාධාර ලබා දුන්නේ මහා භාණ්ඩාගාරය. අපේ කුරුඳු ගැන කරපු මේ සොයාගැනීම් දැනට බොහෝදෙනාට ගැටලුවක් වෙලා තියෙන රෝග වලට විසඳුමක් බවට පත් කරගන්න පුළු‍වන්.

මෙවැනි පරීක්ෂණ දැනට ලෝකයේ සිදු වෙන්නෙත් නැති තරම්, දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දියවැඩියාවට කුරුඳු වලින් තියෙන බලපෑම ගැන කෙරෙන පරීක්ෂණය විතරයි විධිමත්ව අපේ කුරුඳු ගැන කෙරෙන පර්යේෂණයක් තියෙන්නේ. ඒ පර්යේෂණයටත් අපි දායක වෙනවා. අපි මේ පර්යේෂණ වලට යොදා ගත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඉතා ම හොඳ ම තත්ත්වයෙන් නිෂ්පාදනය කරල විදේශ වෙ‍ෙළදපොළට යවන තත්ත්වයට සකස් කළ කුරුඳු.”‍ මේ කියැවෙන්නේ අප නිතර දකිනා සැබෑම වටිනාකමක ඇති අපේ කුරුදු ගැන ය. ඉහළ වටිනාකම් ගෙවා පිටරැටියන් අපේ වටිනාකම් ගෙන්වාගෙන සුවපත් ජීවිත ගත කරන්නට මඟ සොයාගනිද්දී අප අපේ වටිනාකම් මඟ හැර කෘත්‍රිම ලෝකයට පසු පසින් දුවමින් සිටින්නෝ වී නැතිදැයි සිතා බැලිය යුත්තේ නොවේද!

අදහස්